හිස්බව හෙවත් ශූන්‍යතාවය යනු “කිසිවක් නොමැති තත්ත්වය” නොවේ. කිසිවක් නොපවතින අතර, එබැවින් ඔබගේ ගැටළුද නොපවත්නා බැවින් ඒවාද අමතක කර දමන්න යන්නක් ඉන් අදහස් නොවේ. ශූන්‍යතාවය යනු පැවැත්ම හා සම්බන්ධ නොපැවතිය හැකි ආකාරයන්ගේ පූර්ණ වියුක්තියකි. සියල්ල පවත්නා ආකාරය පිළිබඳ අප විසින් ප්‍රක්ෂේපණය කරන මනෝ භාවයන් යථාර්ථය හා අනුගත නොවේ. දේවල් ඇසුරින් ගත්කල, අපගේ ගැටළුද ඇතුළත් එම දේවල් විසින්ම ගැටළු නිර්මාණය නොකරයි. සම්මුතික වශයෙන් ඒවා අප සැලකිලිමත් විය යුතු ගැටළු විය හැකි නමුත් සම්මුතිය මගින් අර්ථ නිරූපිත පරිදි “ගැටළුව” නමැති වචනය හා සංකල්පය මගින් ඒවා ගැටළුවක් බව දැක්විය හැක.

ඉංග්‍රීසි භාෂාව තුළ “හිස්බව” නමැති වදනට අදාළ වචනයෙන් වඩාත් පොදුවේ හැඳින්වෙන ශූන්‍යතාවය (සංස්කෘත - ශුන්‍යතා) යනු බුදුරජාණන් වහන්සේ විසින් ලබාගත් ප්‍රධාන විදර්ශනාවන් අතරින් එකකි. ජීවිතයේ සෑම දෙනෙකුම සතු ගැටළුවල ගැඹුරුම මූලය වූකලි ඔවුන්, අන්‍යයන් හා සෑම දෙයක්ම පවත්නා ආකාරය කවරක්ද යන්න බව බුදුන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලදී. ඔවුන්ගේ සිත් මගින් සෑම දෙයක් මතම පැවැත්මේ නොසිදුවිය හැකි ආකාරයක් ප්‍රක්ෂේපණය කරනු ලබයි. තමා විසින් ප්‍රක්ෂේපණය කරන දෙය යථාර්ථවාදී නොවන්නේය යන්න නොදැනුවත්ව, පුද්ගලයෝ මෝහයෙන් තමා කෙරෙහිම ගැටළු හා දුක් නිර්මාණය කරති. නිදසුනක් ලෙස, අප පරාජිතයන් බවත් කවරක් සිදු කළද අපට කිසි විටෙකුදු ජීවිතයේ සාර්ථකත්වයක් අත් කරගත නොහැකි බවට වූ ප්‍රක්ෂේපණයක් අප මතම ආරෝපණය කළ හොත්, අඩු ස්වයං ඇගයීම් තත්ත්වයකින් අප මානසික අවපීඩනයකට පත්වනු පමණක් නොව, ආත්ම විශ්වාසය බිඳී අපගේ දෛවය යහපත් අතට හැරවීම සඳහා කරන උත්සාහය පවා අත් හළ හැක. ජීවිතයේ පහත් තත්ත්වයකට අප විසින්ම ඇද වැටෙන්නෙමු.

ශූන්‍යතාවය යනු අප නෛසර්ගිකව ප්‍රක්ෂේපණය කරන දෙය හා අනුගත වන්නාවූ සැබෑ පැවතුම් විධියක් නොමැති පූර්ණ වියුක්තියකි. අපගේ සිතිවිලි පිළිබඳ මනෝ ලෝකය යථාර්ථය බවට විශ්වාස කිරීමේ පුරුද්දක් අප තුළට කාවද්දාගෙන ඇති බැවින් ඒවා බලහත්කාරී ලෙස ප්‍රක්ෂේපණය කරන්නෙමු. නිදසුනක් ලෙස “පරාජිතයා” යනු හුදෙක් වදනක් හා සංකල්පයක් වේ. “පරාජිතයෙකු” පිළිබඳ සංකල්පයක් අප මතට ලේබල්ගත කොට අපවම “පරාජිතයා” යන වදනින් හෝ නමින් හඳුන්වන විටදී, මේවා හුදෙක් සම්මුතීන් පමණක් බව අවබෝධ කරගත යුතු වේ. අපි අපගේ ජීවිත තුළ බොහෝ වරක් අසමත් වූයේය යන්න නිවැරදි විය හැකි අතර, ඇතැම් විට අප සැබැවින්ම පරාජය වන්නන්ද විය හැක. එසේ නමුදු, සර්ව සම්පූර්ණතාවාදී දෘෂ්ටි කෝණයකින් අපට අප පරාජිතයන් වශයෙන් දැනෙනුයේ අප එතරම් සාර්ථක අය නොවන බැවිනි. ඒ අවස්ථා දෙකේදීම අපගේ සාර්ථකත්වයන් හා අසාර්ථකත්වයන්ට අමතරව වෙනත් බොහෝ දේද අපගේ ජීවිත තුළ සිදුවී ඇත. එසේ වුවද, පරාජිතයෙකුය යන ලේබලය අප මතම අලවා ගැනීම තුළ “පරාජිතයන්” සම්බන්ධ කොටුවක් තුළට අප විසින්ම අප ගාල් කරනු ලැබ මෙම පෙට්ටියේ සිටින අයෙකු ලෙස අප සැබෑ ලෙසම පවත්නා බවට විශ්වාස කරන්නෙමු. සත්‍ය වශයෙන්ම, මෙම පෙට්ටිය තුළ අපගේ පැවැත්ම නිශ්චිතවම තහවුරු කෙරෙන පරිදි අප තුළ නෛසර්ගිකවම වැරදි හෝ අයහපත් දෙයක් පවත්නා බවට වූ සිතිවිල්ලක් ඇතිකර ගන්නෙමු. අප විසින් සිදුකරන ලද අන් කවරකගෙන් හෝ වෙනයම් පුද්ගලයෙකු සිතන දෙයකින් ස්වාධීනව මෙම පෙට්ටිය තුළ අප පවත්නා බවක් එමගින් තහවුරු වේ.

පරාජිතයන්ගේ කුටිය තුළ සිරවූ හා එහි සිටිය යුතුවූ අයෙකු ලෙස වූ මෙම පැවතුම් විධිය වූකලි මුළුමනින්ම මනහ්කල්පිතයකි. එය සැබෑ වූ කිසිවක් හා අනුගත නොවේ. කිසිවෙකුට හෝ කුටියක් තුළ සිරවූ පැවැත්මක් නොමැත. පරාජිතයෙකු ලෙස වූ අපගේ පැවැත්ම ඉස්මතුව ඇත්තේ අප විසින් අප මතම යොදවන ලද හුදු සංකල්පයක් හා නාමයක් මත රඳා පවතිමිනි. ඒවා යමෙකුට සුදුසු හා අදාළ විය හැක. නිදසුනක් ලෙස, ඔවුන් කාඩ්පත් සෙල්ලමකින් පරාජය වන විටදී, එම අවස්ථාව තුළ සම්මුතිකව ඔවුහූ පරාජිතයෝ වෙති. එනමුදු කිසිවෙකු හෝ සත්‍ය වශයෙන්ම පරාජිතයෙකු නොවන බැවින් කිසි දින ජයගත නොහැකි වූ නෛසර්ගිකවම පරාජිතයෙකු ලෙස නොපවතී.

පරාජිතයෙකු වශයෙන් අපගේ සැබෑ පැවැත්මේ ශූන්‍යතාවය අවබෝධ කරගත් විටදී මෙයාකාරයේ පැවැත්මක් නොමැත්තේය යන්න අපට වැටහේ. එය යථාර්ථය හා අනුගත නොවේ. අප සැබෑ පරාජිතයන්ය යන හැඟීම, යම් කාර්යයකදී යම් විටෙක අපට අත් වැරදීම් සිදුව ඇති බැවින් අප විසින් අපටම ආරෝපණය කරන “පරාජිතයා” යන සංකල්පය හා වදන මගින් පමණි වලංගු එකක් බවට පත්කළ හැක්කේ. එසේ වුවද, අප සදාකාලික පරාජිතයන් විනා අන් කවරෙකු හෝ නොවන තත්ත්වයකට පත් කරන්නාවූ ස්වායත්ථ බලයක් සහිත වූ කිසිදු වරදක් අප තුළ නොපවතී. ඒ අනුව ශූන්‍යතාවය යනු මෙකී නොපැවතිය හැකි පැවැතුම් ආකාරයේ සම්පූර්ණ වියුක්තියයි. අතීතයේදී, වර්තමානයේදී හා අනාගතයේදී එයාකාරයෙන් කිසිවෙකුට හෝ පැවතිය නොහැක.

අපට අපගේ මනහ්කල්පිතයන් කඩා බිඳ දමමින් ඒවා පිළිබඳ විශ්වාස කිරීම නවතාලීමට හැකිවීම සඳහා ශූන්‍යතාවය පිළිබඳ සුවිසල් හුරුවක් පැවතිය යුතුවේ. නොපසුබස්නා උත්සාහයෙන් ශූන්‍යතා භාවනාවෙහි නියැළෙන්නේ නම්, අප විසින් අපවම පරාජිතයෙකු ලෙස නම් කරන අවස්ථාවේදී මෙය විකාර සහගත අදහසක් බව අවබෝධ කරගනිමින් අපගේ මනෝ ලෝකය පලවා හරින්නෙමු. අවසන, අපට මෙම පුරුද්ද බිඳ දමා ඉන්පසු කිසිදින අප පිළිබඳවම පරාජිතයන් ලෙස නොසිතීමේ හැකියාව අත්කරගත හැක.

සාරාංශය

කිසිවක් හෝ සිදුවිය නොහැකි ආකාරයෙන් නොපැවතිය හැකි බැවින්ම, කිසිවක් නොපවත්නා බවක් ඉන් නොඇඟවේ. ශූන්‍යතාවය විසින් ස්වයං සිද්ධ නෛසර්ගික පැවැත්මක් වැනි නොසිදුවිය හැකි පැවතුම් ආකාරයන් පමණක් ප්‍රතික්ෂේප කෙරේ. වචන හා සංකල්පමය සම්මුතීන් හා අනුගතව දේවල් “මෙය” හෝ “එය” වශයෙන් පවත්නේය යන්න එමගින් ප්‍රතික්ෂේප නොකෙරේ.

Top