සිව්වන ආර්ය සත්‍යය: සැබෑ මාවත

සැබෑ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන්ම නිරුද්ධ වීම පිණිස හේතුවන සත්‍ය මාර්ගය නම් සංකල්පීය නොවන ශූන්‍යතා සංජානනයයි. ශූන්‍යතාවය (හිස් බව) යනු අප, අන්‍යයන් සහ සියලු සංසිද්ධීන් පවතින ආකාරය පිළිබඳව අප ව්‍යාජ ලෙස සිතන දෙයට අනුරූප කිසිවක් කිසිසේත් නොපවත්නා බවයි. සැබෑ නිරෝධය කරා යොමුවූ මාර්ගයක් ලෙස ක්‍රියාත්මක වන්නේය යන අදහසින් ශූන්‍යතාවය පිළිබඳ සංකල්පීය නොවන සංජානනය යනු සත්‍ය මාර්ග සිතකි.

පළමු ආර්ය සත්‍ය තුන

අප සියලු දෙනා මුහුණ දෙන සැබෑ දුක්ඛිත තත්ත්වය නම්, අසතුට හා අතෘප්තිකර සතුටේ උඩු යටිකුරු වීම හෙවත් පෙරළීම මෙන්ම ඒවා අත්විඳින සීමිත කය සහ මනස නැවත නැවතත් පවත්වාගෙන යාම බව බුදුන් වහන්සේ වදාළ සේක. එයට සැබෑ හේතු වන්නේ අප සහ මෙම හැඟීම් පවතින ආකාරය පිළිබඳ අපගේ නොදැනුවත්කම (මෝහය) ය. අපි ඒවා - නිදසුනක් වශයෙන්, ස්වයං පාලිත සංයුක්ත ආයතන ලෙස -  සිදු නොවිය හැකි ආකාරයන්ගෙන් පවතින බව ප්‍රක්ෂේපණය කරන අතර ඒවා අපට පෙනෙන මෙම රැවටිලිකාර ආකාරය ඒවා සැබවින්ම පවතින ආකාරය හා අනුරූප වන බව විශ්වාස කරමු. මෙම වැරදි අවබෝධය මගින් කලබලකාරී චිත්තවේගයන් අවුලුවනු ලබයි, ඒ හේතුවෙන් අප තුළ “තමා” යැයි අප සිතන දේ ප්‍රකාශ කිරීමට හෝ ආරක්ෂා කිරීමට බලවත් කර්ම පෙළඹවීමක් ඇති කරයි, නමුත් ඒවා හුදෙක් මිථ්‍යාවන් වේ. මෙම වැරදි වැටහීම මගින්, අප මිය යන මොහොතේ, සීමා සහිත ශරීරයක් සහ සීමිත මනසක් සහිතව පාලනයකින් තොරව නැවත නැවත ඉපදීම (සංසාරය) ද ඇති කරවනු ලබයි.

කෙසේ වෙතත්, මෙම සත්‍ය හේතූන් මුළිනුපුටා දැමිය හැකි බවත්, එමඟින් මෙම සැබෑ දුක් නැවත කිසි දිනෙක ඇති නොවන බවත් බුදුන් වහන්සේ අවබෝධ කර වදාළ සේක. සතරවන ආර්ය සත්‍යය තුළ එවැනි සත්‍ය නිරෝධයක් ඇති කරන සැබෑ ප්‍රතිවිරෝධය ගැන සැලකිලිමත් වේ.

නිවැරදි වැටහීම සදාකාලිකව මෝහය මුළිනුපුටා දැමීමේ සැබෑ මාර්ගයයි 

සාමාන්‍යයෙන්, අසතුටක්, තෘප්තිමත් නොවන සතුටක් හෝ කිසිවක් නැති බවක් අප අත්විඳින විට, එය සදහටම පවතිනු ඇතැයි සිතමින් අපි එයින් අසාමාන්‍ය හා සංයුක්ත, ස්පර්ශනීය දෙයක් සාදන්නෙමු,. එහෙත්, ඇත්ත වශයෙන්ම, අප අත්විඳින ඕනෑම හැඟීමක් තුළ විශේෂ වූ කිසිවක් නොමැත - ඒවා සියල්ලම අස්ථායී සහ අනිත්‍ය වේ. ඒවා පවතින තාක් ඒවාහි තීව්‍රතාවය නොකඩවා වෙනස් වන අතර අවසානයේදී ඒවා සියල්ලම ස්වභාවිකවම අවසන් වනු ඇත. ඒ කාරණය නොදැන ඊට ප්‍රතිවිරුද්ධ දේ සිතමින්, “මට කවදාවත් මේ සතුටෙන් වෙන් වෙන්න එපා. ඒක හරිම අපූරුයි” හෝ "මට මේ අසතුටින් වෙන් වෙන්න ඕන; එය ඉතා භයානක ය, මට එය දරාගත නොහැක" හෝ "මට මෙම කිසිවක් නොමැති බවට වූ හැඟීම කිසි විටෙකත් පහත නොවැටීමට අවශ්‍යයි; එය එතරම් සහනයක්” යනුවෙන් මහ හඬින් හඬ නගන අපේ හිස් තුළ ඇති ඒ හඬට අපි රැවෙටෙමු.  "මා" මත මෙලෙසින් ඇලී සිටීම සහ "මම" යම් නිශ්චිත වස්තුවක් බවට කෙරෙන පුම්බාලීම මගින් බාධාකාරී හැඟීම් සහ බලහත්කාර හැසිරීම් අවුලුවාලන අතර, අපගේ සැබෑ දුක සදාකාලික කරයි.

ශරීරයෙන් සහ මනසකින් ස්වායත්ත වූ සහ ඔබේ හිසෙහි හඬේ කතුවරයා වන ස්වයං අන්තර්ගත වූ "මම" යනුවෙන් හඳුන්වනු ලබන යම් ආකාරයක සංයුක්ත වස්තුවක් ලෙස ඔබ සිටින්නේ යැයි ඔබ සිතන්නේ මන්ද යන කරුණ ඔබෙන්ම විමසන්න.  “එහෙම දැනෙන නිසාත්, මට එහෙම හිතෙන නිසාත්” යැයි ඔබ ප්‍රකාශ කරන්නේ නම්, “මම එසේ සිතන නිසා” යන්න යමක් විශ්වාස කිරීමට තරම් යහපත් හේතුවක් වේද? හුදෙක් "මම එසේ සිතන නිසා" යන කරුණ මත පදනම්ව, විශේෂයෙන්ම අප ගැන, මනෝ ලෝකයේ යම් ප්‍රක්ෂේපණයක් විශ්වාස කරන විට, අපට ඒ ගැන අනාරක්ෂිත බවක් දැනෙන්නේ ඇයි? ඒ අපේ අවිශ්වාසයට පිටුබලය දෙන කිසිවක් නැති නිසා ය; එයට කරුණු හෝ හේතු යන දෙකරුණෙහිම පිටුබලය නොලැබේ.

සැබෑ කාරණය නම්, යමක් දකින විට, ඇසෙන විට, සුවඳ, රස විඳින විට, ශාරීරිකව දැනෙන විට හෝ සිතන විට අපට අත්විඳිය හැකි සතුටක්, අසතුටක් හෝ කිසිවක් පිළිබඳ විශේෂ කිසිවක් නොමැති බව ය. ඒ කිසිවක් තුළ හෝ ග්‍රහණය කරගැනීමට තරම් දෙයක් නොපවතී. ඔවුන් ග්‍රහණය කර ගැනීම වලාකුළක් අල්ලා ගැනීමට උත්සාහ කිරීම හා සමානයි - එය සම්පූර්ණයෙන්ම නිෂ්ඵල දෙයකි. ඒ වගේම "මම" සහ මට ඕනෑම මොහොතක දැනෙන දේ විෂයයෙහිද කිසිදු විශේෂත්වයක් නොමැත. සෑම විටම තමාට අවශ්‍ය ලෙසම කටයුතු සිදුවිය යුතුයැයි සිතන, අපගේ හිස තුළ කතා කරන යම් ආකාරයක ස්වයං අන්තර්ගත සංයුක්ත ආයතනයක් ලෙස වූ පැවැත්මක් අපට නොපවතී. අපි පවතිමු. එනමුත් එසේ වනුයේ හුදෙක් අපට එසේ දැනෙන නිසා හෝ “මා එසේ සිතන” නිසා පමණක් අප සිටින්නේය යනුවෙන් අදහස් කරන හා විශ්වාස කරන, නොසිදුවිය හැකි ආකාරයන්ගෙන් නොවේ.

මෙම වැරදි වැටහීම සහ අප ගැන ඇති ව්‍යාකූල විශ්වාසයෙන් මිදීමට අපට ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරන්නාවූ විරුද්ධවාදියෙකු අවශ්‍ය වේ. අපගේ මනස සන්සුන් කර, එසේ සිතීම නැවැත්වීමෙන් අපගේ ව්‍යාකූලත්වය තාවකාලිකව යටපත් කළ හැකි නමුත් එමගින් නැවත එය ඇතිවීම වැළකීමක් සිදු නොවේ. අපගේ සැබෑ ගැටලුවලට මෙම සැබෑ හේතුවේ සැබෑ විරාමයක් සාක්ෂාත් කර ගැනීම සඳහා සැබෑ මාර්ග චිත්තය, එසේ නම්, අපගේ නොදැනුවත්කමට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවිරුද්ධ මානසික තත්ත්වයක් විය යුතුය. නොදැනුවත්කමේ ප්‍රතිවිරුද්ධ දෙය නම් දැනුවත්භාවයයි. එබැවින්, අපට අවශ්‍ය දැනුවත්භාවය කුමක්ද?, අපි යම් ආකාරයක ස්වයං අන්තර්ගත වස්තුවක් ලෙස පවතින්නේය යන වැරදි වැටහීම තුරන් කරනුයේ එවැන්නක් නොමැති සංකල්පීය නොවන සංජානනයයි - එහි ශුන්‍යතාවය පිළිබඳ සංකල්පීය නොවන සංජානනය මිස නිවැරදි ලෙස හෝ වේවා අප තුළ ඒ කෙරෙහි පවත්නා යම් අදහසක් හරහා ශුන්‍යතාවය පිළිබඳ සංකල්පමය අවධානයක් යොමු කිරීම තුළ නොවේ. අප විසින් සාවද්‍ය ලෙස සත්‍ය සේ විශ්වාස කළ දෙය යථාර්ථය හා අනුගත නොවන්නේය යන තර්කණය හා සංකල්පීය නොවන අත්දැකීම මත පදනම් වූ දැනුවත්භාවය මගින් “මා එසේ සිතන බැවින්” යන මතය හා මෙය අසත්‍යය යන්න පිළිබඳ පවත්නා නොදැනුවත්භාවයද මත පමණක් පදනම් වෙමින් එය යථාර්ථය හා අනුගත වන්නේය යන සාවද්‍ය විශ්වාසය මුළිනුපුටා දමනු ලබයි. නැඹුරුතාවයන් හා නොදැනුවත්භාවය පිළිබඳ ගති පුරුදු ගැඹුරින් මුල්බැසගෙන ඇති බැවින්, ඒවා මුළිනුපුටා දැමීම කොටස් වශයෙන් හා අදියර වශයෙන් ක්‍රමානුකූලව සිදුවේ.

සැබෑ මාර්ගයක පැතිකඩ සතර

ශුන්‍යතාවය පිළිබඳ අසංකල්පීය සංජානනය සමගින් පවත්නා වෙන්කොට සැළකීමේ දැනුවත්භාවය (ප්‍රඥාව) තුළින් සැබෑ මාර්ගය වටහාගත හැකි බව බුදුන් වහන්සේ විසින් විස්තර කරන ලදී. මෙම චෛතසිකය මගින් සාවද්‍ය දෙයින් සත්‍ය දෙය වෙන්කොට දක්වනු ලබයි.

  • පළමුව, මෙම යෝනිසෝ මනසිකාරය හෙවත් වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය නොදැනුවත්භාවය පිළිබඳ විවිධ මට්ටම් මුළිනුපුටා දමමින් මුළුමනින්ම නිරෝධයට පත් කිරීමට ක්‍රමිකව යොමු කරන්නාවූ මාර්ග චිත්තයක්ය යන කරුණයි. ආරම්භක වශයෙන්, එය විසින් පොදුවේ අපගේ දෙමව්පියන් හා සමාජය විසින් අප තුළ මුල් බස්සවා ඇති ආකාරයේ වෙනස් වූ විශ්වාස හා වටිනාකම් පද්ධතියක් ඉගෙන පිළිගැනීම මත පදනම් වූ නොදැනුවත්භාවයෙන් හා ව්‍යාකූලත්වයෙන් අප මුදවාලනු ලබයි. වෙළඳ දැන්වීම් හා සමාජ මාධ්‍ය මගින් ඇතිකළ දෙයද එයට ඇතුළත් වේ.

    සමාජ මාධ්‍ය තුළ, අන් අය ඉතා සතුටින් සිටින ස්වරූපයක්, යහපත් සමයක් ගත කරන බවක් පෙනෙන විටදී එමගින් ඔබ පෙනී සිටිය යුතු ආකාරය හා ඔබගේ ජීවිතය පැවතිය යුතු ආකාරය සම්බන්ධයෙන් වූ ඔබගේ සංකල්පයට එමගින් ඇතිවන බලපෑම කවරේද? එමගින් ඔබට ඔබ පිළිබඳ යහපත් හැඟීමක් හෝ අයහපත් හැඟීමක් ඇති කරවන්නේද? එම පෝස්ටු හෙවත් සමාජ මාධ්‍ය අදහස් තුළ සැබෑ ජීවිතය පිළිබිඹු නොකරන බවට වූ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය යනු ඒවා මගින් එවැන්නක් පිළිබිඹු කරන්නේය යන අවිශ්වාසයෙන් සදාකාලිකව නිදහස් වීමේ මාර්ගයකි. එහි ප්‍රතිඵලයක් ලෙස, අප ඒවා සමගින් අපගේ ජීවිත සසඳමින් එවැන්නෙකු වීමට ආශාවක් ඇතිකර ගන්නා විටදී එම සාවද්‍ය විශ්වාසය මගින් ඇති කරවන්නාවූ අසතුට හා මානසික අවපාතයෙන් සදාකාලිකව මිදෙන්නෙමු.

    මෙම පළමු පියවරෙන් ඔබ්බට, ‘ආර්ය’ තත්ත්වය හෙවත් වැඩිදුර වැටහීමක් සහිතව ඉහළ අවබෝධයක් සහිත වූවන්ගේ තත්ත්වයට පත්වන විට, මෙම වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය මගින් නිදසුනක් ලෙස අපගේ හිස් තුළ නිරන්තරයෙන්ම පාහේ නැගෙන හඬට පිටුපසින් “මම” නමැති දැඩි ස්වරූපයේ සොයාගත හැකි, අස්ථිත්වයක් පවත්නේය යන සිතිවිල්ලක් පවත්වා ගැනීමෙන් ඇතිවන ස්වභාවිකවම ඉස්මතුවන දැනුවත්භාවයෙන් පියවරින් පියවර අප නිදහස් කරවනු ලබයි. අපි විමුක්තිය ලබන අතර අවසන පූර්ණාවබෝධයද ලබමු. ශුන්‍යත්වය පිළිබඳ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය විසින් අපගේ සැබෑ දුක්වලට පාදක වන මෙම සැබෑ හේතුවලින් අප නිදහස් කරවන්නේය යන කරුණ වටහා ගන්නා විටදී, ඒවායින් විමුක්තිය ලැබීමේ කිසිදු විධික්‍රමයක් නොමැත්තේය යන අනවබෝධය තුරන් වේ.
  • දෙවනුව, ‘මා’ යනුවෙන් හැඳින්විය හැකි ස්වයං-සංයුක්ත, දැඩි අස්ථිත්වයක් නොපවත්නේය යන වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය යනු දෙයක් පවත්නේය යන අවිශ්වාසය හා නොදැනුවත්භාවය සදාකාලිකවම මුළිනුපුටා දැමීමේ යෝග්‍ය විධික්‍රමය වේ. මක් නිසාද, එය අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකින් වෙන්වූ විරුද්ධ අංශය වන බැවිනි. ඔබට එවැන්නක් පවතින්නේය හා නොපවතින්නේය යන විශ්වාසයන් දෙකම එකවර පවත්වාගත නොහැක. මෙම අදහස තුළ මෙම වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය යනු සැබෑ නිරෝධය සාක්ෂාත් කරගැනීමෙ නුසුදුසු විධික්‍රමයක්ය යන සාවද්‍ය සංකල්පය මුලිනුපුටා දමනු ලබයි.
  • තෙවනුව, ශුන්‍යතාවය පිළිබඳ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය යනු ආර්යයෙකු, රහතන් වහන්සේ නමක හා සර්වඥයන් වහන්සේ කෙනෙකු බවට අදියරෙන් අදියර පත්වීමේ තත්ත්වය සාක්ෂාත් කරගැනීමේ විධික්‍රමය වේ. මෙමගින් සමාධියේ ගැඹුරු තත්ත්වයන් සාක්ෂාත් කරගැනීම යනු මෙම සාර්ථකත්වයන් සාක්ෂාත් කරගැනීමේ විධික්‍රමය වන්නේ යන සාවද්‍ය සංකල්පනාව නිෂ්ප්‍රමාණ කරනු ලබයි.
  • අවසන, මෙම වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය යනු අපගේ අර්හත්වය හා බුද්ධත්වය වළකාලන කැළඹිලිකාරී භාවයන් හෙවත් කෙලෙස් මෙන්ම ඒ ආශ්‍රිත නැඹුරුතාවයන් හා පුරුදුද සදාකාලිකවම ඉවත් කිරීමේ නිශ්චිත තත්ත්වය සාක්ෂාත් කරගැනීමේ විධික්‍රමය වේ. මෙමගින් මේවා අපගේ සිත්වල ස්වභාවයේ කොටස් වන අතර කිසි දින මුළුමනින්ම ඉවත් කළ නොහැක්කේය යන සාවද්‍ය සංකල්පනාව ඛන්ඩනය කරනු ලබයි.

සාරාංශය

වෙන්කොට සැලකීමේ දැනුවත්භාවය සමගින් විමසා බලන ලද ශුන්‍යතාවය පිළිබඳ අසංකල්පීය සංජානනයට අදාළ සැබෑ මාර්ගය යනු අපගේ සැබෑ දුක්වල සැබෑ හේතූන් විනාශ කරන්නාවූ ප්‍රතිවාදියා වේ. සාක්ෂාත් කරගත් පසු මෙම මාර්ග චිත්තය විසින් ජීවිතයෙන් ජීවිතයට නොකඩවා පාලනයකින් තොරව ඉස්මතුවන දුක්වලට සදාකාලිකත්වයක් ලබාදීමේ සැබෑ හේතුවන නොදැනුවත්භාවය හා සාවද්‍ය විශ්වාසයන්ගෙන්ද අදියරෙන් අදියර සදාකාලික නිදහසක් අප වෙත ලබාදෙනු ලබයි. එවන් මාර්ග චිත්තයක් සාක්ෂාත් කරගැනීම අපට සාක්ෂාත් කරගැනීමට උත්සාහ කළ යුතුව පවත්නා වඩාත් වටිනා සම්පත නොවන්නේද?

Top