මාර්ග තදබදයට හසුවී සිටින විටදී ශූන්‍යතාවය යොදාගැනීම

ශූන්‍යතාවය හෝ හිස්බව යන්නෙන් අදහස් කෙරෙනුයේ පැවැත්ම හා සම්බන්ධව සිදු නොවිය හැකි තත්ත්වයන්හි පූර්ණ වියුක්තියයි. කිසිවකට හෝ අන් කිසිවක් මත රඳා නොපවතිමින් ස්වායත්ථව, සිය බලයෙන්ම, ස්ථාපිතව පැවතිය නොහැක. එය සිදු නොවිය හැක්කකි. නිදසුනක් ලෙස, ශූන්‍යතාවය පිළිබඳ වැටහීමක් සහිතව මෝඩයෙකු ලෙස නෛසර්ගික පැවැත්මක් සහිත අයෙකු ලෙස වූ වංචනික දර්ශනය කැබලිවලට කඩා බලන විටදී, මෝඩයෙකු වීම යන්න සම්පූර්ණයෙන්ම මෝඩයා යන සංකල්පය හා මානසික ලේබලය මත රඳා පවත්නක් බව අවබෝධ කරගන්නෙමු. මෙම වැටහීම මගින් වෙනත් අයෙකු සිය වාහනයේ නලාව නොකඩවා හඬවමින් මාර්ගයේ වූ අපගේ වාහනය පසු කරමින් යාමට උත්සාහ කරන විටදී කෝප නොවී සිටීමට අපට උපකාරයක් ලැබේ.

නොදැනුවත්භාවය

බුද්ධ දේශනා චතුරාර්ය සත්‍යය මත පදනම් වේ.  මේවා වූකලි "ආර්යයන් වහන්සේලා" ලෙස හඳුන්වනු ලබන උසස් අවබෝධයක් ලද උත්තමයන් වහන්සේලා විසින් සත්‍ය සේ දකිනු ලබන කරුණු සතරකි. මේවා තුළ මූලිකව, පහත කරුණු අන්තර්ගත වේ:

  1. අපි සියලු දෙනා ජීවිතයේ ගැටළුවලට මුහුණ දෙන්නෙමු;
  2. මෙම ගැටළු හේතු මගින් පැන නගී;
  3. ගැටළු නැවත කිසිදින ඉස්මතු නොවන පරිදි සම්පූර්ණයෙන් නවතාලිය හැක;
  4. ගැටළුවල හේතුව මුලිනුපුටා දමන්නාවූ වැටහීමක් මගින් එවන් නැවතුමක් හෙවත් නිරෝධයක් අත් කරගත හැක.

ගැටළුවල ගැඹුරුම හේතුව පිළිබඳව කථා කරන විටදී, එය සාමාන්‍යයෙන් "මෝහය" ලෙස පරිවර්තනය කෙරෙන දෙය හා සම්බන්ධ වේ. මේ සඳහා "නොදැනුවත්භාවය" යන්න වඩාත් යහපත් වේ. "මෝහය" යන්නෙන් ඔබ අඥානයෙකු බව අඟවන බැවින් එය එතරම් යහපත් වචනයක් නොවේ. එමගින් අප අඥාන බවක් අදහස් නොකරයි.

නොදැනුවත්භාවයේ එකිනෙකට වෙනස් ස්වරූප දෙකක් පවතී. එ් එකක් තුළින් අපගේ චර්යාවට අදාල හේතුව හා ඵලය පිළිබඳ නොදැනුවත්ව සිටින්නෙමු. එනම්, පාප ක්‍රියාවක් සිදු කළහොත් එමගින් ගැටලු ඇති කරනු ඇත ආදී වශයෙනි. වඩාත් ගැඹුරු මට්ටමකදී, අපි යථාර්ථය පිළිබඳ නොදැනුවත්භාවය සම්බන්ධයෙන් කථා කරන්නෙමු. මෙහිදී  "ස්වයං -සිද්ධ පැවැත්මක්" ලෙස පරිවර්තනය කළ හැකි, නෛසර්ගික පැවැත්මක් සහිතව දේවල් පවත්නා බවට සිතීමේ පුරුද්දක් අප තුළ ඇත. මෙය නෛසර්ගික පැවැත්ම ග්‍රහණය කරගැනීමේ පුරුද්දයි. මෙම පුරුද්ද හේතුකොට, ස්වයංක්‍රීයවම සෑම අවස්ථාවකදීම අපගේ සිත තුළින් දේවල් නෛසර්ගික පැවැත්මක් ඇතිවා සේ පෙන්වනු ලබයි. මෙමගින් අදහස් කරනුයේ අන් කිසිවක් මත රඳා නොපවතිමින් දේවල් පෙනෙන අයුරින් ස්ථාපනය කිරීම සඳහා සිය බලය තුළින්ම ක්‍රියාත්මක වන දෙයක් එ්වාහි පසෙකින් පවත්නාක් සේ පෙනෙන බවයි. පැවැත්ම පිළිබඳ මෙම විධික්‍රමය කිසිදු යථාර්ථවාදී දෙයකට අනුගත නොවන්නේය යන කරුණ පිළිබඳ නොදැනුවත්වම අපි දේවල් සත්‍ය වශයෙන්ම මෙලෙස පවත්නා බව සිතමු.

එය වටහා ගැනීම පහසු නැත. මෙමගින් සාකච්ඡා කෙරෙන දෙය පහත සඳහන් නිදසුනින් නිරූපණය කරමු. අපි අපගේ මෝටර් රථය පදවාගෙන යන අතර පසුපසින් අප පසුකරගෙන යාම සඳහා සිය රථයේ නලාව හඬවන්නෙකු වේ. අපට මෙම පුද්ගලයා දිස් වනුයේ කෙසේද? මෙම පුද්ගලයා අප පසුකර යාමට උත්සාහ කරන මෝඩයෙකු සේ පෙනේ. මෙම පුද්ගලයා තුළ නෛසර්ගික අඥාන ස්වභාවයක් පවත්නා බවක් පෙනේ; ඔහු අන් කිසිවක් හා නොරඳමින් ඔහුගේ පාර්ශ්වයෙන්ම මෝඩයෙකු සේ තහවුරුව ඇති බව පෙනේ. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, මෙම පුද්ගලයා තුළ පැහැදිලිවම යම්කිසි දෝෂ තත්ත්වයක් ඇත. මේ පුද්ගලයා අපට පෙනෙන්නේ කෙසේද? අප පසුකර යාමට උත්සාහ කරන මෝඩ පුද්ගලයෙකු ලෙසය. මෙම පුද්ගලයා නෛසර්ගිකවම මෝඩයෙකුව පවතින්නෙකු සේ පෙනේ; අන් සියලු දෙයින් ස්වායත්ථව තම පාර්ශ්වයෙන් මෝඩයෙකු සේ ස්ථාපිතව ඇති බවක් පෙනේ. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, මා පසුකර යාමේ අදහසින් සිය නලාව නොකඩවා නාද කරන සැබෑ මෝඩයෙකු බවට ඔහු පත් කරන්නාවු යම් දෝෂ තත්ත්වයක් පැහැදිලිවම මෙම පුද්ගලයා තුළ ඇත. අපට නලාව නද දෙනු ඇසේ, පුද්ගලයාද පෙනෙන අතර ස්වයංක්‍රීයවම "අනේ මෝඩයා" යන සිතිවිල්ල ඇතිවේ. එම පුද්ගලයා එවැන්නෙකු සේ පෙනෙන අතර, මෙම පෙනීම යථාර්ථවාදී බවට අපි විශ්වාස කරන්නෙමු: මොහු සත්‍ය වශයෙන්ම මෝඩයෙකි.

ශූන්‍යතාවය (හිස්බව) විසින් අවලංගු කරනුයේ කවරක්ද?

මෙම පුද්ගලයා මෝඩයෙකු සේ පවතින බවක් සංකල්පීයව වැටහෙන ලෙස සංකල්පීයව ඇඟවෙන වස්තුව කවරක්ද? වැටහීමේ සංකල්පීයව ඇඟවෙන වස්තුව වනුයේ සැබෑ ලෙසම මෝඩයෙකු ලෙස පවත්නා පුද්ගලයාය; සැබැවින්ම මෝටර් රථයේ නෛසර්ගික මෝඩයෙකු සිටී. මෙම පෙනීමෙන් හා මෙයාකාරයෙන් අප විසින් එය අපගේ සිතට ගැනීමෙන් ඇඟවෙනුයේ එයයි. නිදසුනක් ලෙස, අනෙක් කාමරයේ යමෙකු සිටින බව මා සිතන්නේ නම්, එහිදී සංකල්පීයව ඇඟවෙන වස්තුව වනුයේ අනෙක් කාමරයේ සිටින අයයි; යථාර්ථය තුළ අපගේ සිතිවිල්ල අනුගත වන ආකාරය එයයි. "සංකල්පීයව ඇඟවෙන වස්තුව" යන්න මාධ්‍යමක හෙවත් මැද මාවත අධ්‍යයනයන්හි ඉතා වැදගත් වූ තාක්ෂණික වදනක් වේ.

ඕනෑම සංකල්පීය වැටහීමක් තුළ බොහෝ වස්තූන් අන්තර්ගතය. සංකල්පීයව ඇඟවෙන වස්තුවක් සදහා යෙදෙන ටිබෙට් වචනය වන "ෂෙන්-යුල්" යන්නෙහි "ෂෙන්" යන කොටස "ඇලෙනවා" යන අර්ථය දෙන ක්‍රියා පදයක් ලෙසද "ෂෙන්-පා" ලෙස නාම ස්වරූපයෙන් යෙදුවහොත් චතුර්විධ ඇලීම්වලින් වෙන්ව යාම පිළිබඳ දේශනා ඇතුළත් සාක්‍ය දේශනාවන්හි "ඇලීම" යන අරුත දෙන නාම පදයක් ලෙසද යෙදිය හැක. සංකල්පීය වැටහීම තුළ පෙනී යන දෙයට අනුකූලවන යම් සැබෑ දෙයකට එය සම්බන්ධ වන්නේය යන අදහසිනි එය ඇලී පවතින බව ප්‍රකාශ කරන්නේ. ස්වයං-ස්ථාපිත නෛසර්ගික පැවැත්මක් ග්‍රහණය කොටගෙන සිටීමක් ඇති විටදී, යමක් පවත්නා බවට පෙනී යන ආකාරය යථාර්ථය හා අනුගත වන්නේය යන උපකල්පනය ඉන් ඇඟවේ. අපගේ නිදසුන තුළ, අනෙක් මෝටර් රථයේ සිට නලාව හඬවන පුද්ගලයා නෛසර්ගිකවම මෝඩයෙකු සේ වූ පැවැත්මක් සහිත අයෙකු ලෙස අපි සංකල්පීයකරණයක නරන්නෙමු. එම සංකල්පීයකරණය හේතුකොට, එහි මෝඩයෙකු සිටින ආකාරයක් අපට පෙනෙන අතර, එ් අනුව එහි සැබෑ ලෙසම මෝඩයෙකු සිටින බවට උපකල්පනය කරන්නෙමු; එනම්, අපි අපගේ චිත්ත ප්‍රක්ෂේපණය විශ්වාස කරන බවයි. මෙම වැටහීම හා පෙනීම තුළ සංකල්පීය ලෙස ඇඟවෙනුයේ එම මෝටර් රථයේ සැබෑ මෝඩයෙකු සිටින බවයි.

ශූන්‍යතාවය (හිස්බව) යනු යමක් නොමැති තත්ත්වයකි; එහි යම් කිසිවක් නොපවතී. මෙම උදාහරණය තුළදී මුළුමනින්ම නොපවතින දෙය වනුයේ සංකල්පීයව ඇඟවෙන වස්තුවයි. නෛසර්ගික, සත්‍ය මෝඩයෙකු පෙනී යාම යන කරුණ යථාර්ථය හා අනුගත නොවේ. එහි මෝටර් රථය පදවන්නෙකු සිටින නමුදු, ඔහු නිසගයෙන්ම මෝඩයෙකු සේ නොපවතී. කිසිවෙකුට හෝ නිසගයෙන්ම මෝඩයෙකු සේ වූ පැවැත්මක් තිබිය නොහැක. මක් නිසාද, මෝඩයෙකු සේ වු නෛසර්ගික පැවැත්මක් ලෙස හැඳින්විය හැකි දෙයක් නොපවත්නා බැවිනි. එ් අනුව එම මෝටර් රථයේ නෛසර්ගික මෝඩයෙකු නොමැත. එයයි පොදු අදහස. එය එතරම් නිශ්චිතාර්ථයක් නොවන බැවින් එම අදහස වඩාත් හෙළි පෙහෙලි කරගත යුතු වේ.

එතරම් නිශ්චිතාර්ථවත් නොවුවද, වඩාත් සරල නිදසුනක් ගනිමු. තමාගේ යහන යට රාක්ෂයෙකු ඇතැයි සිතන දරුවෙකු පිළිබඳ සිතා බලමු. මෙම දරුවාගේ බිය කිසිදු සැබෑ හා පවත්නා දෙයකට අදාල නොවේ. එ් අනුව, ශූන්‍යතාවය සම්බන්ධයෙන් අප කථා කරන දෙය වූකලි නිශ්චිතව යමක් නොපවත්නා ස්වභාවයයි. එ් වූකලි නොපවත්නා දෙයක ඇති නොපවත්නා ස්වභාවයයි. එය මුළුමනින්ම විය නොහැක්කකි.

කෙසේ වුවද ශූන්‍යතාවයේදී අප කථා කරනුයේ රාක්ෂයෙකු වැනි පැවතිය නොහැකි දෙයක නොපැවැත්ම පිළිබඳ නොවේ. අප කථා කරනුයේ නොපැවතිය හැකි පැවතුම් ආකාරයක් පිළිබඳවයි. නිදසුනක් ලෙස, දරුවා රාක්ෂයෙකු යැයි සිතීමට පෙළඹීමට හේතුවන බළලෙකු ඇඳ යට සිටිය හැක. එනමුදු, "රාක්ෂයෙකු සේ පැවතීම" යනුවෙන් දෙයක් නොමැති බැවින් බළලා පවතිනුයේ රාක්ෂයෙකු ලෙස නොවේ. මෙහිදී ශූන්‍යත්වය මගින් බළලෙකු පවත්නා බව ප්‍රතික්ෂේප නොකරන අතර, ප්‍රතික්ෂේප කරනුයේ රාක්ෂයෙකු සේ බළලෙකු පවතින්නේය යන කරුණයි.

වලංගු සේ වූ ලේබලයක් ස්ථාපනය

නැවතද මෝඩයා පිළිබඳ නිදසුන බලමු. සම්මුතික වශයෙන් මෙම පුද්ගලයා සැබැවින්ම මෝඩයෙකු සේ සිය රිය ධාවනය කරනවා විය හැක. එසේ වුවද, "මෝඩයෙකු" ලෙස අපට ඔහු ලේබල්ගත කළ හැක්කේ හා එසේ නම්කළ හැක්කේ කෙසේද? ඉන්දීය ගුරු චන්ද්‍රකීර්ති විසින් වලංගු ලේබල්කරණයක් සඳහා නිර්ණායක තුනක් සපයන ලදී.

පළමුව ලේබල්කරණය හා අනුගත වන්නාවූ ස්ථාපිත හා පිළිගත් සම්ප්‍රදායක් පැවතිය යුතුය. රිය ධාවන චාරිත්‍ර විධිවලට අදාල නියමයන් ගණනාවක් ජර්මනිය තුළ ක්‍රියාත්මක වේ. එ් අනුව, නිරතුරු අන් අය පසුකර යාමට උත්සාහ කරන අතර සෑම විටකම පාහේ වාහන නලාව මත අත තබාගෙන යාම සුදුසු දෙයක් සේ නොසැලකේ. එසේ සිදු කරන්නෙකු මෝඩයෙකු සේ සැලකිය හැක. මෙය සාපේක්ෂ දෙයකි. ඉන්දියාවේ මෙය සාමාන්‍ය රිය ධාවන ක්‍රමය විය හැක. වරෙක මම ජීවිතයේ පළමු වතාවට බටහිර රටක සංචාරය කළ මාගේ ඉන්දියානු මිතුරෙකු සමග යුරෝපයට ගිය අතර, ඔහු විශ්මයට පත් වූ දෙය නම් සියලු දෙනා නලා හඬ නොනගමින් සිය වාහන පැදවීමය. එසේ රිය පදවන්නෙකු මෝඩයෙකු සේ සැලකීමේ සම්ප්‍රදායක් බටහිර රටවල වසන අප සතුව පවතින බැවින්, එම දෘෂ්ටි කෝණයෙන් එසේ රිය පදවන්නෙකු මෝඩයෙකු සේ හැඳින්වීම නිවැරදිය.

දෙවන නිර්ණායකය වනුයේ මතුපිට හෝ සම්මුතික සත්‍යය වලංගු ලෙස හඳුනා ගන්නාවූ සිතක් විසින් මෙම තර්කය බිඳ හෙළිය යුතු නොවන බවයි. විෂය මූලිකව කථා කරන්නේ නම්, අදාල පුද්ගලයා මෝඩයෙකු සේ රිය ධාවනය කරන්නේ වේද, නොවේද? මා මාගේ කණ්නාඩිය නිවැරදිව පැළඳ ඇත්තේද? මා මාගේ ශ්‍රවණාධාර උපකරණ නිවැරදිව පැළඳ සිටීද? මා සැබෑ ලෙසම නිවැරදිව දකින්නේද, ශ්‍රවණය කරන්නේද? මා අවට සිටින අන් අයද මෙම පුද්ගලයා සියලු දෙනා පසුකර යාමට උත්සාහ කරන අතර නලාව නාද කරවන බවද දකිති. එ් අනුව, මෙම සම්මුතික පැතිකඩ දැක්ම තුළ අන් අයගේ වලංගු දැක්ම මගින්ද එම තර්කය ඛණ්ඩනය නොවේ.

තුන්වන නිර්ණායකය වනුයේ ගැඹුරුම සත්‍යය දක්නාවූ සිතක් විසින්ද මෙම ලේබල්කරණය ප්‍රතික්ෂේප හෝ ඛන්ඩනය නොකෙරෙන බවයි. එනම් මෙම පුද්ගලයා මෝඩයෙකු සේ ගැනෙනුයේ කෙසේද යන කරුණ සැබෑ ලෙසම දක්නාවූ සිතක් සම්බන්ධයෙන් එසේ ඛන්ඩනය නොකෙරෙන බවයි. ඔහු මෝඩයෙකු වනුයේ කෙසේද? ඔහු රිය පදවන ආකාරය හා ප්‍රදේශය මත පදනම්ව හුදෙක් ඔහු මෝඩයෙකු වන්නේද, නොඑසේ නම් මෙම පුද්ගලයා තුළ නිසගයෙන්ම මෝඩයෙකු සිටින්නේ යැයි අපි ප්‍රක්ෂේපණය කරන්නෙමුද? මෙම පුද්ගලයා සැබැවින්ම, ඇතුළතින්ම, නිසගයෙන්ම මෝඩයෙකු බව සිතුවහොත්, දේවල් සැබෑ ලෙසම පවත්නා ආකාරය දක්නාවූ සිතක් මගින් එම අදහස ප්‍රතික්ෂේප කෙරෙනු ඇත. මෙම පුද්ගලයා සම්මුතික වශයෙන් මෝඩයෙකු සේ රිය ධාවනය කරයි. එය නිවැරදි, වලංගු සම්මුතියක් හා ලේබල්කරණයක් වන අතර වලංගු මතුපිට සත්‍යයක්ද වේ. සිදුවන දෙය නම් මෝඩයෙකු ලෙස වූ ඔහුගේ පැවැත්ම අප විසින් පුම්බාලීමයි. හුදෙක් බොහෝ දේ මත රඳා පවතිමිනි ඔහු මෝඩයෙකු සේ පවතින්නේ - නිශ්චිතව එය මානසික ලේබල්කරණය මත රඳා පවතින අතර එම කරුණ ඉදිරියේදී අපි සාකච්ඡා කරමු.

මතුපිට පෙනුම පුම්බාලමින් අපි එතුළට නොපවත්නා වූ දෙයක්, එනම් එහි සැබෑ ලෙසම නොපවත්නා පැවැත්මක්, ප්‍රක්ෂේපණය කරන්නෙමු. එය සිතා මතා සිදුවන දෙයක් නොව නිරායාසයෙන් සිදුවන්නකි. එය ස්වයංක්‍රීයව සිදුවනුයේ මෙයාකාරයෙන් දේවල් දැකීමේ පුරුද්ද හේතුවෙනි. මෙහිදී සිදුකරන පුම්බාලීම වනුයේ ඔහු නිසගයෙන්ම මෝඩයෙකු සේ පවතින්නේය යන අදහසයි. මෝඩයෙකු සේ වූ නෛසර්ගික පැවැත්මක් සම්බන්ධ එම මාදිලිය වූකලි සැබෑ දෙයක් නොවේ. නැවතද, අපගේ සාකච්ඡාව වනුයේ නොසිදුවිය හැකි පැවැත්මක් නොමැත්තේය යන කරුණ විනා නොපැවතිය හැකි වස්තුවක් නොමැතිවීම පිළිබඳ නොවේ.

"සහජ" හා "නෛසර්ගික" යන පද දෙක අතර වෙනස

නෛසර්ගික පැවැත්ම හා මානසික ලේබල්කරණය යන්නෙන් අදහස් කෙරෙන දෙය මදක් සමීපස්ථව විමසා බලමු. මෙහිදී "සහජ" හා "නෛසර්ගික" යන දෙපදය අතර වෙනස වටහාගත යුතුවේ. අප තුළ බොහෝ වු සහජ ගතිගුණ පවතී. නිදසුනක් ලෙස, හැඟීම් දැනීම් සහිත සත්ත්වයන් වීමේ දායාද වශයෙන් අපගේ චිත්ත සන්තතිය තුළ සහජයෙන්ම කය, වචනය, සිත, වැටහීම, භාවයන් ආදිය අන්තර්ගත වේ. අප තුළ බුදුවරයෙකුගේ ස්වභාවය හා බුදුවරයෙකුගේ ස්වභාවයට අයත් සියලු පැතිකඩයන්ද පවතී. තිබ්බත භාෂාවෙන් "ඉෂාන්-ස්කයිස්" හා සංස්කෘත භාෂාවෙන් "සහජ" ලෙස හැඳින්වෙන "සහජ" යන වචනය ඇතැම් විට "එක්වරම ඉස්මතු වන්නාවූ" ලෙස පරිවර්තනය කෙරේ. ඉන් අදහස් කෙරෙනුයේ මේවා අපගේ දායාදයන්හි කොටස් වන අතර සිතේ සෑම මොහොතක් පාසාම එ් හා සමාන්තරව මේවා ඉස්මතුවන බවයි. අත්දැකීමේ සෑම මොහොතකදීම, අවදිව සිටියද, නිදා සිටියද, අප තුළ කය, වචනය හා සිත පවතී. අපට නින්දෙන් කථා කළ නොහැකි නමුත් එහිද සන්නිවේදන හැකියාව පවතී. උදාහරණයක් ලෙස, අන්‍යයන් හට අප දෙස බලා අප නිදා සිටින බව දැකිය හැක. නින්දෙන් ගෙරවීම සිදු නොවුවද, හුස්ම ගැනීමේ ක්‍රමවත් බව හා මන්දගාමී බව මගින් අප නිදා සිටින බව සන්නිවේදනය කෙරෙයි. සෑම අවස්ථාවකම සන්නිවේදනය කරන ආකාරය පිළිබඳ නිදසුනකි එය. මෙම ගුණය නිරතුරු "කථාව" ලෙස පරිවර්තනය කෙරුණද, එය වචනයෙන් කෙරෙන කථාවට පමණක් සීමා නොවේ. මේවා සහජ සාධක වේ.

තිබ්බත භාෂාවෙන් "රෑං-ෂින්" ලෙස යෙදෙන "නෛසර්ගික" යන්න මෙයට බොහෝ සෙයින් වෙනස් වූ සංකල්පයකි. නෛසර්ගික යමක් පැවතියේ නම් එය එක් ආකාරයකින් සහජ විය හැකි නමුදු, එහි අන්තර්ගත බලයෙන්ම එමගින් යමක පැවැත්ම ඇති කරනු ඇති අතර එය පෙනෙන ආකාරයෙන් වූ පැවැත්මද ඇති කරනු ඇත. එය ඇතැම් විට අදාල වස්තුව එයම බවට පත් කරන්නාවූ එහි යම් ලාක්ෂණික අංග ‌හෝ අර්ථ කථනීය අංග ලෙස හැඳින්වේ. මෙම මෝඩයා සම්බන්ධයෙන් ගත් කල, එම මෝඩකම සැබෑ ලෙසම ඔහු තුළ හඳුනාගත හැකි ස්ථිරව පවත්නා හා එ් අනුව එහි බලයෙන්ම ඔහු මෝඩයෙකු බවට පත් කරන්නාවූ ඔහුගේ යම් අඩුපාඩුවක් විය හැක. "හැම වෙලාවෙම සින්දු ගහන අල්ලපු ගෙදර ඉන්න මේ මහා කරදරකාරයා" හෝ "මං දැකපු මේ අපූරු මනුස්සයා" ඈ ලෙස නිරතුරුව අපි පුද්ගලයන් පිළිබඳව සිතන්නෙමු. එම සිතිවිල්ල තුළ එම පුද්ගලයාට අප විසින් ආරෝපණය කරන ගුණය සැබෑ ලෙසම නෛසර්ගිකව ඔහු තුළ වූවක් සේ පෙන්වනු ලබයි. මා යෙදාගත් උදාහරණ භාවමය බරකින් යුක්ත නමුත් සියලු කල්හි සිදුවනුයේ මෙම සංසිද්ධියමය. ඔබ නිසගයෙන්ම මනුෂ්‍යයෙකු කරන්නාවූ යම්කිසි නෛසර්ගික දෙයක් ඔබ තුළ පවතින බවක් පෙනේ.

රියැදුරා නෛසර්ගිකවම මෝඩයෙකු සේ පැවතීමට හේතුවන ඔහු තුළ වූ මෙකී දේ මගින් අන් සියල්ලෙන් ස්වායත්ථව හා එහි බලයෙන්ම එවැනි පැවැත්මක් ඔහු වෙත ලබාදෙයි. ඉන් අදහස් වනුයේ සැබෑ පරීක්ෂාවක් සිදු කළහොත් එවැන්නක් සොයාගත හැකි හා පෙන්විය හැකි බවයි. සැබැවින්ම, යම් වස්තුවක් පරීක්ෂාකර හා කොටස් කොට බැලුවහොත් එය එය බවට පත් කරන්නාවූ කිසිවක් හෝ එ් තුළ අපට සොයාගත හැකි නොවේ. මෝටර් රථයේ සිටින මෙම පුද්ගලයා විග්‍රහ කොට බැලුවහොත්, න්‍යෂ්ටීන් හා ශක්ති ක්ෂේත්‍ර සමුදායක් විනා එම පුද්ගලයා තුළ ඔහු මෝඩයෙකු බවට පත් කරන්නාවූ කිසිදු දෙයක් සොයාගත නොහැකි වේ. චලනයේ මයික්‍රො තත්පර ගණන්වලට බෙදා මෙම පුද්ගලයාගේ ක්‍රියාවන් විග්‍රහ කොට බැලුවහොත්, එක් මිලිමීටරයක් එක් දිශාවකටද තවත් මිලිමීටරයක් තවත් දිශාවකටද වශයෙන් වූ ඇඟිල්ලේ චලනය වන බවක් පෙන්වන අතර එ් අනුව ඔහු මෝඩයෙකු වනුයේ කෙසේද? ඔහු මෝඩයෙකු බවට පත්කරන කිසිදු චර්යා මයික්‍රො තත්පරයක් හෝ ඔබට පෙන්විය හැක්කේද? මෙයාකාරයෙන් ඔහු මෝඩයෙකු සේ පෙනෙන නමුදු ස්වායත්ථව සිය බලයෙන්ම පවතිමින් මෙම පුද්ගලයා මෝඩයෙකු බවට පත්කරන්නාවූ, වස්තුව පසෙක පවත්නා කිසිවක් හෝ සොයාගත නොහැක. සම්මුතික වශයෙන් ඔහු මෝඩයෙකු සේ කටයුතු කරයි. මතුපිට පෙනුමට අදාල නිරවද්‍යතාවය හා ඔහු සම්මුතික වශයෙන් කටයුතු කිරීමට අදාලව සිදු කරන නම් කිරීමේ නිරවද්‍යතාවය ප්‍රතික්ෂේප නොකිරීමට තරම් අප ප්‍රවේශම් සහගත විය යුතුය. ඔහු මෝඩයෙකු සේ කටයුතු කරයි; එය නිවැරදිය. ගැටළුව වනුයේ ඔහු මෝඩයෙකු සේ සිටින බව පෙනෙන ආකාරයයි. ඔහු සෙසු සාධක මත පදනම්ව මෝඩයෙකු සේ කටයුතු කරයි; එය ඔහු හැර අන් සාධක මත රඳා පවතී. එනම්, මෙම පුද්ගලයා ඔහු තුළ පවත්නා යම් කිසිවක බලපෑමෙන් මෝඩයෙකු‌ සේ කටයුතු නොකරන්නේය යන්නයි. (ඔහුගේ අත යම් ආකාරයකින් චලනය වේ ආදී වශයෙන්) ශරීර කොටස් මත පදනම්ව හා (ඔහු වාහන තදබදයකට හසුවී සිටින අතර ගමන යාමේ හදිසියකින්ද පසුවේ යන) හේතු මත රඳා පවතිමින් මෙම පුද්ගලයා මෝඩයෙකු සේ කටයුතු කරනු ලබයි. ඔහු නෛසර්ගිකවම මෝඩයෙකු වූයේ නම් රිය ධාවනයේ නොයෙදෙන විට හා නිදන විටදී පවා ඔහු මෝඩයෙකු විය යුතුය. එනම්, ඔහු මෝඩයෙකු සේ කටයුතු කරන්නේ ඔහු සිටිනා හේතු සාධක වටපිටාව හේතුකොටගෙනය. ඔහුට මෝඩයෙකු සේ රිය ධාවනය කිරීමට හේතුවූ සියලු ආකාරයේ සංස්කෘතික, මානසික, හා පුද්ගලික සාධකද තිබිය හැක. මෙම පුද්ගලයා මෝඩයෙකු සේ රිය ධාවනය කිරීම මෙම සියල්ල මත රඳා පවතී.

මානසික ලේබල්කරණය

මෙයටත් වඩා මූලික මට්ටමින් ගන්නේ නම්, එම පුද්ගලයා මෝඩයෙකු සේ රථය පැදවීම පිළිබඳ වූ හඳුනාගැනීම "මෝඩයා" යන සංකල්පය මත පදනම් වන්නකි. එවන් සංකල්පයක් නොපැවතියේ නම්, අපට මෙම පුද්ගලයා මෝඩයෙකු සේ රිය පදවන්නේ යැයි කිව හැකිද? එමගින් අප මානසික ලේබල්කරණය නම් වූ ක්ෂේත්‍රය තුළට ගෙන යනු ලබයි.

මානසික ලේබල්කරණය බොහෝ සෙයින් ව්‍යාකූල හා අවුල් සහගත වූවක් විය හැකිය. මෙම පුද්ගලයා මෝඩයෙකු යැයි හඳුන්වන විටදී, එමගින් ඔහු මෝඩයෙකු බවට පත් කරන්නේද? නැත. අප කථා කරනුයේ "ඔයා මෝඩයෙක්" ලෙස එකිනෙකා වෙත කථා කරන්නාවූ කුඩා දරුවන් පිළිබඳව නොවේ. මානසික ලේබල්කරණය යන්නෙන් වචන හා සංකල්ප තුළින් අප විසින් දේවල් නිර්මාණය කරන්නේය යන්නක් අදහස් කෙරෙන බව බොහෝ අය සිතයි. බුදු දහම තුළ මානසික ලේබල්කරණය යන්නෙන් අදහස් කෙරෙනුයේ එය නොවේ. එ් පිළිබඳ සිතා බලන්න. අප මෙම පුද්ගලයා මෝඩයෙකු ලෙස ලේබල්ගත කළද, නොකළද, ඔහු "මෝඩයෙකු" බවට අප සිතුවද, නොසිතුවද, මෙම පුද්ගලයා රථය පදවන ආකාරය දැකීමට වෙනයම් කිසිවෙකු හෝ මාර්ගයේ සිටියද, නොසිටියද ඔහු තවදුරටත් මෝඩයෙකු සේම රිය පදවන්නේද? ඔහු මාර්ගයේ තනිවම සිටීනම් හා කිසිවකු විසින් හෝ ඔහු මෝඩයා ලෙස හඳුන්වන්නේ නොමැති නම්, ඔහු තවදුරටත් මෝඩයෙකු සේ රිය පදවන්නෙක්ද?

මෝඩයා යන සංකල්පය දරන කණ්ඩායමක් සම්බන්ධයෙන් හා එම සංකල්පය නොදරන කණ්ඩායමක් සම්බන්ධයෙන් මෙහිදී තත්ත්වය එකිනෙකට වෙනස් වන බවක් පැවසිය හැක. එ් අනුව, එය අදාල කණ්ඩායම හා එහි සංකල්පීය රාමුව මත පදනම් වේ. පැවසිය හැකි එකම දෙය නම් යම්කිසි සම්මුතියකට අනුව මෙම පුද්ගලයා මෝඩයෙකු සේ රිය පදවන නමුදු ඔහු නිරපේක්ෂව, නෛසර්ගිකව මෝඩයෙකු සේ රිය පදවන්නේ නොවන බවයි.  කිසිවෙකු විසින් හෝ ඔහු දකින්නේද, නැත්තේද යන කරුණ නොතකා එය නීති හා චාරිත්‍ර විධි මත රඳා පවතී. එය කිසි ලෙසකිනුදු අන් කිසිවක් මත රඳා නොපවතින අතර, පුද්ගලයාගේ රිය පැදවීම නමැති පාර්ශ්වයෙන් පමණක් සැලකෙන කරුණක් යයි පවසන්නේ නම්, එය නොවිය හැක්කකි. මානසික ලේබල්කරණයට අනුව පුද්ගලයන් වඩාත් ව්‍යාකූල වනුයේ මෙම කරුණු සම්බන්ධයෙන් සලකා බලන විටදීය.

"මෙම පුද්ගලයා රිය පදවන ආකාරය කවරක්ද යන්න අපට විෂය මූලිකව පැවසිය හැකිද?" යන කරුණ පිළිබඳව ඉනික්බිති ඔබ කල්පනා කරනු ඇත. මෙය විග්‍රහ කිරීමට සුදුසුම ප්‍රශ්නයකි. සැබෑ ලෙසම සිදුවන දෙය ග්‍රහණය කරගැනීම නම් වූ මෙයයි ගැටළුව. ඔහු සැබැවින්ම මෝඩයෙකු සේ රිය පදවන්නේද, නැත්ද? ඔහු සැබෑ ලෙසම කවරෙක්ද යන පරාසය තුළට හෙවත් විෂය සීමාව තුළට පැමිණි කල නෛසර්ගික පැවැත්ම හමුවේ. මෙම පුද්ගලයා මෝඩයෙකු සේ රිය පැදවීම "මෝඩයා" නමැති සංකල්පය, බටහිර චාරිත්‍ර විධි ආදියට අනුව, හෙවත් එ්වා මත රඳා පවතිමින් සිදුවන්නකි. එයයි ස්වයං ස්ථාපිත නෛසර්ගික පැවැත්ම යනු; එයයි සිදු නොවිය හැකි දෙය.

අප අතරින් බහුතරයක් දෙනා හට දෙවල් සැබෑ ලෙසම පවත්නේ කෙසේද යන කරුණ දැනගැනීමට අවශ්‍ය වන අතර, එ්වා සැබෑ ලෙසම පවත්නා ආකාරයක්ද ඇති බව සිතයි. "මෙය සැබැවින්ම අපූරු නිවසකි" හෝ "අපි අද හවස ඇත්තටම හොඳට විනෝද වුණා" යන ප්‍රකාශ කරනුයේ එ්වාහි යම් නෛසර්ගික ලක්ෂණයක් පවත්නා අතර සියලු දෙනා එය එලෙස දැකිය යුතුය යන අදහසින් මෙනි. අප මෙයට එතරම් පුරුදුව ඇති බැවින්, සියලු දේ ස්වයංක්‍රීයව එලෙස පෙනෙන අතර අපිද එ් පිළිබඳ එසේ සිතන්නෙමු. මෙය "රැවටිලිකාරී දසුන් නිර්මාණය" ලෙසද, ඇතැම් විට "දෙබිඩි ස්වභාව දර්ශනය" ලෙසද හැඳින්වේ. මෙහි "දෙබිඩි ස්වභාවය" යනු එය එකිනෙකට පරස්පර දෙවිධියකින් පවත්නා බවයි. එනම් සැබෑ තත්ත්වය එක් ආකාරයක් වන නමුදු පෙනෙන ආකාරය එයම නොවන බවයි. එනම් පෙනෙන ආකාරය එහි සැබෑ පැවැත්මේ ස්වභාවය හා අනුගත නොවේ. මෙයයි දෙබිඩි ස්වභාව දර්ශනය යන්නෙන් එම වදනේ ගෙලුග්-ප්‍රාසාංගිකා භාවිතය තුළ අදහස් කෙරෙනුයේ.

සැලකිල්ලට ගන්නා කරුණ නම් මෙම පුද්ගලයා මෝඩයෙකු සේ රිය පදවන්නේය යන්නයි. එය සම්මුතිකව නිවැරදිය. අපට කිසිවෙකු හෝ එකඟ නොවන උමතු අදහසක් හෝ අන් පුද්ගලයන් එකඟ වනු ඇත්තාවූ අදහසක් හෝ දැරිය හැක. ජර්මනිය තුළදී නම් මෙම පුද්ගලයා මෝඩයෙකු සේ රිය පදවන්නේය යන කරුණට සෙසු පුද්ගලයෝ එකඟ වනු ඇති නමුත් එ් හේතුවෙන්ම ඔහු සැබෑ මෝඩයෙකු බවට පත් නොවේ. සුනඛයෙකු රිය පදවන්නේය යන අදහසක් අපට දැරිය හැකි නමුදු කිසිවෙකු හෝ එයට එකඟ නොවනු ඇත. අදහස් අශිෂ්ට එ්වාද විය හැක, වලංගු එ්වාද විය හැක.

දේවල් කවරේද යන්න සම්මුතික වශයෙන් දැනගැනීමේ වලංගු හඳුනාගැනීම් පවත්නේය යන කරුණයි මා මෙහිදී ඉස්මතු කිරීමට අදහස් කරන්නේ. එය ඉතා වැදගත් වේ. තිබ්බත බුදු දහම පිළිබඳ විවිධ සම්ප්‍රදායන් තුළ මෙම වෙනස සම්බන්ධ ඔවුනටම සුවිශේෂී වූ විග්‍රහයන් පවතී. ගෙලුග් සම්ප්‍රදාය තුළ නිවැරදි හා සාවද්‍ය මතුපිටට පෙනෙන සත්‍යයන් පිළිබඳව සාකච්ඡා කෙරේ. එනම් යමක සම්මුතික පැවැත්මට එ් පිළිබඳ සාවද්‍ය මතුපිට සත්‍යය අනුගත නොවේ. එනම්, සම්මුතික වශයෙන් යමක පැවැත්ම හා යමක් එහි සැබෑ ස්වරූපයෙන්ම පවත්නේ කෙසේද යන කරුණු අතර ඉමහත් විෂමතාවයක් පවතී.

ස්වතන්ත්‍රික හා ප්‍රාසාංගික පිළිබඳ ගෙලුග් සාකච්ඡා තුළ අන්තර්ගත වලංගු ලේබල්කරණය

යම් අදහසක් වලංගු අදහසක්ද යන්න දැනගන්නේ කෙසේද? වලංගු ලේබල්කරණය සඳහා චන්ද්‍රකීර්ති නිර්ණායක තුන භාවිත කරමු. මෙහිදී වෙනස දිස්වනුයේ ගෙලුග් විග්‍රහය අනුව ස්වතන්ත්‍රික - මාධ්‍යමික හා ප්‍රාසාංගික - මාධ්‍යමික අතරය. කාග්යු සම්ප්‍රදාය තුළ මෙම ගුරුකුලයන් තරමක් වෙනස් ආකාරයෙන් විග්‍රහ කෙරේ. මාධ්‍යමික විග්‍රහයේ ප්‍රධාන අදහස වනුයේ සියල්ලෙහි පැවැත්ම මානසික ලේබල්කරණය මත රඳා පවත්නා බවයි. මානසික ලේබල්කරණය මගින් එ්වා නිර්මාණය කෙරෙන බවක් ඉන් අදහස් නොවේ. මානසික ලේබල්කරණය සම්බන්ධ මාධ්‍යමික ඉදිරිපත් කිරීම වූකලි චිත්තමාත්‍ර වැනි එතරම් නවීන නොවූ භාරතීය බෞද්ධ මතවාදයන් තුළ සිත හා වස්තූන් අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳ ඉදිරිපත් කෙරෙන විග්‍රහයේ නවීකරණයකි. මතවාද ගුරුකුලයන් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී සැලකිල්ලට ගත යුතුවන එක් ප්‍රධාන කරුණක් වනුයේ සිත හා වස්තූන් අතර ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවත්නා සම්බන්ධතා මට්ටම අවබෝධ කරගැනීමයි.

ධර්ම ග්‍රන්ථ තුළ යෙදෙන උදාහරණය වනුයේ යමෙකු "රජෙකු" ලෙස ලේබල්කරණයයි. යමෙකු රජෙකු ලෙස පැවැත්මක් ඇතිකර ගනුයේ "රජා" යන සංකල්පය හා වචනය හේතුවෙනි. රජුන් පිළිබඳ සමාජ සිරිතක් නොපැවතියේ නම්, පැහැදිලිවම කිසිවෙකුට ‌හෝ රජෙකු විය නොහැක. ප්‍රශ්නය වනුයේ: ලේබලයකට වලංගුතාවයක් ලබාදෙනුයේ කවරක් විසින්ද? යන්නයි. ස්වතන්ත්‍රික සම්ප්‍රදාය තුළ ප්‍රකාශ කෙරෙන පරිදි දේවල් ආශ්‍රිතවම යම් සොයාගත හැකි අර්ථ නිරූපණමය නෛසර්ගික ලක්ෂණයක් පවත්නා අතර එමගින් දේවල් එ්වාට අනුකූලව නිවැරදිව ලේබල්කරණය කිරීමට අපට හැකියාව ලබාදෙයි. යමෙකුට නිවැරදිවම "රජා" ලෙස ලේබල්කරණය කරනු පිණිස ඔහු තුළ ඔහු රාජකීයත්වයට පත් කරන්නාවූ යම් කිසිවක් පැවතිය යුතුය. නොඑසේ නම්, අපට සුනඛයෙකු හෝ අමදින්නෙකු වුව "රජා" ලෙස නම් කළ හැකි අතර එ් මගින් ඔවුන් රජුන් වනු ඇත. මේ පසුපස යම් දේශපාලනික සිතිවිල්ලක් පවත්නා බව දැකිය හැක. සැබැවින්ම, එය හාස්‍යයට කරුණක් නොවේ. කුල ගෝත්‍රවලට අනුව සිතීම ඉතා වැදගත් වූ භාරතයේ මෙම දර්ශනය ගොඩනැගුණු අතර, එ් අනුව යමෙකු රාජකීය කුලයේ සාමාජිකයෙකු බවට පත් කරන සුළු වූ යමක් ඔහු/ඇය තුළ පැවතිය යුතුය. එය ස්වතන්ත්‍රික මතයයි.

ප්‍රාසාංගික සම්ප්‍රදාය තුළ ප්‍රකාශ කෙරෙන පරිදි, යමෙක් රජෙකු බවට පත් කරවන සුළු කිසිවක් හෝ එම පුද්ගලයා ආශ්‍රිතව හමු නොවේ. සැබැවින්ම, සම්මුතික වශයෙන් අර්ථ නිරූපණ ලක්ෂණ පවතී. රාජ්‍ය සම්ප්‍රදාය තුළ රටක් පාලනය කරන්නා රජෙකි. රජෙකු යනු කවරෙකුද යන්න පිළිබඳ අර්ථ නිරූපණ ලක්ෂණයක් එහි පවතී. කිසිවක් තුළ හෝ අර්ථ නිරූපණයක් නොපැවතියේ නම්, දේවල්වලට ක්‍රියාත්මක විය හැකි නොවේ- එනමුදු, එ්වා හුදෙක් සම්මුතික වේ. නිදසුනක් ලෙස යම් පුද්ගලයෙකු රාජකීයයෙකු බවට පත් කරවමින් සිය බලයෙන්ම ක්‍රියාත්මකවන යම් කිසිවක් ලෙස අර්ථ නිරූපණ ලක්ෂණද වස්තුව තුළ පවත්නේය යන්නක් ඉන් අදහස් නොකෙරේ.

ලේබලය වලංගු එකක් බව අප දන්නේ කෙසේද? නැවතද චන්ද්‍රකීර්ති නිර්ණායක තුන සලකා බලමු. මේවා වටහා ගැනීම වැදගත් වන බැවින්, නැවතද වෙනත් නිදසුනකින් නිරූපණය කරමු. පළමුව, ස්ථාපිත හා ගිවිසගත් සම්මුතියක් ඇත. අපි නිවසට පැමිණ අපගේ බිරිඳ හෝ සැමියා දෙස බලන්නෙමු. සාකච්ඡා කිරීමේ පහසුව තකා, අපගේ කලත්‍රයා ගැහැණියක යයි සිතමු. ඇයගේ මුහුණේ යම්කිසි පෙනුමක් ඇත: ඇහි බැම හැකිලී, මුව පහතට හැරවී ඇති අතර, ඇය සිත් අවුල් වූ හා කෝප වූ ස්වභාවයකින් සිටින්නේ යැයි සිතමු. ස්ථාපිත සම්මුතියක් පැවතිය යුතුය. එය පළමු නිර්ණායකයයි. බටහිර සංස්කෘතියට අයත් අය විශේෂ‌ කොටගෙන මනුෂ්‍යයෝ සිත් අවුල්ව ඇති විටදී සිය ඇහි බැම හකුලුවා මුව පහතට හරවති. බල්ලන් ගෙරවීම සිදුකරන නමුත් මනුෂ්‍යයෝ සිත් අවුල් වීම මෙයාකාරයෙන් ප්‍රකාශයට පත් කරති. අපගේ සහකාරිය මනුෂ්‍යයන් කෝපවූ විටදී අනුගමනය කරන සම්මුතිය අනුගමනය කරන්නීය. එ් වූකලි පෙනුම වලංගු කිරීමේ එක් ආකාරයකි. ඇයගේ ප්‍රකාශනය ඇයගේ සම්මුතික රටාවට අනුගත වන්නේද යන්න පරීක්ෂාකර බලනු පිණිස ඇයගේ සිත් අවුල් වූ පෙර අවස්ථාවන් හා එය සැසඳීමද කළ හැක.

දෙවන නිර්ණායකය වනුයේ මතුපිට සත්‍යයන් වලංගු ලෙස දක්නා සිතක් විසින් එය අවලංගු කර නොමැත්තේය යන්නයි. එනම්, එයට ප්‍රතිවිරුද්ධ දෙයක් සනාථ කොට නොමැත්තේය යන්නයි. අපි අපගේ ඇස් කණ්නාඩි පැළඳ, විදුලි පහන් දල්වා එම ප්‍රකාශනය නිවැරදිව දක්නා බවට සහතික කරගන්නෙමු. එනම්, මෙහිදී අප එය දුටු අවස්ථාව හාත්පස අඳුර පැවති, නිසි පරිදි දැකගත නොහැකි වූ හෝ ඇස් කණ්නාඩි නොපැළඳ සිටි අවස්ථාවක් නොවේ. මෙම නිර්ණායකය මගින් ඉතාමත් ප්‍රායෝගික හා මහ පොළව මත වූ දෙයක් අදහස් කරනු ලබයි.

ධර්ම ග්‍රන්ථවල පැහැදිලි ලෙස සඳහන් කොට නොතිබුණේ වුවද, යම් කිසිවකට යම් ප්‍රතිඵලයක් ඇති කිරීමේ හැකියාව වැනි මෙකී දෙවන කරුණ හා සම්බන්ධව සෙසු නිර්ණායක අපට පරීක්ෂාකර බැලිය හැක. නිදසුනක් ලෙස "හලෝ" යනුවෙන් අමතන විටදී ඇය කිසිවක් ප්‍රතිචාර ලෙස නොපවසයි. ඇයගේ සිත අවුල්ව ඇති බවට වූ පෙනුම නිවැරදිය යන්නට මෙය තවදුරටත් සාක්ෂි සපයයි. ඇයගේ සෙසු චර්යාවන් තුළින්ද ඈ අවුලෙන් පසුවන බව තහවුරු කරයි. මක් නිසාද, ඇය සිත් අවුලෙන් හා කෝපයෙන් සිටින විටදී  සාමාන්‍යයෙන් 'හලෝ' යනුවෙන් ප්‍රතිචාර නොදක්වයි. වෙනත් අයුරකින් පවසන්නේ නම්, කෝපය විසින් එහි සාමාන්‍ය ප්‍රතිඵලය ගෙනදී ඇත. සැබෑ පරීක්ෂාවක් කළ යුතුම නම් අපට සිත් අවුලෙන් සිටින්නේද යන කරුණ ඇයගෙන්ම විමසාද දැනගත හැක.

එම කරුණ එතෙකින් නවතා "හොඳයි, ඇය අවුලෙන් හා තරහින් හිටියෙ. මොකද බොහෝ දුරට අද මොකක් හරි අමිහිරි දෙයක් සිදුවුණා. එ්ක හුඟක් සාධක හේතුවෙන් සිදුවිය හැකියි" ලෙස පවසන්නේ නම්, එවිට අපගේ හඳුනාගැනීම පරිපූර්ණ වශයෙන් වලංගු එකකි. දේවල් පවත්නේ කෙසේද, අපගේ සහකාරිය කෝපව සිටින්නේ කෙසේද යන කරුණු වලංගු ලෙස දක්නා සිතකින් එය ප්‍රතික්ෂේප නොකෙරෙනු ඇත.

අපගේ සහකරු හෝ සහකාරිය කෝපවී ‌ඇත්තේ මෙකී හෝ එකී වශයෙන් වූ යම් නිශ්චිත හේතුවක් නිසාවෙන්ම නොවන බව පෙනෙන නමුත් "දෙවියනේ ඇයට ආයෙත් තරහ ගිහින්. ඉන්නෙ තරහින්, හැම වෙලාවෙම අරක, මේක ගැන අවුලෙන් ඉන්නෙ. මෙහෙම කොහොමද වැඩ කරන්නෙ" යි සිතෙන්නේ නම්, එම තත්ත්වය ගැඹුරුම සත්‍යය වලංගු සේ දක්නා සිතක් මගින් ප්‍රතික්ෂේප කෙරෙන්නකි. එනම්, කිසිවෙකු හෝ නෛසර්ගිකව එසේ නොසිටී. ඇය කෝපව ඇත්තේ හේතුවක් සහිතවය.

මෙම ක්‍රමයෙනි ඇය කෝපයෙන් තබන්නාවූ පුද්ගලයා විෂයයෙහි යම් නෛසර්ගික දෙයක් තිබීමේ අවශ්‍යතාවයක් නොමැතිව අදාල පුද්ගලයා කෝපයෙන් සිටින්නේය යනුවෙන් කරනු ලබන ලේබල්කරණයට වලංගුභාවයක් ලබාදෙනුයේ. ශූන්‍යතාවය පිළිබඳව කථා කිරීමේදී, අප කථා කරනුයේ ඇය අප්‍රසන්න පුද්ගලයෙකු ලෙ අප සිතන අවස්ථාව පිළිබඳවය. ශූන්‍යතාවය යනු එවන් පැවැත්මක් නිරපේක්ෂවම නොමැති තත්ත්වයකි: ඇය සමග වාසය ඉමහත් අමිහිරි දෙයක් බවට පත් කරන සැබෑ වරදකාරී දෙයක් කිසිසේත් නොපැවතීමකි. ඇය සැබෑ වශයෙන්ම එසේ සිටින්නේ යැයි විශ්වාස කරන විටදී, අපි කැළඹිලිකාරී ආකාරයකින් එයට ප්‍රතිචාර දක්වන්නෙමු. අපි ඇය සමගින් චිත්ත වියවුලට පත්ව නොඉවසිලිමත් වෙමු.

අප විසින් අදාල අවස්ථාව සම්බන්ධයෙන් බුද්ධිමත් හා තැන්පත් අයුරකින් කටයුතු කිරීම අපගේ සහකාරිය කෝප වීමට හේතුව දැන සිටීම මත රඳා නොපවතින්නේද යන පැනය මෙහිදී විමසිය හැක. ඇය කෝපයෙන් සිටින්නේ මන්ද යන කරුණ වටහා නොගත්තද, එය හේතු සාධක මත රඳා පවත්නක්ය යන්න වටහා ගැනීමට අපි උත්සාහ කරමු; ඇය නෛසර්ගිකව නිරන්තරයෙන් කෝපව සිටින්නියක් නොවේ. ඇතැම් විට යම් කිසි අයුරකින් මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේය යන්න වටහා ගැනීමේ අවකාශයක් මෙමගින් අප වෙත සපයයි. කෙසේ වුවද, "මාගේ සහකාරිය තරහින් හා වියවුලෙන් සිටිනවා"යි පැවසීම නිවැරදිය. මෙය ඉතා වැදගත්ය. අපගේ සහකාරිය සම්මුතික වශයෙන් සිත් වියවුලකින් සිටින්නේය යන කරුණ අප විසින් නොපිළිගන්නේ නම්, කරුණාව දක්වමින් ඇයට උපකාර කිරීමේ පදනමක් අපට නොමැති වනු ඇත. ප්‍රයෝජනවත් ලෙස ඇය වෙත සම්බන්ධ වීමේදී සියලු සාධක විසිර යන අතර අප නාස්තිකවාදී අන්තයක් කරා ඇද වැටෙන්නෙමු.

නිවැරදි මතුපිට සත්‍යයක් හඳුනා ගැනීම පිළිබඳ මෙම අවධාරණය මගින් ශූන්‍යතාව හා කරුණාව යන දෙකරුණ අතර පවත්නා ඉතා සමීප වැටහීම් සම්බන්ධතාවයට අවකාශ සලසයි. එයින් තොරව, අපි අන් අය එතරම් බරපතලව නොගන්නා අතර එමගින් අන් අයගේ ගැටළු පිළිබඳ අවධානය යොමුකර ඔවුනට උපකාර කිරීමේ නැඹුරුව දුර්වල කරනු ලබයි. එය තරමක් සියුම් කරුණක් වුවද ඉතා වැදගත් යයි හඟිමි.

පටිච්ච සමුප්පාදය හා කර්මය

පටිච්ච සමුප්පාදය වටහා ගන්නේ නම්, ධනාත්මක හා නිශේධනාත්මක හෙවත් පුණ්‍යවන්ත හා පාපකාරී ක්‍රියාවන් සැබැවින්ම පුණ්‍යවන්ත හා පාපකාරී එ්වාය යන කරුණ නොසලකා නොහැරිය යුතුය. එය බොහෝ සෙයින් සත්‍ය කරුණකි. සාපේක්ෂතාවාදය පිළිබඳ කථා කිරීමේදී, ඕනෑම දෙයකින් ඕනෑම දෙයක් විය හැකිය යන මට්ටමට අපි දේවල් හීන නොකරන්නෙමු. අභිප්‍රාය කවරක් වුවද සත්ත්ව ඝාතනය පාපකාරී ක්‍රියාවක් වේ. එදා බෝට්ටුවක සිටි වෙළඳුන් 499 දෙනා මරා දැමීමට සූදානම් වූ බෝට්ටුකරු බෝධිසත්ත්වයන් වහන්සේ විසින් මරා දැමීමේ අවස්ථාවේදී මෙන් තදබල කරුණාවක් සහිතව එම ඝාතනය සිදු කළද, එය පර පණ නැසීම නම් වූ පාපකාරී ක්‍රියාවම වේ. එය දුක් විඳීමේ අත්දැකීමක් දක්වා මේරීය: බුදුන් වහන්සේගේ පා පතුලෙහි කටුවක් ඇණිනි. ප්‍රබල කාරුණික අභිප්‍රාය හේතුකොට දුක හෙවත් සෘණාත්මක ප්‍රතිවිපාක ඉතා සුළු වුවද එය පාප ක්‍රියාවක්ම වූ අතර එ් අනුව කර්ම න්‍යාය ක්‍රියාත්මක වේ: එනම් පාප ක්‍රියාවක් මගින් දුක ගෙන එන බවයි. පාප ක්‍රියාවේ ප්‍රබලත්වය සාපේක්ෂ වන නමුදු, එය මුළුමනින්ම සාපේක්ෂ වූවක්ද නොවේ - ඉන් අදහස් වනුයේ, පාප ක්‍රියාවක් පුණ්‍ය ක්‍රියාවන් නොවිය හැකි බවයි. විශ්ව නියාමයක් පවත්නා බව බුදු දහම පිළිගනී.

පර පණ නැසීම වූකලි සම්මුතිකව පාප ක්‍රියාවකි. එය පාපකාරී ක්‍රියාවක් බවට පත් කරනුයේ කවරක් විසින්ද? අපට මෙහිදී පැවසිය හැකි දෙය නම් ක්‍රියාව පාප ක්‍රියාවක් බවට පත් කරන හඳුනාගත හැකි කිසිදු දෙයක් හෝ බලයක් එම ක්‍රියාව තුළ නොමැති බවයි. පර පණ නැසීම සිදු කරන්නෙකු සිටීම,  ඝාතනය වන්නෙකු සිටීම, එමගින් බලපෑමට ලක්වන හා එහි ප්‍රතිඵලයක් වශයෙන් දුක අත් විඳින්නාවූ චිත්ත සන්තතියක් පැවතීම මත එම ක්‍රියාවලිය රඳා පවතී. වරදකරුගේ චිත්ත සන්තතියේ කොටසක් වශයෙන් ක්‍රියාවෙන් උපන් පාප කර්ම බලවේගය ක්‍රියාත්මකවන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් පර පණ නැසීම සිදුකළ තැනැත්තා දුක අත් විඳියි. හේතු ඵල න්‍යායෙන් වියුක්තව යමක් "පාපකාරී" ලෙස හඳුන්වාදීම සිදුකළ නොහැක. එය හුදෙක් අහසින් වැටෙන හෝ ආකස්මිකව පහළවන පාපකාරිත්වයක් නොවේ. පාපකාරීත්වය යනු වරද සිදුකළ තැනැත්තා සඳහා දුකක් වශයෙන් අත් විඳීමට සිදුවන ආකාරයෙන් ඵල දරන්නාවූ යම් ක්‍රියාවකි.

එසේ නම් පරපණ නැසීම පාපකාරී එකක් බවට පත් කරනුයේ කවරක් විසින්ද? ක්‍රියාව එම ක්‍රියාව හැර වෙනයම් සාධක මත රඳා පවතිමින් පාපකාරී එකක් බවට පත්වේ - මෙහිදී, එය ක්‍රියාවේ කර්ම ප්‍රතිඵලයයි. එනම්, ක්‍රියාව නෛසර්ගිකව හෝ ස්වායත්ථව, ස්වාධීනව පාපකාරී එකක් හෝ එම ක්‍රියාව තුළ හඳුනාගත හැකි ලෙස පවත්නා යම් කිසිවක් මගින් පාපකාරී බවට පත් කරන්නක් හෝ නොවේ.

මෙම කරුණ වඩාත් එදිනෙදා තත්ත්වයන් හා සම්බන්ධ කරන්නාවූ වෙනත් උදාහරණයක් සලකා බලමු. අපගේ බල්ලා මුළුතැන්ගෙයි බිම යම් අනතුරක් සිදු කරන අතර කෝපවන අප "පර බල්ලා! බිම හැඩි කෙරුවා! උඹ කැත වැඩක් කළේ!" ලෙස ගුගුරමු. මෙහිදී එම ක්‍රියාව ස්වාධීනව, අන් කිසිවක බලපෑමෙන් තොරවම කැත හෙවත් අයහපත් ක්‍රියාවක් වූ බවක් අඟවන්නෙමු. මෙම උදාහරණයේදී, බල්ලා අත් විඳිනු ඇති කර්ම ප්‍රතිඵලය පිළිබඳව සිතනවාට වඩා ක්‍රියාවේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ ඵලය පිළිබඳව සිතා බැලීම වඩාත් පහසු වේ. කර්ම ප්‍රතිඵලය හා මිනිසා විසින් ඇතිකරනු ලබන ප්‍රතිඵලය අතර වෙනසක් පවත්නා බව සැලකිල්ලට ගන්න. ක්‍රියාවේ මිනිසා විසින් ඇතිකරනු ලබන, හෙවත් මෙම උදාහරණයේදී නම් බල්ලා විසින් ඇතිකරනු ලබන, ප්‍රතිඵලය නම් ඌ විසින් බිම අවුල් කරන ලද අතර අප විසින් එය පිරිසිදු කළ යුතුව පවත්නා බවයි. එම නිර්ණායකය මත පදනම්ව සලකන්නේ නම්, බල්ලා බිම සිදුකරන ලද දෙය යහපත් දෙයක් නොවේ. 

පටිච්ච සමුප්පාදය හා තෝරාගැනීම්

වලංගු ලේබල්කරණය හා අදහස් සම්බන්ධ මෙම සාකච්ඡාව ආශ්‍රයෙන් නිවැරදි තීරණ ගැනීම සඳහා නිර්දේශ කළ හැක්කේ කවරක්ද? යම් තීරණයක් ගැනීම සම්බන්ධව අදාල වන විවිධ සාධක බොහෝ ගණනක් පවති. එය හුදෙක් උභතෝකෝටිකයකට පිළිතුර හෝ විසඳුම වශයෙන් එක් විකල්පයක් හෝ අනෙකක් නිවැරදි ලෙස ලේබල්ගත කිරීම වැනි දෙයක් නොවේ. සම්මුතිකව වඩාත් සුදුසු තීරණය කවරක්ද යන්න තීරණය කරනු පිණිස, ප්‍රතිඵලයට බලපෑම් ඇති කරන සාධක හැකිතාක් ප්‍රමාණයක් සැලකිල්ලට ගැනීමට උත්සාහ කළ යුතුය. සිදුවන කවර සිදුවීමක් හෝ එක් හේතුවක ප්‍රතිඵලයක් නොවේ. අපගේ ක්‍රියාවන් හා සිදුකළ යුත්තේ කවරක්ද යන්න සම්බන්ධ අපගේ තීරණවල වැදගත්කම පමණ ඉක්මවා පුම්බාලීමක් සිදු නොකිරීමද වැදගත්ය. නිදසුනක් ලෙස අප විසින් යමක් පැවසූ කල යමෙකු ඉන් සිත් තැවුලට පත් වන්නේ නම්, එම පුද්ගලයා සිත් තැවුලට පත් වීමට අප ප්‍රකාශ කළ දෙය පමණක් නොව වෙනත් බොහෝ සාධකද බලපා ඇත.

"අපගේ හිත හොඳ නම් කරන්න අදහස් කරන්නේ මොනව වුණත් කමක් නෑ" වැනි දේ කීම පහසු නමුත් ඉංග්‍රීසි කියමනකට අනුව "අපායට යන මාර්ගය සැකසී ඇත්තේ යහපත් අදහස් තුළිනි". තවද, අප විසින් තෝරා ගන්නා එකක් නොව බොහෝ ගණනක් වූ ක්‍රියා මාර්ග එක එකක් පිටුපස බොහෝ අදහස් හා අභිප්‍රායන් පවතින බැවින් මෙම කරුණ වඩාත් සංකීර්ණ වේ.

"හිටිවනම ක්‍රියා කරන්න"යි ඇතැම්හූ පවසති. එනමුත්, හිටිවනම හෙවත් නිරුත්සාහයෙන් යන්නෙන් නිරතුරු අදහස් කෙරෙන්නේ නියුරෝසික තත්ත්වයකි. අපගේ දරුවා හඬන්නේ නම් හා එයට ප්‍රතිචාරීව සිතට එන පළමු අදහස ඔහුට පහරක් ගැසීම නම්, එය හිටිවන ආ අදහස බැවින්ම වඩාත් යහපත් තීරණය බව පැවසිය නොහැක. යම් සම්බන්ධතාවයක් අවසන් කරන්නේද හෝ රැකියාව වෙනස් කරන්නේද යන තීරණ විශේෂ කොටගෙන, තීරණ ගැනීමේදී හැකිතරම් විවිධාකාර දේ සැලකිල්ලට ගැනීමට උත්සාහ කළ යුතුය. මට කරන්නට සිතෙන දේ, කරන්නට උවමනා දේ, කළ යුතුදේ හා මාගේ සහජ බුද්ධිය මගින් දක්වන ප්‍රතිචාරය ආදිය විමසා බැලිය යුතුය. එම කරුණු සතර එකිනෙකට වෙනස් විය හැක.

නිදසුනක් ලෙස, මට කෑමකට යාමට අවශ්‍ය වන අතර, මාගේ සාමාන්‍ය ආහාරයම ගැනීමටද අවශ්‍ය වන නමුත්, කේක් කැබැල්ලක් රස බැලුවහොත් යහපත්ය යන හැඟීමක්ද ඇතිවේ. මාගේ සහජ බුද්ධිය මගින් ප්‍රකාශ කෙරෙනුයේ පසුව මා හට වරදකාරී හැඟීමක් ඇතිවනු ඇති බවයි. තීරණයේ මෙකී පැතිකඩ සතර මෙන්ම එ් එකිනෙක පිටුපස පවත්නා හේතූන්ද විග්‍රහ කොට බැලිය යුතුය. කේක් රස බැලීමේ කෑදරකම හේතුවෙන් කේක් කෑ යුතුයැයි හැඟෙනවා විය හැක. බර අඩුකර ගැනීමට අවශ්‍ය වන්නේ ඇයි? එය සෞඛ්‍ය හේතූන් මත, ගර්වය හේතුකොට, හෝ සහකරුවෙකු සොයාගැනීමේදී වඩාත් ආකර්ශනීය වීම පිණිස සිදු කරන්නක්ද? අප විසින් කරන දෙයෙහි ප්‍රතිවිපාකද කිරා බැලිය යුතු අතර ඉන්පසු යම් ආකාරයකින් සියලු ආකාර මෙකී විවිධ සාධක කිරා මැන බලා ඉන් වලංගු එ්වා කවරේද හා වලංගු නොවන්නේ කවර එ්වාද යන්න විමසා බැලිය යුතුය. නිදසුනක් ලෙස, "මට දැන් කෑම කන්න ඕන නෑ. කන්න හිතෙන්නෙ නෑ. එ්ත් දැන් කෑවෙ නැත්නම් අද මීට පස්සෙ කන්න හම්බ වෙන එකක් නෑ. එ්ක නිසා දැන් මොනව හරි කන එක වඩා හොඳයි" ආදී වශයෙනි.

විවිධාකාරයේ සියලු සාධකයනට හැකිතාක් සංවේදී වෙමින් මෙයාකාරයෙන් අපි තීරණ ගැනීමට උත්සාහ කරන්නෙමු. මෙය අපහසු තීරණ ගැනීමේදී විශේෂයෙන් වැදගත් වේ. මං තෝරා ගන්නෙ නිල් කමිසයක්ද, කළු කමිසයක්ද, අවන්හලේ ආහාර වට්ටෝරුවෙන් මං තෝරාගන්නෙ මොනවද ආදී තීරණ ගැනීම් සම්බන්ධ තත්ත්වයන්හිදී හුදෙක් ඕනෑම තේරීමක් කළ හැක. පමණ ඉක්මවා විග්‍රහ කිරීමද අවශ්‍ය නොවේ. තීරණ ගැනීම පහසු කටයුත්තක් නොවේ. 

හිත හදාගැනීමට නොහැකිව අතීරණාත්මක වැනෙන සුළු ස්වභාවයෙන් පසුවීම වූකලි කැළඹිලිකාරී භාවයන් හා ආකල්ප හය අතරින් එකක්ය යන කරුණද සිත් ගන්නා සුළු එකකි. මෙකී බෙලහීන චිත්ත ස්වභාවය මැඩ පවත්වනු පිණිස, යමක් සිදුකළ යුතුයැයි හෝ යමක් කිරීම අවශ්‍ය යැයි හෝ හැඟීමක් ඇති කරවන සාධක සම්බන්ධ සවිස්තරාත්ම ධර්ම විග්‍රහය කෙරෙහි අපට අවධානය යොමුකළ හැක. කර්මය හා සිතේ ක්‍රියාකාරිත්වය සම්බන්ධ දේශනා මගින් ඉතා සංකීර්ණ හා පරිණත ආකාරයකින් මෙම සාධකයන්හි ඉස්මතුවීම විස්තර කළ හැක. එම සන්දර්භය තුළ, තිබ්බත බුදු දහමේ විවිධ ගුරුකුලයන් විසින් වලංගු හා වලංගු නොවන බවට ප්‍රකාශ කෙරෙනුයේ කවර සාධකද යන්න අපට විග්‍රහ කළ හැක.

එ් අනුව, අප විසින් නිවැරදි තීරණය ගෙන ඇති බව දැන ගන්නේ කෙසේද? අපි බුදුවරුන් නොවන්නේ නම්, කිසි විටෙක හෝ අප නිවැරදි තීරණය ගෙන ඇත්තේද යන්න දත නොහැක. අපි අපගේ ක්‍රියාවන්හි ප්‍රතිවිපාක නොදන්නෙමු. තවද, සම්බන්ධතාවයක් අවසන් කිරීමේ තීරණයන් විශේෂ කොටගෙන, සිදුවිය හැකි වෙනස්වීම් කෙරෙහි අප විවෘත විය යුතුවේ. එය තදබල තත්ත්වයකි. හැකිතාක් සාධක කිරා මැන බැලීමෙන් අනතුරුව, අනෙක් පුද්ගලයා සමග සාකච්ඡාවකට එළැඹී එය ගොඩනැගෙන ආකාරය වටහාගත යුතුය.

මෙහි අපගේ ශූන්‍යතාවය පිළිබඳ සාකච්ඡාව තුළ, ස්වායත්ථව නිවැරදි තීරණයක් ගනු ඇත්තාවූ, එම තත්ත්වය තුළ නෛසර්ගික පැවැත්මක් ඇති යමක් නොමැති වීම මෙම සන්දර්භයෙහි ශූන්‍යතාවය වේ. එය එසේ නොපවතින අතර විවිධාකාර වූ බොහෝ දේ මත රඳා පවතී. අප විසින් පවසන හෝ සිදු කරන එක් දෙයක් මගින් ස්වායත්ථවම සිදුවන දෙයෙහි ප්‍රතිඵලය නිර්මාණය නොකරයි. සිදුවන දෙය හුදෙක් අප විසින් සිදුකරන දෙයින් පමණක් නොව විවිධාකාර වූ මිලියන ගණනක් හේතු මගින් ඉස්මතු වේ.

අප විසින් සිදුකරන ලද යම් කාර්යයක් මගින් කටයුතු අවුල් කර ඇති අතර එ් අනුව අප වරදකරුවන් වන්නේය යන තත්ත්වයක් එතුළින් පෙනේ. ඉන් අදහස් වනුයේ අපගේ ක්‍රියාව තුළ නෛසර්ගික පැවැත්මක් පැවති අතර, එහි බලයෙන්ම කටයුතු අවුල් කළේය වැනි තත්ත්වයකි. අපට දේවල් පෙනෙන්නේ එ් ආකාරයෙන් වන අතර අපි එය විශ්වාස කරන බැවින් වරදකාරී හැඟීමක් ඇතිවේ. සම්මුතික වශයෙන් අපද එම අවුලට දායකත්වයක් ලබාදුන්නා විය හැකි නමුත් සත්‍ය වශයෙන්ම අප කළ දෙය මගින් ස්වායත්ථව හෝ එහි බලයෙන්ම හා අන් සියල්ලෙන් වියුක්තව එම අවුල නිර්මාණය කළා නොවේ. එයට බොහෝ හේතු විය. බුදුන් වහන්සේ විසින් දේශනා කළ පරිදි, බාල්දිය පිරෙනුයේ පළමු ජල බිඳුව හෝ අවසන් ජල බිඳුව හේතුවෙන් නොවේ; එය පිරෙනුයේ සියලු බිඳුවල එ්කරාශි වූ ඵලය වශයෙනි. ඵලයක් ඇති කරන්නාවූ දහස් ගණන් සාධක පවත්නා අතර එ් සියල්ල අවසන් ඵලයට හේතු වේ, වගකිව යුතුවේ.

වගකීම හා වරදකාරිත්වය

නිදසුනක් ලෙස, මම වතුර වීදුරුව පෙරළා බිම තෙත් කළෙමි.  එම අවුල සිදුවූයේ හුදෙක් මගේ අතින් වතුර වීදුරුව හැපී පෙරළුණු නිසා පමණක් නොව, මේසය කෙළවරට වන්නට වතුර වීදුරුව තැබූ පුද්ගලයා, මේසය සැදූ පුද්ගලයා, එම මේසය මෙතරම් උසය හා මට ජල වීදුරුව පැහැදිලිව නොපෙනෙන තරමට වූ ආලෝක මට්ටම ආදී සාධක මිලියන ගණනක අදාලත්වය සහිතවය.

දැන්, අනිවාර්යයෙන්ම මේසය සැදූ පුද්ගලයා හෝ මේසය කෙළවරට වන්නට වීදුරුව තැබූ පුද්ගලයා එම අවුලට වගකිව යුතුය යන්නක් අපට පැවසිය නොහැක. අපි වගකිව යුත්තෝ වුවද, වරදකරුවන් නොවෙමු. වතුර වීදුරුව බිම පෙරළීම මා අතින් සිදුවුවද, එමගින් මා මෝඩයෙකු - නෛසර්ගිකවම මෝඩයෙකු- බවට පත් කරමින්, මා වතුර වීදුරු පෙරළන්නෙකු වන බැවින් එ් අනුව ඔබට මා කැටුව කවර ස්ථානයකට හෝ යාමට නොහැකිවන තත්ත්වයක් ඇති නොකරයි. පුද්ගලයෝ එවන් දේ සිය අනන්‍යතාවය ලෙස ගනිති: "මං හරි අදක්ෂයෙක්" හෝ "මට ආලෝක විදුලි පහන මාරු කරන්න බැරිවෙයි එ්ක බිඳෙන්නෙ නැතිව. එ්ක නිසා මට උදවු කරන්න" ඈ වශයෙනි. මේවා ඉතා පොදු සිතිවිලි වේ. අප සියලු දෙනා තුළ එවැනි සිතිවිලි වේ. මෙහිදී කථා කෙරෙනුයේ යම් සංකීර්ණ, දාර්ශනික කරුණක් පිළිබඳව නොවේ; කථා කරනුයේ එදිනෙදා ජීවිතය පිළිබඳවයි.

"වරදකාරිත්වය" යන්නෙන් එ් අනුව අදහස් කෙරෙනුයේ මා අයහපත් හෝ නරක පුද්ගලයෙකු බවට පත් කරන යම් නෛසර්ගික දෙයක් මා තුළ පවත්නා අතර මා කළ කාර්යය නෛසර්ගිකවම අයහපත් වූවක් බවයි. අප විසින් යම් කිසිවක් සිදුකළ අතර, අප කළ කාර්යය නෛසර්ගිකවම අයහපත් වූවක් වශයෙන්ද අප නෛසර්ගිකවම අයහපත් පුද්ගලයන් වශයෙන්ද අනන්‍යකරණය කරගන්නා අතර, එ් අනුව අපි එම අනන්‍යතාවයන් ග්‍රහණය කරගනිමින් එ්වා අත් නොහැර පවත්වා ගන්නෙමු. ශූන්‍යතාවය පිළිබඳ වටහාගැනීමක් සහිතව, නෛසර්ගිකවම "අයහපත්" වූද, ස්වායත්ථවම හෙවත් ස්වධීනවම එම තත්ත්වය ස්ථාපනය කරගත් කිසිවෙකු හෝ සිටිය නොහැකිය යන කරුණ අවබෝධ කරගන්නෙමු. මෙම කරුණ ගැඹුරින් වටහාගත් විටදී, තවදුරටත් වරදකාරී හැඟීමක් නොදැනෙනු ඇති අතර, ශූන්‍යතාවය නිවැරදිව වටහා ගන්නේ නම්, අපි අපගේ කටයුතුවලට වගකිව යුතු බවද වටහා ගන්නෙමු.

සාරාංශය

ශූන්‍යතාවය පිළිබඳ වැටහීමත් සමගින්, සිය වාහනයේ නලාව හඬවමින් අප පසුකර යාමට උත්සාහ කරන අනෙක් රියේ රියැදුරු සැබෑ මෝඩයෙකු ලෙස අපට පෙනෙන නමුත් මෙය යථාර්ථය හා සැබෑ ලෙසම අනුගත වන බව  අපද විශ්වාස නොකරන බව අවබෝධ කරගන්නෙමු. නිදසුනක් ලෙස "මෝඩයා" නමැති වචනය හා අන් බො‌හෝ සංකල්ප මත පදනම්ව "මෙය" හෝ "එය" වශයෙන් දේවල් ඉස්මතුවන ආකාරය අපි දකින්නෙමු. මෙම වැටහීමත් සමගින් අපි අපගේ ඉවසීම තොර කරගනිමින් අදාල පුද්ගලයා හා කෝප නොවන්නෙමු. ඔහු ජර්මානු සම්මුතීන්ගේ දෘෂ්ටි කෝණයෙන් බලන කල සම්මුතිකව මෝඩයෙකු සේ රිය පදවනවා විය හැකි නමුත් එමගින් ඔහු නෛසර්ගිකවම අයහපත් පුද්ගලයෙකු වීමේ වරදකරුවෙකු බවට පත් නොකරයි

Top