දෙසත්‍යයෙන් චතුර් සත්‍යයට

ආධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීම

අපට ආධ්‍යාත්මික අරමුණක් වෙනුවෙන් කටයුතු කළ හැකි ආකාර දෙකකි:

  • ඇදහිල්ල නමැති පදනම පිළිබඳව-  මෙහිදී අරමුණ සාක්ෂාත් කරගත හැක්කේය යන ඇදහිල්ලක් හෙවත් විශ්වාසයක් අපට පවතී. මෙම පදනම මත එ් සඳහා කටයුතු කරන අතර, ඔබගේ පුහුණුව තුළ ඉදිරියට ගමන් කරන විටදී, අවසන අරමුණ සාක්ෂාත් කරගත හැක්කේය යන කරුණ ඔබට එ්ත්තු ගැන්වේ. නිදසුනක් ලෙස, ඔබගේ අරමුණ වනුයේ සදාකාලිකවම දුක මැඩ පවත්වා එය මුළිනුපුටා දැමීම වන්නේ නම්, හා එය කළ හැක්කක්ය යන විශ්වාසය ඔබ සතුවේ නම්, එම මාර්ගයෙහි ඉදිරියට කටයුතු කිරීමේදී ඔබගේ දුක නිවී යන්නේ නම් අරමුණ සාක්ෂාත් කරගත හැක්කේය යන කරුණ ඔබට එ්ත්තු ගැන්වේ. ඔබගේ ප්‍රගතියේ කොටසක් වශයෙන්, ඔබ වඩ වඩාත් අධ්‍යයනය කරමින් භාවනා කරන අතර මේ මගින් තර්කානුකූලවද එම අරමුණ සාක්ෂාත් කරගත හැක්කේය යන කරුණ ඔබට එ්ත්තු ගැන්වේ.
  • වැටහීමේ පදනමින් - අරමුණ සාක්ෂාත් කරගත හැක්කක්ය යන කරුණ කෙරෙහි තර්කන ඥාණයෙන් හා හේතු විමසීමෙන් පළමුව ඔබට කරුණු එ්ත්තු ගැන්වෙන අතර, ඉන්පසු ඔබ එ් සඳහා කටයුතු කරයි.

මෙම කරුණ සම්භාව්‍ය බෞද්ධ සූත්‍රගත කිරීමකට ලක්කළ යුතු වන්නේ නම්, මේවා වූකලි බෝධිචිත්තය වැඩිදියුණු කරගැනීම සඳහා වූ විධික්‍රම දෙකට අනුව සාමාන්‍යයෙන් සාකච්ඡා කෙරෙන ප්‍රවේශයන් දෙක වේ. 

පළමුව අපි මේ දක්වාද සිදුවී නොමැත්තේ වුවද සිදුවිය හැකි දෙයක් වන අපගේම මතු බුද්ධත්වය අරමුණු කරමින් සාපේක්ෂ බෝධිචිත්තයක් වැඩිදියුණු කරගන්නෙමු. හේතු ඵලවාදය සහ අන්‍යයන් වෙත උපකාර කරනු පිණිස වූ වඩාත් ඵලදායී ක්‍රම පූර්ණ වශයෙන් වටහා ගනු ලබන මෙම තත්ත්වය අවබෝධ කිරීම මගින් පමණක් සැබෑ ලෙසම සියලු දෙනා හට උපකාර කළ හැක්කේය යන්න වටහා ගන්නා බැවින් සියල්ලන්ගේ ප්‍රයෝජනය පිණිස මෙය සිදු කිරීමට අපට අවශ්‍ය වේ. මෙයට අමතරව, එය සාක්ෂාත් කරගත හැක්කක්ය යන විශ්වාසයද අප සතුවේ.

අප වඩ වඩාත් ප්‍රගති මාවතේ ඉදිරියට ගමන් කරන්නට කරන්නට, සිදු නොවිය හැකි ආකාරයන්ගෙන් දේවල් නොපවතින්නේය යන කරුණ හෙවත් ශූන්‍යත්වය (හිස්බව) වටහා ගැනීම නම් වූ ගැඹුරුම බෝධි චිත්තය වැඩි වර්ධනය කරගන්නෙමු. යථාර්ථය වටහා ගනිමින් සිතේ ස්වභාවය තුළ මනඃකල්පිතයන් ප්‍රක්ෂේපණය කිරීම නොව සැබෑ ලෙසම යථාර්ථය අවබෝධ කරගැනීමේ හැකියාව පවත්නා බව වටහා ගනිමු. මෙම වැටහීමත් සමගින් අදාල අරමුණ සාක්ෂාත් කරගත හැක්කක්ය යන කරුණ පිළිබඳ තර්කානුකූල එ්ත්තු ගැනීමක් අප තුළ ඇතිවේ. ඉන්පසු අපගේ විශ්වාසය ඇදහිල්ලක් බවට පත්වේ.

අනෙක් ප්‍රවේශය වනුයේ ගැඹුරුම බෝධිචිත්තය ඇතුළත් බුද්ධත්වය සාක්ෂාත් කරගත හැක්කක්ය යන්න වටහා ගන්නාවූ මෙකී යථාර්ථාවබෝධය පළමුව වැඩිදියුණු කරගැනීමයි. මෙකී පදනමින්, බුද්ධත්වය සාක්ෂාත් කරගත හැක්කේය යන කරුණ අපට එ්ත්තු ගැන්වෙන අතර මෙම ඇදහිල්ල හේතුකොට, එය සාක්ෂාත් කරගැනීම උදෙසා කටයුතු කරමු. ඉන්දියානු මහා ආචාර්යවරයෙකු වන නාගාර්ජුනයන් විසින් ලේඛනගත කරන ලද පාඨ ග්‍රන්ථයක් වන "බෝධිචිත්ත විවරණය" නම් වූ කෘතිය තුළ මෙම දෙවන ප්‍රවේශය හමුවේ.

අප විමසා බැලූ පැදිය තුළ  දෙසත්‍යය තුළින් චතුරාර්ය සත්‍යයද, චතුරාර්ය සත්‍යය තුළින් තිසරණයද ප්‍රභවය ලබන්නාවූ ආකාරය පිළිබඳ මෙම ප්‍රවේශය ඉදිරිපත් කෙරේ. මෙම ඉදිරිපත් කිරීමේ අරමුණ වනුයේ විමුක්තිය හා බුද්ධත්වය යථාර්ථය මත පදනම් වන බැවින් එ්වා සාක්ෂාත් කරගත හැක්කේය යන්න වටහා ගැනීමට අපට උපකාරී වීමයි. 

  • විමුක්තිය යන්නෙන් අර්ථවත් කෙරෙනුයේ සදාකාලිකවම දුකින් නිදහස් වන පරිදි සංසාරයෙන් මුළුමනින්ම මිදෙන ආකාරයෙන් පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තියෙන් සදා මිදීමේ තත්ත්වයයි. විමුක්තිය සාක්ෂාත් කරගත්තෝ විමුක්තිලාභීන් හෙවත් "අරහතුන් වහන්සේලා" වේ.
  • බුද්ධත්වය හෙවත් විමුක්තිය යනු සියලු සීමිත සත්ත්වයන් වෙත පවා විමුක්තිය හා බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම සඳහා උපකාර කිරීමේ වඩාත් ඵලදායක විධීන් අවබෝධ කරගැනීමෙන් ඔබ වළකාලන්නාවූ සියලු අන්ධකාරයන්ගෙන් සදාකාලිකවම නිදහස් වීමේ ස්වභාවයයි. බුද්ධත්වය ලද සත්ත්වයෝ "බුදුවරුන්" වශයෙන් හැදින්වේ.

ශාක්‍යමුනි බුදුරාජණන් වහන්සේට පමණක් නොව අපටද විමුක්තිය හා බුද්ධත්වය සාක්ෂාත් කරගත හැක්කේය යන කරුණ එ්ත්තු ගිය කල්හි එමගින් අපගේ ආධ්‍යාත්මික පිළිවෙත් පූරණය කෙරෙහි ඉමහත් ශක්තියක් හා ස්ථාවරත්වයක් ලබාදෙනු ලබයි. එය වටහා ගැනීම එතරම් පහසු කටයුත්තක්ය යන්න කිසිවෙක් හෝ නොපවසනු ඇත.

දෙසත්‍යය

අපගේ පළමු සැසිය තුළ, අපි පද්‍යයේ පළමු පේළිය සාකච්ඡා කළෙමු:

සියලු දේ ස්ථාවරව පවත්නා ආකාරයේ පදනම වන දෙසත්‍යයේ අර්ථය වටහා ගනිමින්,

සියලු දේ ස්ථාවරව පවත්නා ආකාරය නමින් හඳුන්වන, සියලු දේ පවත්නා හා ක්‍රියාත්මකවන ආකාරය සලකා බලන්නාවූ දෙසත්‍යය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම වූකලි සමස්ත සාකච්ඡාව පිහිටන්නාවූ පදනම වේ. සියල්ල පිළිබඳ වූ මෙකී දෙසත්‍යය වලංගු වන අතර එ් හේතුවෙන්ම සත්‍යද වේ:

  • සාපේක්ෂ සත්‍යය: දේවල් හේතු ප්‍රත්‍ය මත රඳා පවතිමින් ඉස්මතු වේ. සැබැවින්ම, එවාහි කොටස් හා එ්වා සම්බන්ධ සංකල්ප වැනි දේවල් රඳා පවත්නා වූ සෙසු මට්ටම්ද වේ. කර්මයේ බලපෑම හා සම්බන්ධව පැන නගින සතුට හා අසතුට පිළිබඳ අපගේ අත්දැකීම ඇසුරින් විශේෂයෙන් ඉස්මතුවන අත්දැකීම් ආශ්‍රිත හේතු ඵල වාදය මෙහි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කෙරෙන කරුණයි.
  • ගැඹූරුම සත්‍යය: දේවල් හේතු මත රඳා පවතිමින් ඉස්මතුවන බව හෙවත් පටිච්ච සමුප්පන්න බව අපට නොපෙනිය හැකි නමුත්, අප පැවැත්මක් යයි හඳුනාගන්නා එකී නොමඟ යවන සුළු හා විය නොහැකි ස්වභාවයේ පැවතුම් යථාර්ථය හා අනුගත නොවේ. අපගේ චිත්ත ප්‍රක්ෂේපණයනට අනුගත වන්නාවූ සැබෑ යථාර්ථයක් කිසි‌සේත් නොපවතී. මෙසේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ස්වාධීනව හෙවත් ස්වායත්ථව පවත්නා දේවල් නොපවත්නා ස්වභාවය "ශූන්‍යතාවය" හෙවත් "හිස්බව" ලෙස හැඳින්වේ.

චතුරාර්ය සත්‍යය

දෙසත්‍යයේ වලංගුභාවය නමැති පදනම මත බුදුරජාණන් වහන්සේට චතුරාර්ය සත්‍යය සකස් කිරීමට හැකිවිය. මෙය පද්‍යයේ දෙවෙනි පේළියෙන් පෙන්වා දී ඇත:

චතුර් සත්‍යය මගින් පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්ති ස්වභාවයට නැවත නැවතද ඇතුළත් වන නමුත් එය ආපසු හැරවීමද කළ හැකි ආකාරය පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබන්නෙමු.

චතුරාර්ය සත්‍යය ඉහළ අවබෝධයක් ලද උත්තමයන් විසින් සත්‍ය සේ දැක ඇත. මෙම කරුණු සත්‍ය ලෙස දකිනුයේ බුදුවරුන් පමණක් නොව බුද්ධත්වයට පත්වීමේ මට්ටමට එළැඹීමට බොහෝ කල් තබා යම්  මට්ටමක් සාක්ෂාත් කරගත් අය විසින් පවා එය එසේ දකින්නාවූ බැවින් මෙය වූකලි සිත් ගන්නා සුළු කරුණකි. ශූන්‍යත්වය හෙවත් ගැඹුරුම සත්‍යය පිළිබඳ අසංකල්පීය වැටහීමක් පවත්නා අවස්ථාවන්හිදී එය සිදුවේ. මෙම වැටහීම මුළුමනින්ම නිවැරදි හා තීරණාත්මක එකක් වේ. එය අසංකල්පීය එකක් වන බැවින්, එමගින් අදහස් කෙරෙනුයේ කාණ්ඩ මගින් දේවල් වටහා නොගන්නා බවයි. 

"සුනඛයා" වැනි කාණ්ඩයක් මගින් සිතා බලන විටදී, ඔබට සුනඛයෙකු නියෝජනය කරන යම් කිසිවක් පවතී. මෙම නියෝජනය එක් එක් පුද්ගලයා විෂයයෙහි සුළු වශයෙන් වෙනස් විය හැකි නමුදු, විථියේ හෝ වෙනයම් තැනෙක සිටින සුනඛයෙකු දකින විටදී, අපි මෙම කාණ්ඩය හරහා ඌ පිළිබඳ වටහා ගන්නෙමු. නිශ්චිත දෘශ්‍ය චිත්ත රූපයක් නොවුවද සුනඛයෙකු සම්බන්ධව අප තුළ පවත්නා චිත්ත රූපය මගින් ඌ මෙම කාණ්ඩය හරහා වටහා ගන්නෙමු. සුනඛයෙකු පිළිබඳව අප සතුව පවත්නා චිත්ත රූපය මගින් අපි සුනඛයෙකු පිළිබඳ වැටහීම එයට සම්බන්ධ කරන්නෙමු. අපි යමක් අසංකල්පීය ලෙස වටහා ගන්නා විටදී, එසේ සිදු කරනුයේ කිසිදු කාණ්ඩ පෙරණයක් හෝ එය නියෝජනය කරන යම් දෙයක් තුළින් නොවේ. එබැවිනි එය "පියවි වැටහීම" ලෙස හඳුන්වනුයේ. ඔබ දේවල් යම් රාමු තුළට බහාලීමකින් තොරව වටහා ගනී. 

ඉහළ අවබෝධයක් සහිත උත්තමයන් හෙවත් ආර්යයන් වහන්සේලා යථාර්ථය කිසිදු "යථාර්ථ" අච්චුවකට බහාලීමකින් තොරව හෙවත් "දැන් මම යථාර්ථය දකිමි" ආදියෙන් තොරව යථාර්ථය දකිති. කිසිදු කාණ්ඩගත අච්චුකට බහාලීමේ අවශ්‍යතාවයකින් තොරව ඔවුහූ වටහා ගන්නා යථාර්ථය පූර්ණ වශයෙන් හා නිවැරදි ලෙස වටහා ගනිති. එය පහසු කටයුත්තක් නොවේ. දේවල් බහාලන්නාවූ මෙකී අච්චු පිළිබඳ වචනයෙන් ප්‍රකාශ නොකළද, එයයි අප දේවල් දකින්නාවූ සාමාන්‍ය ස්වරූපය. දේවල් ස්වාධීනව හා අන් සියල්ලෙන් වෙන්ව පැවතියාක් මෙන් අපි එ් සියල්ල අච්චුවලට බහා ලන්නෙමු.

සංකල්පීය වැටහීම පිළිබඳ තවදුරටත් මෙහිලා විග්‍රහ කිරීමක් අවශ්‍ය නොවේ. ගතයුතු සාරය නම්, මෙයාකාරයෙන් යථාර්ථාවබෝධය ලැබීම පිණිස ඔබ බුදුවරයෙකු වීම අවශ්‍ය නොවන බවයි. යථාර්ථය අසංකල්පීයව දක්නා විටදී, චතුරාර්ය සත්‍යය සත්‍ය සේ දකිනු ඇති අතර අපට එ් පිළිබඳ සැක නොමැති තත්ත්වයක්ද ඇතිවේ.

මෙම චතුර්විධ සත්‍යයන් කවරේද? පළමු සත්‍යය නම් දුක යන කාරණයයි. දෙවැන්න දුකට හේතුවයි. තෙැවන්න දුක හා එයට බලපාන්නාවූ හේතූන් නතර කරලීමයි. සිවුවැන්න වනුයේ දුක නිවාලීම පිණිස යොමු කෙරෙන්නාවූ මාර්ගය හෙවත් වැටහීමයි. මේවා "සැබෑ දුක", "සැබෑ හේතුව" ආදියෙහි යෙදෙන්නාක් මෙන් සත්‍යයන් ලෙස හැඳින්වේ.

මෙම සමස්ත සාකච්ඡාව ආරම්භයක් හා අවසානයක් රහිත චිත්ත සන්තතිය නම් වු පුනරුත්පත්ති සන්දර්භය තුළ සිදු කෙරේ. පුනරුත්පත්තිය පදනමයි. හේතු ඵල න්‍යායට අනුව ක්‍රියාත්මක වන්නේ නම්, හිස් බවකින් ආරම්භ වීම නමැති නිරපේක්ෂ ආරම්භයක් පැවතිය නොහැකි වන්නාවූ, මොහොතින් මොහොත එක් එක් දෙය අත්දකින තත්ත්වය පිළිබඳ කථා කළෙමු. එමෙන්ම, එය නැවතත් හිස්බවක් බවට පත්වන අවසාන මොහොතක්ද මෙහි පැවතිය නොහැක. එය සිදු විය නොහැක්කකි. හුදෙක් හේතුඵල න්‍යාය නමැති මූලික සත්‍යයේ සිට, එ් එ් චිත්ත සන්තතීන් තුළ කිසිදු ආරම්භයක් හෝ අවසානයක් නොමැත්තේය යන නිගමනයට අපට පැමිණීමට සිදුවේ. එබැවින්, පුනරුත්පත්තිය යන්න සත්‍යයක් විය යුතුය.

සැබෑ දුක

සැබෑ දුකෙහි පැතිකඩයන් තුනකි:

  • පළමුවන්න නම් සාමාන්‍ය අසතුට හෙවත් දුක්ඛ දුක්ඛ ලෙස හඳුන්වන දෙයයි. අප සියලු දෙනා අසතුට හෙවත් දුක අත්දැක ඇත. අසතුට යන්නෙන් අවශ්‍යයෙන්ම වේදනාවමද හැඳින්වෙන්නේ නැත. සතුට හා දුක සහ සුඛය හා වේදනාව එකිනෙක වෙනස් යුගල දෙකකි. සුඛය හා වේදනාව ශාරීරික හැඟීම් වන අතර සතුට හා අසතුට මානසික ස්වභාවයන්‌ වේ. යමෙකු වේදනාව අත්විඳින නමුත් දැඩි ශාරීරික ප්‍රයත්නයකින් පසුව සිදුවන්නාක් මෙන් එ් පිළිබඳ සතුටු විය හැකි අතර, බලහත්කාරී ලිංගික හැසිරීමකට යොමු කළ විටදී මෙන් යමෙකුට සුඛයක් අත් විඳින නමුත් එ් පිළිබඳ බොහෝ සෙයින් නොසතුටුද විය හැක. එ් අනුව එකිනෙක වෙනස් විචල්‍ය දෙකක් පවතී. මෙහිදී අප සියලු දෙනා දන්නා අසතුට පිළිබඳ කථා කරන අතර එය සියලු ආකාර දුක්වලින් පිරි වඩා අයහපත් පුනර්භව තත්ත්වයන් මගින් විස්තර කෙරේ. 
  • දෙවැනි වර්ගය විපරිණාම දුක්ඛ හෙවත් වෙනස්වීම පිළිබඳ දුක වන අතර, ඉන් අපගේ සාමාන්‍ය සතුට දක්වනු ලබයි. අපගේ සාමාන්‍ය සතුට හා සම්බන්ධ ගැටළුව වනුයේ එය ස්ථිරව නොපවතින අතර අප සෑහීමකට පත් කිරීමක්ද එමගින් සිදු නොවීමයි. අපට නිරතුරුවම වඩ වඩාත් අවශ්‍ය වන නමුදු, පමණ ඉක්මවා ඇති විටදීද කෝපයට පත්ව එය අසතුටක් බවට පරිවර්තනය වේ. ඔබගේ ප්‍රියතම ආහාර පමණ ඉක්මවා ගැනීමෙන් ඔබ රෝගී හා අපහසු තත්ත්වයට පත්වීම පිළිබඳ පහසු නිදසුනක් දැක්විය හැක. එවිට ඔබට තවත් ආහාර ගැනීමට අවශ්‍ය නොවන අතර යම් අසතුටක් දැනේ. එ් අනුව, ගැටළුව වනුයේ අපගේ සාමාන්‍ය සතුට සන්තෘෂ්ටිදායක නොවන අතර ස්ථාවරද නොවන්නේය යන්නයි. අපගේ සාමාන්‍ය ජීවිතය ඉහළ පහළ ගමන් කරන අතර, ඇතැම් විටෙක අපි සතුටින්ද, ඇතැම් විටෙක අසතුටින්ද පසු වන නමුදු මෙහි කිසිදු ආරක්ෂිත හැඟීමක් නොමැත. අප වටා කවරක් සිදු වුවද, ඊළඟ මොහොතේ කවරක් දැනේදැයි කිව නොහැක. ක්ෂණිකව අපට අසතුටක්, නීරස හෝ මානසික අවපාත ස්වභාවයක් දැනිය හැක. එය නොකඩවා ඉහළ පහළ ගමන් කරයි. 
  • සංඛාර දුක්ඛ හෙවත් සියල්ලෙහි පැතිර පවත්නා දුක තෙවන වර්ගයේ දුක වන අතර එය වූකලි අසතුට හා සාමාන්‍ය සතුට අතර අප තුළ සිදුවන ඉහළ පහළ යාමේ පදනමයි. මෙම පදනම වනුයේ සංස්කෘත භාෂාවෙන් සංසාර ලෙස හැඳින්වෙන, පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පැවැත්ම හෝ පුනරුත්පත්තියයි. ජීවිතයේ ඉහළ පහළ යාම් හෝ සාමාන්‍ය සතුට හා අසතුට සඳහා පදනම වන සිරුරක් හා මනසක් සහිතව නැවත නැවතද ඉපදෙමින් ගමන් කරන්නෙමු. මෙයයි සැබෑ දුක හෙවත් අපගේ සැබෑ ගැටළුව. මෙයයි යථාර්ථය දක්නේ නම් අප දකිනු ඇත්තාවූ ප්‍රධාන දුක.

දුකට හේතු

ඔබ යථාර්ථය දක්නේ නම්, නොකඩවා ඉදිරියට ගමන් කරන්නාවූ පදනමක්ද සහිතව අප අත්දකින දේ ඉහළ පහළ ගමන් කරන්නේය යන කරුණ සත්‍ය වන බව ඔබට වැටහෙනු ඇත. මෙය දක්නා විටදී, එය යම් හේතුවකින් පැන නැගිය යුතු බව අවබෝධ කරන්නෙමු. සාපේක්ෂ සත්‍යයේ ප්‍රධාන කරුණ වනුයේ සියලු දේ හේතු තුළින් ඉස්මතු වන්නේය යන්නයි. එ් අනුව, අප සලකා බලන පද්‍යයේ සඳහන් පරිදි පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තියකට අප නොකඩවා ඇතුළු වීමට බලපාන්නාවූ සැබෑ හේතුව කවරක්ද? වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, එය සිදුවන්නේ කෙසේද? මෙසේ නැවත නැවතද සිදුවන චක්‍රය ස්ථාවරව පවත්වාගෙන යන හේතුව කුමක්ද?

අපගේ පසුගිය සැසිය තුළදී අප දුටු පරිදි, අපි අසතුටක් අත් විඳින්නේ නම්, එය හානිකර හෙවත් පාපකාරී චර්යාවෙහි ප්‍රතිඵලය වන අතර සාමාන්‍ය සතුටක් අත් විඳින්නේ නම් එය පුණ්‍යවන්ත චර්යාවෙහි ප්‍රතිඵලය වේ. මෙයට බලහත්කාරී පෙළඹීම හෙවත් පාලනයකින් තොරව සිදුවන පෙළඹීම ලෙස මා නිතර පරිවර්තනය කරන කර්මයද එක් කරමු. එ් අනුව, අප තුළ පාලනයකින් තොරව සිදුවන පාපකාරී චර්යාවන්ද පාලනයකින් තොරව සිදුවන පුණ්‍ය චර්යාවන්ද පවතී. මෙය බුදුවරයෙකුගේ පුණ්‍යවන්ත චර්යාව වැනි වූවක් නොව ආත්ම හැඟීමක් මත පදනම්ව පාලනයකින් තොරව යහපත් දේද, පාලනයකින් තොරව පරිපූර්ණව සියලු දේ නිවැරදිව කළ යුතුයයි හඟින තත්ත්වයක්ද සහිත චර්යාවකි. මෙය නියුරෝසික හෙවත් ස්නායු විකාරී තත්ත්වයකි. 

අප පාලනයකින් තොරව බලහත්කාරී පෙළඹීමක් මගින් කටයුතු කරන්නේ නම්, එසේ සිදු කරනු‌යේ පාලනයකින් තොරව සිදුවන පාපකාරී චර්යාවන් ඇසුරින් දැනටමත් සාකච්ඡා කරන ලද පරිදි කැළඹිලිකාරී භාවයන්ගේ හා ආකල්පයන්හි බලපෑමට යටත්ව සිටින බැවිනි. කෝපය හේතුකොට අපි යමෙකු මරා දමන්නෙමු; ලෝභය හේතුකොට සොරකම් කරන්නෙමු; මෝහය හේතුකොට "මාව අහුවෙන්නෙ නෑ. එ් නිසා කමක් නෑ. මං සොරකම් කරන්නෙ විනෝදෙට" ආදී  කල්පනාවන්හිදී මෙන්, අපගේ ක්‍රියාවනට ප්‍රතිවිපාක නොලැබෙන්නේයැයි සිතන්නෙමු.

මෙකී පාලනයකින් තොරව සිදුවන පාපකාරී චර්යාවන් පිටුපස නොදැනුවත්භාවයක් පවතී. එය නිරන්තරයෙන් "මෝහය" ලෙස පරිවර්තනය වුවද, එමගින් අප අඥාණ හා ව්‍යාකූල ස්වභාවයෙන් පසුවන බවක් නොඇඟවේ. අප නොදැනුවත්ව සිටින්නේ කවරක් පිළිබඳවද? පළමුව අපි හේතු ඵල න්‍යාය පිළිබඳ නොදැනුවත්ව සිටින්නෙමු. එය වටහා ගත්තේ නම් හා අපට එය එ්ත්තු ගැන්වී නම්, පාපකාරී ක්‍රියාවන්හි නිරත නොවනු ඇත. එහිදී අවසන දුක ඇතිවන බව නිරායාසයෙන් හෙවත් සහජයෙන්ම අපට වැටහෙනු ඇත. මෙම දුක යනු දඬුවමක් නොව හුදෙක් අප විසින් නිර්මාණය කරනු ලබන හේතූන්හි ප්‍රතඵලයයි.

සැබැවින්ම නොදැනුවත්භාවය වර්ග දෙකකින් සමන්විත වේ. එක්කෝ පාපකාරී ක්‍රියාවන්හි නිරත වීම මගින් අවසන අසතුට ඇතිවන බව අප නොදනී, නොඑසේ නම්, "පාපකාරී ක්‍රියාවල නිරත වුවහොත් එමගින් සතුටක් ඇතිවේ. මට ඕන දේ සොරකම් කරගත්තොත් එ්කෙන් සතුටක් ලබන්න පුළුවන්. මගේ සතුරා මරා දැමුවහොත්, එමගින්ද සතුටක් ඇතිවන්න පුළුවන්." ආදී ලෙස එහි ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල ඇතිකර ගනී. හානිකර හෙවත් පාපකාරී ක්‍රියාවක නිරත වූ විගස "ෂා. මං එ් මදුරුවා මැරුවා. දැන් කරදරයක් නැතිව හිටියෑකි" වැනි සතුටක් දැනිය හැකි නමුදු, එහි දිගු කාලීන ප්‍රතිවිපාකය සලකා බලන්නේ නම්, මෙවන් ආකාරයේ පාප චර්යාවන් හේතුකොට වට පිටාවේ පසුබිම කවරක් වුවද අසතුටක්ම දැනේ. එ් අනුව, හේතු ඵල න්‍යාය පිළිබඳ නොදැනුවත්භාවය හේතුකොට පාපකාරී චර්යාවන් ඉස්මතු වේ. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, එය සාපේක්ෂ සත්‍යය පිළිබඳ නොදැනුවත් භාවයයි. මේ සියල්ල වටහා ගැනීම පහසු කටයුත්තක් නොවන බැවින් එය එසේ බවක් අඟවන්නට උත්සාහ‌ නොකරමි. එසේ නමුදු, එය වටහා ගැනීම පිණිස අවශ්‍ය කටයුතු කළ හැක. මෙම කරුණ සාරාංශගත කරන්නේ නම්, මා හට නිරන්තරයෙන් අසතුටක් දැනෙනුයේ හේතු ඵල දහම වටහා නොගත් බැවිනි. මාගේ සිත කෝපය, ලෝභය, ඊර්ෂ්‍යාව වැනි කෙලෙස්වලින් බරව පවත්නා විටදී, එම කෙලෙස් මගින් මා බලහත්කාරී ලෙස පාපකාරී ක්‍රියාවන්හි නිරත කරවනු ලබයි. මෙය සත්‍ය වශයෙන්ම ස්වයං-විනාශකාරී වූවකි. මක් නිසාද, එම ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විට මාද අසතුටින් සිටින තත්ත්වයක් උදාවන බැවිනි. මෙයයි අප විසින් සකසාගත යුතුවන සම්බන්ධතාවය.

අප අත් විඳින සතුට නොදැනුවත්කම හේතුවෙන්ද ඉස්මතුවන නමුදු, මේ උදාහරණයේදී අප කථා කරනුයේ දේවලට අදාල ගැඹුරුම සත්‍යය පිළිබඳ නොදැනුවත්භාවයයි. වඩාත් නිවැරදි වන්නේ නම්, පුණ්‍යවන්ත හා පාපකාරී යන චර්යා වර්ග දෙකටම පදනම් වනුයේ නොදැනුවත්භාවය බ‌ව පැවසිය යුතුය. පාපකාරී චර්යාව පිළිබඳ සලකා බලන්නේ නම්, එහිදී ගැඹුරුම සත්‍යය හා සාපේක්ෂ සත්‍යය යන දෙකරුණ කෙරෙහිම අපි නොදැනුවත්ව සිටින්නෙමු. පුණ්‍යවන්ත චර්යාවන් සම්බන්ධයෙන් ගත්කල, හුදෙක් අපි ගැඹුරුම සත්‍යය පිළිබඳ නොදැනුවත්ව සිටින්නෙමු. "මා කුමක් කරන්නද? මට ඕන මා කැමති විදිහට කටයුතු කරන්නයි. මට කණගාටුයි" යනුවෙන් සිතන්නාවූ යම් හඬක් අප හිස තුළ පවතී. එහිදී අප හා කථා කරන්නාවූද, සැබැවින්ම සොයාගත හැකිවූද කුඩා "මා" යන්නෙකු එහි සිටින්නාක් මෙනි. නමුත් මෙය යථාර්ථය හා අනුගත නොවේ. එවැන්නක් නොමැත. හුදෙක් අපගේ සිතිවිලි වචනවලට හැරවීමේ ක්‍රියාවලියක් විනා එහි මැසිවිලි නඟන හා කණගාටුවන "මා" හෙවත් "මමෙක්" නොමැත. අප අපගේ පැවැත්ම පිළිබඳ නොදැනුවත්ව සිටින්නෙමු, ගැඹුරුම යථාර්ථය පිළිබඳ නොදැනුවත්ව සිටින්නෙමු, සිටින්නේ යැයි දැනෙන කාල්පනික "මා" පිළිබඳ මෙකී ප්‍රක්ෂේපණයෙන් එය හා අනන්‍ය වන්නෙමු. එම තත්ත්වය යථාර්ථය හා අනුගත නොවන බැවින්, අපි එ් පිළිබඳ අනාරක්ෂිත වන අතර අපවම ආරක්ෂා කරගැනීමට උත්සාහ කරන්නෙමු. පැහැදිලිවම මෙම කාර්යයේදී අපට කිසිදින සාර්ථක විය නොහැක.

එසේ සිතින් මවාගත් කුඩා "මා" ආරක්ෂා කිරීම සඳහා වූ උත්සාහයේදී අප විසින් යොදාගනු ලබන එක් යාන්ත්‍රණයක් වනුයේ අපගේ කැළඹිලිකාරී භාවයන්ය. "මට යම් කිසිවක් ලැබුණහොත් මා ආරක්ෂිත වනු ඇත" යන හැඟීමක් ඇතිවන අතර, එ් අනුව අප තුළ ලෝභය, ඇල්ම හා කාමය ඇතිවේ. ඉන්පසු අපගේ හැඟීම වනුයේ "එ්ක මගෙන් අයින් කළානම් මම ආරක්ෂිතයි" යන්නයි. එ් අනුව අපට කෝපය හා නුරුස්නා බව ඇතිවේ. නොඑසේ නම්, මෝහයෙන් මත්ව "මා බියට පත්ව සිටින දේ නොමැත්තේ යයි සිතන්නේ නම් මා එමගින් ආරක්ෂා වනු ඇත" යනුවෙන් සිතයි. අප තුළ වර්ධනය වන ආතති මට්ටම් නොසලකා හැරීම වැනි අවස්ථාවන්හිදී මේ පදනමින් සැලකුවහොත් අප තුළ පවත්නේ පාපකාරී චර්යාවන් වේ. කෝපය පදනම්ව අපි අන්‍යයන් වෙත බැණ අඬ ගැසීම, ඔවුන් රිදවීම හා ඝාතනය පවා සිදු කරන්නෙමු. ලෝභය හෙවත් රාගය හේතුවෙන් අන්‍යයන් සිත් රිදවන්නාවූ සොරකම්, නුසුදුසු ලිංගික චර්යාවන් ආදියෙහි නියැලෙන්නෙමු. මෝහය හේතුකොට, පමණ ඉක්මවා වැඩ කරන්නන් බවටද, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීමටද, කිසිදින ශාරීරික හා මානසික අභ්‍යාස නොකරන්නටද පෙළඹෙන්නෙමු. මේ සියල්ල, අපගේ පැවැත්ම පිළිබඳ ගැඹුරුම සත්‍යය හා හේතු ඵල දහම පිළිබඳ පවත්නා මෝහය හේතුකොට ඉස්මතුවේ.

ධනාත්මක හෙවත්, පුණ්‍යවන්ත චර්යාවන් පිළිබඳ සලකා බලන්නේ නම්, කැළඹිලිකාරී භාවයන් සහිත පදනමක් නොපවත්නා තැනකදී වුව එ් සියල්ලෙහි පදනමෙහි මෙකී මෝහය පවතී. සර්ව සම්පූර්ණ හෝ යහපත් අය බවට පත් වෙමින් අපි අපගේ පැවැත්ම සනාථ කිරීම‌ට හෝ තහවුරු කිරීමට උත්සාහ කරන්නෙමු. එනම්, හොඳම මව/පියා බවට පත්වෙමින් ආදී වශයෙනි. එ් හරහා "මාගේ හිස තුළ සිටින මෙකී කුඩා 'මා' වෙත මෙමගින් ආරක්ෂිත හැඟීමක් ලබාදෙනු ඇත" යන සිතිවිල්ල මෙහි පවත්නා නමුදු, එය කිසිදින සාර්ථක නොවේ. අපට කිසි විටෙක හෝ ආරක්ෂිත බවක් නොහැඟේ. අන්‍යයන් වෙත උපකාර කිරීමෙන් අපට යම් සතුටක් දැනෙන නමුදු, සාමාන්‍ය සතුටක් වන බැවින් එයද කල් නොපවතිනු ඇත. අනිවාර්යයෙන්ම තවදුරටත් අප එතරම් යහපත් නොවන බව , සර්ව සම්පූර්ණ නොවන බව, හැඟෙන බැවින් ඉන් කිසිදින සෑහීමකට පත් නොවනු ඇත. අප විසින් යමක් සනාථ කළ යුතු බව තවදුරටත් හැඟේ. එය පැහැදිලිවම අපගේ පැවැත්ම පිළිබඳ ගැඹුරුම මට්ටමේ පවත්නා මෙකී නොදැනුවත්භාවය මත පදනම් වේ.

තෙවන වර්ගයේ දුක හෙවත් අසතුට හා සාමාන්‍ය සතුට අතර ඉහළ පහළ යාම් අත්දකින තත්ත්වය සම්බන්ධයෙන් ගත්කල, "පුරුක් 12හේ පටිච්ච සමුප්පාදය" නම් වූ ඉතා සංකීර්ණ වැඩපිළිවෙලක් පවතී. මෙය මෙහිදී එතරම් සවිස්තරාත්මකව විග්‍රහ නොකෙරුණද , එ් වූකලි කර්මය ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් වූවකි.

සරලම ආකාරයෙන් විග්‍රහ කරන්නේ නම්, කර්මය යන්නෙන් බලහත්කාරී පෙළඹීම අදහස් කෙරෙන අතර එ් පදනම් කොටගනිමින් අපි පාපකාරී වේවා, පුණ්‍යවන්ත වේවා යම් ආකාරයකින් කටයුතු කරන්නෙමු. බලහත්කාරය යන්නෙන් සැබෑ ලෙසම අදහස් කෙරෙනුයේ කවරක්ද? බලහත්කාරය යන්නෙහි එක් අර්ථයක් නම් යමෙකු නොදැනුවත්වම ඔහුගේ ඇඟිලි වෙව්ලීම ආදී තැන්හි දක්නට ලැබෙන පරිදි එය සිය පාලනයෙන් බැහැරව සිදුවන්නක් බවයි. මෙය ඉස්මතු වනුයේ යම් කිසිවක් සිදු කිරීම සඳහා ඇතිවන හැඟීමත් සමගිනි. එ් සම්බන්ධ තිබ්බත භාෂාවේ වචනයෙන් අර්ථවත් වනුයේ "මට එය කරන්නට උවමනායි, මම එය කරන්නට කැමතියි, මම එය කරන්නට අපේක්ෂා කරනවා" යන අදහසකි. එය යමක් හැඟීමට, කෑමොර දීමට, සිප ගැනීමට හෝ කෑමට ආදී වශයෙන් වූ ක්‍රියාවන් සඳහා අදාල වේ. ඉනික්බිති බලහත්කාරී පෙළඹීම ඉස්මතුවී එය කරන්නෙමු. හුදෙක් මෙමගින් එම ක්‍රියාව නැවත නැවත සිදු කිරීමේ නැඹුරුවක් ඇති කරන අතර එය පාපකාරී ක්‍රියාවක් වේනම් අසතුටද, පුණ්‍යවන්ත ක්‍රියාවක් නම් සතුටද අත්දැකීමේ නැඹුරුවක් එ් අනුව ඇති කෙරේ. මෙම නැඹුරුතාවය යම් අවස්ථාවකදී යම් කොන්දේසි හෙවත් තත්ත්වයන් මගින් ක්‍රියාත්මක කරනු ඇත. එය පරිණත වන විටදී සතුට හෝ අසතුට දැනෙන අතර නොඑසේ නම් නැවතත් කෑමොර දීමට හෝ සිප ගැනීමටද සිතේ.

මෙය වූකලි නොකඩවා ඇදීයන වැඩ පිළිවෙලක් වන අතර එය දිගින් දිගටම ඉදිරියට ගමන් කරනුයේ මෙයාකාරයේ චර්යාවන්හි නොකඩවා යෙදීමේ මෙම අපේක්ෂාව නිතිපතා අත් විඳින බැවිනි. අප විසින් නොකඩවා  ප්‍රති බලගැවීම හා ශක්තිමත් කිරීම හේතුකොට එම චර්යා රටාව නිමක් නොමැති ලෙස නැවත නැවතද සිදු වේ. එ් අනුව අපි නිතර දෙවේලේ මෙකී සතුට හා අසතුට අත‌ර ජීවිතය ඉහළ පහළ යාම අත් විඳිමු.

මෙහිදී වඩාත් අදාල වූ ප්‍රශ්නය වනුයේ අපට අදාල චර්යාවෙහි නැවත නැවතද නියැලීමේ හැඟීම ඇති කරමින් අදාල ප්‍රතිඵලය ලබාදෙන ලෙස මෙකී නැඹුරුතාවයන් ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නයි. ඉතා සංකීර්ණ වූ නමුදු මෙය ඉතා අලංකාර ලෙස පුරුක් 12 තුළ විග්‍රහ කෙරී ඇත. අප තුළ මෙකී ඉහළ පහළ යාම නිරන්තරයෙන් පවත්නා අතර එය විශේෂයෙන්ම නාට්‍යාකාර එකක් විය යුතුද නැත. නින්දේ සිටින අවස්ථාවේදීද, හොඳින් නින්ද නොගිය හා නින්ද-නොනින්ද අතර මැද තත්ත්වයක සිටින අවස්ථාවේ අප එතරම් සතුටින් නොසිටින තත්ත්වයන් පැවතිය හැක. එ් අනුව, අසතුට හා සාමාන්‍ය සතුට අත් විඳින අවස්ථාවේදී අපගේ චිත්ත ස්වභාවය කවරක්ද? එ් සඳහා වන සංස්කෘත වචනය "පිපාසය" යන අරුත් දෙන තෘෂ්ණා යන වදනයි. එය සාමාන්‍යයෙන් තණ්හාව ලෙස පරිවර්තනය වුවද, සැබෑ වදන් අරුත විය යුත්තේ පිපාසය යන්නයි.

මූලික වශයෙන් අපි අසතුටක් අත් විඳින විටදී, ඉන් මිදීමේ පිපාසාවකින් පෙළෙන්නෙමු. එය ජල පිපාසා තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය අවස්ථාවේදී මෙනි. සතුටින් සිටින අවස්ථාවේදී ඉන් මිදීමට අවශ්‍ය නොවන නමුදු, වඩ වඩාත් එය ලබාගැනීමට අවශ්‍ය වේ. එය ඔබ මහත් පිපාසාවකින් පෙළෙන අවස්ථාවකදී පළමු වතුර උගුර බීමෙන් ලබන තෘප්තිය මෙනි. එය තෘප්තියක් වුවද, ප්‍රමාණවත් නොවේ. ඔබට ඉන් ඉවත් වීමක් අවශ්‍ය නොවන අතර, වඩ වඩාත් එයම අවශ්‍ය වේ. එහිදීය දැඩි හා රළු වූ 'මා' යන්නෙකු පැන නගිනුයේ හා ග්‍රහණය කරගනුයේ. එහිදී ඔබගේ සිතිවිල්ල වනුයේ "මට මේ අසතුටින් මිදෙන්න අවශ්‍යයි" හෝ "මට මේ සතුටින් නොමිදී ඉන්න අවශ්‍යයි" වශයෙන් වන අතර මෙමගින් කර්ම නැඹුරුතාවයන් ක්‍රියාත්මක කරවනු ලබයි. මෙයයි සර්ව ව්‍යාප්ත දුකෙහි සැබෑ හේතුව. එ් අනුව, සතුට හා අසතුට අත් විඳීමේ නැඹුරුතාවයන් ඉස්මතු වනුයේ කැළඹිලිකාරී භාවයන් හා මිශ්‍රිත අප‌ගේ බලහත්කාරී චර්යාව තුළිනි. මෙකී කැළඹිලිකාරී භාවයන් ඉස්මතු වනුයේ නිරන්තරයෙන් වෙනස් වන්නාවූ අපගේ හැඟීම්වල පැවැත්ම පිළිබඳව හා ග්‍රහණය කොටගෙන ආරක්ෂා කළ හැකි පරිදි අපගේ හිස තුළ සොයාගත හැකි තැනක අනාරක්ෂිත දෙයක් ලෙස නොව සැබෑ ලෙසම වූ අපගේ පැවැත්ම තුළින් ඉස්මතු වන ගැඹුරුම මට්ටමේ වූ යථාර්ථය පිළිබඳ අපගේ නොදැනුවත්භාවය තුළින් ඉස්මතුවන කැළඹිලිකාරී භාවයන් හා මිශ්‍රිත බලහත්කාරී චර්යාව තුළිනි.

මෙම නොදැනුවත්භාවය මූලික හේතුව වන අතර එය අපගේ පුණ්‍යවන්ත හා පාපකාරී චර්යාවන් හා බැඳේ. සතුටු වීමේ, අසතුටු වීමේ හා අපගේ චර්යාවන් නැවත නැවතද සිදු කිරීමේ වූ නැඹුරුතාවයන්ට සැබෑ පැවැත්මක් ලබා දෙන සැබෑ කරදරකාරයා එයයි. මෙම පිපාසය විමසා බලන්නේ නම්, එය අපගේ පැවැත්ම පිළිබඳ මෙකී නොදැනුවත්භාවය හා සහජයෙන්ම සම්බන්ධ වේ.  "හොඳයි, මං එක්කෝ සතුටින් සිටිනවා, නැත්නම් අසතුටින් සිටිනවා.... එ්කට මොකද?" යන සිතිවිල්ල වෙනුවට "මා යනු එකම වැදගත් පුද්ගලයා වන බැවින් මා මෙම සතුටින් වෙන් නොවිය යුතුය. මා අසතුටින් නොසිටීම ඉතා වැදගත්ය" යන සිතිවිල්ල ඇතිකර ගන්නෙමු. නොකඩවා පවත්නා හා පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තියේ සැබෑ හේතුව වනුයේ හුදෙක් දෙසත්‍යය පිළිබඳව පවත්නා අපගේ නොදැනුවත්භාවයයි.

දුකට හේතු සැබෑ ලෙසම නවතා ලීම

තෙවන සත්‍යය වනුයේ දුකට හේතුවන කරුණු නවතාලීම මත දුකද නවතාලන්නාවූ සැබෑ නැවැත්මයි. යථාර්ථය පිළිබඳ මෙකී නොදැනුවත්භාවය සදාකාලිකවම ඉවත් කරලිය හැක්කේද? එ් කෙසේද? යථාර්ථය හා අනුගත නොවන දෙය කවරේද යන්න නිරීක්ෂණය වූ කල එයට පදනමක් නොමැති වේ. සැබෑ වූ කිසිවකට එය අනුගත නොවන බැවින් එය ඔසවා තබන්නාවූ කිසිවක්ද නොමැත.

නිදසුනක් ලෙස, රූකඩ සංදර්ශනයක යම් ජවනිකාවක් ගත්කල, එම රූකඩ නැටවෙනුයේ එ්වා සම්බන්ධ කොට ඇති කූරු මගිනි. තිබ්බතීය වචනය තුළින් අර්ථවත් වන පරිදි සිදු නොවිය හැකි දේ පිළිබඳ අපගේ ප්‍රක්ෂේපණයන් ඔසවා තබන්නාවූ මෙකී කූරු වැනි දේ නොපවතී. එ් අනුව, සංදර්ශනය පවත්වන්නන් ඔසවා තබන කූරු නොමැති විටදී සිදුවනුයේ කවරක්ද? එය කඩා වැටේ.

අප සතු මෙම ව්‍යාජ ප්‍රක්ෂේපණයන් පණ ගන්වන හෙවත් ඔසවා තබන කිසිවක් හෝ නොමැත්තේය යන කරුණ කෙරෙහි අපගේ අවධානය යොමුකිරීමට හැකිවූ විටදී, පිළිවෙත් පූරණයද සමගින්, අවසන ඔබට සදා කාලිකවම මෙම අවබෝධය මත වූ අවධානය පවත්වාගත හැක. එම සංදර්ශනය නැවතද ඉස්මතු විය හැකි කිසිදු හේතුවක් ඉන්පසු නොමැත. "මං දැන් මොනවද කරන්නේ?" සහ "මං සර්ව සම්පූර්ණ විය යුතුයි" හා "මං මට ඕන විදිහට වැඩ කරන්න ඕන" ආදී ලෙස සිතට වද දෙමින් සිත තුළ පවත්නා කුඩා 'මා' පිළිබඳ මෙම ජවනිකාව ඉන් නතර වනු ඇත. අපගේ චිත්ත ප්‍රක්ෂේපණ ඔසවා තබන්නාවූ කිසිවක් හෝ නොතිබියේය යන කරුණ වටහා ගත් කල්හි, අපගේ සිත් මගින් සිදු නොවිය හැකි කිසිවක් හෝ ඉන් මතු ප්‍රක්ෂේපණය නොකරනු ඇත. මේ පදනමින්, එම නැඹුරුතාවයන් තවදුරටත් ක්‍රියාත්මක නොකරන්නෙමු. මක් නිසාද, එ්වා ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්පසු කිසිදු බලයක් ඉතිරි නොවනු ඇති බැවිනි. "මා, මා, මා. මා සතුටින් සිටිය යුතුය, අසතුටට පත් නොවිය යුතුය" යන කල්පනාවන් කිසිවක් හෝ තවදුරටත් නොපවතිනු ඇත.

එම ප්‍රවණතාවය ක්‍රියාත්මක කිරීමේ කිසිදු බලයක් නොමැත්තේ නම්, ඔබට එම ප්‍රවණතාවය තව දුරටත් පවත්නා බව පැවසිය නොහැක. යම් ප්‍රතිඵලයක් ඇත්තේ නම් පමණි එම ප්‍රතිඵලය උදෙසා වූ නැඹුරුතාවයක් පැවතිය හැක්කේ. අන් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, නැඹුරුතාවය නම් වූ සමස්ත සංකල්පයම ප්‍රතිඵලයක් පැවතීම මත රඳා පවතී. ප්‍රතිඵලයක් නොමැත්තේ නම්, තව දුරටත් එය නිපදවනු ලබන ප්‍රවණතාවයක් පැවතිය නොහැක.

මෙලෙසය අපට පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තිය ආපසු හැරවිය හැක්කේ. ආරම්භයක් නොපෙනෙන තරම් වූ කාලාන්තරයක් පුරා නැඹුරුතාවයන්ගෙන් අපගේ සිත් පිරී ඇත්තේ නමුදු, එ්වා ක්‍රියාත්මක කිරීම සඳහා වූ කිසිවක් හෝ නොමැත්තේ නම්, එ්වා තවදුරටත් නොපවතී. යථාර්ථය පිළිබඳ දැනුවත්භාවය සහිතව සිටින විටදී, තවදුරටත් නැඹුරුතාවයන් ඇති කරන බලහත්කාරී චර්යාවන් ගොඩනැගීම සිදු නොකරන්නෙමු. මෙලෙසින්,  නැවත නැවතද පාලනයකින් තොරව සිදුවන පුනරුත්පත්තිය හා අපගේ ඉහළ පහළ යාම්හි පදනමද ඉවත්ව, නැවත ඉස්මතු නොවන ලෙස අවසන් වේ. මෙය සැබෑ නැවතුමක් වන අතර අපි එහිදී විමුක්තිය ලබන්නෙමු.

සැබෑ නවතාලීමක් ගෙන එන්නාවූ සැබෑ මාර්ග චිත්තය

සතරවන ආර්ය සත්‍යය සාමාන්‍යයෙන් "සැබෑ මඟ" ලෙස පරිවර්තනය කෙරෙන අතර එමගින් මාර්ගයක් සේ ඔබ ඔබගේ අරමුණ කරා යොමු කරන්නාවූ චිත්ත ස්වභාවයන් හෝ වැටහීම අදහස් කරයි. මෙය වූකලි සත්‍යයන් දෙක නිවැරදිව හා තීරණාත්මකව වටහා ගැනීමයි. අවසානයේදී සෑම විටකම එය අප හා පවත්නා පරිදි අපට එයට හුරුවීමේ හැකියාව ඇති වන්නට වන්නට, පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තිය සැබෑ ලෙසම නවතාලන මාර්ගයක් බවට එය පත්වනු ඇත.

සමාප්තිය

මෙයයි දෙසත්‍යයෙන් චතුර් සත්‍යයෙහි ප්‍රභවය ලබාගන්නා ආකාරය.

අප සංසාරයට ඇතුළුවන්නේ කෙසේද? පෙරදී සාකච්ඡා කළ පැදියට අනුව, පළමු ආර්ය සත්‍ය දෙක හා සමගින් මෙය සාකච්ඡා කෙරේ. එනම්, සැබෑ දුක හා සැබෑ හේතූන්ය. මූලිකවම, දෙසත්‍යය පිළිබඳව අප තුළ පවත්නා ව්‍යාකූලත්වය හේතුකොට අපි සංසාරයට ඇතුළු වන්නෙමු. එක්කෝ අපි යථාර්ථය නොදන්නෙමු. නොඑසේ නම් එය සැබෑ යථාර්ථයෙන් බොහෝ සෙයින් වෙනස් වූවක් ලෙස සිතාගෙන සිටින්නෙමු. මින් මිදෙනුයේ කෙසේද? එය සිදුකරනුයේ තෙවන හා සිවුවන ආර්ය සත්‍යයන් වන සැබෑ නැවතුම හා සැබෑ මාර්ග චිත්තයන් මගිනි. එ් අනුව, යථාර්ථය පිළිබඳ දෙසත්‍යය නොදැනුවත්ව සිටීමෙන් අපි චතුරාර්ය සත්‍යයෙහි පළමු සත්‍ය දෙක ලබාගන්නා අතර එ් පිළිබඳ දැනුවත්ව සිටීමෙන් දෙවන සත්‍ය දෙක ලබාගන්නෙමු.

මෙය ඉතා සංකීර්ණ මාතෘකාවක් වන නමුත්, බෞද්ධ දේශනා උපයෝගයෙන් බුදු දහම තුළ විස්තර වන අරමුණු සැබෑ ලෙසම සාක්ෂාත් කරගත හැකිය යන වැටහීම ලබමින් අපගේ පිළිවෙත් පිරීම තුළ එ් කරා ගමන් කිරීමට උත්සාහ කරනු පිණිස කටයුතු කරනුයේ මෙයාකාරයෙනි. එ් සියල්ල නිවැරදිව වටහා ගත් කල, එමගින් ඇඟවෙන අන් සියල්ලද එ් හා සම්බන්ධ කළ හැක. එ් අනුව, භාවනාව මගින් අපි එ් හා සමීප වන්නෙමු: යථාර්ථය දැකීම පුරුද්දක් බවට පත්කර ගන්නෙමු.

ඇහුම්කන් දීමේ, සිතීමේ හා භාවනා කිරීමේ මෙම පදනමින්, අපගේ පිළිවෙත් පූරණය මගින් ඉලක්කගත කරනු ලබන අරමුණ සැබැවින්ම සාක්ෂාත් කරගත හැක්කක්ය හා මනා උත්සාහයක නිරත වන්නේ නම් අපටද එය සාක්ෂාත් කරගත හැකිය යන වැටහීම ලබාගත හැක. එය හුදෙක් අප අරමුණු කරන දෙය සාක්ෂාත් කරගත හැක්කක් විය හැකිය ඈ ලෙස වූ අස්ථාවර ඇදහිල්ලක් මත පමණක් පදනම් නොවන බැවින් අපගේ පිළිවෙත් පූරණය බොහෝ සෙයින්ම ස්ථාවර වේ. එ් අනුව අපට එ් පිළිබඳ නිශ්චිත තහවුරුවක් ඇතිවේ.

Top