හැඳින්වීම

චතුරාර්ය සත්‍යය

බුදුරජාණන් වහන්සේ වසර 2500කට පමණ පෙර ඉන්දියාවේ වාසය කළ සේක. උන් වහන්සේගේ අනුගාමිකයන් හට විවිධාකාර වූ චරිත ස්වභාවයන් හා හැකියාවන් පැවති බැවින්, උන් වහන්සේ ඔවුනට වඩාත්ම හොඳින් අවබෝධ වන අයුරින් එ් එ් පුද්ගලයාට පුද්ගලිකව යෝග්‍ය ආකාරයන්ගෙන් ධර්මය දේශනා කළ සේක. උන් වහන්සේ විසින් සියලු දෙනා හට දේශනා කරන ලද පළමු කරුණ වූයේ තමන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට බලපෑ මූලික අන්තර් ඥාණයයි: උන් වහන්සේ විසින් "චතුරාර්ය සත්‍යය" ලෙස හඳුන්වන ලද දෙය දේශනා කරන ලද සේක. මේවා වූකලි සත්‍ය වශයෙන් සාමාන්‍ය ජනතාවට දැකිය නොහැකි වුවද අසංකල්පීය වශයෙන් යථාර්ථය දැක ඇත්තාවු උසස් අවබෝධයක් සහිත උතුමන් (ආර්යයන් වහන්සේලා) විසින් සත්‍ය සේ දකින්නාවූ සත්‍ය කරුණු සතරකි. කෙටියෙන් ප්‍රකාශ කරන්නේ නම්, මෙම චතුර් සත්‍යයන් විසින් පහත සඳහන් ප්‍රශ්න සතර සඳහා පිළිතුරු ලබාදෙනු ලබයි:

  • ජීවිතය තුළ සියලු දෙනා අත්දකින සැබෑ දුක් හා ගැටළු වර්ග කවරේද?
  • එ්වාහි හේතු මොනවාද?
  • එ්වා නැවත ඉස්මතු නොවන පරිදි නවතාලනු පිණිස මෙම ගැටළුවලින් සැබෑ ලෙසම නිදහස් විය හැකිද?
  • එම නවතාලීම මගින් දුකට හේතුවලින් නිදහස් වීමක් ඇතිවන බැවින් එම නවතාලීම ඇතිකරන්නාවූ වැටහීම කවරක්ද?

බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ඉතිරි ජීවිත කාලය තුළ ගැඹුරින් කරන ලද දේශනාවන්හි පදනම්ගත ව්‍යුහය මෙම ප්‍රශ්න සඳහා වූ පිළිතුරුවල අන්තර්ගත වන අතර මෙයයි උන්වහන්සේ විසින් පළමුව දේශනා කරන ලද්දේ.

මෙම චතුරාර්ය සත්‍යය විමසා බැලීමේදී, එ්වා තනිව හා ස්වායත්ථව නොපවතින බව පැහැදිලි වේ. එ්වා යම් පදනමකින් ඇරඹී අවබෝධය තුළ යම් අරමුණක් කරා මෙහෙයවනු ලබයි. සරල ආකාරයෙන් සඳහන් කරන්‌නේ නම්, මෙම චතුර් සත්‍යය හෙවත් ජීවිතයේ සත්‍ය සතර සඳහා වූ පදනම යථාර්ථයයි.

අපට බුදු දහම තනි වචනයකට සාරාංශගත කිරීමට අවශ්‍ය වන්නේ නම්, බෞද්ධ ගුරුවරයෙකු වූ මාගේ මිතුරෙකු පැවසූ පරිදි, එම වචනය නම් "යථාර්ථය"යි.

නොවිය හැකි හා යථාර්ථවාදී නොවූ දෙයක් පිළිබඳ චිත්ත ප්‍රක්ෂේපණයන්ගෙන් තොරව යථාර්ථය දැක එය අවබෝධ කරගැනීමට හැක්කේ නම්, අපට ජීවිතයේ ගැටළුකාරී අවස්ථාවන් සම්බන්ධයෙන් යථාර්ථවාදී ලෙස කටයුතු කළ හැකිවනු ඇත.

එ් අනුව, යථාර්ථය පිළිබඳ දේශනා මෙම චතුරාර්ය සත්‍යයේ පදනම වේ. කෙසේ වුවද, යථාර්ථය තුළට දේවල්හි පැවැත්ම හා එ්වා ජීවිතය තුළ ක්‍රියාත්මකවන ආකාරය සම්බන්ධ විවිධාකාර මට්ටම් අන්තර්ගත වේ. බුදුන් වහන්සේ එ් සියල්ල පිළිබඳ දේශනා කර වදාළ සේක.

ත්‍රිවිධ රත්නය

මෙම චතුරාර්ය සත්‍යය තුළින් පැහැදිලි වන දෙය නම් දුක හා ගැටළු මැඩ පැවැත්වීම සඳහා අප අපගේ ජීවිත යොමුකළ යුතුවන දිශානතියයි. බෞද්ධ යෙදුම් තුළ "ත්‍රිවිධ රත්නය" හෝ "තිසරණය" ලෙස හැඳින්වෙන බුද්ධ, ධම්ම හා සංඝ යන ත්‍රිවිධ අංග තුළින් මෙම දිශානතිය පෙන්වනු ලබයි. එ් එක එකක් තුළ මට්ටම් ගණනාවක අර්ථ ගැබ්වන නමුදු ගැඹුරුම මට්ටම තුළ එ්වායින් ඇඟවෙනුයේ:

  • ධර්මය – අප විසින් සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරන්නාවූ අපගේ ගැටළුවලින් හා එ්වාහි හේතුවලින් නිදහස් වීම හා අප සදාකාලිකව එ්වායින් නිදහස් කරනු ඇත්තාවූ පූර්ණ අවබෝධය සාක්ෂාත් කරගැනීමේ අරමුණ;
  • බුද්ධ - එම අරමුණ පූර්ණ වශයෙන් සාක්ෂාත් කරගත් හා එය අප විසින්ද සිදු කළ යුතු ආකාරය දේශනා කරන්නාවූ උතුමන්; හා 
  • සංඝ - මෙම දේශනා පිළිපදිමින් පූර්ණ වශයෙන් නොව, යම්තාක් දුරකට අරමුණ සාක්ෂාත් කරගත් උතුමන් ය.

නාලන්දා ගුරුවරුන් 17 දෙනාගේ යැදුම

පුරාණ භාරතයේ මහා බෞද්ධ ආරාමයේ මහා බෞද්ධ ගුරුවරුන් 17 දෙනා වෙතින් ආභාසය ලැබීමේ ඉල්ලීමක් වශයෙන් ඉතා අලංකාර පාඨයක් පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් ලේඛනගත කරන ලදී. එම ආරාමය නාලන්දාව වශයෙන් හැඳින්වුණු අතර වසර දහසක පමණ කලක් පැවතිණි. ආරාමයක් ලෙස පවත්වාගෙන යන ලද එය එකල වඩාත් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලය වූ අතර ඉන් භාරතීය බෞද්ධ සම්ප්‍රදායට අයත් ශ්‍රේෂ්ඨතම ගුරුවරන් බිහි කරන ලදී. "ඔබගේ පියමග ගමන් කරනු පිණිස මා හට ආභාසය ලබා දෙන්න" යන මෙම පාඨය දලයි ලාමා වහන්සේ විසින් මෙකී ගුරුවරුන් අතරින් ප්‍රසිද්ධම 17 දෙනා වෙත කරන යැදුමක් ලෙස ලියා පළ කරන ලදී. පෞද්ගලික ඉල්ලීමක් ලෙස ඉදිරිපත් කෙරෙන මෙම පැදියෙන් අනතුරුව එ් සියලු දෙනා ආමන්ත්‍රණය කරන්නාවූ වඩාත් පොදු පැදි කිහිපයක්ද සමගින් පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් එම ලේඛනය සමාප්ත කර ඇත.

මා මෙහිලා ඉදිරිපත් කිරීමට කැමති වන්නේ එකී සමාප්ති පැදි අතරින් එකක් පිළිබඳ විග්‍රහයකි. චතුරාර්ය සත්‍යය හා තිසරණය නමැති, මා යථාර්ථය පිළිබඳව විස්තර කරන ලද කරුණු (දෙසත්‍යය) එතුළ සාරාංශගත කෙරේ. සරණ යන්නෙන් හුදෙක් අදහස් කෙරෙනුයේ මෙම තිසරණය තුළ පෙන්වා දී ඇති මඟ යන්නේ නම් අප දුකින් හා ගැටලුවලින් මිදෙනු ඇති බවයි. 

එම පැදි තුළ පහත ප්‍රකාශයන් අන්තර්ගත වේ:

පදනම හෙවත් සියලු දේ තිරව පවත්නා ආකාරය නම් වූ දෙසත්‍යයේ අරුත දැනගනිමින්, චතුර් සත්‍යය මගින්, 

අප පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තියට ඇතුළත් වන අතර, එනමුදු එය ආපසු හැරවීමේ හැකියාවද ඇති බව එ්කාන්ත කොට දැන ගන්නෙමු.

ඉහත පාඨයේ 'තිරව පැවතීම' යන්නෙන් දේවල් පවත්නා හා ක්‍රියාත්මකවන ආකාරය අර්ථවත් වේ. එනම් යථාර්ථය පිළිබඳ දැනුවත් වීමයි.

යථාර්ථය වටහා ගන්නේ නම්, මෙකී චතුර් සත්‍යය මගින් අප අපගේ ගැටළුවලට අඛන්ඩ පැවැත්මක් ලබා දෙන ආකාරය හා එ්වායින් අපට මිදිය හැකි ආකාරයද වටහාගත හැක.

වලංගු හේතු දැක්මක් මගින් ඉනික්බිති තිසරණය යනු සත්‍යය යන අවබෝධය ස්ථිරසාර කෙරේ.

අපගේ සියලු ගැටලු නැවත ඉස්මතු නොවන ලෙස පූර්ණ නැවතුමක් ඇති කරගන්නා අතර එම තත්ත්වය ඇති කරන්නාවූ වැටහීම නමැති සැබෑ අභිමතාර්ථය තුළින් මෙම තිසරණය සකස් වන බව සිහි තබාගන්න.

බෞද්ධ මාර්ගයට අදාල පිළිවෙත් පිරීමට අවශ්‍ය වන්නේ නම් ඔබ යම් අභිමතාර්ථයක් සාධනය කරගැනීමට අරමුණු කරන්නෙක් වේ. එම අභිමතාර්ථය සාධනය කරගත හැක්කක්ය යන්න දැනගන්නේ කෙසේද? එය හුදෙක් ප්‍රබන්ධයක්ද? එය හුදෙක් සුන්දර කථාන්තරයක්ද, නැතහොත් සත්‍යයක්ද? බොහෝ දෙනා හුදෙක් ඇදහිල්ල මත පදනම්වම එම අභිමතාර්ථ සාධනය සඳහා උත්සාහ කරති: "මගේ ගුරුතුමා එ්ක එහෙමයි කිව්ව නිසා ඉතින් මාත් විශ්වාස කරනවා" ආදී වශයෙනි.

එය බොහෝ දෙනා සම්බන්ධයෙන් ප්‍රායෝගික විය හැකි නමුදු නිරන්තරයෙන්ම පිළිවෙත් පිරිය යුතු වඩාත් ස්ථාවර මඟ එය නොවේ. බොහෝ කාලයක් පුරා පිළිවෙත් පිරීමෙන් අනතුරුව සිදුවන දෙයනම් ඔබ තමා සිදුකරන කාර්යය ප්‍රශ්න කිරීමට පටන් ගැනීමයි. එයට හේතුව නම් මහත් කරදරකාරයින් වන කෝපය, ඇල්ම, ආත්මාර්ථය වැනි හැඟීම් තවදුරටත් අත්දකින අතර එ්වායින් මිදීම සැබැවින්ම දුෂ්කර කාර්යයක් වීමයි. එ් අනුව ලබන ප්‍රගතිය ඉතා මන්දගාමී එකක් වේ. එසේ වුවද, ප්‍රගතිය යන්න කිසි විටෙකුදු සරල රේඛීය එකක්ද නොවන බව වටහාගත යුතුය: එය නිරන්තරයෙන් ඉහළ, පහළ ගමන් කරයි. ඇතැම් දිනයන්හි එය යහපත් වන අතර ඇතැම් දිනයන්හි පැවතියාටත් වඩා අයහපත් වේ. ඔබ හුදෙක් ඇදහිල්ල මත පදනම්ව බෞද්ධ විධික්‍රම පිළිබඳ පිළිවෙත් පුරන්නේ නම්, කිසිදු ප්‍රගතියක් නොලබන බව පෙනෙන විටදී අධෛර්යයට පත්විය හැක. එවිට, "මේ අරමුණට ඇත්තටම ළඟා වෙන්න පුළුවන්ද?" යන පැනය ඔබ තුළ නැඟෙනු ඇත.

එබැවිනි " අරුත දැනගනිමින්" යනුවෙන් මෙම පැදිය තුළ සඳහන් වනුයේ. වෙනත් වචනවලින් පවසන්නේ නම්, තර්කන ඥානය හා හේතු විග්‍රහය මගින් අරමුණක් පවත්නා අතර එය සාක්ෂාත් කරගත හැක්කක්ය යන්න වටහාගත් පසු අරමුණ , එය සාක්ෂාත් කරගත හැක්කක්ය යන්න හා එම අරමුණ සැබැවින්ම සාක්ෂාත් කරගත් අය සිටින්නේය යන කරුණු පිළිබඳ ඔබගේ වැටහීම ඉතාමත් ස්ථිරසාර වේ. මෙම කරුණු සත්‍ය වනුයේ හුදෙක් යම් ශුද්ධ වූ ග්‍රන්ථයක ග්‍රන්ථාරූඪ කළ හේතුවෙන්ම නොවන බව එවිට ඔබ විශ්වාස කරන්නට පටන් ගනී. සත්‍යයන් දෙක යනු යථාර්ථය වන බැවින් හා චතුර් සත්‍යය හා තිසරණය තර්කානුකූලව යථාර්ථය මත පදනම්ව එ් අනුව ගමන් කරන බැවින් එ්වා සත්‍ය බව ඔබ එ්ත්තු ගනී.

විමුක්තිය කරා රැගෙන යන්නාවූ මාර්ග චිත්තයන්හි මෙම මුල රෝපණය කිරීම සඳහා මා හට අනුප්‍රාණය ලබාදෙන්න.

සාමාන්‍යයෙන් ඔබ බීජයක් සිටුවීම සිදු කරන නමුත් මෙහිදී සිදු කරනුයේ බීජයක් නොව "මුලක්" රෝපණය කිරීමයි. මෙම වචන තේරීම මගින් පෙන්නුම් කරනුයේ දෙසත්‍යයේ, චතුර් සත්‍යයේ හා තිසරණයේ ව්‍යුහය සමස්ත බෞද්ධ ආධ්‍යාත්මික මාර්ගයේ මූලය වන බවයි. මක් නිසාද, සියල්ල එ් අනුව සිදුවන බැවිනි. මෙම මූලය දැඩි ලෙස ඔබගේ සිත තුළට කාවද්දා ගත් කල්හි ඔබගේ සමස්ත පිළිවෙත් පූරණය කරුණු එ්ත්තු ගැනීම මත පදනම්ව සිදු කෙරේ. ඔබ විසින් සිදුකරන දෙයද, අරමුණ සාක්ෂාත් කරගත හැකි බවද, එම අරමුණ කවරක්ද යන්න පිළිබඳවද ඔබ වටහා ගනී.

ආධ්‍යාත්මික මාර්ගයක් අනුගමනය කිරීමට අදහස් කරන්නේ නම්, එය යථාර්ථවාදීය යන කරුණ එ්ත්තු ගැනීම ඉතා වැදගත් වන බැවින් මෙය බුදු දහම කරා වූ ඉතා වැදගත් ප්‍රවේශයක්ය යන්න මාගේ අදහසයි. එය හැඟීම් තුළින් අපව ආකර්ශනය කරගන්නාවූ පරමාදර්ශී මනෝ ලෝකයක් නොව මුළුමනින්ම විය හැක්කකි. අප විසින් අපගේ ආධ්‍යාත්මික ජීවිතයේදී සිදුකරන දේ යථාර්ථවාදී වන්නේය යන කරුණ එ්ත්තු ගෙන ඇත්තේ නම්, අපට එ් තුළට සෞඛ්‍ය සම්පන්න භාවයක් හෙවත් හැඟීමක් ඇතුළත් කළ හැක. කරුණාව, උද්යෝගය, ඉවසීම ආදී වශයෙන් එන්නාවූ, වැටහීම හා සෞඛ්‍ය සම්පන්න භාවය යන කරුණු දෙක අතර සමතුලිතයක් පවත්වාගත යුතු වේ. 

දෙසත්‍යය

සාපේක්ෂ, සම්මුති සත්‍යය

සියළු දේ ස්ථාවරව පවත්නා ආකාරය හෙවත් පදනම ලෙස පවත්නා දෙසත්‍යයේ අර්ථය වටහාගනිමින්, 

පද්‍යයේ පළමු පේළිය තුළ දෙසත්‍යයන් පිළිබඳ කථා කරනු ලබයි: එ්වා නම් "සාපේක්ෂ සත්‍යය" හෝ "සම්මුති සත්‍යය" හා "ගැඹුරුම සත්‍යය" වේ. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, මෙමගින් සාකච්ඡා කෙරෙනුයේ සියලු දේට අදාල යථාර්ථය පිළිබඳ සත්‍ය කරුණු දෙකයි. එකක් වඩාත් මතුපිට හෙවත් උඩින් පවත්නා මට්ටම වන අතර අනෙක වඩාත් ගැඹුරු මට්ටමයි. මේ දෙකම වලංගු වන නමුදු, එසේ වනුයේ වෙනස් දෘෂ්ටි කෝණ දෙකකට අනුවය. මෙම අංග දෙක පිළිබඳ බොහෝ ඉදිරිපත් කිරීම් පවත්නේ නමුදු, සාමාන්‍ය ශ්‍රාවක පිරිසක් ආමන්ත්‍රණය කිරීමේදී නිරතුරුවම පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් භාවිත කරන ඉදිරිපත් කිරීම මෙහිදී අනුගමනය කරමු.

හේතුව හා ඵලය

අප අත් විඳින සියල්ලෙහි මතුපිට මට්ටමේ සත්‍යය කුමක්ද? මේ වූකලි පූර්ව හේතූන් හා පවත්නා සම්බන්ධතාවය හේතුකොටගෙනම අප වර්තමානයේ අත්විඳින සියළු දේ සිදුවන බවයි. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, සියලු දේ එකිනෙක මත රඳා පවතිමින් හේතු හා ඵල අනුව ඉස්මතු වේ, නැතහොත් සිදුවේ. භෞතික විද්‍යාව තුළද මෙකී හේතු ඵලවාදය පිළිබඳ මූලධර්මය ඉගැන්වෙන නමුදු එහිදී එම සම්බන්ධය දැක්වෙනුයේ පන්දුවකට පහර දීම හා එම පන්දුවේ චලනය අතර වූ සම්බන්ධතාවය වැනි භෞතික සංසිද්ධීන් සම්බන්ධව පමණි.

යමක් සිදුවීමට අදාල සියලු සාධක සලකා බැලීමේදී සැබැවින්ම හේතු ඵලවාදය වඩා සංකීර්ණ මට්ටමකින් විග්‍රහ කළ හැක. නිදසුනක් ලෙස, ආර්ථික ගැටළු, ගෝලීය උණුසුම් වීම, කලාපීය යුද්ධ ආදිය පිළිබඳ සලකා බලන්නේ නම්, එ්වා හුදෙක් තනි හේතුවක් මගින් ඉස්මතු නොවන බව පැහැදිලි වේ. එ්වා කිසිදු හේතුවක් නොමැතිවද සිදු නොවන අතර, අදාල නොවන හේතු තුළින්ද ඉස්මතු නොවේ. එ් වෙනුවට, එ් සියලු අවස්ථා බොහෝ විවිධාකාර සාධක මත රඳා පවතිමින් ඉස්මතු වේ. මේවා තුළට වර්තමානයේ සිදුවන දෙය පමණක් නොව අතීතයේ සිදුවී ඇති දේද ඇතුළත් වේ. යුක්රේනය නමැති මෙම රටේ වර්තමාන තත්ත්වය දෙවන ලෝක යුධ සමයේ සෝවියට් ඉතිහාසයෙන් වෙන්කළ නොහැක්කාක් මෙනි. වර්තමානයේ පවත්නා ආර්ථික හා පාරිසරික තත්ත්වයන් ඉතිහාසය පුරා සිදුව ඇති සියල්ලෙහි ප්‍රතිවිපාකයක් වශයෙන් ඉස්මතුව ඇත. එබැවින්, මේ අවස්ථාවේ සිදුවන දේ හුදෙක් එක් පුද්ගලයෙකුගේ හෝ සිදුවූ එක් සිදුවීමක දෝෂයක් හේතුවෙන් සිදුවන බවක් පැවසිය නොහැක. දේවල් සුවිශාල හේතු ප්‍රත්‍ය ජාලයක් මත රඳා පවතිමින් ඉස්මතු වේ. යථාර්ථය මෙය නොවේද? 

මනෝ විද්‍යානුකූලව සලකා බලන්නේ නම්: පවුලේ ප්‍රශ්නයක් වේනම්, එය හුදෙක් තනි හේතුවකින් හෝ හේතු විරහිතව පැන නගින්නේ යැයි ඔබට පැවසිය නොහැක. පවුලේ එම ගැටළුවට පවුලේ එ් එ් සාමාජිකයා විසින් හේතු ඵලවාදී ආකාරයෙන් දායක වී ඇත. එ් ආකාරයෙන්ම, එ් එක් එක් අය හැසිරෙන ආකාරය, ඔවුනට සේවා ස්ථානයන්හි, පාසැලේදී හා මිතුරන් අතරදී සිදුවන දෙය හා කිසිදු සබඳතාවයක් නොමැත්තේ යැයි පැවසිය නොහැක. සියලු දේ තුළින් යම් බලපෑමක් එල්ල වේ. තවද, පවුලේ තත්ත්වය සමාජයෙන්ද, එහි දේශපාලනික, සමාජයීය හා ආර්ථික පද්ධතියෙන්ද වියුක්තව පවත්නක් නොවේ. මේ සියල්ලද, එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් එකී ගැටලුවට බලපෑමක් ඇති කරයි. 

මෙහිදී, යථාර්ථවාදය තුළින් දක්වනුයේ සියල්ල එකිනෙක හා සම්බන්ධ වන අතර අන් සියල්ල මත බලපෑමක් එල්ල කරන්නේය යන්නයි. සිදුවන සියලු දේ සුවිශාල හේතු ප්‍රත්‍ය ජාලයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවේ. 

භෞතික වස්තූන් මෙන්ම ලෝක ගැටළු හා පවුලේ ගැටළු සම්බන්ධ තත්ත්වයද මෙය වන්නේ නම්, අප එකිනෙකා සම්බන්ධයෙන් පෞද්ගලික තත්ත්වය කවරක්ද? සතුට හා දුක පිළිබඳ තත්ත්වය කවරක්ද? එ්වාට හේතුවක් පවතීද? එ්වා හේතු විරහිතව පැන නගීද? ඇතැම් විට මා හට සතුටක් දැනෙන අතර ඇතැම් විට සතුටක් නොදැනෙන අතරම, ඊළඟ මොහෝතේදී කවරක් දැනේදැයි කල්තබා දැනගැනීමේ මඟක් නොමැත. එ් අනුව, එය හේතු විරහිතව සිදු වන්නේද? නොඑසේ නම්, මා මේ මොහොතේ කරමින් සිටින කාර්යය මත පදනම්ව එය සිදු වන්නේද? එහි අර්ථයක් ඇති බවක් නොපෙනේ. මවිසින් එකම දෙයක් දින දෙකකදී ආහාරයට ගන්නේ යැයි සිතන්න. එක් දිනෙක එම ආහාරය ගැනීමෙන් සතුටක්ද, තවත් දිනෙක එම ආහාරයෙන්ම අසතුටක්ද පැන නගින බැවින් එය ආහාරයෙන් ඇතිවන හැඟීමක් නොවේ. මා වැඩියෙන්ම ආදරය කරන පුද්ගලයා සමග සිටින විටදීද ඇතැම් විට සතුටක්ද, ඇතැම් විට නොසතුටක්ද දැනිය හැක. මා බොහෝ ධනවත්ව සිට මා ආශ්‍රිත කටයුතු ඉතා හොඳින් සිදුවන පසුබිමෙක වුව මා හට අසතුටක් දැනිය හැක.

එසේ නම්, මෙම සතුට හා අසතුට පැන නගිනුයේ කවර ස්ථානයකින්ද? මා වරෙක සතුටුවන හා වරෙක අසතුටුවන අයුරින් වඩා උසස් තලයක සත්ත්වයෙකු විසින් යම් බොත්තමක් ඔබා එම හැඟීම් මා වෙත එවන්නේද? සමාවන්න, මාගේ අරමුණ ඔබගේ චින්තනයට පහර ගැසීම නොවේ. මම එය යම් අඥාන ඉමක් දක්වා රැගෙන යන බව පෙනේ. චලනය වන භෞතික වස්තූන් හෝ නොදැනුවත්ව හදිසියේ උදුනක් අත ගැසීමෙන් අත පිලිස්සී වේදනා දීම වැනි ඔබ අත්විඳින සියලු දේ හේතු ඵල න්‍යායට අනුව සිදු වන්නේ නම්, සතුට හා අසතුටද වටහාගත හැකි හේතුඵල න්‍යායකට අනුව සිදුවිය යුතු නොවේද? මෙයයි මෙම පද්‍ය පසුබිමෙහි සාපේක්ෂ සත්‍යය හා සම්බන්ධ යථාර්ථය පිළිබඳ ප්‍රධාන ගැටළුව හා කරුණ. මෙය අපගේ හැසිරීම හා එහි ප්‍රතිඵලයක් වශයෙන් අප අත්විඳින දුක හෝ සතුට අතර පවත්නා හේතු ඵලවාදී සම්බන්ධතාවය පිළිබඳ යථාර්ථය හා බැඳේ.  

කර්මය

මෙතුළින් කර්මය පිළිබඳ මූලික බෞද්ධ ඉගැන්වීම්වලට ප්‍රවේශ වීමක් සිදුවේ. කර්මය යනු කවරක්ද? මෙය වූකලි පහසු මාතෘකාවක් නොවේ. මේ සම්බන්ධ විග්‍රහයන් ගණනාවක් හා අනවබෝධයන්ද බොහෝ ගණනක් පවත්නා නමුදු, මූලිකවම:

කර්මය යනු අපගේ කථා කිරීම, ක්‍රියා කිරීම හා සිතීම සම්බන්ධ විලාසය ඇති කරන්නාවූ හා හැඩ කරන්නාවූ බලහත්කාරී හෙවත් පාලනය කළ නොහැකි ස්වභාවයයි.

පාපකාරී, පුණ්‍යවන්ත හෝ උදාසීන හෝ වේවා, අපගේ චර්යාව පිළිබඳ සිතා බලන්නේ නම් එය පාලනය කළ නොහැක්කකි.

  • මම කෝපව සිටින අතර යම් කිසිවෙකු වෙත බැණ අඬගැසීමේ උවමනාවක් ඇතිවන අතරම, ඉන් පසු එම ක්‍රියාව හෙවත් බැණ අඬගැසීම සිදු කරමි.
  • ආරක්ෂාව පිළිබඳ පමණ ඉක්මවා සිතන මා හට කුඩා දරුවා හොඳින් සිටින්නේදැයි සොයා බැලිය යුතු බවට හැඟීමක් ඇතිවන අතර ඉන්පසු පාලනය කළ නොහැකි පරිදි නැවත නැවතද, අවශ්‍ය හෝ කළ යුතු පමණට වඩා වැඩියෙන් එම සොයා බැලීම සිදු කරයි. 
  • කුසගිනි වූ මා හට ශීතකරණය කරා ගොස් ක්ෂණික බීම බෝතලයක් ගත යුතු යැයි හැ‌ඟෙන අතර, ඉන්පසු, පාලනයකින් තොරවම, එ් වෙත යමි. 

මෙම පාලනයකින් තොර මෙහෙයවීම සිදු කෙරෙනුයේ කවර මඟකින්ද? එමගින් අප යොමු කෙරෙනුයේ කවර දිශාවකටද? මේවාය කර්මය පිළිබඳ දේශනා තුළ යොමු කෙරෙන ප්‍රශ්න වනුයේ. බෞද්ධ විග්‍රහය වනුයේ, පාලනයකින් තොරව ඔබ ක්‍රියා කිරීම, කථා කිරීම හෝ සිතීම සිදුකරන විටදී, පසු කාලීනව ඔබගේ අත්දැකීම්වලට අදාල සෑම මොහොතක් පාසාම අඛන්ඩව ක්‍රියාත්මකවන චිත්ත සන්තතිය තුළ එමගින් විභවයන් හා නැඹුරුතාවයන් ගොඩනංවන බවයි. විවිධාකාර හේතු සාධක මගින් යොමු කරන ලද කල්හි, ඉන්පසු ඔබට ඔබගේ එම චර්යා රටාව නොකඩවා පවත්වාගෙන යාමේ හැඟීමක් ඇති කරවයි. එම හැඟීම පාදක කොටගෙන, එම ක්‍රියාව නැවත නැවතද සිදු කිරීම කරා ඔබගේ පාලනයෙන් තොරවම ඔබ යොමු කරවන පෙළඹීම ඉස්මතු වේ. මෙම පෙළඹීම යනු අදාල සැබෑ කර්මයයි.

ඔබට මෙම සංසිද්ධිය මනෝ විද්‍යාත්මක මට්ටමකින්ද විග්‍රහ කළ හැක: යම් ආකාරයකින් කටයුතු කිරීම තුළින් පසු කාලීනව පහසුවෙන්ම යම් චර්යා රටාවක් අනුගමනය කරවන ආකාරයේ උදාසීන ගමන් මාර්ගයක් ගොඩනඟා බල ගන්වනු ලබයි.  බුදු දහම තුළ මෙම භෞතික පදනම ප්‍රතික්ෂේප නොකෙරෙන අතර අත්දැකීම් පදනම්ගත දෘෂ්ටි කෝණයකින් එම සංසිද්ධිය කරා ප්‍රවේශ වෙමින් එය හේතු ඵලවාදය පිළිබඳ වැඩිදුර නිදසුනක් ලෙස විග්‍රහ කරනු ලබයි.

සතුට හා අසතුට යනු කුමක්ද? බුදු දහම තුළ මේවාද කර්මානුකූල හේතු ඵලවාදය ප්‍රකාර විග්‍රහ කරනු ලබයි. ඔබ අසතුටුදායක අත්දැකීමක් ලදහොත්,එය වූකලි කැළඹිලිකාරී භාවයන්ගේ බලපෑම යටතේ පාලනයකින් තොරව සිදුවූ පාපකාරී චර්යාවක දිගු කාලීන ප්‍රතිඵලයකි. සාමාන්‍ය සතුටක් අත් විඳින්නේ නම්, එනම් දිගුකල් නොපවත්නා හා සෑහීමකට පත් නොකරන්නාවූ නමුත් එයද යහපත් සේ හැඟෙන වර්ගයේ සතුටක් අත් විඳින්නේ නම්, එය වූකලි ඉවසීම හා කරුණාව වැනි පුණ්‍යවන්ත භාවයන්ගේ බලපෑමට යටත්ව සිදුකරන ලද ධනාත්මක චර්යාවක දිගු කාලීව ප්‍රතිඵලයකි. එසේ වුවද, එය පාලනයකින් තොරව සිදුවන යහපත් චර්යා පවත්වන්නෙකුගේ විලාසයෙන් අපගේ පැවැත්ම පිළිබඳ පවත්නා ව්‍යාකූලත්වය හා මිශ්‍රව ඇති බැවින්, එයද පාලනයකින් තොරව සිදුවන්නක්ම වේ. 

මෙම හේතු ඵලවාදී සම්බන්ධතාවය අවබෝධ කරගන්නේ කෙසේද? සියල්ලටම පළමුවෙන්, පුණ්‍යවන්ත හා පාපකාරී හෙවත් ධනාත්මක හා නිශේධනාත්මක චර්යාවන් අතර පවත්නා වෙනස වටහාගත යුතුය. මෙම දෙක අතර පවත්නා වෙනස ඔබගේ චර්යාව අන්‍යයන් වෙත බලපාන ආකාරයට අනුව සලකා බලන්නක් නොවේ. නිදසුනක් ලෙස, ඔබ යමෙකු හා බොහෝ කෝපයෙන් සිට ඔහුට පිහියකින් ඇන්නහොත්, එය පාපකාරී ක්‍රියාවක් වේ. අනෙක් අතින්, ශල්‍ය වෛද්‍යවරයෙකු වශයෙන් යමෙකුගේ ජීවිතය බේරා ගැනීමේ අරමුණින් යමෙකුගේ සිරුර පිහි තුඩකින් පලන්නේ නම්, එය ජීවිතාරක්ෂක පුණ්‍ය ක්‍රියාවකි. පැහැදිලිවම යම් කාර්යයක් පුණ්‍යවන්තද, පාපකාරීද යන්න තීරණය කිරීමේ සාධකය වනුයේ පුද්ගලයෙකුගේ සිරුර පසාරු කරමින් පිහි පහරක් ලබාදීම නොවේ. සියල්ල පෙළඹීම හෙවත් අභිප්‍රාය මත තීරණය වේ: එනම් තීරක සාධකය වනුයේ ක්‍රියාව සිදු කරනු ලබන චිත්ත ස්වභාවය හා එම ක්‍රියාව මගින් ළඟා වීමට අපේක්ෂා කරන්නාවූ අරමුණයි. ක්‍රියාව කෝපය, ඇල්ම, ලෝභය, අඥානකම, ඊර්ෂ්‍යාව, අහංකාරය, ආත්මාර්ථය වැනි කැළඹිලිකාරී භාවයක පෙළැඹීමෙන් සිදු කෙරෙන්නක් නම්, ඔබ ප්‍රසන්න දෙයක් සිදු කරන්නේ වුවද, එය පාපකාරී ක්‍රියාවක් වනු ඇත. නිදසුනක් ලෙස, රාගයෙන් හා යමෙකු ලිංගිකව අපයෝජනය කිරීමේ අදහසින් මිහිරි පණිවිඩයක් එම පුද්ගලයා වෙත යවන්නේ නම්, ඔබගේ ක්‍රියාව පාප ක්‍රියාවක් වේ. අනෙක් අතින්, ක්‍රියාව සාපේක්ෂව මෙකී කැළඹිලිකාරී භාවයන්ගෙන් තොර වූවක් නම්, එවිට කිසිසේත් ළගන්නා සුළු එකක් නොවුවද එය පුණ්‍ය ක්‍රියාවක් වේ. නිදසුනක් ලෙස, මවක හෝ පියෙකු ලෙස ඔබ, දඟ නොකර සිටීම සඳහා පාඩමක් ඉගැන්වීමේ අදහසින්, කෝපයෙන් නොව, ආදරය හා සැලකිල්ල පෙරදැරි කරගත් හැඟීමෙන්, ඔබගේ මුරණ්ඩු දරුවා ඔහුගේ කාමරයට පිටත් කර හරියි. මෙම අවස්ථාවේ යහපත් මවක හෝ පියෙකු යන සැබෑ අනන්‍යතාවය පිළිබඳ හැඟීමක් ඔබගේ ක්‍රියාව තුළින් නොදැනුවත්වම උත්පාදනය වීමේ බලපෑමක්ද මුහුව තිබීම හේතුකොට බොහෝ විට එකී පුණ්‍ය ක්‍රියාව වුවද පාලනයකින් තොරව හෙවත් බලහත්කාරී පෙළඹීමකින්ම සිදුවිය හැක.

එසේනම්, අසතුට හා කැළඹිලිකාරී භාවයන් මත පදනම් වූ පාපකාරී ක්‍රියාවන් අතර හේතුඵල සම්බන්ධතාවය හා සාපේක්ෂ වශයෙන් කැළඹිලිකාරී භාවයන්ගෙන් නිදහස් වූ සතුට හා පුණ්‍ය ක්‍රියාවන් අතර හේතුඵල සම්බන්ධතාවයද වටහා ගන්නේ කෙසේද? මෙය සිත් ගන්නා සුළු ප්‍රශ්නයක් පමණක් නොව, ඉතා තීරණාත්මක පැනයක්ද වනුයේ බුදුරාජණන් වහන්‌සේ විසින් අපට හැඟීම් දැනෙන ආකාරයට හේතු භූතවන කරුණු ලෙස අපගේ පැවැත්ම පිළිබඳ ව්‍යාකූලත්වය, කර්මය හා කැළඹිලිකාරී භාවයන් හඳුනා ගන්නා ලද බැවිනි. එ්වා අසතුට හා අතෘප්තකර සාමාන්‍ය සතුටේ හේතූන් වේ. මෙම හැඟීම් දෙවර්ගයම තුළ පවත්නා දුකින් නිදහස් වනු පිණිස මෙම දෙවර්ගයම ඉක්මවා යා යුතු වේ.

එ් පිළිබඳ සිතා බලමු. නිදසුනක් ලෙස යමෙකු හෝ යමක් පිළිබඳව කෝපය මුසු හැඟීමකින් සිතන්නේ නම්, කථා කරන්නේ නම් හෝ ක්‍රියා කරන්නේ නම්, එවිට ඔබට පහසුවක් දැනෙන්නේද? එවිට ඔබගේ ශක්තිය සන්සුන් වූවක්ද? නැත, එය කිසිසේත් සන්සුන් වූවක් නොවේ; කැළඹුණු එකකි. එවන් අවස්ථාවල ඔබ සතුටින් සිටින්නේද? කෝපය හෝ වෙනයම් කැළඹිලිකාරී භාවයක් අත්දකින විටදී සතුටක් දැනෙන්නේ යැයි කිසිවෙකු හෝ නොපවසනු ඇත. එමෙන්ම, ලෝභය දැනෙන විටදී ඔබගේ ශක්තිය පිරික්සා බලන්නේ නම්, ඔබ එහිදීද පහසුවෙන් නොසිටී; ඔබට අවශ්‍ය තරම් නොලැබේය යන බියක් ඔබ තුළ පවතී. යමෙකුට බොහෝ සෙයින් ඇලී සිටින අතර ඔහු අහිමි වුවහොත් එවිටද ඔබට දැනෙනුයේ පහසුවක් නම් නොවේ; ඔබගේ ශක්තිය බොහෝ සෙයින් මෙහිදීද කැළඹේ. අනෙක් අතට, ඔබට කිසිදු කෝපයක්, ලෝභයක්, ආත්මාර්ථයක් වැනි හැඟීමක් නොදැනෙන විටක හුදෙක් කාරුණික සිතින් කටයුතු කරන්නට උත්සාහ කළහොත්, ඔබගේ සිත සාපේක්ෂව සන්සුන් වන අතර ඔබගේ ශක්තිය වඩාත් සෞම්‍ය නොවන්නේද? අති ප්‍රබලව නොවුවද, මූලිකව ඔබට යම්කිසි සියුම් මට්ටමක සතුටක්ද දැනේ. ඔබ පාලනයකින් තොරව "හොඳ හිතින් කටයුතු කරන්නෙකු" වී සියල්ල පරිපූර්ණ කිරීමේ අවශ්‍යතාවයෙන් කටයුතු කරන්නේ වුවද, ඔබගේ ශක්තීන් වඩාත් සන්සුන්ව ඇති අතර, කෝපයෙන් කටයුතු කරන විටදීට වඩා යම් ප්‍රයෝජනවත් කටයුත්තක නියැලීමෙන් වඩාත් සතුටු වේ. සැබැවින්ම, යම් පුණ්‍ය ක්‍රියාවක නිරත වෙමින් සිටින අතර යම් අත් වැරැද්දක් සිදුවේය යන බියෙන් හෝ අවශ්‍ය තරම් යහපත් ලෙස කටයුත්ත කිරීමට නොහැකි වේය යන සාංකාවෙන් පෙළෙන්නේ නම්, එවිට එවන් සිතිවිලි හා පසුතැවීම් සහිතව ඔබ සිටිනුයේ කිසිසේත් පහසුවෙන් නොවේ.

මෙහිදී සැලකිල්ලට ගතයුතු කරුණ වනුයේ මෙකී අසතුට හෝ සාපේක්ෂ සතුට අදාල ක්‍රියාව සිදු කිරීමෙන් අනතුරුව පවා කෙටි කලක් පවත්නා බවයි. එමගින් පෙන්නුම් කරන පරිදි, වෙනයම් කාර්යයක් සිදුකරන විටදී පවා ඔබට දැනෙන හැඟීමට පෙරදී කරන ලද කාර්යයෙහි බලපෑමක් ඇතිවන බවයි. කර්මය හා ඔබ අත් විඳින සතුටේ හෝ අසතුටේ මට්ටම අතර පවත්නා සම්බන්ධතාවය පිළිබඳ දේශනා කරන විටදී, බුදුන් වහන්සේ විසින් මූලිකවම සඳහන් කරන ලද්දේ අදාල ක්‍රියාව සිදු කිරීමෙන් කෙටි කලක් තුළ අපට දැනෙන දේ පිළිබඳව නොවේ. අපගේ බලහත්කාරී හෙවත් පාලනයකින් තොරව සිදු කෙරෙන භාවමය චර්යාවන් හා අපගේ ශරීර තුළ ශක්තිය ගමන් කරන ආකාරය අතර සම්බන්ධතාවය සලකා බැලීමේදී උන් වහන්සේ විසින් සඳහන් කරන ලද කරුණ ඇගයීමට ලක් කළ හැක.

එසේ නම් අප අත්දකින සියල්ලෙහි පවත්නා සාපේක්ෂ සත්‍යය වනුයේ අපගේ පොදු චිත්ත ස්වභාවය හා අපට කළ යුතුයැයි හැ‌ඟෙන දෙය පමණක් නොව අප සතුටින් සිටින්නේද අසතුටින් සිටින්නේද යන කරුණ පවා හේතු ප්‍රත්‍ය මත රඳා පවතිමින් ඉස්මතුවන බවයි. මෙය පෙර සලකා බලන ලද පද්‍යයෙහි සියලු දේ ස්ථාවරව පවත්වා ගන්නා පදනම ලෙස හඳුන්වනු ලබන, යථාර්ථයේ එක් පැතිකඩක් වන අතර එ් අනුව එය සියල්ල පවත්නා, ක්‍රියාත්මකවන හා කටයුතු කරන්නාවූ ආකාරයයි.

ගැඹුරුම සත්‍යය

සියල්ල පිළිබඳ දෙවන සත්‍යය මගින් වඩාත් ගැඹුරු මට්ටමක් පිළිබඳ අවධානය යොමු කරනු ලබයි. මනඃකල්පිතයන් පිළිබඳ අපගේ ප්‍රක්ෂේපණයන් හේතුකොට දේවල් සිදු නොවිය හැකි ආකාරයන්ගෙන් පවත්නේය හා ක්‍රියාත්මක වන්නේය යනුවෙන් පෙනී යා හැකි නමුදු, පවත්නේ යැයි පෙනෙන එකී නොපැවතිය හැකි තත්ත්වයන් යථාර්ථය හා අනුගත නොවේ.

අපගේ ප්‍රක්ෂේපණයන් හා අනුගත වන්නාවූ, සොයාගත හැකි යමක් කිසිසේත් නොපැවතීමේ ස්වභාවය "ශූන්‍යතාවය" හෙවත් නිරතුරු පරිවර්තනය කෙරෙන පරිදි "හිස්බව" ලෙස හැඳින්වේ.

ගති පුරුදු හේතුකොට ඇතිවන ව්‍යාකූලත්වය හේතුවෙන් අපගේ සිත් තුළින් ප්‍රක්ෂේපණය කෙරෙන, නොපැවතිය හැකි පැවතුම් ස්වරූපයේ සියුම් ආකාර ගණනාවක් පවත්නා නමුත්, වඩාත් පොදු මට්ටමින් කටයුතු කරමින් මෙම ගැඹුරුම සත්‍යය සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ කළ හැක. එසේ විය හැක්කේ කෙසේද? යථාර්ථය වනුයේ අපගේ ව්‍යාකූලත්වයට පත් සිත් මගින් ප්‍රක්ෂේපණය කෙරෙන, සිදුවිය නොහැකි විකාරයන් හා අනුගතවන කිසිවක් හෝ නොමැති බවයි. එය මුළුමනින්ම නොපවත්නා දෙයකි. 

සම්භාව්‍ය උදාහරණයක් සලකා බලමු: යහන යට රාක්ෂයෙකු ඇතැයි දරුවා සිතන අතර, එ් අනුව දරුවා විසින් යහන යට සිටින බළලා රාක්ෂයෙකු යැයි ප්‍රක්ෂේපණය කරයි. මෙම අදහස විකාර සහගත අදහසක් වන නමුදු, රාක්ෂයෙකු ඇතැයි දරුවා විශ්වාස කරන බැවින්, ඔහු බොහෝ සෙයින් බියට පත්වේ. එ් අනුව, මෙකී විකාර සහගත අදහස ප්‍රක්ෂේපණය මගින් දරුවා මත යම් බලපෑමක් ඇති කෙරෙන නමුදු, රාක්ෂයන් යනුවෙන් සත්ත්ව කොට්ඨාශයක් සැබෑ ලෙසම නොමැති බැවින් එමගින් බළලා සැබෑ රාක්ෂයෙකු බවට පත් නොකරයි. එ් අනුව, ශූන්‍යතාවය යනු දරුවාගේ මනඃකල්පිත අදහසට අනුගතවන සැබෑ රාක්ෂයෙකු කිසිසේත් නොමැති තත්ත්වයයි. කිසි දින රාක්ෂයෙකු සිට නොමැති අතර, ඉදිරියේදී සිටීමේ හැකියාවක්ද නොමැත. එසේ නමුදු, මෙම චිත්ත ප්‍රක්ෂේපණය ඉවත් කළහොත්, තවදුරටත් යහන යට බළලෙකු සිටී; එනම් එහි කිසිවෙකු නොසිටින්නේද නොවන බවයි. 

දේවල් අපට සැබෑ ලෙසම දිස්වන අයුරින් පවත්නේ යැයි අපි සිතා ගන්නෙමු. අපගේ ඇස් ඉදිරිපිට පවත්නා දෙය හෝ මේ මොහොතේ අපට සැබෑ ලෙසම දැනෙන දෙය පිළිබඳ පමණකි අප දැනුවත්ව සිටින්නේ. නිදසුනක් ලෙස, මාහට මේ මොහොතේ දුකක් දැනෙන අතර, කිසිදු හේතුවක් රහිතව එය පහළ වූ බවක්ද පෙනී යයි. මම හුදෙක්ම අසතුටින් සිටිමි. නීරස ස්වභාවයක් දැනේ; ජීවිතය අර්ථ විරහිත බවක් හැඟේ; මා අසතුටින් සිටින අතර එය මා කරමින් සිටින කාර්යයට හෝ මා සමග සිටින පුද්ගලයන්ට හෝ අදාල බවක්ද නොපෙනේ. හුදෙක් ක්ෂණිකවම මා හට ජීවිතයේ අර්ථ විරහිත බවක් පිළිබඳ හැඟීමක් ඇතිවේ; නොසතුටක් දැනේ. එය සුවිශාල හා බරපතල වූවක් විය යුතුද නැත. එය සුළු මට්ටමක අසංතෘෂ්ටි සහසගත හැඟීමක් විය හැක. එය කෙසේ ඇතිවීද? හේතුවක් නොමැති බවක් දිස්වේ. එනමුත් එයද විය නොහැක්කකි. එය යථාර්ථය හා අනුගත නොවේ. එයයි ගැඹුරුම සත්‍යය.

එසේනම්, සම්මුතික, සාපේක්ෂ සත්‍යය වනුයේ මාගේ අසතුට හෝ සතුටද ඇතුළත් සියලු දේ හේතු ඵල ක්‍රියාවලියක් තුළින් ඉස්මතුවන බවයි. එය යථාර්ථය වුවද, එය එසේ බවක් මා හට නොපෙනේ. මා හට දැනෙන දෙය ආකස්මිකව හා හේතු විරහිතව මතුවන බවක් පෙනේ. ගැඹුරුම සත්‍යය වනුයේ මා හට එය පෙනෙන ආකාරය යථාර්ථය හා අනුගත නොවන බවයි. එය වූකලි සිදු නොවිය හැක්කක් පිළිබඳ ඇතිකරගන්නා චිත්ත ප්‍රක්ෂේපණයකි. සිතා බලන්නේ නම්, එම යථාර්ථය වූකලි ඉතා බරසාර, ගැඹුරු වූවකි. 

තවත් උදාහරණයක් සලකා බලමු. ඇතැම් විට මා හට බැණ අඬ ගසන්නාවූ මිතුරෙකු සිටින්නේ යැයි සිතමු. අප අතර, පුදුමාකාර බැඳියාවක් පවත්නේ නමුදු, හිටි අඩියේ යම් කරුණක් පිළිබඳ කෝප වන මා මිතුරා මා වෙත බැණ අඬ ගසන්නට පටන් ගනී. එය මා හට පෙනෙන්නේ කෙසේද? එය පෙනී යනුයේ "ඔයා තවත් නම් මට හිතවත් නෑ" යන ස්වරූපයකිනි. මාගේ සිතට පෙනී යන එකම දෙය නම් මාගේ මිතුරා මා හට බැණ අඬගසන අතර දැන් මම එම හැඟීම තුළින් පමණක් මාගේ මිතුරා හඳුනා ගන්නා අතර ඉන් ඔබ්බට කිසිවක් හෝ නොමැත්තේය. එසේ වුවද, එය යථාර්ථය හා අනුගත නොවේ. එම බැණ අඬ ගැසීම අපගේ දිගු කාලීන මිත්‍රත්ව සන්දර්භය තුළ හුදෙක් තවත් එක් සිද්ධියක් වීමෙන් මුළුමනින්ව වෙන්වී ආකස්මිකව ඉස්මතු වූවක් නොවේ. මෙවැනි දේ ඔබටද සිදුවී ඇතිවා වන්නට පුළුවන. 

මෙහිදී සිදුවනුයේ අපගේ මිතුරා සමග පවත්නා සම්පූර්ණ සම්බන්ධතාවය හෙවත් මෙම පුද්ගලයා සමග අප ගතකළ අන් සියලු අවස්ථාවන් හා අපගේ අන්තර් සම්බන්ධතාවයේ සෙසු සියලු අවස්ථාවන්ද අපට නොපෙනීමයි. එයද එකම දෙය නොවේ; අපි වඩා විශාල පින්තූරයද නොදකින්නෙමු. මා මාගේ මිතුරාගේ ජීවිතයට අදාළ එකම පුද්ගලයා නොවන අතර අපගේ මිත්‍රත්වය ඔහුගේ ජීවිතයට අදාල එකම දෙයද නොවේ. මාගේ මිතුරාට මා හැරුණු කොට සම්පූර්ණ දිවියක්ම ඇති අතර මෙයද ඔහුගේ හැඟීම් හා ක්‍රියාවනට බලපායි. ඇතැම් විට සේවා ස්ථානයේ දුෂ්කර දිනයක් ගත කරන ලද අතර, නොඑසේ නම් ඔහුගේ මව්පියන් සමග යම් ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී එ් හේතුකොට ඇතිවු අයහපත් හැඟීමෙන් හා ව්‍යාකූලත්වයෙන් ඔහු මා වෙත බැණ අඬගැසුවා වන්නට පිළිවන. ගැඹුරුම සත්‍යය වනුයේ මා ප්‍රක්ෂේපණය කළ දේ සිදුවිය නොහැක්කක් බවයි: අපගේ මිත්‍රත්වයට අදාල සෙසු කොටස හා ඔහුගේ ජීවිතයේ සෙසු සිදුවීම්වලින් ස්වායත්ථව හා වෙන්ව ඔහු මාවෙත බැණ අඬ ගැසීමේ සිද්ධිය පවතින්නේය යන්න යථාර්ථය නොවේ. ස්වාධීනව හෙවත් ස්වායත්ථව පවත්නා සිදුවීම්වලට අනුගතවන සැබෑ යථාර්ථයක් නොපැවතිය හැකි අතර, එවැන්නක් සැබැවින්ම නොපවතී. අතැම් විට ඔහුට සිය සේවා ස්ථානයේ දුෂ්කරතා පැවති අතර එ් හේතුකොට මාගේ මිතුරාගේ සිත වියවුල් වී එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු මා වෙත බැණ අඬගැසුවා වන්නටද පිළිවන. ගැඹුරුම සත්‍යය වනුයේ මා ප්‍රක්ෂේපණය කළ දේ නොවිය හැක්කක් බවයි: අප අතර පැවති මිත්‍රත්වයේ සෙසු කොටස්වලින්ද ඔහුගේ ජීවිතයේ සිදුවූ සිදුවීම්වලින්ද සමන්විත සන්දර්භයෙන් ස්වාධීනව ඔහු මා වෙත බැණ අඬගැසීමේ තත්ත්වය පැවතියේය යන්න හුදෙක් යථාර්ථය නොවේ. එසේ ස්වාධීනව පවත්නා සිදුවීම් සම්බන්ධ වූ දර්ශනයනට අදාල සැබෑ යථාර්ථයක් පැවැත්මේ හැකියාවක් නොමැති අතර එවැන්නක් සැබෑ ලෙසම නොපවතී. එයාකාරයේ පැවතුම් මාදිලියක් මුළුමනින්ම නොපවතින ස්වභාවයට "ශූන්‍යත්වය" හෙවත් සංස්කෘත භාෂාවෙන් "ශුන්‍යතා" යනුවෙන් හඳුන්වනු ලබයි. එය වූකලි ශුන්‍ය අගය හෙවත් බිංදුව නමැති සංඛ්‍යාවට යෙදෙන වචනයම වේ.

දෙසත්‍යයට අනුව දේවල් එකිනෙකින් හුදෙකලාව හා ස්වාධීනව නොපවතින කල්හි හේතුව හා ඵලය ක්‍රියාත්මක වේ. මක් නිසාද, හේතුව හා ඵලය එකිනෙකට සාපේක්ෂව හා එකිනෙක මත රඳා පවතිමින් පමණක් පවත්නා බැවිනි. ඉන් සිදුවිය හැකි ඵලයක් නොමැත්තේ නම් යම් කිසිවකට හේතුවක් ලෙස පැවතිය නොහැක. යම් කිසිවකට ඵලයක් ඇතිකළ නොහැක්කේ නම්, එය කිසිවක හෝ හේතුවක් ලෙස පවත්නේ කෙසේද? දේවල්හි හේතුඵල සම්බන්ධතාවය නම්වූ සාපේක්ෂ සත්‍යය එ් අනුව ක්‍රියාත්මක වනුයේ සියල්ල හා සම්බන්ධ ගැඹුරුම සත්‍යය හේතුවෙනි: එනම් කිසිවක් හෝ අන් සියල්ලෙන් වියුක්තව නොපවත්නේය යන සත්‍යයයි.

ඉහත පද්‍යයේ සඳහන් පරිදි මෙයාකාරයෙන් එකී දෙසත්‍යය එකිනෙකට ආධාරක වන්නේය යන කරුණ වූකලි සියලු දේ බැඳී පවත්නා පදනමයි. "පදනම" යන්නෙන් ඊළඟ පෙළෙහිදී සිදුවන දේහි පදනම එයය යන කරුණද දක්වනු ලබයි. දෙසත්‍යය නම් වූ මෙකී යථාර්ථය දැක්මේ පදනමෙහි පිහිටාය බුදුන් වහන්සේ විසින් චතුර් සත්‍යය අවබෝධ කරගන්නා ලද්දේ.

ප්‍රශ්න

සත්‍ය යථාර්ථය අත්දැකීම

කිසිදු සාවද්‍ය සංකල්පනාවක් නොපවත්නා තැනක සත්‍ය යථාර්ථය සෘජුවම අත්විඳිය හැක්කේද? එය විය හැක්කක්ද?

එය විය හැක්කකි. අපගේ මානසික ක්‍රියාකාරිත්වය විසින් සියලු දේ විය නොහැකි ආකාරයන්ගෙන් පවත්නා බව පෙන්වුවද, එ්වා යථාර්ථය හා අනුගත නොවන බැවින්, එම විකෘතිය ඇති කරන දෙයින් නිදහස් විය හැක. මක් නිසාද, යථාර්ථය නම් වූ දෙයක් පවත්නා අතර විකෘති යථාර්ථය මානසික ක්‍රියාකාරිත්වයේ මූලික ස්වභාවයට අදාල කොටසක් නොවේ. මානසික ක්‍රියාකාරිත්වයට කිසිදු ප්‍රක්ෂේපණයකින් තොරව ක්‍රියාත්මක විය හැක.

එම පදනම මත, අපගේ මානසික ක්‍රියාකාරිත්වය විසින් යථාර්ථය විකෘති කරන විටදී එමගින් අපට ගැටළු, දුක් හා අසතුට ඇති කරන බව අපි වටහා ගන්නෙමු. එනමුදු, එම විකෘතිය ප්‍රක්ෂේපණය කිරීමෙන් අපගේ සිත් වළක්වාලිය හැකි බැවින් අප විසින් තවදුරටත් අප කෙරෙහිම ගැටළු නිර්මාණය කිරීම හා අත්විඳීම සිදු නොකරනු ඇත. අපගේ සිත් මෙම අභිමතාර්ථය සාධනය කරගැනීමෙහි ලා සමත් බව වටහාගත් කල්හි, එම අවබෝධය සාක්ෂාත් කරගැනීම දුක වළකාලනු හා දුකින් වැළකී සිටිනු පිණිස අපගේ ජීවිත තුළට සම්බන්ධ කරගත යුතු ආරක්ෂිතම දිශානතිය වශයෙන් පිහිටුවාගනු ඇත. මා සඳහන් කළ සියල්ල යථාර්ථය හා එය දැකීමෙහි ලා අප තුළ පවත්නා හැකියාව මත පදනම් වන බව අවබෝධ කරගැනීම තුළින් අපගේ වැටහීම ඉස්මතු වේ. 

මානසික බාධකයන් විනිවිද යනු පිණිස යථාර්ථය හඳුනාගනු සඳහා ඉතා දීර්ඝ පුහුණුවක් අවශ්‍ය වේ. මෙහිදීය භාවනාව වැදගත් වනුයේ. මෙම සන්දර්භය තුළ භාවනාව වූකලි යථාර්ථය දැකීම ප්‍රයෝජනවත් පුරුද්දක් වශයෙන් ගොඩනගා ගනිමින් යථාර්ථය සමගින් සමීප වීමේ පුහුණුවකි. ඔබ එම පුරුද්ද ගොඩනගා ගතහොත්, කවරෙකු හෝ හමුවන ඕනෑම අවස්ථාවක ඔවුන් ඔබ ඇස් ඉදිරිපිට පෙනෙන අයුරින් පමණක් නොව ඉන් ඔබ්බට ගොස් දැකීමේ හැකියාවක් වර්ධනය වනු ඇත. එ් වෙනුවට ඔවුන් එක් සමයෙක කුඩා දරුවන් ලෙසද, පසුව ළමා කාලයක ළමුන් ලෙසද, ඉනුත් පසුව වැඩිහිටි වියක්ද පසුකළ අතර ඔවුනට ඔවුනගේ ජීවිත කාලය තුළ බොහෝ දේහි බලපෑම ඇතිවූ බව ඔබ හොඳින්ම වටහාගනු ඇත. ඔවුන් බොහෝ විට තවත් වයෝවෘද්ධ වියට පත්වනු ඇති අතර ඊට වැඩි දේවල බලපෑමටද ලක්වනු ඇත. මෙයාකාරයෙන් එම පුද්ගලයාගේ සමස්ත ජීවිත සන්දර්භයෙහි යථාර්ථයද, එතුළ සිදුවූ සියලු දේ එකිනෙක හා බැඳී ඇති බවද ඔබ විසින් වටහාගනු ලබයි. පුද්ගලයාගේ යථාර්ථය පිළිබඳ මෙම දැක්ම මගින්, හුදෙක් එ්වා දෙස ඔබ ඉදිරිපිට ඇති නිශ්චල ඡායාරූපයක් මෙන් පටු දැක්මකින් බැලීමට වඩා වැඩි ප්‍රයෝජනවත් හා යථාර්ථවාදී ආකාරයකින් එයට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් ඔබට ලබාදෙනු ලබයි.

එසේ වුවද, එම කාර්යය සිදු කිරීම සඳහා පුහුණු විය යුතුය. නිසැක වශයෙන්ම ඔබ ඔවුන්ගේ ජීවිතයේ සියලු විස්තර හා එයට බලපෑ දේ පිළිබඳ නොදන්නා නමුදු එයට කම් නැත. හුදෙක් මෙම පුද්ගලයා සතුව බොහෝ බලපෑම්වලට ලක්වූ අතීත දිවියක් පැවති අතර බොහෝ විට අනාගතයක්ද පවතිනු ඇත්තේය යන දැනුවත්භාවය මගින් එම පුද්ගලයා පිළිබඳ යථාර්ථය ඔබ වෙත නිරාවරණය කරනු ලබයි. එ් අනුව, නිදසුනක් ලෙස, ඔබ කුඩා දරුවෙකු දුටුවහොත්, එම කුඩා දරුවා කුඩා දරුවෙකු ලෙසම නොදකින්න; මෙතුළ වැඩිහිටියෙකු වීමේ විභවයක් සහිත අයෙකු සිටින අතර, මා දැන් සිදුකරන සියල්ල මෙම දරුවා වැඩිහිටියෙකු වන ආකාරය කෙරෙහි බලපානු ඇත යන කරුණද සලකා බලන්න. සමස්ත පින්තූරය දෙස බලන්න. එවිට ඔබට යථාර්ථය ස්පර්ශ වනු ඇත.

Top