තිබ්බතයේ මූලසර්වස්තිවාද උපසම්පදාව පිළිබඳ ඉතිහාසය

මූලසර්වස්තිවාද භික්ෂු උපසම්පදාව තිබ්බතයේ අවස්ථා තුනකදී ස්ථාපනය වුවද, මූලසර්වස්තිවාද භික්ෂුණී සංස්ථාව කිසි විටෙකුදු ශක්තිමත්ව ස්ථාපනය නොවිණි. එහි ප්‍රතිඵලයක් ලෙස, මූලසර්වස්තිවාද විනය සම්ප්‍රදාය තුළ එන තිබ්බතීය බෞද්ධ සම්ප්‍රදාය අනුගමනය කරන්නාවූ හා උපසම්පදාව ලැබීමට කැමැත්තක් දක්වන කාන්තාවන් සාමනේරිකාවන් හෙවත් නවක භික්ෂුණීන් බවට පත්ව ඇත.

තිබ්බතයේ මුල් වරට මූලසර්වස්තිවාද භික්ෂු උපසම්පදාව ස්ථාපනය වූයේ භික්ෂූන් තිස් දෙනෙකු සමගින් සිදුවූ ඉන්දියානු ගුරු ශාන්තරක්ෂිතයන්ගේ ආගමනය හා ක්‍රිස්තු පූර්ව 775දී මධ්‍යම තිබ්බතයේ සාම්‍ය ආරාමය ආරම්භ කිරීමද සමගිනි. මෙය සිදුවූයේ තිබ්බත අධිරාජ ට්‍රි සොංඩෙට්සෙන් ගේ අනුග්‍රහයෙනි. කෙසේ වුවද, භාරතීය මූලසර්වස්තිවාද භික්ෂුණීන් දොළොස් දෙනා එකල තිබ්බතයට පැමිණීමක් හෝ තිබ්බතීය කාන්තාවන් ඉන් අනතුරුව අධි උපසම්පදාව ලබනු පිණිස භාරතය කරා සංචාරය කිරීමක් හෝ සිදු නොවූ බැවින් මෙම මුල් කාල පරිච්ඡේදය තුළ මූලසර්වස්තිවාද භික්ෂුණී උපසම්පදා පරපුරක් තිබ්බතය තුළ ස්ථාපනය නොවිණි.

කෙසේ වුවද, ඩුංහුවෑං ලේඛන අතර ආරක්ෂිතව පවත්නා චීන මූලාශ්‍රයකට අනුව, ට්‍රි සොංඩෙට්සන් අධිරාජයාගේ අන්තඃපුර ස්ත්‍රීන් අතරින් එක් අයෙකු වූ ඩ්‍රෝෂා යැංඩ්‍රොන් හා තවත් කාන්තාවන් තිස් දෙනෙකු විසින් සැම්යේහි භික්ෂුණී උපසම්දාව ලබා ඇත. ක්‍රි.පූ. 781දී සාම්යේහි පිහිටි භාෂා පරිවර්තන කාර්යාංශය වෙත ආරාධනා කරන ලද චීන භික්ෂූන් විසින් ඔවුන් වෙත උපසම්පදාව පිරිනමන්නට ඇත. චීනය තුළ ධර්මගුප්තක උපසම්පදා පෙළපත පමණක් අනුගමනය කළ යුතු බවට ක්‍රි.පූ. 709දී චීන අධිරාජ ෂොං-ෂොං විසින් ආඥාවක් නිකුත් කොට තිබූ බැවින්, තිබ්බතයේ භික්ෂුණී උපසම්පදාව ධර්මගුප්ත පෙළපත හරහා බිහි වූවා විය යුතුය. එ්ක සංඝ ක්‍රමය මගින් උපසම්පදාව පිරිනැමුවා විය හැකි බවට අනුමාන කළ හැකි අතර, සාම්යේ විවාදයේදී (ක්‍රි.ව. 792-794) චීන පාර්ශ්වයට අත් විඳින්නට සිදුවූ පරාජයත් සමගින් එය තිබ්බතයෙන් පිටමං කිරීමෙන් අනතුරුව එහි පෙළපතෙහි අඛන්ඩ පැවැත්ම අවසන් විය.

තිබ්බත අධිරාජ ට්‍රි රෙල්පෂෙන්ගේ (ක්‍රි.ව. 815-836), පාලන සමයේදී, සර්වස්තිවාදය තුළ එන කෘති හැර අන් කිසිදු හීනයාන කෘතියක් තිබ්බත බසට පරිවර්තනය නොකළ යුතු බවට අධිරාජයා විසින් ආඥාවක් නිකුත් කරන ලදී. මෙමගින් තිබ්බතයට මූලසර්වස්තිවාදය හැර අන් කිසිදු උපසම්පදා පෙළපතක් හඳුන්වා දීමේ හැකියාව සාර්ථක ලෙස සීමා කරන ලදී.

ශාන්තරක්ෂිතයන්ගෙන් පැවත එන මූලසර්වස්තිවාද භික්ෂු උපසම්පදා පෙළපත ක්‍රි.ව. නවවන සියවස අග භාගයේදී හෝ දසවන සියවස මුල භාගයේදී ලැංඩ්‍රාමා රජු විසින් බුදු දහම මර්දනය කිරීමද සමගින් මුළුමනින්ම පාහේ අතුරුදන් විය. ධර්මගුප්තක භික්ෂුන් දෙදෙනෙකුගේ සහාය සහිතව, ඉතිරිව සිටි මූලසර්වස්තිවාද භික්ෂූන් තිදෙනෙකු විසින් නැගෙනහිර තිබ්බතයේ ගොංපා-රැබ්සල් උපසම්පදාවත් සමගින් මෙම භික්ෂු උපසම්පදා පෙළපතෙහි පුනරුදයක් ඇති කරවන ලදී. මිශ්‍ර පෙළපත් සහිත ද්විත්ව සංඝ ක්‍රමයක් හරහා එකල මූලසර්වස්තිවාද භික්ෂුණී උපසම්පදාව වෙනුවෙන්, කෙසේ වුවද, එ් හා සමාන ධර්මගුප්තක භික්ෂුණීන් ඇතුළත් කිසිදු ක්‍රියාවලියක් අනුගමනය නොකරන ලදී.

ගොංපා-රැබ්සෙල්ගේ මූලසර්වස්තිවාද භික්ෂු උපසම්පදා පෙළපත ආපසු මධ්‍යම තිබ්බතය කරා රැගෙන එන ලද අතර, එය ‘පහළ තිබ්බත විනය’ සම්ප්‍රදාය ලෙස ප්‍රසිද්ධ විය. කෙසේ වුවද, බටහිර තිබ්බතයේ ක්‍රි.ව. 10වන සියවස අවසන් භාගයේදී යේෂේ-වෝ රජු සිය රාජධානිය තුළ මූලසර්වස්තිවාද භික්ෂු උපසම්පදාව ස්ථාපනය හෝ, ඇතැම් විට ප්‍රති-ස්ථාපනය, පිණිස ඉන්දියාව කරා යොමුවිය. මෙලෙසින්, ඔහු විසින් නැගෙනහිර ඉන්දීය පණ්ඩිතයෙකු වූ ධර්මපාලයනට හා ඔහුගේ අනුගාමිකයන් කිහිප දෙනෙකු හටද දෙවන මූලසර්වස්තිවාද භික්ෂු උපසම්පදා පෙළපත ස්ථාපනය කරනු පිණිස බටහිර තිබ්බතයේ ගූග් වෙත ආරාධනා කරන ලදී. මෙම පෙළපත ‘ඉහළ තිබ්බත විනය’ සම්ප්‍රදාය ලෙස ප්‍රසිද්ධ විය.

ගූග් වංශ කථාවලට අනුව, මෙකල මූලසර්වස්තිවාද භික්ෂුණී ශාසනයද ස්ථාපනය කරන ලද අතර, යේෂේ-වෝ රජුගේ දියණි ලායි-මේටොග් විසින් එහිදී උපසම්පදාව ලබාගන්නා ලදී.  මෙම උපසම්පදාව සිදු කරන ලද්දේ භික්ෂුණියක ලෙසද, නොඑසේ නම් නව සාමනේරිකාවක ලෙසද යන කරුණ පැහැදිලි නොවේ. කෙසේ වුවද, උපසම්පදාව පිරිනමනු පිණිස ගූග් වෙත මූලසර්වස්තිවාද භික්ෂුණීන් හට ආරාධනා කරන ලද්දේද යන කරුණ පිළිබඳවද පැහැදිලිතාවයක් නොපවත්නා අතර, මෙකල බටහිර තිබ්බතයේ මූලසර්වස්තිවාද භික්ෂූණී සම්ප්‍රදාය දැඩිසේ ස්ථාපනය වූයේද යන්නටද සාක්ෂි නොමැත.

ගූරිඩ් රාජ වංශයේ ගුෂ් තුර්කිවරුන් විසින් සිදුකරන ලද ආක්‍රමණය හරහා ඇතිවූ විනාශයෙන් මිදෙනු පිණිස තිබ්බතයට පැමිණෙන ලෙස නාලන්දා ආරාමයේ අවසන් සිහසුන්ධාරී ඉන්දියානු ගුරු ශාක්‍යශ්‍රීභද්‍රයන් හට ක්‍රි.ව. 1204දී තිබ්බත භාෂා පරිවර්තක ට්‍රොපු ලොට්සාවා විසින් ආරාධනා කරන ලදී. තිබ්බතයේ ගතකළ සමයේදී ශාක්‍යශ්‍රීභද්‍රයන් හා ඔහු කැටුව ආ ඉන්දියානු භික්ෂූන් විසින් ශාක්‍ය සම්ප්‍රදායට ඇතුළත් අපේක්ෂකයන් වෙත මූලසර්වස්තිවාදී භික්ෂු උපසම්පදාව පිරිනමන ලද අතර එ් හරහා තිබ්බතයේ එයාකාරයේ තෙවන උපසම්පදා පෙළපත ආරම්භ විය. ශාක්‍යශ්‍රීභද්‍රයන් විසින් ශාක්‍ය පණ්ඩිතයන් වෙත ලබාදෙන ලද උපසම්පදාවෙන් ප්‍රභවය වූ එක් පෙළපතක් හා එතුමා විසින් පසු කාලීනව පුහුණු කරනු ලැබ පසු කාලීනව ශාක්‍ය භික්ෂු සමාජයන් සතරක් බවට බෙදී ගිය භික්ෂු සමාජයක් වෙත ලබාදුන් උපසම්පදාවෙන් ප්‍රභවය වූ තවත් පෙළපතක් වශයෙන් එහි අනු පෙළපත් දෙකක් පවතී. ක්‍රි.ව. 12වන සියවස වැනි මෑත යුගයක් වනතුරු උතුරු ඉන්දියාවේ භික්ෂුණීන් වැඩ වාසය කළ බවට සාක්ෂි හමු වුවද, කිසිදු මූලසර්වස්තිවාද භික්ෂුණියක් ශාක්‍යශ්‍රීභද්‍රයන් සමග තිබ්බතය කරා ගමන් නොකරන ලදී. මෙයාකාරයෙන් තිබ්බතයේ දක්නට ලැබෙන මූලසර්වස්තවාද භික්ෂු උපසම්පදා පෙළපත් තුනෙන් කවරක් සමගින් හෝ බද්ධව මූලසර්වස්තිවාද භික්ෂුණී උපසම්පදා පෙළපත කිසි විටෙක හෝ සම්ප්‍රේෂණය නොවිණි.

ශාක්‍යශ්‍රීභද්‍රයන්ගේ පැමිණීමෙන් අනතුරුව එළැඹි ශතවර්ෂයන්හිදී, තිබ්බතය තුළ මූලසර්වස්තිවාද භික්ෂුණී සම්ප්‍රදාය ස්ථාපනය කරනු පිණිස අවම වශයෙන් එක් ප්‍රයත්නයක් හෝ දරන ලද නමුදු එය ආසාර්ථක විය. ක්‍රි.ව. 15වන සියවසේ මුල් භාගයේදී, ශාක්‍ය ගුරු ශාක්‍ය චොංඩෙන් විසින් විශේෂයෙන් සිය මව උදෙසා එ්ක භික්ෂු මූලසර්වස්තිවාද භික්ෂුණී උපසම්පදාවක් කැඳවන ලදී. කෙසේ වුවද, සම කාලීන තවත් ශාක්‍ය ගුරුවරයෙකු වූ ගොරම්පාවන් විසින් මෙම උපසම්පදාවේ පවත්නා වලංගුභාවය දැඩිසේ විවේචනයට ලක් කරන ලදුව අවසන එය නතර කරන ලදී.

Top