වර්තමාන ලෝකයේ බුදු දහම​

දකුණු සහ අග්නිදිග ආසියාවේ බුදු දහම

ඉන්දියාව

7 වන සියවසේ දී ඉන්දියාවෙන් බුදු දහම තුරන් වීම පටන් ගත් අතර 12 වන සියවසේ පාලා අධිරාජ්‍යයේ බිඳ වැටීමෙන් පසුව උතුරු හිමාලයානු ප්‍රදේශ හැරෙන්නට සම්පූර්ණයෙන්ම තුරන් විය. දහනව වන ශතවර්‍ෂයේ අග භාගයේ දී නැවත ඉන්දියාවේ බෞද්ධ පුනර්ජීවනයක් දක්නට ලැබුණි. ශ්‍රී ලාංකේය බෞද්ධ ක්‍රියාකාරියෙකු වූ අනගාරික ධර්මපාලතුමා විසින් බ්‍රිතාන්‍ය විද්වතුන්ගේ සහය ද ඇතිව ඉන්දියානු මහාබෝධි සමාගම පිහිටුවීම මෙයට හේතු විය. ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය වූයේ ඉන්දියාවේ බෞද්ධ වන්දනා ස්ථාන නැවත පෙර පරිදි යථා තත්ත්වයට පත් කිරීම ය. සියලුම බෞද්ධ පූජනීය ස්ථානවල භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටින පන්සල් ඉදි කිරීමේ කර්තව්‍යයේදී ඔවුහු අති සාර්ථක වූහ.

1950 දශකයේ දී අම්බෙඩ්කාර් විසින් ඉහළ කුල අතර නව බෞද්ධ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර කුල අපකීර්තියෙන් වැළකී සිටීම සඳහා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව බුද්ධාගමට හැරී ඇත. පසුගිය දශකය තුළ දී නාගරික මධ්‍යම පංතියේ ජනතාව අතර බුද්ධාගම කෙරෙහි වැඩි උනන්දුවක් ඇති වී තිබේ. වර්තමානයේ ඉන්දියානු ජනගහනයෙන් 2% ක් පමණ බෞද්ධයෝ වෙති.

ශ්‍රී ලංකාව

ක්‍රි.පූ. 3 වන සියවසේ දී ඉන්දීය අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහේන්ද්‍ර (මිහිඳු මහ රහතුන් වහන්සේ) විසින් බුද්ධාගම හඳුන්වා දුන් දා සිට ශ්‍රී ලංකාව බෞද්ධ අධ්‍යයන මධ්‍යස්ථානයකි. බුදු දහමේ දීර්ඝතම අඛණ්ඩ ඉතිහාසය ශ්‍රී ලංකාව සතුවේ. තවදුරටත් දිගු කාලීන බුදු දහමේ පරිහානියට ලක් වීම් ද ලංකාව අත්විඳ ඇත. 16 වන සියවසේ දී දූපත බ්‍රිතාන්‍ය යටත් විජිතකරණයට ලක් වූ විට යුරෝපීයයත් විසින් ක්‍රිස්තියානි ධර්මය මෙහි පිළිගත් ආගම බවට හරවා තිබූ කාලවකවානුව එවැන්නකි.

19 වන ශතවර්‍ෂයේ දී බ්‍රිතාන්‍ය විද්වතුන්ගේ හා දේව ධර්මවාදීන්ගේ සහාය ද ඇතිව බුද්ධාගම ප්‍රබල පුනර්ජීවනයක් අත්විඳින ලදි. එබැවින් ශ්‍රී ලංකා බුදුදහම ඇතැම් විට “රෙපරමාදු බුද්ධාගම” ලෙස ද වර්ගීකරණ වී ඇති අතර ගිහි ප්‍රජාව උදෙසා දේව ගැති කටයුතු සහ ශාස්ත්‍රීය කටයුතු භික්‍ෂූන් වහන්සේ විසින් සිදු කරන ලද අතර භාවනා කටයුතු පුරුදු පුහුණු වීම ගිහියන් විසින් සිදු කරන ලදි. 1948 දී රට බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබූ අතර එතැන් පටන් බෞද්ධ ආගම හා සංස්කෘතිය කෙරෙහි දැඩි උනන්දුවක් ඇති විය.

අද වන විට ශ්‍රී ලාංකිකයන්ගෙන් 70% ක් බෞද්ධයන් වන අතර එයිනුත් බහුතරයක් ථේරවාදී සම්ප්‍රදාය අනුගමනය කරති. වසර 30 ක සිවිල් යුද්ධයෙන් පසු දැන් ශ්‍රී ලංකාවේ ජාතියක් ලෙස බුද්ධාගමේ වර්ධනයක් දක්නට ලැබෙන අතර බොදු බල සේනාව (බෞද්ධ බලකාය) වැනි සමහර සංවිධාන අන්තවාදී මුස්ලිම් විරෝධී කැරලි සහ ව්‍යාජ බෞද්ධ නායකයන්ට එරෙහි විරෝධතා සංවිධානය කරයි.

මියන්මාරය (බුරුමය)

ඉතිහාස පරීක්‍ෂණවලින් පෙනී යන්නේ වසර 2000කට අධික ඉතිහාසයක් බුරුමයේ බෞද්ධ ආගමට ඇති බවය. එමෙන්ම වර්තමානයේ ද එරට ජනගනයෙන් 85% ක් පමණ බෞද්ධයන් ලෙස හඳුනාගෙන තිබේ. පැවිදි වූ ප්‍රජාව සඳහා භාවනා කිරීම සහ අධ්‍යයනවල නිරත වීම අතර සමබරතාවයක් දීර්ඝකාලීනව අවධාරණය කරන අතර ගිහි ජනතාව විශාල විශ්වාසයක් පවත්වා ගෙන යාම සිදු කරයි. වඩාත්ම ප්‍රසිද්ධ බුරුම බෞද්ධයෙකු වන එස්. එන්. ගොඑන්කා ගිහි ජනතාව සඳහා විපස්සනා භාවනා ක්‍රමය උගන්වන ගුරුවරයෙකි.

1948දී බුරුමය බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයෙන් නිදහස ලබා ගත් දා සිට සිවිල් හා හමුදාපාලන යන දෙවර්ගයෙහිම රජයන් ථේරවාදී බුද්ධාගම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කර තිබේ. යුද පාලන සමයේදී බුද්ධාගම දැඩි ලෙස පාලනය කරන ලද අතර විරුද්ධවාදීන් රඳවා සිටි ආරාම පවා විනාශ කිරීමට යෙදුණි. 8888 පිබිදීම සහ 2007 පඬුපැහැ විප්ලවය වැනි යුද පාලනයට එරෙහි දේශපාලන පෙළපාලිවල බොහෝ විට භික්‍ෂූන් වහන්සේ පෙරමුණ ගෙන සිටියහ.

පසුගිය දශකය තුළ විවිධ ජාතිවාදී කණ්ඩායම් බිහි වී බුද්ධාගම පුනර්ජීවනය කිරීමට සහ ඉස්ලාමයට විරුද්ධ වීමට උත්සහ ගත්තේය. 969 සමූහයේ සංඝ නායක අෂින් විරාතු තමාව “බුරුම බින් ලාඩන්” ලෙස හඳුන්වා ගනිමින් මුස්ලිම් කඩ සාප්පු වර්ජනය කිරීමට සමාජය පෙලඹවීය. “බුද්ධාගම ආරක්‍ෂා කිරීම” මුවාවෙන් මුස්ලිම් පල්ලි සහ මුස්ලිම් නිවාසවලට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවී ඇති අතර මුස්ලිම්වරුන්ගේ ප්‍රතිප්‍රහාර තවදුරටත් එම ගිනිදැල් අවුලවාලීමට හේතුවක් වී ඇත.

බංගලාදේශය

11 වන ශතවර්‍ෂය වන තුරුම බුදු දහම මෙම රාජ්‍යයේ ප්‍රධානතම ආගමික ඇදහීම විය. වර්තමානයේ ජනගහනයෙන් 1% කටත් වඩා අඩු ප්‍රමාණයක් බෞද්ධයන් වන අතර ඔවුන් ජීවත් වන්නේ බුරුමයට ආසන්න චිතගොං කඳුකර ප්‍රදේශවල ය.

එරට අගනුවර වන ඩකාහි බෞද්ධ විහාරස්ථාන හතරක් සහ නැගෙනහිර ගම්මාන පුරා විහාරස්ථාන කීපයක් ඇත. කෙසේවතත් බුරුමය සමඟ සැලකූ විට බෞද්ධාගමේ භාවිතය හා අවබොධය තරමක් අඩුය.

තායිලන්තය

අග්නිදිග ආසියානු අධිරාජ්‍යයන්ට බුද්ධාගම හඳුන්වා දෙනු ලැබුවේ ක්‍රි.ව. 5 වන සියවසේ සිට ය. ජන ඇදහීම්, හින්දු ආගමේ සහ මහායාන බුද්ධාගමේ බලපෑම හමුවේ වුවද ථේරවාද බුදුදහම අනුගමනය කළේය. ශ්‍රී ලංකාව හා බුරුමයේ මෙන් නොව, කිසිම විටෙක දී තායිලන්තයේ කාන්තාවන් සඳහා පැවිදි පරම්පරාවක් නොතිබුණි. රටෙන් 95%ක්ම පාහේ බෞද්ධයෝ වූහ.

තායි පැවිදි ප්‍රජාව, තායි රාජාණ්ඩුව ආදර්ශයට ගනිමින් සම්ප්‍රදායේ පාරිශුද්ධභාවය පවත්වා ගැනීම සඳහා වගකිව යුතු උත්තරීතර කුලදෙටුවන් මෙන්ම වැඩිහිටි කවුන්සිලයක් ද ස්ථාපිත කර ඇත. ආරණ්‍යවල වැඩ වාසය කරන මෙන්ම ගම්මානවල වැඩ සිටින පැවිදි ප්‍රජාවක් එහි සිටී. මේ දෙපිරිසම ගිහි ප්‍රජාවගේ මහත් ගෞරවයට පාත්‍ර වේ.

ආරණ්‍ය සම්ප්‍රදායන්හි භික්‍ෂූන් වහන්සේලා හුදෙකලා වනාන්තරවල වැඩ වාසය කරන අතර පැවිදි නීති රීති දැඩි ලෙස අනුගමනය කරමින් දැඩි භාවනා ක්‍රම පුරුදු පුහුණු කරති. ග්‍රාමීයව වැඩ වසන භික්‍ෂූන් වහන්සේලා මූලික වශයෙන් ම ගාථා හා පිරිත් සජ්ඣායනා ප්‍රගුණ කර ගිහි ජනතාව වෙනුවෙන් බෞද්ධ චාරිත්‍ර ඉටු කරති. මූලිකවම බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථ සම්භාව්‍ය පාලිභාෂාවේ සිට නූතන තායි භාෂාවට පරිවර්තනය කිරීම සඳහා ශ්‍රමණ පිරිස පුහුණු කරවීම පිණිස බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා වෙනුවෙන් බෞද්ධ විශ්ව විද්‍යාලයක්ද ඇත.

ලාඕසය

ක්‍රි.ව. 7 වන සියවසේ දී බුද්ධාගම ප්‍රථම වරට ලාඕසයට ව්‍යාප්ත වූ අතර වර්තමානයේ ජනගහනයෙන් 90% ක්ම ජීවවාදය සමග මුසු වූ බුදුදහම කෙරෙහි විශ්වාසයක් ඇති බව ප්‍රකාශ කරයි. කොමියුනිස්ට් පාලන සමයේ දී බලධාරීන් මුලදී බෞද්ධ ආගම සම්පූර්ණයෙන් මර්දනය නොකළ අතර පසුව ඔවුන්ගේ දේශපාලන අරමුණු තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා බෞද්ධ සංඝයා වහන්සේව භාවිත කරන ලදි. කාලයාගේ ඇවෑමෙන් බුද්ධාගම දැඩි මර්දනයකට ලක් වීම සිදු වීය. 1990 දශකයේ සිට බුද්ධාගම පුනර්ජීවනයකට ලක් වන අතර බොහෝ ලාඕසියානු ජාතිකයන් ඉතා භක්තිමත් අය වේ. බොහෝ පිරිමිහු අවම වශයෙන් කෙටි කාලයක් සඳහා හෝ ආරාමයකට හෝ පන්සලකට සම්බන්ධ වෙති. බොහෝ පවුල්වල ජනයා භික්‍ෂූන් වහන්සේලාට දානය පූජා කරන අතර පුර පසළොස්වක පොහොය දිනවලදී පන්සල් යාමද සිදු කරන්නට විය.

කාම්බෝජය

13 වන ශතවර්‍ෂයේ සිටම ථේරවාද බුද්ධාගම රාජ්‍ය ආගම වන අතර ජනගහනයෙන් 95% ක් අදටත් බෞද්ධාගමිකයෝ වෙති. 1970 දශකය තුළ කෙමර් රූජ් මෙම දේශය තුළ බුද්ධාගම විනාශ කිරීමට උත්සාහ කළ අතර එය බොහෝ දුරට සාර්ථක විය. 1979 වන විට සෑම භික්‍ෂුවක්ම පාහේ ඝාතනය කිරීමට හෝ පිටුවහල් කිරීමට ක්‍රියා කළ අතර සෑම බෞද්ධ විහාරස්ථානයක්ම හා පුස්තකාලයක්ම විනාශ කළේය.

සිහානාක් කුමරු නැවත රජු ලෙස පත් වීමෙන් පසු, බෞද්ධාගම සඳහා පනවා තිබූ සීමාවන් ක්‍රමයෙන් ඉවත් කරන ලද අතර එම නිසා බුද්ධාගම කෙරෙහි තිබූ උනන්දුව යළිත් ඇති විය. කාම්බෝජ ජාතිකයන් ද සාත්තර කීම, ජ්‍යොතිෂය සහ මළවුන්ගේ ලෝකය පිළිබඳව දැඩි ලෙස විශ්වාස කරන අතර භික්‍ෂූන් වහන්සේලා බොහෝ විට වෙදැදුරෝ වෙති. දරුවන්ට නම් තැබීමේ සිට විවාහ සහ අවමංගල්‍ය උත්සව දක්වා පුළුල් පරාසයක උත්සවවලට බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සහභාගි වෙති.

වියට්නාමය

බුද්ධ ධර්මය වියට්නාමයට ව්‍යාප්ත වූයේ මීට වසර 2000කට පමණ පෙර පළමුවෙන්ම ඉන්දියාවෙනි. නමුන් ඉන් පසුව මූලික වශයෙන් මෙම ව්‍යාප්තිය සිදු වූයේ චීනයෙනි. කෙසේ වෙතත් බෞද්ධාගම 15 වන සියවසේ දී පාලක පන්තියේ අනුග්‍රහය දැක්වීමෙන් මිදීමට ආරම්භ විය. 20 වන ශතවර්‍ෂයේ මුල් භාගයේ නැවත බෞද්ධ පුනර්ජීවනයක් ඇති වූ නමුත් පසුව රිපබ්ලිකන් පාලන සමයේ දී බිහි වූ කතෝලික හිතවාදී ප්‍රතිපත්ති බෞද්ධයන්ට විරුද්ධ විය. දැන් ජනගහනයෙන් 16% ක් පමණක් බුද්ධාගම අදහනු ලබයි. නමුත් එය තවමත් එරට විශාලතම පිරිසක් අදහන ආගමයි.

රජයෙන් ස්වාධීනව කටයුතු කිරීමට කිසිදු විහාරස්ථානයකට අවසර නොලැබුණ ද රජය දැන් බුද්ධාගම ගැන වඩාත් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරයි.

ඉන්දුනීසියාව සහ මැලේසියාව

ක්‍රි.ව. 2 වන සියවසේ දී පමණ බුද්ධාගම ඉන්දියාව සිට වෙ‍ෙළඳ මාර්ග ඔස්සේ මෙම ප්‍රදේශ දක්වා ව්‍යාප්ත විය. 15 වන ශතවර්‍ෂයේ දී අවසාන හින්දු-බෞද්ධ අධිරාජ්‍යයා වූ මජාපහිට් බිඳ වැටෙන තෙක් එහි ඉතිහාසය පුරාම බුද්ධාගම හින්දු ආගම සමඟ එකසේ ක්‍රියාත්මක විය. 17 වන සියවසේ ආරම්භය වන විට ඉස්ලාම් ආගම විසින් මෙම ආගම් මුළුමනින්ම ප්‍රතිස්ථාපනය කර තිබුණි.

ඉන්දුනීසියානු රජයේ පංචශීල ප්‍රතිපත්තියට අනුව රජයේ නිල ආගම් දෙවියන් කෙරෙහි විශ්වාසය තැබිය යුතුම විය. බුදු දහම විසින් දෙවිවරුන්ව ස්වාධීන පුද්ගලයන් ලෙස  නොපිළිගන්නා මුත් යම්තාක් දුරට සැලකීමට හෝ සිදුව ඇත්තේ ඊට වසර දහසකට පමණ පෙර ඉන්දියාවේ දේශනා කරන ලද කාලචක්‍ර තන්ත්‍රයේ සාකච්ඡා කර ඇති පරිදි ආදිබුද්ධ නොහොත් “පළමු බුදුන්” යන ප්‍රකාශය නිසාය. ආදිබුද්ධ යනු කාලය හා වෙනත් සීමාවන් ඉක්මවා සියලු දර්ශනයන්හි සර්වඥ නිර්මාතෘ වන අතර සංකේතාත්මක චරිතයකින් නිරූපණය වුවද ඇත්ත වශයෙන් ම ජීවියෙකු ලෙස නොපවතී. මනසෙහි පැහැදිලි සැහැල්ලු ස්වාභවය ලෙස ආදිබුද්ධ සියලු ජීවීන් තුළ දක්නට ලැබේ. මෙම පදනම මත ඉස්ලාම්, හින්දු, කොන්ෆියුෂියානුවාදය, කතෝලික හා රෙපරමාදු ආගම්වලට සමගාමීව බුද්ධාගම පිළිගනු ලැබීය.

ශ්‍රී ලංකා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා බාලි සහ ඉන්දුනීසියාවේ වෙනත් ප්‍රදේශවල ථේරවාද බුද්ධාගම පුනර්ජීවනය කිරීමට උත්සාහ කර ඇති නමුත් ඉතා සීමිත පරිශ්‍රමයක් විය. බුදු දහම කෙරෙහි උනන්දුවක් දක්වන බාලි වැසියන් හින්දු, බුද්ධාගම සහ දේශීය මළවුන් ඇදහීමේ ආගමේ මිශ්‍රණයක් වූ බාලිහි අනුගාමිකයෝ වූහ. ඉන්දුනීසියාවේ වෙනත් ප්‍රදේශවල, සමස්ත ජනගහනයෙන් 5% ක් පමණ වන බෞද්ධයන් චීන සම්භවයක් ඇති ඉන්දුනීසියානු ප්‍රජාවට අයත් වේ. ථේරවාද, චීන හා ටිබෙට් සාම්ප්‍රදායන්ගේ මුහුම් වන ඉතා කුඩා ඉන්දුනීසියානු බෞද්ධ නිකායන් ද ඇත.

මැලේසියානු ජනගහනයෙන් 20% ක් පමණ බුදු දහමට අනුගත වී ඇති අතර ඔවුන් ප්‍රධාන වශයෙන් විදේශීය චීන ප්‍රජාවන්ගෙන් සමන්විත වේ. අඩ සියවසකට පමණ පෙර බුදු දහම කෙරෙහි ඇති උනන්දුව ක්‍රමයෙන් අඩුවී ඇති අතර 1961 දී බුද්ධාගම ව්‍යාප්ත කිරීමේ අරමුණින් බෞද්ධ මිෂනාරි සංගමය ආරම්භ කරන ලදී. පසුගිය දශකය තුළ යෞවනයන් අතර පවා බෞද්ධ පිළිවෙත් අනුගමනය කිරීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබේ. මනා ලෙස අරමුදල් සහ ආධාර ලබන ථේරවාද, මහායාන සහ වජ්‍රයාන මධ්‍යස්ථාන ගණනාවක් වර්තමානයේ එරට තුළ පවතී.

නැගෙනහිර ආසියානු මහායාන බුද්ධාගම

මහජන චීන සමූහාණ්ඩුව

පසුගිය වසර 2,000ක කාලය තුළ චීන ඉතිහාසය තුළ බුද්ධාගම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අතර නැගෙනහිර ආසියාවේ බුද්ධාගම ව්‍යාප්ත කිරීම සඳහා චීන බුද්ධාගම වේගවත් කාර්යභාරයක් ඉටු කර ඇත. මුල් ටැන්ග් රාජවංශය (ක්‍රි.ව. 618-907) කලාව හා සාහිත්‍යය සමෘද්ධිමත් වීමත් සමඟ බුද්ධාගමේ ස්වර්ණමය යුගය අත් දැකීමට සමත් විය.

1960 සහ 70 දශකවල සංස්කෘතික විප්ලවය අතරතුර චීන බෞද්ධ ආරාමවලින් බහුතරයක් විනාශ වූ අතර හොඳින් පුහුණු වූ භික්‍ෂූන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සහ බෞද්ධාගමික ගුරුවරුන් බොහෝ දෙනෙකු එල්ලා ඝාතනය කිරීම හෝ සිරගත කිරීම සිදු කරන ලදී. ටිබෙටයේ සහ මොන්ගෝලියාවේ රට තුළ ප්‍රදේශවල බුද්ධාගම මර්දනය කිරීම වඩාත් තීව්‍ර විය. චීනය ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කරන විට සාම්ප්‍රදායික ආගම් කෙරෙහි තිබූ උනන්දුව යළිත් වර්ධනය විය. නව විහාරස්ථාන ඉදි කර පැරණි ඒවා ප්‍රතිසංස්කරණය කරන ලදි. ආරාමවලට සම්බන්ධ වූ බොහෝ දෙනා ගම්බද පළාත්වල දුප්පත් හා නූගත් පවුල්වල පුද්ගලයන් වූ අතර අධ්‍යාපන සාමාන්‍ය පහළ මට්ටමක පැවතුණි. බොහෝ විහාරස්ථාන පවතින්නේ හුදෙක් සංචාරක ස්ථාන ලෙස පමණක් වන අතර, පැවිදෝ හුදෙක් ප්‍රවේශ පත්‍ර එකතු කරන්නන් සහ පන්සල් සේවකයින් ලෙස ක්‍රියා කරති.

අද වන විට චීන ජාතිකයන් විශාල සංඛ්‍යාවක් බුද්ධාගම කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන අතර ටිබෙට් බුද්ධාගම කෙරෙහි ඇති භක්තිය ඒ අතරින් කැපී පෙනේ. වර්තමාන ඇස්තමේන්තු අනුව බෞද්ධ ජනගහනය 20% ක් පමණ වන අතර චීනය පුරා ඇති පන්සල් ආරම්භ කළ වේලාවේ පටන්ම කාර්යබහුල වේ. මිනිසුන් ධනවත් හා කාර්යබහුල වී ඇති හෙයින්, බොහෝ දෙනෙක් චීන හා ටිබෙට් බුද්ධාගම අනුගමනය කිරීමෙන් ආතතියෙන් මිදීමට උත්සාහ කරති. බොහෝ චීන හැන් ජාතිකයින් ටිබෙට් බුද්ධාගම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන අතර චීන භාෂාවෙන් උගන්වන ටිබෙට් ජාතිකයන්ගේ ප්‍රමාණය ද වැඩි විය.

තායිවානය, හොංකොං සහ විදේශීය චීන ප්‍රදේශ

චීනයෙන් ව්‍යාප්ත වීමට යෙදුණු නැගෙනහිර ආසියානු මහායාන බෞද්ධ සම්ප්‍රදායයන් තායිවානයේ සහ හොංකොංහි ප්‍රබල විය. ගිහි ප්‍රජාවගේ නොමසුරු සහයෝගය ලැබුණු භික්‍ෂූන් වහන්සේලාගෙන් සහ මෙහෙණින් වහන්සේලාගෙන් සමන්විත ප්‍රබල පැවිදි ප්‍රජාවක් තායිවානයේ පවතී. සමාජ සුබසාධනය අරමුණු කරගත් බෞද්ධ විශ්වවිද්‍යාල සහ බෞද්ධ වැඩසටහන් පවා තිබේ. හොංකොංහි ද සශ්‍රීක පැවිදි ප්‍රජාවක් ඇත. මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ පිලිපීනය යන රටවල විදේශීය චීන බෞද්ධ ප්‍රජාවන් අතර මුතුන් මිත්තන්ගේ සුබ සිද්ධිය උදෙසා සහ ජීවත්වන්නන්ගේ සමෘද්ධිය හා ධනය සඳහා බෞද්ධාගමික චාරිත්‍ර දැඩි ලෙස ක්‍රියාත්මක විය. බෞද්ධ කථිකයන් කතා කරන සහ ගිහි ප්‍රජාවගේ සෞඛ්‍ය හා මානසික ගැටලු සඳහා ද උපදෙස් දෙන මාධ්‍යයන් බොහොමයක් තිබේ. මෙම “ආසියානු කොටියා” ආර්ථිකයන් පිටුපස ඇති ප්‍රධාන ගාමක බලවේගය වන චීන ව්‍යාපාරිකයින් ඔවුන්ගේ මූල්‍ය සාර්ථකත්වය සඳහා චාරිත්‍ර ඉටු කිරීමට භික්‍ෂූන් වහන්සේලාට නොමසුරුව මුදල් පරිත්‍යාග කරති. තායිවානය, හොංකොං, සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල ටිබෙට් බෞද්ධයන් වැඩිවෙමින් පවතී.

දකුණු කොරියාව

ක්‍රි.ව. 3 වන සියවසේ දී චීනයෙන් කොරියානු අර්ධද්වීපයට බුද්ධාගම ව්‍යාප්ත විය. මූලධර්මවාදී ක්‍රිස්තියානි සංවිධානවල ප්‍රහාර මධ්‍යයේ වුවද දකුණු කොරියාවේ බෞද්ධාගම තවමත් සාපේක්‍ෂව ශක්තිමත් ය. පසුගිය දශකය තුළ එවැනි කණ්ඩායම් විසින් ආරම්භ කරන ලද ගින්නෙන් බෞද්ධ විහාරස්ථාන විශාල ප්‍රමාණයක් අලාභ හානි වී හෝ විනාශ වී තිබේ.

ජපානය

5 වන සියවසේ දී කොරියාවෙන් බුද්ධාගම ජපානයට ව්‍යාප්ත වූ අතර ජපාන සමාජය හා සංස්කෘතිය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. 13 වන ශතවර්‍ෂයේ සිට විවාහක, මත්පැන් පානය කරන භික්‍ෂූන් වහන්සේලාගේ සම්ප්‍රදායක් ඇතිවිය. එවැනි භික්‍ෂූන් වහන්සේලා ක්‍රමානුකූල ව බ්‍රහ්මචාරී භික්‍ෂූන් වහන්සේලාගේ සම්ප්‍රදාය ප්‍රතිස්ථාපනය කළහ. ඓතිහාසික වශයෙන්, සමහර බෞද්ධ සම්ප්‍රදායන් අතිශයින්ම ජාතිවාදී වී ඇති අතර ජපානය බෞද්ධ පාරාදීසයක් යැයි විශ්වාස කර ඇත. වර්තමානයේ දී, සමහර ශාස්ත්‍රීය විනාශකාරී නිකායන් තමන් බෞද්ධ යැයි කියාගත්ත ද, ශාක්‍යමුනි බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් සමඟ එතරම් සම්බන්ධයක් ඒවායේ නැත.

ජනගහනයෙන් 40% ක් පමණ බෞද්ධයන් ලෙස හඳුනාගෙන ඇති අතර බොහෝ ජපන් ජාතිකයින් බුද්ධාගම පිළිබඳ මුල් ජපන් ආගම වන ෂින්තෝ සමඟ පටලවා ගෙන ඇත. උපත් හා විවාහ චාරිත්‍ර සිදු කරනු ලබන්නේ ෂින්තෝවලට අනුකූලව වන අතර බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා අවමංගල්‍ය කටයුතු පමණක් සිදු කරති.

ජපානයේ පන්සල් අතිශය වාණිජකරණය වී තිබුණත් සංචාරකයින් සහ නරඹන්නන් සඳහා අලංකාර ලෙස තබා තිබුණි. බොහෝ දුරට සත්‍ය අධ්‍යයනය හා පුහුණුව දැඩි ලෙස දුර්වලව පැවතීය. ලෝකයේ විශාලතම බෞද්ධ සංවිධානවලින් එකක් වන සොකා ගක්කායි ආරම්භ වූයේ ජපානයේ ය.

මධ්‍යම ආසියානු මහායාන බුද්ධාගම

ටිබෙටය

ක්‍රි.ව. 7 වන සියවස තරම් ඈත අතීතයේ දී බුද්ධාගම ටිබෙටයට ව්‍යාප්ත වී ඇත. සියවස් ගණනාවක් පුරා, රාජකීය අනුග්‍රහය සහ වංශාධිපතින්ගේ සහාය ද ඇතිව බුද්ධාගම ටිබෙට් ජන ජීවිතයේ විවිධ අංශවලට මුල් බැස ගත්තේය.

මහජන චීන සමූහාණ්ඩුව විසින් ටිබෙටය යටත් කර ගැනීමෙන් පසුව, ටිබෙටයේ බුද්ධාගම දැඩි ලෙස මර්දනය කරන ලදී. විහාරස්ථාන සහ මෙහෙණි ආරාම 6500න් 150ක් හැර අන් සියල්ලම විනාශ වූ අතර උගත් භික්‍ෂූන් වහන්සේලාගෙන් බහුතරයක් ගාල් කඳවුරුවල දී එල්ලා මරා දැමීම හෝ ස්වභාවිකවම මරණයට පත් වීම සිදු විය. සංස්කෘතික විප්ලවයෙන් පසුව, ආරාම ප්‍රතිසංස්කරණය කිරීම බොහෝ දුරට සිදුවී ඇත්තේ හිටපු භික්‍ෂූන් වහන්සේලා, ප්‍රාදේශීය ජනතාව සහ පිටුවහල්ව සිටින ටිබෙට් ජාතිකයින්ගේ උත්සාහයෙනි. රජය උදවු උපකාර කර ඇත්තේ ආරාම එකක් දෙකක් නැවත ප්‍රතිසංස්කරණයට පමණි.

චීන කොමියුනිස්ට් රජය දේවවාදීන් නොවූමුත් “පිළිගත් ආගම් පහකට” ඉඩ දුන් අතර බුද්ධාගම ද ඊට ඇතුළත් විය. ආගමික කටයුතුවලට මැදිහත් නොවන බව රජය කියා සිටියද, දලයි ලාමා වහන්සේ විසින් තරුණ ටිබෙට් ජාතික පිරිමි ළමයෙකු පංචෙන් ලාමාගේ පුනරුත්පත්තිය ලෙස හඳුනා ගැනීමෙන් පසුව, ඔහු සහ ඔහුගේ පවුලේ අය හිටි හැටියේම අතුරුදහන් විය. වැඩි කල් යන්නට මත්තෙන්, චීන රජය ඔවුන්ගේම සෙවීමක් දියත් කළ අතර, අර්ධ චීන-ටිබෙට් ජාතික පිරිමි ළමයෙකු සොයා ගත්තේය. නමුත් දලයි ලාමා වහන්සේගේ තේරීම නැවත දක්නට නොලැබුණි.

වර්තමානයේ සෑම ආරාමයකටම, මෙහෙණි ආරාමයකටම හා පන්සලකටම තමුන්ගේ වැඩ කර ගැනීමට තමුන්ටම වෙන් වූ රජයේ නිලධාරීන් කණ්ඩායමක් සිටී. මොවුහු සිවිල් ඇඳුමෙන් සිටින පොලිස් නිලධාරීන් සහ විවිධ කාර්යයන් සඳහා “උදව්” කරන කාන්තාවෝ වෙති. මෙයින් මූලික වශයෙන් අදහස් කරන්නේ ඔවුන් පැවිදි ප්‍රජාව පිළිබඳ ඔත්තු බලා ඒවා වාර්තා කරන බවයි. සමහර විටෙක දී මෙම උදව් කරන කණ්ඩායම ආරාමයේ වැඩ සිටින පැවිදි ප්‍රජාවගේ ජනගහනය තරම්ම විශාල විය. රජයේ මැදිහත් වීම පසෙක තැබූ විට ටිබෙටයේ බෞද්ධයන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ සුදුසුකම් ලත් බෞද්ධ ගුරුවරුන්ගේ හිඟ බවයි. භික්‍ෂූන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා සහ ගිහියන් යන සියල්ලන්ම වැඩිදුර ඉගෙනීමට මහත් උනන්දුවක් දක්වන නමුත් ගුරුවරුන්ගෙන් බහුතරයකට ඇත්තේ සීමිත පුහුණුවක් පමණක් විය. පසුගිය දශකය තුළ රජය ලාසා හි බෞද්ධ “විශ්ව විද්‍යාලයක්” ආරම්භ කිරීමට කටයුතු කළේය. එය තරුණ ටුල්කූන් සඳහා පුහුණු පාසලක් ලෙස ක්‍රියා කරන අතර එහිදී ඔවුහු ටිබෙට් භාෂාව, අක්‍ෂර රූපනකලාව, වෛද්‍ය විද්‍යාව සහ කටු චිකිත්සාව මෙන්ම තරමකට බෞද්ධ දර්ශනයද ඉගෙන ගනිති. ඩිජිටල් යුගය විසින් තරුණ ගිහි ටිබෙට් ජාතිකයන් බුද්ධාගමට සමීප කර තිබේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව හා කථා බෙදාගන්නා වී චැට් (Wechat) සහ වෙයිබෝ(Weibo) කණ්ඩායම්වල සාමාජිකයෝ වෙති. බුද්ධාගම ගැන වැඩිදුර ඉගෙනීම වර්තමානයේ කෙනෙකුගේ “සැබෑ ටිබෙට් ජාතිකයෙකු” ලෙස අනන්‍යතාවය ශක්තිමත් කිරීමේ ක්‍රමයක් බවට පත්ව තිබේ.

නැගෙනහිර තුර්කිස්ථානය

නැගෙනහිර තුර්කිස්ථානයේ (ෂින්ජියැංග්) ජීවත් වන කල්මික් මොන්ගෝලියානුවන්ගේ ආරාම බොහොමයක් සංස්කෘතික විප්ලවය අතරතුර විනාශයට පත් විය. ඒවායින් කිහිපයක් දැන් නැවත ගොඩනඟා ඇති නමුත් ටිබෙටයට වඩා දරුණු ගුරුවරුන්ගේ හිඟයක් එහි පවතී. නව තරුණ භික්‍ෂූන් වහන්සේලා අධ්‍යයන පහසුකම් නොමැතිකම නිසා අධෛර්යයට පත්ව ඇති අතර බොහෝ දෙනෙක් පැවිද්දෙන් ඉවත්ව ද ගොස් ඇත.

මොන්ගෝලියාව ඇතුළත

කෙසේ වෙතත්, මහජන චීන සමූහාණ්ඩුවේ පාලනය යටතේ ඇති ටිබෙට් බෞද්ධයින්ගේ අභාග්‍යවන්තම තත්ත්වය පැවතියේ අභ්‍යන්තර මොන්ගෝලියාවේ ය. බටහිර අර්ධයේ ආරාමවලින් බොහොමයක් සංස්කෘතික විප්ලවය අතරතුර විනාශයට පත්විය. කලින් මැන්චූරියාවේ කොටසක් වූ නැගෙනහිර අර්ධයේදී, ආරාමවලින් බහුතරයක් විනාශ වූයේ ස්ටාර්ලින්ගේ රුසියානු හමුදා විසින් උතුරු චීනය ජපන් ජාතිකයින්ගෙන් මුදා ගැනීමට උදව් කරන අවස්ථාවේ දී ය. ආරාම 700 න් ඉතිරි වූයේ 27 ක් පමණි.

1980 දශකයේ සිට මොන්ගෝලියානුවන් පමණක් නොව හැන් චීන ජාතිකයන් ද සහභාගී වන පන්සල් විහාරස්ථාන නැවත ස්ථාපිත කිරීමට හා ආරාම නැවත ගොඩනැඟීමට උත්සාහ දරා ඇත.

මොංගෝලියාව

මොන්ගෝලියාවේ ආරාම දහස් ගණනක් පැවති අතර ඒවා සියල්ලම අර්ධ වශයෙන් හෝ මුළුමනින්ම විනාශ වූයේ 1937 දී ස්ටාලින්ගේ නියෝගවලට අනුවය. 1946 දී උලාන්බාතර් හි සංකේතයක් ලෙස එක් ආරාමයක් පමණක් නැවත විවෘත කරන ලද අතර 1970 දශකයේ දී භික්‍ෂූන් වහන්සේ සඳහා පස් අවුරුදු පුහුණු විද්‍යාලයක් විවෘත කරන ලදී. විෂයමාලාව ඉතා කෙටියෙන් දක්වා ඇති අතර මාක්ස්වාදී අධ්‍යයනයට දැඩි අවධානයක් යොමු කර තිබුණි. තවද භික්‍ෂූන් වහන්සේලාට මහජනයා සඳහා සීමිත චාරිත්‍ර සංඛ්‍යාවක් පමණක් ඉටු කිරීමට අවසර දෙන ලදී. 1990 දී කොමියුනිස්ට්වාදයේ බිඳවැටීමෙන් පසු පිටුවහල්ව සිටි ටිබෙට් ජාතිකයින්ගේ ද සහාය ඇතිව බුද්ධාගමේ ප්‍රබල පුනර්ජීවනයක් ඇති වී තිබේ. බොහෝ නව භික්‍ෂූන් වහන්සේලා පුහුණුව සඳහා ඉන්දියාවට යවනු ලැබූ අතර, ආරාම 200 කට වැඩි ප්‍රමාණයක් සුළු පරිමාණයෙන් නැවත ඉදි කිරීමට යෙදුණි.

1990 න් පසු මොන්ගෝලියාවේ බුද්ධාගම මුහුණ දුන් බරපතලම ගැටලුවක් වූයේ ඉංග්‍රීසි ඉගැන්වීමේ මුවාවෙන් ආක්‍රමණශීලී මෝමන්, ඇඩ්වෙන්ටිස්ට් සහ බැප්ටිස්ට් ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ පැමිණීමයි. ඔවුන්ගේ ක්‍රිස්තියානි ආගමට හැරවුණ හොත් එම පවුල්වල දරුවන්ට ඇමරිකාවේ අධ්‍යාපනය ලැබීමට මුදල් සහ ආධාර ලබා දෙන අතර, මොන්ගෝලියානු භාෂාවෙන් ජේසුස් වහන්සේ පිළිබඳ ලස්සනට මුද්‍රණය කරන ලද පොත් පිංචවල් නොමිලේ ලබා දුණි. වැඩි වැඩියෙන් තරුණයන් ක්‍රිස්තියානි ධර්මය වෙත ඇදී යාමත් සමඟ බෞද්ධ සංවිධාන මුද්‍රිත ලේඛන, රූපවාහිනී වැඩසටහන් සහ ගුවන්විදුලි වැඩසටහන් මගින් බුද්ධාගම පිළිබඳ තොරතුරු එරට භාෂාවෙන් බෙදා හැරීමට පටන් ගෙන තිබේ.

ආක්‍රමණශීලී ආගමික හැරවීම දැන් මොන්ගෝලියාවේ සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. 2010 දී ජනගහනයෙන් 53% ක් බෞද්ධ වූ අතර 2.1% ක් ක්‍රිස්තු භක්තිකයන් විය.

පිටුවහල් කරන ලද ටිබෙට් ජාතිකයන්

මධ්‍යම ආසියාවේ ටිබෙට් සම්ප්‍රදායන් අතර, ශක්තිමත්ම සම්ප්‍රදාය වූයේ ටිබෙටයේ නැගී ආ චීන යුද පාලනයට එරෙහි වූ නිසා 1959 සිට ඉන්දියාවට පිටුවහල් කර තැබූ දලයි ලාමා වහන්සේ වටා එක් වී සිටි ටිබෙට් සරණාගත සම්ප්‍රදායයි. ඔවුන් බොහෝමයක් ප්‍රධාන ආරාම සහ ටිබෙටයේ මෙහෙණි ආරාම කීපයක්ම ද නැවත ආරම්භ කර ඇති අතර, ව්‍යක්ත භික්‍ෂු වහන්සේලා, භාවනා ක්‍රම ප්‍රගුණ කරන්නන් සහ ගුරුවරුන් සඳහා සාම්ප්‍රදායික පූර්ණ පුහුණු වැඩසටහනක් ද ස්ථාපිත කර ඇත. ටිබෙට් බෞද්ධ සම්ප්‍රදායේ සියලුම අංශ ආරක්‍ෂා කර ගැනීම සඳහා සෑම පාසලකම අධ්‍යාපන, පර්‍යේෂණ සහ ප්‍රකාශන පහසුකම් තිබේ.

පිටුවහල් කරන ලද ටිබෙට් ජාතිකයන් ඉන්දියාවේ හිමාලයානු ප්‍රදේශවල, නේපාලයේ, භූතානයේ, ලඩාක් හා සිකිම්ද ඇතුළුව, බුදු දහම පුනර්ජීවනය කිරීමට බෞද්ධ ගුරුවරුන් යැවීමෙන් සහ බෞද්ධ පෙළපොත් නැවත එම ප්‍රදේශ වෙත සම්ප්‍රේෂණය කිරීමෙන් උදවු උපකාර කර ඇත. මෙම කලාපවලින් පැමිණි බොහෝ භික්‍ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා ටිබෙට් සරණාගත ආරාමවල හා මෙහෙණි ආරාමවල බෞද්ධ අධ්‍යාපනය හා පුහුණුව ලබති.

නේපාලය

නේපාල ජනගහනයෙන් බහුතරය හින්දු භක්තිකයන් වුවද, බුදුරජාණන් වහන්සේගේ උපන් රට වන ඒ තුළ තවමත් ප්‍රබල බෞද්ධ සංස්කෘතික බලපෑම් දක්නට ලැබේ. නෙවාර්, ගුරුඞ් සහ ටමාඞ් වැනි ජනවාර්ගික කණ්ඩායම් නේපාල බුද්ධාගමේ සාම්ප්‍රදායික ස්වරූපය අනුගමනය කරති. එරට ජනගහනයෙන් 9% පමණ බෞද්ධ වේ.

බුද්ධාගම හා හින්දු ආගමේ මිශ්‍රණයක් අනුගමනය කරමින් ආරාම තුළ පමණක් කුල භේදයන් පවත්වා ගෙන යන එකම බෞද්ධ සමාජය නේපාලයයි. පසුගිය වසර 500 තුළ විවාහක භික්‍ෂූන් බිහි වී ඇති අතර, පාරම්පරික කුලයත් සමඟ ඔවුහු පන්සල් පාලකයන් හා චාරිත්‍රානුකූල නායකයන් බවට පත්වෙති.

රුසියාව

රුසියාවේ පවතින සාම්ප්‍රදායික ටිබෙට් බෞද්ධාගමේ ප්‍රභේද වන්නේ බුරියාටියාව, ටුවා සහ කල්මිකියා යන ප්‍රභේද තුනයි. 1930 ගණන්වල අග භාගයේ දී ස්ටාලින් විසින් බුරියාටියානු ආරාම තුනක් හැරෙන්නට ඉතිරි සියලු ආරාම හානි කර මුළුමනින්ම විනාශ කර දැමීය. 1940 ගණන්වලදී, ස්ටාලින් බුරියාසියාවේ සංකේත ලෙස ආරාම දෙකක් නැවත විවෘත කළේ රුසියානු KGB සේවයේ දැඩි නිරීක්‍ෂණය යටතේය. චාරිත්‍ර ඉටු කිරීම සඳහා භික්‍ෂූන් වහන්සේලා දිවා කාලයේදී අනිවාර්යයෙන් තම නිල ඇඳුම ලෙස සිවුරෙන් සැරසී සිටිය යුතු විය. කොමියුනිස්ට්වාදයේ බිඳවැටීමෙන් පසු කලාප තුනේම බුද්ධාගමේ විශාල පුනර්ජීවනයක් ඇති වී තිබේ. පිටුවහල්ව සිටින ටිබෙට් ජාතිකයන් බෞද්ධ ආගමික ගුරුවරුන් යවා ඇති අතර නව තරුණ භික්‍ෂූන් වහන්සේලා ඉන්දියාවේ ටිබෙට් ආරාමවල පුහුණුව සඳහා යවා ඇත. විහාරස්ථාන 20 කට වැඩි ප්‍රමාණයක් බුරියාටියා, ටුවා සහ කල්මිකියාවේ නැවත ස්ථාපිත කර ඇත.

බෞද්ධ නොවන රටවල්

19 වන සියවසේ යුරෝපීයයානුවන්ගේ බෞද්ධ රටවල් යටත් විජිතකරණය කිරීම සහ ක්‍රිස්තියානි මිෂනාරිවරුන්ගේ හා විද්වතුන්ගේ කෘති තුළින් බුද්ධාගම පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් යුරෝපීයයන්ට ලැබුණි. ඒ සමගම චීන හා ජපන් සංක්‍රමණික කම්කරුවෝ උතුරු ඇමරිකාවේ පන්සල් ඉදි කළහ.

සාම්ප්‍රදායික නොවන බෞද්ධ රටවල් ද ඇතුළත්ව බුදු දහමේ සියලු ආකාර ලොව පුරා දක්නට ලැබුණි. ප්‍රධාන කණ්ඩායම් දෙකක් මේ කර්තව්‍යයට සම්බන්ධ වේ: එනම් ආසියානු සංක්‍රමණිකයෝ සහ ආසියානු නොවන බෞද්ධාගමිකයෝය. ආසියානු සංක්‍රමණිකයින්ට, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ සහ ඕස්ට්‍රේලියාවේ සහ යම් දුරකට යුරෝපයේ ද ඔවුන්ගේ සම්ප්‍රදායන්ගෙන් බොහෝ විහාරස්ථාන තිබේ. මෙම විහාරස්ථානවල ප්‍රධාන අරමුණ වන්නේ බෞද්ධාගමික වතාවත් පුරුදු ප්‍රවර්ධනය කිරීම සහ සංක්‍රමණික ප්‍රජාවන්ට ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් පවත්වා ගැනීමට උපකාර කිරීම සඳහා ප්‍රජා මධ්‍යස්ථානයක් සැපයීමයි. වර්තමානය වන විට ඇමරිකාවේ බෞද්ධයන් මිලියන හතරකට වඩා සිටින අතර යුරෝපයේ බෞද්ධයන් මිලියන දෙකකට වඩා සිටී.

සියලු සම්ප්‍රදායන්හි දහස් ගණන් බෞද්ධ “ධර්ම මධ්‍යස්ථාන” දැන් ලොව පුරා රටවල් 100 කට අධික සංඛ්‍යාවක සහ සෑම මහාද්වීපයකම දක්නට ලැබේ. මෙම ටිබෙට්, සෙන් සහ ථේරවාද බෞද්ධ මධ්‍යස්ථාන බොහොමයක් ආසියානුවන් නොවන අය විසින් නිරන්තරයෙන් පවත්වාගෙන යනු ලබන අතර භාවනා, අධ්‍යයන සහ චාරිත්‍රානුකූල පුහුණුව ඒවායේ අවධාරණය කරයි. ගුරුවරුන් ලෙස බටහිර ජාතිකයන් මෙන්ම ආසියාවේ ජනවාර්ගික බෞද්ධයන් ද ඇතුළත් ය. විශාලතම මධ්‍යස්ථාන සංඛ්‍යාව එක්සත් ජනපදය, ප්‍රංශය සහ ජර්මනිය තුළ ස්ථාපිත වී තිබේ. බොහෝ වැඩිදුර අධ්‍යාපනය ලබන සිසුන් උසස් පුහුණුව සඳහා ආසියාවට පැමිණේ. තවද, ලොව පුරා විශ්වවිද්‍යාලය ගණනාවක බෞද්ධ අධ්‍යයන වැඩසටහන් පවතින අතර බුද්ධාගම සහ අනෙකුත් ආගම්, විද්‍යාවන්, මනෝ විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව අතර දිනෙන් දින වර්ධනය වන සංවාද හා අදහස් හුවමාරු වීම් මේ වන විට ගොඩනැගෙමින් පවතී. දලයි ලාමා වහන්සේ මේ සම්බන්ධයෙන් වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

Top