ආගමික සමගිය, කරුණාව හා ඉස්ලාම් දහම

ආගමික සමගිය සම්බන්ධයෙන් යමක් පැවසීමට කැමැත්තෙමි. ඇතැම් විට ගැටුම්වලට ආගමික ලබ්ධීන් සම්බන්ධ වේ. නිදසුනක් ලෙස, පෙරදී උතුරු අයර්ලන්තයේ සිදුවූ ගැටුම මූලිකව දේශපාලනික ගැටලුවක් වුවද, එය වහා ආගමික ගැටලුවක් බවට පත්විය. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. වර්තමානයේ ෂියා හා සුන්නි අනුගාමිකයන්ද ඇතැම් විට එකිනෙකා සමගින් ගැටෙති. මෙයද ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. ශ්‍රී ලංකාවේද පවත්නා ගැටුම දේශපාලනික එකක් වුවද, ඇතැම් විට එම ගැටුම හින්දුන් හා බෞද්ධයන් අතර ගැටුමක්දෝ යන හැඟීම අතැමෙකුට ඇතිවේ. මෙය සැබැවින්ම භයානක තත්ත්වයකි. පුරාණයේදී විවිධ ආගමික අනුගාමිකයෝ එකිනෙකාගෙන් බොහෝ විටම හුදෙකලාව වාසය කළහ. එනමුත් වර්තමානයේ ඔවුන් වඩාත් සමීප සම්බන්ධතාවයකින් පසුවන බැවින් ආගමික සමගිය ප්‍රවර්ධනයෙහි ලා විශේෂ ප්‍රයත්නයක නිරත විය යුතුවේ.

සැප්තැම්බර් 11 පළමු සංවත්සර දින වොෂින්ටන් ජාතික දෙව්මැදුර තුළ සිහිපත් කිරීමේ යාඥා මෙහෙයක් පවත්වන ලදී. මාද එම හමුවට සහභාගි වූ අතර කලහකාරී මුස්ලිමුන් කිහිප දෙනෙකු හේතුවෙන් සියලු මුස්ලිම්වරුන් සටන්කාමීන් හා හීංසනකාරීන්ය යන අදහසක් ඇතැම් පුද්ගලයන් විසින් නිර්මාණය කරමින් පවත්නා අවාසනාවන්ත තත්ත්වයක් වර්තමානයේ පවතින බව මාගේ කථාවේදී සඳහන් කළෙමි. ඔවුහු ඉන්පසු බටහිර හා ඉස්ලාමය අතර ශිෂ්ටාචාරමය ගැටුමක් පිළිබඳව කථා කරති. මෙය යථාර්ථවාදී නොවේ.

කලහකාරීන් කිහිප දෙනෙකු හේතුවෙන් සමස්ත ආගමක්ම අයහපත් එකක් සෙයින් ලේබල්ගත කිරීම මුලුමනින්ම වැරදි දෙයකි. මෙය ඉස්ලාම් වේවා, යුදෙව් දහම වේවා, ක්‍රිස්තියානිය වේවා, හින්දු දහම වේවා, බුදු දහම වේවා සියල්ලටම පාහේ සත්‍ය තත්ත්වයකි. නිදසුනක් ලෙස, ආරක්ෂක ෂුග්ඩෙන්ගේ ඇතැම් අනුගාමිකයන් විසින් මාගේ නිවස අසල පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කරන ලදී. ඔවුනතුරින් එක් අයෙකු ෂුග්ඩෙන් විවේචනය කළ යහපත් ගුරුවරයෙකු වූ අතර ඔහුට පිහි පහර දහසයක් ඇන තිබිණි. අනෙක් දෙදෙනා ඔහුගේ සිසුන් විය. එම ඝාතකයෝ සැබෑ කලහකාරීන් වූහ. එනමුත් එ් හේතුකොට සමස්ත තිබ්බතීය බුදු දහමම සටන්කාමී එකක් බව පවසන්නේ නම් කිසිවෙකු විසින් හෝ එය විශ්වාස නොකරනු ඇත. බුදුන්ගේ සමයේද යම් කලහකාරීහූ සිටි අතර මෙහි කිසිදු විශේෂත්වයක් නොමැත.

සැප්තැම්බර් 11 දින සිට, මාද බෞද්ධයෙකු හා ඉස්ලාමයට පිටස්තරයෙකු වුවද, මහා ඉස්ලාම් දහමේ ආරක්ෂකයෙකු ලෙස ස්වේච්ඡා ප්‍රයත්නයන්හි නිරත වූවෙමි. මාගේ මුස්ලිම් සහෝදරයන් බොහෝ දෙනෙකුද, ඉතා සුළු සහෝදරියන් සංඛ්‍යාවක්ද විසින් මා හට විස්තර කර දුන් පරිදි කිසිවෙකු විසින් හෝ ලේ සෙලවීමක් ඇති කරන්නේ නම් එය ඉස්ලාම් දහම නොවේ. හේතුව නම්, සැබෑ මුසල්මානුවෙකු, සැබෑ ඉස්ලාම් අනුගාමිකයෙකු විසින් අල්ලා දෙවියන් වහන්සේ වෙත දක්වන ප්‍රේමයම සමස්ත නිමැවුම කෙරෙහිම පවත්වාගත යුතුවන හෙයිනි. සියලු සත්ත්වයෝ අල්ලා දෙවියන් වහන්සේගේ නිර්මාණයෝය. යමෙකු විසින් අල්ලා දෙවියන් වහන්සේ වෙත ගරු කරන්නේ නම් හා ආදරය කරන්නේ නම්, උන් වහන්සේගේ සියලු සත්ත්වයන්ටද ප්‍රේම කළ යුතුය.

අයතුල්ලා කුමේනිගේ සමයේදී මාගේ එක් ප්‍රවෘත්ති වාර්තාකරණ වෘත්තික මිතුරෙකු ටෙහෙරානයේ විසීය. පසු කලෙක ඔහු විසින් එහි මුල්ලාවරයා විසින් ධනවත් පවුල්වලින් මුදල් රැස්කොට අධ්‍යාපනික කටයුතු හා දුගී දුප්පත්කම වෙනුවෙන් අවශ්‍ය උපකාර පිණිස එම මුදල් වඩාත් දුගී අය වෙත බෙදාදුන් ආකාරය විස්තර කළේය. මෙයයි සැබෑ සමාජවාදී ක්‍රියාවලිය. මුස්ලිම් රටවල බැංකු පොළියක් අයකිරීම අධෛර්ය කරවනු ලබයි. එබැවින්, අප විසින් ඉස්ලාම් දහම දැන සිටින්නේ නම් හා ඉස්ලාම් බැතිමතුන් විසින් එය අවංකවම ක්‍රියාවේ යොදවන ආකාරය දක්නේ නම්, අන් සියලු ආගම් මෙන්ම එයද සැබැවින්ම අසිරිමත් එකකි. පොදුවේ අපිද අන්‍යයන්ගේ ආගම් පිළිබඳව දන්නේ නම්, අපට අන්‍යෝන්‍ය ගෞරවය, ඇගයීම හා පෝෂණය යන කරුණු ගොඩනගාගත හැක. එබැවින්, අප විසින් ආගමික අන්තර් ලබ්ධික අවබෝධය ප්‍රවර්ධනය පිණිස නිරන්තර උත්සාහයක නිරත විය යුතුය.

මෑතකදී ලිස්බන් නුවර මුස්ලිම් පල්ලියක පැවති අන්තර් ලබ්ධික රැස්වීමකට සහභාගි වීමි. මුස්ලිම් පල්ලියක අන්තර් ලබ්ධික රැස්වීමක් පැවැත්වූ පළමු අවස්ථාව එයයි. රැස්වීමෙන් අනතුරුව, අප සියලු දෙනා ප්‍රධාන ශාලාව තුළට පිවිස නිහඬ භාවනාවක නිරත වීමු. එය සැබැවින්ම අසිරිමත් අත්දැකීමක් විය. එබැවින්, නිරතුරු අන්තර් ලබ්ධික සමගිය සඳහා යත්න දරන්න.

ඇතැමුන් විසින් දෙවියන් වහන්සේ කෙනෙකු සිටින බවත් තවත් ඇතැමුන් විසින් එවැන්නෙකු නොසිටින බවත් පවසන නමුත් එය වැදගත් කරුණක් නොවේ. වැදගත් දෙය වන්නේ හේතුඵල වාදයයි. මෙය සියලු ආගම්හි සමාන වේ. පරපණ නැසීමෙහි, සොරකමෙහි, කාමයෙහි වරදවා හැසිරීමෙහි, මුසාවාදයෙහි නොයෙදෙන්න. විවිධ ආගම් විසින් විවිධ ක්‍රම යොදාගත හැකි නමුත් සියල්ල තුළ පවත්නේ එකම අරමුණකි. හේතු දෙස නොව, ප්‍රතිඵල දෙස බලන්න. ආපන ශාලාවකට ගිය පසු මෙම ආහාරයේ අන්තර්ගත දේ මෙයින් හෝ එයින් ලැබෙන බව පවසමින් වාද කිරීමට වඩා විවිධාකාකර වූ ආහාර භුක්ති විඳින්න. හුදෙක් ආහාර අනුභව කොට රස වින්දනයක් ලැබීම වඩාත් යහපත්ය.

එ් අනුව, එම විවිධ ආගම් තුළ, ඔබගේ දර්ශනය අයහපත් හෝ යහපත් බවට තර්ක කිරීමට වඩා එ් සියල්ල තුළ එ්වාහි අරමුණ හා අභිමතාර්ථය ලෙස කරුණාව දේශනා කරන අතර එ් සියල්ල යහපත්ය යන කරුණ වටහා ගන්න. විවිධ විධික්‍රම යොදාගැනීම විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් යථාර්ථවාදී වේ. අප විසින් යථාර්ථවාදී ප්‍රවේශයක් හා දර්ශනයක් ඇතිකර ගත යුතුවේ.

අභ්‍යන්තර සාමය කරුණාව හා සම්බන්ධ වේ. සියලු ප්‍රධාන ආගම් තුළ ප්‍රේමය, කරුණාව, සමාව දීම යන එකම පණිවිඩය ගැබ්වේ. කරුණාව ප්‍රවර්ධනයේ ලෞකික මාර්ගයක් අපට අවශ්‍ය වේ. ආගමක් සහිත වූද, එතුළ අවංක වූද, එය බරපතල සේ සලකන්නාවූද පුද්ගලයනට තම ආගම තුළ කරුණාව තවදුරටත් වර්ධනය කරගැනීමේ ඉමහත් විභවයක් පවතී. ආගම් නොඅදහන්නන් ගත්කල, එනම් යම් නිශ්චිත ආගමක් නොමැති හෝ ඇතැම් විට ආගම්වලට වෛර කරන්නාවූ හෝ අය ගත්කල, කරුණාව යනු ආගමික කරුණක් යැයි ඔවුන් සිතන බැවින් ඔවුන් තුළද ඇතැම් විට කරුණාව සම්බන්ධ ඇල්මක් නොමැත. මෙය මුළුමනින්ම වැරදිය. ආගම යම් සෘණාත්මක දෙයක් ලෙස දැකීමට අවශ්‍ය වන්නේ නම්, එය ඔබගේ අයිතියකි. එනමුත් කරුණාව කෙරෙහි සෘණාත්මක ආකල්පයක් පවත්වා ගැනීමේ තේරුමක් නොමැත.

Top