ආධ්‍යාත්මික ගුරුවරයෙකු සමගින් පවත්නා සම්බන්ධයට බලපාන්නාවූ සාධක

හැඳින්වීම

මාර්ගය තුළ ආධ්‍යාත්මික ගුරුවරයෙකු සිටීමේ වැදගත්කම සියලු බෞද්ධ සම්ප්‍රදායන් තුළ අවධාරණය කෙරේ. ආධ්‍යාත්මික ගුරුවරු හුදෙක්:

  • තොරතුරු ලබාදීම
  • ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම
  • ශිෂ්‍යයාගේ අවබෝධය පරීක්ෂා කිරීම හා
  • ශිෂ්‍යායාගේ බුද්ධිමය, භාවමය හා භාවනාමය සංවර්ධනය පරීක්ෂා කිරීම

පමණක් සිදු කරන්නෝ නොවෙති.

ආධ්‍යාත්මික ගුරුවරුන් විසින්:

  • පොරොන්දු හා බලගැන්වීම් ලබාදීම
  • ආදර්ශ මාදිලි වශයෙන් කටයුතු කිරීම
  • සිය චරිතාදර්ශය තුළින් අනුප්‍රාණය ලබාදීම
  • බුදුන් වහන්සේ කරා සමීප වන සම්ප්‍රදායකට සම්බන්ධකයන් වශයෙන් කටයුතු කිරීම

ද සිදු කරනු ලබයි.

ගුරුවරුන් හා සිසුන් සම්බන්ධ විවිධාකාර මට්ටම්ද, එ් අනුව මාර්ගය තුළ එ් හා සම්බන්ධ වීමේ විවිධ විධික්‍රමද පවතී.

සංස්කෘතික සන්දර්භය

ආධ්‍යාත්මික ගුරුවරයෙකු සමගින් අධ්‍යයන කටයුතුවල නිරතවීමට අදාළ නූතන බටහිර තත්ත්වය සම්ප්‍රදායික ආසියානු තත්ත්වයෙන් මුළුමනින්ම වෙනස් වූවකි.

සම්ප්‍රදායික භාරතයේ බොහෝ දහම් ගුරුවරු:

  • ආධ්‍යාත්මික මාර්ගයට පූර්ණ කාලීනව කැපවූ භික්ෂු, භික්ෂුණීන් වෙති.
  • ධර්මය ඉගෙනීම හා පිළිවෙත් පිරීම හැර අන් කිසිදු ප්‍රධාන කාර්යයක් නොමැත්තෝ වෙති.
  • නූගත් දරුවන් සෙයින් බුදු දහම ඉගෙනීම ආරම්භ කරති.
  • එහි ප්‍රතිඵලයක් වශයෙන්, වැඩිහිටියන් ලෙස, ගණිතය, සමාජ අධ්‍යයනය හා විද්‍යාව වැනි ‘ගිහි’ විෂයයන් සම්බන්ධයෙන් හුදු අවම අධ්‍යාපනයක් ලද්දෝ වෙති.
  • කාන්තාවන්ගේ තත්ත්වය පහළ එකක් වන අතර පවත්නා ධුරාවලීන් පිළිගත් සම්මතය වන්නේය ඈ වශයෙන් කාන්තාවන්ගේ කාර්ය භාරය සම්බන්ධයෙන් සම්ප්‍රදායික ආසියානු සමාජයන්හි වටිනාකම් පිළිගනිති.

නූතන බටහිර සමාජය තුළ බොහෝ සිසුහූ:

  • වෘත්තීය හා පෞද්ගලික ජීවිතයන් ආශ්‍රිත කාර්ය බහුලත්වයෙන් යුත් ගිහියෝ වෙති
  • ධර්මය උදෙසා සුළු අමතර කාල වේලාවක් පමණක් ඇත්තෝ වෙති
  • උගත් වැඩිහිටියන් වශයෙන් ධර්මය ඉගෙනීම ආරම්භ කරති
  • ස්ත්‍රී/පුරුෂ සමාජභාවයන් අතර සමානාත්මතාවයක් හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යුහයක් අපේක්ෂා කරති

මූල්‍යමය පාර්ශ්වයෙන් ගත්කල, සම්ප්‍රදායික ආසියානු සමාජය තුළ ආධ්‍යාත්මික ගුරුවරුන් වෙත සමාජයේ සහාය ලැබේ. ඔවුන්ගේ සිසුන් නොවන පිරිස් විසින් පවා ඔවුනට පූජා සත්කාර කරනු ලැබේ. නූතන බටහිර සමාජය තුළ ආධ්‍යාත්මික ගුරුවරුනට සිය ජීවිකාව පෞද්ගලිකවම සරිකර ගැනීමට සිදුවේ. බොහෝ ගුරුවරු මූල්‍යමය, ආයතනික හා පරිපාලනමය අපේක්ෂාවන් සහිතව දහම් මධ්‍යස්ථාන පවත්වාගෙන යති.

මේ සියලු සාධක ගුරු-සිසු සබඳතාවයට බලපාන්නාවූ සාධක වේ. බොහෝ ආධ්‍යාත්මික මාර්ග ගවේෂකයෝ ඉන් ප්‍රතිඵල නෙළාගෙන ඇති නමුදු බොහෝ අනවබෝධයන්, බොහෝ අත් වැරදි හා ආධ්‍යාත්මික සිත් රිදවීම්ද සිදුවී ඇත.

අවදානම්

තිබ්බතීය සම්ප්‍රදාය සම්බන්ධයෙන් ගත්කල ‘ගුරුවරයා කෙරෙහි කැපවීම’ පිළිබඳ කෘතීන් මගින් අවදානම් තත්ත්වයන් කුපිත කරවනු ලබයි. එවන් කෘතීන්හි පාඨකයන් වනුයේ තන්ත්‍රමය බලගැන්වීම් සඳහා සූදානම්කාරිත්ව සමාලෝචනයන් අවශ්‍ය වන්නාවූ ශික්ෂාපද සමාදන් ව කැපවූ භික්ෂු, භික්ෂුණීන්ය. බුදු දහම පිළිබඳ කිසිවක් හෝ නොදන්නා තත්ත්වයක, එම උපදෙස් කිසි විටෙකුදු ධර්ම මධ්‍යස්ථානයක ආරම්භකයන් ඉලක්කගත එ්වා නොවීය.

මෙම අන්තයන් දෙක මඟ හැරිය යුතුවේ:

  1. නිවට හා අපචාරී කටයුතුවලට ඉඩ හසර විවර කරමින් ආධ්‍යාත්මික ගුරුවරුන් දේවත්වයෙහි ලා සැලකීම
  2. මතිභ්‍රමයට අවකාශ සලසමින්ද, සැබෑ අනුප්‍රාණය සහ ගැඹුරු ප්‍රතිලාභයන් විෂයයෙහි අවකාශ වසා දමමින් ඔවුන් රාක්ෂයන් සේ සැලකීම

වශයෙනි.

සම්ප්‍රදායික නොවන විශ්ලේෂණාත්මක යෝජනාක්‍රමය

මෙම ගැටලුව විශ්ලේෂණය කරමින් ‘ආධ්‍යාත්මික ගුරුවරයෙකු හා සම්බන්ධ වීම: සුවදායී සම්බන්ධතාවයක් ගොඩනඟා  ගැනීම’ යන කෘතිය තුළ එම සම්බන්ධතාවය සුවදායී එකක් බවට පත්කරගන්නා විධික්‍රම ‌යෝජනා කළෙමි (Ithaca: Snow Lion, 2000).

පවුල් චිකිත්සාව හා සන්දර්භමය චිකිත්සාව විෂයයෙහි ආරම්භකයෙකු වන හංගේරියානු මනෝ විද්‍යාඥ වෛද්‍ය අයිවන් බොසෝමන්යි-නාගිගේ කෘතීන් තුළ යෝජිත හා විකාශනය වී ඇති මෙම ගැටලුව විශ්ලේෂණය කිරීම සඳහා අතිරේක සම්ප්‍රදායික නොවන යෝජනාක්‍රමයක් හඳුන්වා දීමට කැමැත්තෙමි.

සම්බන්ධතාවයක සයාකාර මානයන්

සාධක හෙවත් මානයන් හයකට අනුව සිසුවාගේ හා ගුරුවරයාගේද පාර්ශ්වයෙන් සම්බන්ධතාවය විග්‍රහ කළ හැක. සම්බන්ධතාවය ආශ්‍රිත ගැටලු පවත්නේ නම්, වඩාත් සෞඛ්‍ය සම්පන්න සමබරතාවයක් ඇතිකරගනු පිණිස එක් එක් පාර්ශ්වයට ගැළපීම් හා අනුවර්තනයන් සිදු කිරීමට උත්සාහ කරමින් එම ගැටලු පවත්නේ කවර ස්ථානයකද යන කරුණ හඳුනා ගැනීමට මෙය උපකාරී විය හැක.

එම සාධක සය වනුයේ:

  1. එක් එක් පාර්ශ්වයට අදාළ හා සම්බන්ධතාවය පිහිටුවීමට අදාළ කරුණු
  2. එක් එක් පාර්ශ්වය සඳහා අදාළ සම්බන්ධතාවයේ ඉලක්කය හා එයට බලපාන මානසික සාධක
  3. එම සම්බන්ධතාවයට අදාළව තමා හා සෙසු පිරිස් විසින් ඉටු කරන බවට එක් එක් පාර්ශ්වය විසින් අර්ථ කථනය කරන කාර්ය භාරය හා සෑම පුද්ගලයෙකුටම තමා පිළිබඳ හැඟෙන ආකාරය
  4. එක් එක් පාර්ශ්වයේ කැපවීම් මට්ටම හා සම්බන්ධතාවයට අදාළ වී ඇති ආකාරය හා මෙයට බලපාන්නාවූ මනෝ විද්‍යාත්මක සාධක
  5. එක් එක් පාර්ශ්වය හා සම්බන්ධ සෙසු මනෝ විද්‍යාත්මක සාධක
  6. සම්බන්ධතාවය ක්‍රියාත්මකවන ආකාරය හා එමගින් එක් එක් පාර්ශ්වයට කරනු ලබන බලපෑම

එක් එක් පාර්ශ්වයට අදාළ වූද, සම්බන්ධතාවය ස්ථාපනයට අදාළ කරුණු

සම්බන්ධතාවයට බලපාන්නාවූ එක් එක් පාර්ශ්වය සම්බන්ධ කරුණු තුළට:

  • ස්ත්‍රී/පුරුෂ සමාජභාවය හා වයස
  • සම්භවය ලැබූ සංස්කෘතිය - ආසියානුද, බටහිරද යන වග
  • පුද්ගලික සන්නිවේදනය හා / හෝ ගුරුවරු සඳහා පොදු භාෂා භාවිතය හෝ භාෂා පරිවර්තකවරයෙකුගේ අවශ්‍යතාවය
  • පැවිදි හෝ ගිහි
  • ධර්ම හා ලෞකික අධ්‍යාපන මට්ටම
  • භාවමය හා ආචාර ධාර්මික පරිණතභාවයට අදාළව ආධ්‍යාත්මික ගුරුවරයෙකු ‌හෝ සිසුවෙකු බවට පත්වීම සඳහා අවශ්‍ය සුදුසුකම්
  • සෑම අයෙකු හටම අනෙකා උදෙසා කටයුතු කිරීමට ඇති කාල වේලාව
  • වෙනත් සිසුන් සංඛ්‍යාව
  • ගුරුවරයා නේවාසික පුද්ගලයෙකු හෝ හුදෙක් වරින් වර පැමිණෙන්නෙකු වීම

ඇතුළත් වේ.

ස්ථාපනය :

  • නාගරික මධ්‍යස්ථානයක් හෝ නේවාසික මධ්‍යස්ථානයක් ලෙස එන බටහිර දහම් මධ්‍යස්ථානයක
  • දහම් මධ්‍යස්ථානයක් නම් ස්වාධීන මධ්‍යස්ථානයක් හෝ විශාල දහම් සංවිධානයක කොටසක් වන මධ්‍යස්ථානයක
  • ආසියාවේ ‌හෝ බටහිර ආශ්‍රමයක

සිදුවිය හැක.

එක් එක් පාර්ශ්වයට අදාළව සම්බන්ධතාවයේ අරමුණ හා එයට බලපාන්නාවූ මානසික සාධක

ඕනෑම සම්බන්ධතාවයක දෙපාර්ශ්වයටම සම්බන්ධව ගත්කල සම්බන්ධතාවයේ අරමුණ නිරතුරුවම පාහේ මිශ්‍ර එකක් වේ. ගුරු-සිසු සබඳතාවයද මෙයට වෙනස් නොවේ.

  • තොරතුරු ලබාගැනීම හා කරුණු ඉගෙනීම
  • භාවනාව ඉගෙනීම
  • සිය පෞරුෂත්වය ගොඩනගා ගැනීම සඳහා කටයුතු කිරීම
  • මෙම ජීවිතයට අදාළ දේ වැඩිදියුණු කරගැනීම
  • මතු ජීවිත වැඩිදියුණු කරගැනීම
  • පාලනයකින් තොරව නැවත නැවතද සිදුවන පුනරුත්පත්තිය හෙවත් සංසාරයෙන් මිදීම
  • සෙසු සියල්ලන් හටද එම විමුක්තිය හා බුද්ධත්වයම සාක්ෂාත් කරගැනීම සඳහා උපකාර කරනු පිණිස බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම
  • ඉහිල් වීමට ඉගෙනීම
  • සම අදහස් සහිත සිසුන් සමගින් සමාජ සම්බන්ධතා ගොඩනගා ගැනීම
  • අසාමාන්‍ය දේ වෙත ප්‍රවේශ හැකියාවන් ලබාගැනීම
  • යම් ශාරීරික හෝ භාවයම ගැටලුවකට ආශ්චර්යමත් ඔසුවක් සොයාගැනීම
  • “දහම් පිපාසාවෙන් පෙළෙන්නෙකු” සේ විනෝදාස්වාදී ලෙස ආකර්ශනීය ස්වරූපයෙන් ධර්මය දේශනා කරන ගුරුවරයෙකු  වෙතින් දහම් පිළියමක් ලබාගැනීම

උදෙසා ශිෂ්‍යයා ආධ්‍යාත්මික ගුරුවරයෙකු වෙත පිවිසිය හැක.

තවද,

  • බෞද්ධ මාර්ගය තුළ මඟ පෙන්වීම හා අනුප්‍රාණය
  • චිකිත්සාව
  • ආධ්‍යාත්මික මඟ පෙන්වීම
  • මව්පිය ආදේශකයෙකු
  • අනුමැතිය
  • ජීවිතයේ කළ යුත්ත කවරක්ද යන්න තමා වෙත උගන්වන්නෙකු

සඳහා ශිෂ්‍යයා ගුරුවරයෙකු අපේක්ෂා කළ හැක.

අනෙක් අතර ආධ්‍යාත්මික ගුරුවරයා විසින් :

  • සත්‍ය කරුණු ඉදිරිපත් කිරීම
  • වාචික සම්ප්‍රේෂණයන් ලබාදෙමින් ධර්මය ආරක්ෂා කිරීම
  • ශිෂ්‍යයන්ගේ පෞරුෂයන් සම්බන්ධයෙන් කටයුතු කිරීම
  • සිසුන්ගේ අනාගත ජීවිත වෙත සෙත සලසනු පිණිස අවශ්‍ය බීජ රෝපණය
  • සිසුනට වඩා යහපත් පුනරුත්පත්තියක්, විමුක්තිය හා බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමට උපකාර කිරීම
  • ධර්ම මධ්‍යස්ථානයක් හෝ ධර්ම මධ්‍යස්ථාන අධිරාජ්‍යයක් ගොඩනැඟීම
  • දහමට හැරෙන්නන් සිය පෙළපත තුළට ඇතුළත් කරගැනීම
  • ඉන්දියාවේ ආරාමයකට හෝ තිබ්බතයේ ආරාමයක් නැවත ගොඩනැගීමට සහාය පිණිස මුදල් රැස් කිරීම
  • සරණාගතයෙකු ලෙස ආරක්ෂිත පදනමක් සොයාගැනීම
  • ජීවිකාව සරිකර ගැනීම හෝ ධනවතෙකු බවට පත්වීම
  • වෙනත් පුද්ගලයන් පාලනය කිරීම මගින් බලය ලබාගැනීම
  • ලිංගික ප්‍රතිලාභ ලබාගැනීම

යන අරමුණු පෙරදැරිව කටයුතු කළ හැක.

දෙපාර්ශ්වයටම බලපාන්නාවූ සෘණාත්මක මනෝ විද්‍යාත්මක සාධක අතරට:

  • හුදෙකලා බව
  • වෙහෙස
  • දුක
  • අනාරක්ෂිත බව
  • නව ප්‍රවණතාවනට අනුගත වීමේ කැමැත්ත
  • කණ්ඩායම් පීඩනය

ඇතුළත් විය හැක.

සම්බන්ධතාවය ප්‍රකාර තමා හා අනෙකා විසින් ඉටුකරනු ලබන බවට එක් එක් පුද්ගලයා විසින් අර්ථ නිරූපණය කරනු ලබන කාර්ය භාරය හා එ් අනුව එකිනෙකා තුළ පවත්නා අපේක්ෂා හා එකිනෙකා හට තමා පිළිබඳව හැඟෙන ආකාරය

ආධ්‍යාත්මික ගුරුවරයා විසින් තමා පිළිබඳව හෝ ශිෂ්‍යයා විසින් ගුරුවරයා පිළිබඳව:

  • බුදු දහම පිළිබඳ තොරතුරු ලබා දෙන බුදු දහම පිළිබඳ මහාචාර්යවරයෙකු
  • ධර්මය ජීවිතයට අදාළ කරගන්නා ආකාරය දක්වන දහම් උපදේශකවරයෙකු
  • භාවනා හෝ වත් පිළිවෙත් පුහුණු කරුවෙකු
  • ශික්ෂාපද ඉදිරිපත් කරන්නාවූ ආධ්‍යාත්මික මැදිහත්කරුවෙකු
  • තන්ත්‍ර බලගැන්වීම් ඉදිරිපත් කරන්නාවූ තන්ත්‍ර ගුරුවරයෙකු

ලෙස තක්සේරු කළ හැක.

ශිෂ්‍යයා විසින් තමා පිළිබඳව, හෝ ආධ්‍යාත්මික ගුරුවරයා විසින් ශිෂ්‍යයා පිළිබඳව:

  • තොරතුරු ලබාගන්නා හා බුදු දහම ඉගෙන ගන්නා සිසුවෙකු
  • ධර්මය ජීවිතයට අදාළ කරගන්නා ආකාරය ඉගෙන ගන්නා දහම් සිසුවෙකු
  • භාවනා හෝ වත් පිළිවෙත් පුහුණු වන්නෙකු
  • හුදෙක් ගුරුවරයාගෙන් ශික්ෂාපද ලබාගත් අනුගාමිකයෙකු
  • ගුරුවරයා විසින් පෞද්ගලිකව මඟ පෙන්වනු ලබන අනුගාමිකයෙකු.

ලෙස තක්සේරු කළ හැක.

මෙම මානයෙහි තවත් පැතිකඩක් වනුයේ මෙම සම්බන්ධතාවය හේතුකොට එකිනෙකාට තමා පිළිබඳව ඇතිවන හැඟීමයි.

ශිෂ්‍යයාට තමා:

  • ආරක්ෂිත
  • යමෙකුට අයත් වූවෙකු
  • පූර්ණ අයෙකු
  • අරමුණු ඉටුකරගත්තෙකු
  • සේවකයෙකු
  • ඇදහිලි ක්‍රමයක සාමාජිකයෙකු

ලෙස හැඟී යා හැක.

ආධ්‍යාත්මික ගුරුවරයාට තමා:

  • ගුරුවරයෙකු
  • නිරහංකාර පිළිවෙත් පුරන්නෙකු
  • ගැලවුම්කරුවෙකු
  • පූජකයෙකු
  • මනෝ විද්‍යාඥයෙකු
  • ධර්ම මධ්‍යස්ථානයන්හි හෝ ධර්ම අධිරාජ්‍යයක පරිපාලකයෙකු
  • ආරාමයක මූල්‍ය දායකයෙකු 

ලෙස හැඟී යා හැක.

සම්බන්ධතාවයට අදාළව එක් එක් පාර්ශ්වයේ කැපවීම් මට්ටම හා දායකත්වය හා මෙයට බලපාන්නාවූ මානසික සාධක

ශිෂ්‍යයා:

  • ස්ථාවර ගාස්තුවක් ගෙවීම, දානමාන ලබාදීම හෝ ගුරුවරයා වෙත කිසිදු ගෙවීමක් හෝ පූජාවක් සිදු නොකර ඉගෙන ගන්නෙකු
  • බුදු දහමට, ගුරුවරයාට හා/හෝ පෙළපතකට හුදෙක් සම්බන්ධවූවෙකු හෝ ගැඹුරින් කැපවී සිටින්නෙකු
  • ගුරුවරයාගෙන් ශික්ෂාපද ලබාගැනීමට අදහස් කරන්නෙකු හෝ ඔහු වෙතින් ශික්ෂාපද ලබා ගත්තෙකු
  • ගුරුවරයා වෙත උපකාර කිරීමේ වගකීම ගන්නෙකු
  • ණයගැති බවට හැඟීමක් ඇත්තෙකු
  • බැඳී සිටින්නෙකුය යන හැඟීමක් ඇත්තෙකු
  • තමා විශ්වාසවන්තයෙකු විය යුතු බවට හැඟීමක් අත්තෙකු (මෙහිදී කණ්ඩායමෙන් ඇතිවන බලපෑම වැදගත් වේ)
  • තමා විසින් යම් අකටයුත්තක් සිදු කරන්නේ නම් තමා අපාගත වනු ඇත්තේය යන හැඟීම දරන්නෙකු

විය හැක.

ආධ්‍යාත්මික ගුරුවරයා:

  • ‍ශිෂ්‍යයන් වෙත ආචාර ධාර්මික මඟ පෙන්වීමක් ලබාදීමේ වගකීම ගන්නෙකු
  • සිසුන්ගේ ජීවිතය මෙහෙයවීමට අදහස් කරමින් කළ යුත්ත ඔවුන් වෙත ප්‍රකාශ කරන්නෙකු
  • සිය ගුරුවරුන් විසින් තමා එවන ලද්දේ ඉගැන්වීමට වන බැවින් සිය රාජකාරිය ඉටු කරන්නෙකු
  • තමා හුදෙක්ම සිය කාර්යය ඉටු කරන්නෙකු පමණක්ය යන හැඟීමක් ඇත්තෙකු

විය හැක.

මෙම මානයට බලපාන්නාවූ සෘණාත්මක මානසික සාධක අතරට:

  • කැපවීම පිළිබඳ බිය
  • ඇතැම් විට අපයෝජන පසුබිමක් හේතුකොට බලාධිකාරයට පවත්නා බිය
  • ප්‍රයෝජනවත් අයෙකු වීමේ හෝ ආදරණීය අයෙකු වීමේ අවශ්‍යතාවය
  • අවධානය දිනා ගැනීමේ අවශ්‍යතාවය
  • අනෙකා පාලනය කිරීමේ අවශ්‍යතාවය
  • තමා සනාථ කරලීමේ අවශ්‍යතාවය

ඇතුළත් වේ.

එක් එක් පාර්ශ්වයට බලපාන්නාවූ සෙසු මානසික සාධක

පාර්ශ්වයන්:

  • බාහිරට හෝ අභ්‍යන්තරයට නැඹුරු වූවන්ද
  • බුද්ධිමතුන්, හැඟීම්බර වූවන් හෝ භක්තිවන්තයන්ද
  • ආදරණීය හෝ සැර පරුෂ වූවන්ද
  • නිවුණු පුද්ගලයන් හෝ කෝපාවිෂ්ඨ වන්නන්ද
  • කාලය හා අවධානය විෂයයෙහි ලෝභ පුද්ගයන්ද
  • සෙසු සිසුන් හෝ සෙසු ගුරුවරුන් සම්බන්ධයෙන් ඊර්ෂ්‍යා කරන්නවුන්ද
  • පහත් ආත්මාභිමානයෙන් හෝ අහංකාරයෙන් පිරි පුද්ගලයන්ද

යන්න මෙයට ඇතුළත් වේ.

සම්බන්ධතාවය ක්‍රියාත්මකවන අකාරය හා එක් එක් පාර්ශ්වය මත එමගින් ඇති කෙරෙන බලපෑම

ශිෂ්‍යයා හා ගුරුවරයා එක්ව:

  • යහපත් හෝ අයහපත් කණ්ඩායමක්
  • එකිනෙකාගේ ප්‍රශස්ත හැකියාවන් එළි දක්වන්නාවූ හෝ එකිනෙකාගේ හැකියාවන් මැඩ පවත්වන්නාවූ කණ්ඩායමක්
  • අපේක්ෂාවන්හි විවිධත්වය හේතුකොට එකිනෙකාගේ කාලය අපතේ යවන්නාවූ කණ්ඩායමක්
  • ධූරාවලි ව්‍යුහයක් පවත්වාගෙන යන හා ශිෂ්‍යයා හට තමා සූරා කනු ලබන, පාලනය කරනු ලබන හා එ් අනුව පහත් තත්ත්වයේ පුද්ගලයෙකුය යන හැඟීම (ආත්මාභිමානය පහළ දමමින්) ඇති වන අතර ගුරුවරයා හට තමා බලධාරියා හා උසස් පුද්ගලයාය යන හැඟීම ඇතිවන කණ්ඩායමක් - මෙහිදී එක් පාර්ශ්වයකට අනෙක් පාර්ශ්වයේ හැඟීම අදාළ නොවිය හැකි බව සලකන්න.
  • එක් පාර්ශ්වයකට හෝ දෙපාර්ශ්වයටම අනුප්‍රාණයක් හෝ පරාජිත හැඟීමක් ඇතිවන කණ්ඩායමක්

ගොඩනගන්නේද යන්න.

සාරාංශය

මෙම සයාකාර මානයන්ගෙන් හා එ්වාහි අන්තර්ගත සාධක එකිනෙකක් තුළින්ද ගුරු-සිසු සම්බන්ධතාවය තක්සේරු කළ යුතුවේ. සාධක එකිනෙකට නොගැළපෙන්නේ නම්, දෙපාර්ශ්වය විසින්ම එ්වා අනුකූලනය කරමින් ගැලපීමට හෝ අනුවර්තනය කිරීමට උත්සාහ කළ යුතුය. සංස්කෘතික වෙනස්කම් හෝ භාවමය සාධක හේතුකොට ගැටලු නිරාකරණයේ මෙකී ප්‍රවේශය එක් පාර්ශ්වයක් විසින් නොපිළිගන්නේ නම්, අනෙක් පාර්ශ්වය විසින් පෞද්ගලිකවම නිසි ගැලපීම් සිදු කිරීම හෝ එම සම්බන්ධතාවයෙන් දුරස්ව සිටීම හෝ සිදුකළ යුතුය.

Top