බුදු දහම අපගේ ජීවිත තුළට එ්කාබද්ධ කරගැනීම

18:18
ධර්මය යන වදනින් අර්ථවත් කෙරෙනුයේ වළක්වාලීමේ ක්‍රියාමාර්ගයකි. එනම් එය ගැටලු වළක්වාලීම සඳහා අප විසින් සිදු කරනු ලබන කාර්යයකට සම්බන්ධ වන බවයි.

ධර්මය යනු ජීවන ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීමයි

ධර්ම පිළිවෙත් සමගින් අපගේ ජීවිත සම්බන්ධ කිරීම පිණිස කළ යුතු පළමු කාර්යය නම් ජීවිතයේ පවත්නා විවිධ වර්ගයේ ගැටලු හා දුෂ්කරතාවන් හඳුනා ගැනීමයි. දෙවන කාර්යය වනුයේ ධර්ම පිළිවෙත් පිරීම තුළ මෙම ගැටළු තුළින් මිදීම සඳහා ඉලක්කගත වැඩ පිළිවෙලක් අන්තර්ගත වන බවයි.

ධර්ම පිළිවෙත් පිරීම යනු යහපත් හැඟීමක් ඇතිකර ගැනීම හෝ මිහිරි විනෝදාංශයක් තිබීම හෝ රැල්ලට කටයුතු කිරීම හෝ එවන් අන් යමක් හෝ නොවේ. ධර්ම පිළිවෙත් පිරීම තුළ අපේක්ෂා කෙරෙනුයේ අපගේ ගැටළුවලින් මිදීමට යම් උපකාරයක් ලබාගැනීමයි. ඉන් අදහස් කෙරෙනුයේ තත්ත්වාකාරයෙන් ධර්ම පිළිවෙත් පිරීම පිණිස, එය ප්‍රිය මනාප ක්‍රියාවලියක් නොවනු ඇති බව අවබෝධ කරගත යුතු වේ. අපට අපගේ ජීවිතයේ අමිහිරි දේ දකිමින් එ්වාට සැබෑ ලෙසම මුහුණ දීමට සිදු වේ. එනම් එ්වායින් ඉවතට දිවයාම වෙනුවට දැන් එ්වා සම්බන්ධයෙන් සැබෑ ලෙසම කටයුතු කරන්නේය යන ආකල්පයෙන් ගැටළුවලට මුහුණ දීමයි.

අපගේ ගැටණු විවිධ ස්වරූපයන්ගෙන් ඉස්මතු විය හැක. එ් අතරින් බොහොමයක් අපට හුරු පුරුදු එ්වා වේ - අපි අනාරක්ෂිතය; අන්‍යයන් හා පවත්නා සම්බන්ධතා විෂයයෙහි දුෂ්කරතා පවතී; ආගන්තුක බවක් හැ‌ඟේ; අපගේ භාවයන් හා හැඟීම් සම්බන්ධ දුෂ්කරතා පවතී- මේවා සියල්ලන් සතු පොදු ගැටළු වේ. අපගේ පවුල් කටයුතු සිදු කිරීමේදී හා දෙමව්පියන් සමගින් කටයුතු කිරීමේදී දුෂ්කරතා ඉස්මතු වේ; ඔවුන් රෝගී හා වයෝවෘද්ධ වේ. අපගේම රෝගීවීම් හා වයස්ගතවීම් ආශ්‍රිත කටයුතුවලට අදාල දුෂ්කරතාවයන්ද වේ. තරුණ වියේ පසුවන්නේ නම්, ජීවිත ගමන්මග කවර දිශාවකට හරවාලන්නේද යන ගැටලුවද, ජීවිකාව සරිකර ගන්නේ කෙසේද යන ගැටලුවද, යායුතු මග කවරේද යන ගැටලුවද ආදී ගැටලු රාශියක් පවතී. එ් සියල්ල විමසා බැලීමට සිදුවේ.

ව්‍යාකූලත්වය

බුදු දහම තුළ ඉතාමත් වැදගත් කරුණක් වනුයේ අප සියලු දෙනා අත්දකින්නාවූ මෙකී ගැටලු හේතු මගින් ඉස්මතුවන බව අවබෝධ කරගැනීමයි. කිසිදු හේතුවක් රහිතව එ්වා ඉස්මතු නොවේ. මෙම ගැටලුවල මූලාශ්‍රය පවත්නේ අප තුළමය. මෙය වූකලි සුවිශාල අන්තර්ඥාණයක් වන අතර, බොහෝ පුද්ගලයන් හට පිළිගැනීමට අපහසු දෙයක්ද වේ. හේතුව නම් බොහෝ දෙනෙක් සිය ගැටලුවලට හේතුව ලෙස සෙස්සනට හෝ බාහිර තත්ත්වයනට දොස් පවරමින් සිටීමයි. “ඔයා කළ දේ නිසා තමයි මට දුක් විඳින්න සිදු වුණේ - ඔයා මට කථා කළේ නෑ; ඔයා මාව අත් හැරියා; ඔයා මට ආදරේ නෑ. මේ සේරම ඔයාගෙ වරදින් වුණේ.” යන හැඟීම අප තුළ පවතී. නොඑසේ නම් අපි වරද අපගේ දෙමවුපියන් මතට පටවන්නෙමු - එනම් අප කුඩා දරුවන් වියේදී මව්පියන් කළ හෝ නොකළ දෙයක් මත වරද පැටවීමයි. නොඑසේ නම්, ආර්ථික තත්ත්වය හෝ දේශපාලනික තත්ත්වය හෝ සමාජමය තත්ත්වය ආදිය මත වරද පටවන්නෙමු. සැබැවින්ම මේ සියලු සාධක අපගේ ජීවන අත්දැකීම් විෂයයෙහි යම්කිසි කාර්ය භාරයක් ඉටු කරන අතරම බුදු දහම තුළ එය ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවේ. එසේ වුවද, ප්‍රධාන හේතුව හෙවත් අපගේ ගැටළුවල වඩාත් ගැඹුරු හේතුව පවත්නේ අප තුළමය - එය අපගේ ව්‍යාකූලත්වය විශේෂ කොටගත් අපගේම ආකල්පයයි.

එදිනෙදා ජීවිතයේදී බුදු දහමට අදාළ පිළිවෙත් පිරීම යන්නෙන් අදහස් කෙරෙනුයේ කවරක්ද යන්න පිළිබඳ බෞද්ධාකල්පය පැහැදිලිව අර්ථ නිරූපණය කරන්නාවූ එක් සාධකයක් වේනම් එය මෙයම වන බැව් මම පවසමි. දුෂ්කරතාවනට මුහුණ පා ඇතිවිටදී, එහි මූලාශ්‍රය සොයාගනු පිණිස අපි අපගේම අභ්‍යන්තරය සොයා බලන අතර, තත්ත්වය ඇතුළතින් වෙනස් කිරීමට උත්සාහ කරමු. ඇතුළාන්තය විමසමින් අපගේ ගැටලුවල මූලාශ්‍රය සොයාගන්නා විටදී, එය මා අයහපත් පුද්ගලයෙකු වන අතර වෙනස් වී යහපත් අයෙකු විය යුතුය යන ආචාර ධාර්මික විනිශ්චයක් සිදු කිරීම මත පදනම් නොවේ. හුදෙක් දුක් විඳින අතර ගැටලුවලින් මිදී  සතුටින් සිටීමට අවශ්‍ය වන බැවින් අපි ඇතුළතින් අපගේ ගැටලුවල මූලාශ්‍රය සෙවීමට උත්සාහ කරන අතර, එ්වාහි ප්‍රධාන මූලාශ්‍රය අපගේ ආකල්ප වේ. නිශ්චිතවම අපගේ ගැටලුවල හා දුකට පාදක වන ගැඹුරුම හේතුව අපගේ ව්‍යාකූලත්වය බව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලදී. එබැවින් සිදුකළ යුත්තේ අප දැනට සිදුවන සිදුවීම් පිළිබඳ ව්‍යාකූලත්වයට පත්ව ඇති ආකාරය සොයාගෙන නිවැරදි අවබෝධය ලැබ එය නිවැරදි කරගත හැකි ආකාරය සොයා ගැනීමයි.

අප ව්‍යාකූලත්වයට පත්ව ඇත්තේ කවරක් පිළිබඳවද? එ් කරුණු කිහිපයක් පිළිබඳවය. ඉන් එකක් වන්නේ චර්යාත්මක හේතු ඵලයන්ය. යම් ආකාරයකින් කටයුතු කරන්නේ නම් ඉන් කිසිදු ඵලක් අත් නොවනු ඇති බව අපි සිතන්නෙමු. නිදසුනක් ලෙස, “මට පරක්කු වෙන්න, ඔයාව නොසලකා හරින්න ආදිය කළ හැකියි. එ්ක එච්චර දෙයක් නෙවෙයි” ලෙස අපි සිතන්නෙමු. එය සාවද්‍යය; එය ව්‍යාකූල හැඟීමකි. නොඑසේ නම්, අප විසින් සිදුකරන දෙයක් හෝ අපගේ චර්යාව යම් අසාමාන්‍ය ප්‍රතිඵලයක් ඇති කරනු ඇති අතර, එය සාමාන්‍යයෙන් සිදු නොවිය හැකි ආකාරයේ එකක් වනු ඇති බවට සිතන්නෙමු. නිදසුනක් ලෙස, “මං ඔයාට හොඳින් සැලකුව නිසා ඔයා මටත් පෙරළා ප්‍රේම කරයි. මං ඔයාට හොඳ තෑග්ගක් මිලට ගත්තා, ඉතින් ඇයි ඔයා දැන් මට ආදරේ නැත්තෙ?” වැනි සිතිවිලි සමගින් අපගේ ක්‍රියාවන් හෝ චර්යාවන් මගින් නොවිය හැකි ආකාරයේ ප්‍රතිඵල අත්පත් කරදෙනු ඇතැයි සිතා ගන්නෙමු. එනම් එ්වා මගින් සිදුවිය හැකි එ්වාට වැඩි ප්‍රතිඵල සිදුවනු ඇතැයි සිතීමයි. තවද, ඇතැම් දේ මගින් එක්තරා ආකාරයක ඵලයක් ඇති කරනු ඇති බවට සිතන්නෙමු; එසේ වුවද, සැබැවින්ම, එ්වා මගින් ඇති කරනුයේ එයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ඵලය වේ. නිදසුනක් ලෙස, අපට සතුටින් සිටීමට අවශ්‍ය බැවින් එසේ සතුටින් සිටීමේ මග නිරතුරුව බීමතින් සිටීම යැයි සිතන්නෙමු. එනමුත් මෙමගින් සතුටට වඩා වැඩි ගැටලු ගණනාවක් ඇති කරනු ලබයි.

අප ව්‍යාකූලත්වයට පත්ව සිටින්නාවූ අනෙක් කරුණ නම් අපගේ පැවැත්ම, අන්‍යයන්ගේ පැවැත්ම හා ලෝකයේ පැවැත්ම කෙසේ සිදු වන්නේද යන්න පිළිබඳවයි.  නිදසුනක් ලෙස, වයසට යාම හා රෝගී වීම පිළිබඳව අපි දුක් වන අතර නොසතුටින් සිටින්නෙමු. එසේ නමුදු, මනුෂ්‍යයන් වශයෙන් අපට මෙයට වැඩි දෙයක් අපේක්ෂා කළ හැකිද? මනුෂ්‍යයෝ රෝගී වන අතර තරුණ වියේදී මිය නොයතොත් වයසටද යති - මේවා විශ්මයට පත් වීමට තරම් දේවල් නොවේ. කණ්නාඩියෙන් සුදු කෙස් දකින්නට පටන් ගන්නා විටදී එ් පිළිබඳව නොසතුටින් කම්පනයට පත් වන්නෙමු. මෙය වූකලි ලෝකයේ පැවැත්ම හා අපගේ පැවැත්ම පිළිබඳව අතාත්වික තත්ත්වයකි.

වයසට යාම පිළිබඳ ගැටලුවක් ඇතැයි සිතමු. එ් පිළිබඳව අප තුළ පවත්නා චිත්ත ව්‍යාකූලත්වය හේතුකොට - හෙවත් එහි පවත්නා යථාර්ථය නොපිළිගැනීම හේතුකොට- කැළඹිලිකාරී හැඟීම් හා ආකල්පයන්හි බලපෑමට යටත්ව විනාශකාරී ලෙස හැසිරෙන්නෙමු. නිදසුනක් ලෙස, බලහත්කාරී ලෙස තරුණ හා ආකර්ශනීය ලෙස පෙනී සිටීම සඳහා උත්සාහ ගනිමින් අප ආරක්ෂාකාරී බවට පත් කරනු ඇති බවට අපේක්ෂා කරන්නාවූ දේවල් ලබාගැනීමට ලෝභයෙන් කටයුතු කරන්නෙමු- එනම් අපට ආකර්ශනීය ලෙස පෙනෙන තරුණයන් විශේෂ කොටගෙන අන්‍යයන්ගේ අවධානය හා ආදරය දිනා ගැනීමට කටයුතු කිරීම ආදිය වේ. මෙම රෝගී තත්ත්වය පසුබිමෙහි සාමාන්‍යයෙන් මා ලොව වඩාත්ම වැදගත් පුද්ගලයාය, මා විශ්වයේ කේන්ද්‍රයය යන ව්‍යාකූල අදහස පවතී. එබැවින් සියල්ලෝ මා වෙත අවධානය යොමුකළ යුතුය. මාගේ පෙනුම කවරාකාර වුවද, සියල්ලෝ මා ආකර්ශනීය අයෙකු ලෙස හඳුනා ගනිමින් මා හට කැමති විය යුතුය. යමෙකුට අප ආකර්ශනීය නොවේ නම් හෝ ඔවුන් අපට අකමැති නම් එය අප වියරු වැට්ටවීමට හේතු වේ. ඔවුන් අපව නොසලකා හරින්නේ නම් - එනම් ශාරීරිකව නොවේ නම් අන් අයුරකින් හෝ ඔවුන් විසින් අප ආකර්ශනීය ලෙස හඳුනාගන්නේ නම් එය අපගේ කැමැත්ත වේ. එසේ නමුත් ඔවුන් අප වෙත අවධානය යොමු නොකරන විටදී - එහිදී අපි වඩ වඩාත් වියරු වැටෙන්නෙමු. එසේ වුවද, ශාක්‍යමුනි බුදුරාජණන් වහන්සේද සියල්ලන්ට ප්‍රිය නොවූ සේක; එසේනම් සියල්ලන් අපට කැමති වනු ඇතැයි කවර නම් අපේක්ෂාවක් දල්වන්නෙමුද?

සියල්ලන්ගේ කැමැත්තට හේතුවන ලෙස ජීවත්වීම යනු අතාත්වික අපේක්ෂාවකි. එය යථාර්ථය නොවේ. එය ව්‍යාකූල, ‌තණ්හාව හා සියල්ලනට අප ආකර්ශනීය විය යුතු අතර ඔවුන් අප කෙරෙහි අවධානය යොමු කළ යුතුය යන ඇල්ම මත පදනම් වන්නකි. එහි පදනමෙහි පවත්නේ අවිදග්ධ භාවය නමැති කැළඹිලිකාරී ආකල්පයයි. අප ඉතා වැදගත් හා ප්‍රේමණීය අයවලුන් වන බැවින් සියල්ලන් අපට කැමති විය යුතු අතර, යමෙකු අපට අකමැති වන්නේ නම් එසේ අකමැති වන්නේ එ් පුද්ගලයාගේ යම්කිසි දුර්වලතාවයක් හේතුවෙන්ය යන සිතිවිල්ලෙනි අප පසු වන්නේ. මෙයටද වඩා අයහපත් තත්ත්වය නම්, අප විසින් අපවමද සැක කරනු ලැබීමයි : “මෙයා මට අකමැති මගේ මොකක් හරි වරදක් නිසා වෙන්නැති”යි සිතමින් අයහපත් හෝ වරදකාරී හැඟීමක් මෙහිදී ඇතිකරගනු ලබයි. මේ සියල්ල සිදුවන්නේ අවිදග්ධතාවය හේතුවෙනි. 

එසේ නම් කළයුතු ප්‍රධාන දෙය වනුයේ අපගේම ප්‍රගතිය පිණිස කටයුතු කිරීමයි. මෙයයි ධර්ම පිළිවෙත් පිරීමෙහි පූර්ණ පරමාර්ථය වනුයේ. තත්ත්වය කවරක් හෝ වේවා - දුෂ්කරතාවයන් පැවතියද, අනාරක්ෂිත හැඟීමෙන් පසු වුවද, අන් කවරක් වුවද, සිදුවන්නේ කවරක්ද යන්න නිරීක්ෂණය කරනු පිණිස අපට අපගේම ඇතුළාන්තය විමසීමට සිදුවේ. මා හට හැඟෙන මෙම කැළඹිලිකාරී හැඟීම් පිටුපස පවත්නා ව්‍යාකූලත්වය කෙසේ හට ගත්තේද? කෙසේ වුවද, ගැටළු ඇති කරන්නාවූ සම්බන්ධතාවයක් පිළිබඳව විමසා බලන්නේ නම්, ව්‍යාකූලත්වයෙන් පෙළෙන එකම කෙනා මා නොවන බවද අවබෝධ කරගත යුතු වේ. පැහැදිලි ලෙසම, අනෙකා තුළද ව්‍යාකූලත්වය පවතී. මෙහිදී ගතයුතු කරුණ නම්, අපි හුදෙක් “ඔයා වෙනස් වෙන්න ඕන. මං කරන හැමදේම හොඳයි, සර්ව සම්පූර්ණයි. ඔයා තමයි වෙනස් වෙන්න අවශ්‍ය” ආදී ලෙස නොකියන්නෙමු. අනෙක් අතට, වෙනස් විය යුතු එකම කෙනා මා ලෙසද නොපැවසිය යුතුය. මක්නිසාද, එමගින් ආත්ම පූජක, ස්වයං පීඩක සංකීර්ණයක් තමා තුළ ගොඩනැගිය හැකි බැවිනි. අනෙකා සමග විවෘතව දේවල් සාකච්ඡා කිරීමට උත්සාහ කරමු - එසේ වුවද, අනෙකාද මෙම උත්සාහය පිළිගත යුතුය. අප දෙදෙනාම ව්‍යාකූලත්වයට පත්ව සිටින බව අප විසින් පිළිගත යුතුය. අපගේ සම්බන්ධතාවය තුළ සිදුවන දේ පිළිබඳ අවබෝධ කරගැනීම විෂයයෙහි අප දෙදෙනා තුළම යම් ගැටලුවක් පවතින බැවින් අප දෙදෙනා තුළම පවත්නා ව්‍යාකූලත්වය නිරවුල් කරගැනීමට උත්සාහ කරමු. මෙයයි කටයුතු සිදුකරගෙන යායුතු වඩාත් යථාර්ථවාදී හා ධාර්මික ක්‍රමය වනුයේ. 

ක්‍රියාවෙහි යෙදවීමට පෙර ධර්මය වටහා ගැනීම

විවිධ වර්ගයේ බෞද්ධ පිළිවෙත් පවතී. යම් ප්‍රයෝගයක් ක්‍රියාත්මක කරන ආකාරය උගන්නාක් මෙන් එ්වා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳ හුදෙක් උපදෙස් පමණක් ලබාගැනීම ප්‍රමාණවත් නොවේ. ඕනෑම පිළිවෙතක් සම්බන්ධයෙන් ගත් කල, එය අපගේ දුෂ්කරතාවන් මැඩ පැවැත්වීමට උපකාරී වනුයේ කෙසේද යන්න වටහා ගැනීම ඉතා වැදගත් වේ. පිළිවෙත ක්‍රියාවෙහි යෙදවිය යුතු අවස්ථාව හා ආකාරය පමණක් නොව එ් පසුපස පවත්නා උපකල්පනයද අප විසින් උගත යුතුවේ. මෙහි අදහස නම් අප උසස් මට්ටමේ පිළිවෙත් තුළින් ආරම්භය නොගන්නා බවයි. මූලික මට්ටමින් අරඹා ඕනෑම පිළිවෙතක් සම්බන්ධයෙන් සිදුවන්නේ කවරක්ද යන්න ධර්ම ඉගැන්වීම් ගොඩනැගෙන අනු පිළිවෙල තුළින් අපට දත හැකිවන පරිදි පදනමක් ගොඩ නගන්නෙමු.

“බෙහෙතක් දුන් විට එ්ක වැඩ කරන්නෙ කොහොමද කියල අහන්න එපා. ඖෂධය පාවිච්චි කරල බලන්න!” ලෙස උපදෙස් දෙන ඉගැන්වීම් අප කියවා ඇත්තේය යන්න සත්‍යයකි. මෙය යහපත් උපදෙසක් වුවද, මෙය අන්තයට යාමට එරෙහිව කෙරෙන අනතුරු ඇඟවීමක්ය යන්න අප විසින් වටහා ගත යුතුය. අන්තය වනුයේ දේශනා අධ්‍යයනය කොට වටහා ගැනීමට උත්සාහ කරනු විනා අප උගන්නා කිසිවක් කිසි විටෙක හෝ ක්‍රියාවෙහි නොයෙදීමයි. එම අන්තයෙන් වැළකිය යුතුය. එසේම එහි අනෙක් අන්තයද එකසේම වැළකිය යුත්තකි. එනම් යම් පිළිවෙතක් හා සම්බන්ධ ධර්ම උපදෙස් ශ්‍රවණය කරන විටදී අන්ධ විශ්වාසයෙන් අප කරන දෙය හෝ එය කරන්නේ කවරක් උදෙසාද යන්න වටහා නොගනිමින් එය ක්‍රියාවෙහි යෙදවීමයි. එම අන්තය තුළින් ඉස්මතුවන ප්‍රධාන ගැටලුව නම් එහිදී පිළිවෙත එදිනෙදා ජීවිතයට අදාළ කරගන්නා ආකාරය පිළිබඳ අප නොදැනුවත්ව සිටීමයි. ඕනෑම පිළිවෙතක් පසුපස පවත්නා අදහස වටහා ගන්නේ නම් - එනම්, එය ක්‍රියාත්මක වන ආකාරය හා ඉන් අපේක්ෂා කෙරෙන දේ තේරුම් ගන්නේ නම්- එය එදිනෙදා ජීවිතයේදී යොදාගන්නා ආකාරය අන් කිසිවෙකු විසිනුදු  අපට පැවසිය යුතු නොවේ. එය වටහා ගනිමින් අප කෙරෙහිම යොදාගන්නා ආකාරය පිළිබඳ එහිදී අපට වැටහීමක් ඇත.

අපගේ ගැටළු මුලිනුපුටා දැමීම පිළිබඳව කථා කරන විටදී, අපගේ පෞද්ගලික ගැටළු පමණක් මුලිනුපුටා දැමීමක් පිළිබඳ කථා නොකරන අතර, අන්‍යයන්ට උපකාර කිරීමේදී අපට ඇතිවන දුෂ්කරතාවයන්ගෙන් මිදීම පිළිබඳවද කථා කරන්නෙමු. “කම්මැලිකම හෝ ආත්මාර්ථය හෝ වැඩ අධික වීම හෝ නිසා මට අනිත් අයට උපකාර කිරීම සම්බන්ධ ගැටළු තිබෙනවා” හෝ “ඔයාගෙ ගැටළුව මොකක්ද කියල මට තේරෙන්නෙ නෑ. එ් වගේම ඔයාට උදවු කරන්න මං මොනවද කරන්න ඕන කියල තේරෙන්නෙ නෑ”. අප ඉදිරිපිට පවත්නා මහා දුෂ්කරතාවය මෙය නොවේද? අන්‍යයන්ට උපකාර කිරීම පිළිබඳ මේ සියලු දුෂ්කරතාද ඉස්මතු වනුයේ අපගේ චිත්ත ව්‍යාකූලත්වය හේතුවෙනි. නිදසුනක් ලෙස, මා සර්ව බලධාරී දෙවියන් වහන්සේ මෙන් විය යුතු අතර, මා විසින් එක් කාර්යයක් කළ විගස ඔබගේ සියලු ගැටලු විසඳෙනු ඇතැයි යන්නයි; එමගින් ඔබගේ සියලු ගැටලු නොවිසඳුනහොත්, ඔබ තුළ යම් වරදක් පවතී. ඔබ එය නිවැරදිව කර නොමැති අතර, එබැවින් ඔබ වරදකරු වේ. නොඑසේ නම්, මා වරදකරුය. මක්නිසාද, මා හට ඔබගේ ගැටළු විසඳීමට හැකියාව තිබිය යුතුව පැවති අතර, එසේ වුවද මා විසින් එය සිදුකර නොතිබිණි. එබැවින්, මාද කමකට නැත්තෙකි. නැවතද, එය හේතු ඵලවාදය පිළිබඳ වියවුලකි.

ධර්මය පිළිබඳ ස්ථිර විශ්වාසය

යහපත් මානසික තත්ත්වයකින් එදිනෙදා ජීවිතයට ධර්මය ඵලදායී ලෙස යොදාගැනීමට හැකිවනු පිණිස අපගේ ගැටළුවලින් මිදිය හැකිය යන ස්ථිර විශ්වාසයක්ද අප තුළ පැවතිය යුතුය. මූලික බෞද්ධ ප්‍රවේශය අනුගමනය කිරීමෙන් අපගේ වියවුලෙන් සැබෑ ලෙසම මිදිය හැක්කේය යන ස්ථිර විශ්වාසය අප තුළ පැවතිය යුතුය: යමකින් මිදීම සඳහා එය ඇති කරන හේතු සාධක මුලිනුපුටා දැමිය යුතුය. අපගේ වියවුල් සහගත බව නැවත ඉස්මතු නොවන පරිදි මුලිනුපුටා දැමිය හැකි බවටද විමුක්තිය හා බුද්ධත්වය ලැබිය හැකියයිද යන ගැඹුරු, අචල, ස්ථිර විශ්වාසය ඇතිකර ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. විමුක්තිය හා බුද්ධත්වය යන්නෙන් සැබෑ ලෙසම අදහස් කෙරෙනුයේ කවරක්ද යන්න වටහා නොගන්නා අවස්ථාවන්හිදී විශේෂයෙන්ම මෙම කාර්යය දුෂ්කර වේ. එසේ නම්, එම තත්ත්වය සාක්ෂාත් කරගත හැක්කේද, නොහැක්කේද යන්න සැබෑ ලෙසම සලකා බලන්නේ කෙසේද? එ්වා කළ හැක්කේ යැයි නොසිතන්නේ නම්, පවත්නා බවක් හෝ නොසිතන්නා වූ යමක් සාක්ෂාත් කරගැනීමට අරමුණු කිරීම යම්තාක් දුරට මවාපෑමක් නොවන්නේද? එවිට එය අප විසින් කරනු ලබන යම් අමනෝඥ හෝ විකාර සහගත ක්‍රීඩාවක් බවට පත්වේ; එනම් අපගේ ධර්ම පිළිවෙත් පිරීම සැබෑවක් නොවන බවයි.

අප තුළ සැබෑ එත්තු ගැනීමක් පැවතිය යුතු අතර මේ සඳහා ඉහළ මට්ටමේ අධ්‍යයනයක් හා වටහා ගැනීමක් මෙන්ම ගැඹුරු චින්තනයක් හා භාවනාවක්ද පැවතිය යුතු වේ. විමුක්තිය හා බුද්ධත්වය සාක්ෂාත් කරගත හැක්කක්ය යන්න පිළිබඳ පමණක් නොව එ්වා මාහටමද සාක්ෂාත් කරගත හැකි එ්වාය යන්න පිළිබඳ අපට එ්ත්තු යා යුතුය. ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේට පමණක් නොව මා හටද, අන් සියල්ලන් හටද එය සාක්ෂාත් කරගත හැක්කේය. අපට අපගේ ව්‍යාකූලත්වයෙන් මිදීම සඳහා කළ යුත්තේ කවරක්ද යන වැටහීම පැවතිය යුතුය. සැබෑ ලෙසම අප අපගේ ව්‍යාකූලත්වයෙන් මුදවනු ඇත්තේ නිවැරදි වටහා ගැනීම මගිනි; එ් අනුව, නිවැරදි වටහා ගැනීම මගින් නැවත ඉස්මතු නොවන ලෙස ව්‍යාකූලත්වය මැඩ පවත්වා මුලිනුපුටා දැමිය හැක්කේ කෙසේද යන්න වටහාගත යුතුය. මේ සියල්ලේ ප්‍රතිඵලය වශයෙන්, ධර්ම පිළිවෙත් පිරීමේ සැබෑ වැඩපල අපගේ එදිනෙදා ජීවිතය බව අපට පෙනී යයි; එය මොහොතින් මොහොත අපගේ ජීවන ගැටළු, අපගේ වියවුල හා අපගේ දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමයි.

ධර්ම පිළිවෙත් පිරීම සදහා අන්තරාවලෝකනය අවශ්‍යය

ධර්ම පිළිවෙත් පිරීම යනු හුදෙක් ජීවිතයෙන් මිදී යම් කාලයක් ගත කිරීම, කදිම, නිහඬ, භාවනා කුටියකට හෝ ගුහාවකට හෝ අපගේ කාමරයට පිවිසීම හා අපගේ ජීවිත සම්බන්ධ කටයුතු කිරීමෙන් පලායනු පිණිස කුෂන් කොට්ටයක් මත හිඳගෙන සිටීම හෝ නොවේ. පලායාම ධර්ම පිළිවෙතෙහි අවධානය යොමු කෙරෙන පාර්ශ්වය නොවේ. භාවනා කරනු පිණිස නිහඬ ස්ථානයකට යන විටදී, අපගේ ජීවන ගැටලු සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස ගොඩනගාගත යුතුවන කුසලතා ගොඩනගා ගැනීම සඳහාය එසේ කරනු ලබන්නේ. අවධානයට ලක් කරනු ලබන ප්‍රධාන කරුණ වනුයේ ජීවිතයයි. හිඳ භාවනා කිරීමෙන් ඔලිම්පික් පදක්කම දිනාගැනීමක් මෙහිදී අරමුණු නොකරයි. ධර්ම පිළිවෙත් පිරීම යනු මුළුමනින්ම ධර්මය ජීවිතයට ගලපා ගැනීම හා සම්බන්ධ වේ.

තවද, ධර්ම පිළිවෙත් පිරීම අන්තරාවලෝකන කාර්යයකි. එහිදී අපි අපගේ භාවමය තත්ත්වයන්, අපගේ පෙළඹීම්, අපගේ ආකල්ප, අපගේ බලහත්කාරී චර්යාත්මක රටාවන් පිළිබඳ අවධානයෙන් සිටීමට උත්සාහ කරන්නෙමු. අපි විශේෂයෙන්ම අපගේ කැළඹිලිකාරී භාවයන් පිළිබඳ ප්‍රවේශම් විය යුතුය. කැළඹිලිකාරී භාවයක් හෝ ආකල්පයක් සම්බන්ධ අර්ථ නිරූපණමය ගති ලක්ෂණය නම්, එය ඉස්මතුවන විටදී එමගින් අප හා සෙසු අය හටද අපහසු හැඟීමක් ඇති වීමයි. අපගේ චිත්ත සාමය ගිලිහෙන අතර සිත පාලනයෙන් බැහැර වේ. මෙය අවබෝධ කරගැනීම තුළ එවැන්නක බලපෑමෙන් කටයුතු කරන අවස්ථා හඳුනා ගැනීමට හැකිවන බැවින් මේ වූකලි ඉතා ප්‍රයෝජනවත් අර්ථ නිරූපණයකි. යම් කැළඹිලිකාරී දෙයක් අපගේ සිත්තුළ සිදුවන බව අපහසුතාවයට පත්වන විටදී හැඳිනගත හැක. එවන් අවස්ථාවන්හිදී, අප තුළ සිදුවන දේ පරීක්ෂාවට ලක්කොට එය නිවැරදි කිරීමේ ප්‍රතිජීවක යෙදිය යුතුය.

මේ සඳහා අප තුළ සිදුවන දේ පිළිබඳ ඉතා සංවේදී විය යුතුවේ. කැළඹිලිකාරී බව වැටහෙන විටදී අපගේ භාවමය තත්ත්වය වෙනස් කිරීම සඳහා යමක් සිදු කිරීමට නම්, කැළඹුණු සිතකින් හෝ සිත් කළඹවාලන අයුරින් කටයුතු කරන්නේ නම් එමගින් අපටම හා අන් අයටද බොහෝ වූ දුක් ඇති කරනු ඇත්තේය යන අවබෝධය පැවතිය යුතුය. අපට එය අවශ්‍ය නොවේ; මක් නිසාද දැනටමත් ඕනෑ තරම් එම තත්ත්වය අත්විඳ ඇති බැවිනි. අප වියවුලෙන් පසුවන්නේ නම්, අන් කිසිවෙකුට හෝ උපකාර කරන්නේ කෙසේද? 

නම්‍යශීලිත්වය

ධර්ම පිළිවෙත් පිරීම තුළ එකක් දෙකක් නොව බොහෝ හා විවිධ ප්‍රතිවාදී බලවේග හඳුනාගැනීම අවශ්‍ය වේ. අපගේ ජීවිත ඉතා සංකීර්ණ වන අතර, එක් විශේෂිත විෂබීජ නාශකයක් සැම කල්හිම හොඳින් ක්‍රියාත්මක නොවේ. එක් විශේෂිත පිළිවෙතක් සෑම අවස්ථාවක් සඳහාම වඩාත් ඵලදායී පිළිවෙත නොවනු ඇත. එදිනෙදා ජීවිතයේදී දේවල් සැබෑ ලෙසම යොදාගැනීමට හැකිවනු පිණිස ඉතා ඉහළ මට්ටමේ නම්‍යශීලිත්වයක් හා විවිධාකාර විධික්‍රම අවශ්‍ය වේ. මෙය ක්‍රියාත්මක නොවේ නම්, අපි එය කරන්නෙමු; එය ක්‍රියාත්මක නොවන්නේ නම්, එවිට මෙය උත්සාහ කර බලන්නෙමු.

මාගේ ගුරුවරයා වූ ෂෙන්ෂැබ් සර්කොං රිපොන්ෂේ විසින් නිතර පැවසූ දෙයක් නම්, ජීවිතයේ යම් දෙයක් සිදු කිරීමට උත්සාහ කරන විටදී, නිරන්තරයෙන්ම විකල්ප සැලසුම් දෙකක් හෝ තුනක් පවත්වාගෙන යන ලෙසයි. එවිට පළමු සැලැස්ම ක්‍රියාත්මක කළ නොහැකි විට කාර්යය අත්හැර දැමීමට සිදු නොවේ. මක්නිසාද, ඔබට දෙවැනි හෝ තෙවැනි වශයෙන් සහාය සැලසුම්ද පවත්නා බැවිනි. එ් අතරින් එකක් අවසානයේදී ක්‍රියාත්මක වනු ඇත. මෙය මාහට ඉතා ප්‍රයෝජනවත් උපදේශයක් විය. ධර්මය සම්බන්ධයෙන්ද තත්ත්වය මෙයමය: යම් නිශ්චිත වටපිටාවකදී පළමු ක්‍රමය ක්‍රියාත්මක කළ නොහැක්කේ නම්, නිරතුරුවම අප සතුව සහාය සැලැස්මක් පවතී. එනම්, කළ හැකි අන් විකල්ප ක්‍රියාවන් පවතී. මේ සියල්ල විවිධ ක්‍රම හා භාවනාවන් අධ්‍යයනය හා ඉගෙනීම මත පදනම් වන අතර, ශාරීරික අභ්‍යාසයන්හිදී මෙන් ඉන්පසු එ්වා පිරීම පිණිස සූදානම් වන්නෙමු. අවශ්‍ය තැන්හිදී එදිනෙදා ජීවිතයේදී සැබෑ ලෙසම යොදාගත හැකිවන සේ මෙම විධික්‍රමයනට හුරු වීමට පුහුණු කටයුතු සිදු කරන්නෙමු. මේ සඳහා ධර්ම පිළිවෙත් පිරීම විනෝදාංශයක් ලෙස නොව පූර්ණ කාලීන වගකීමක් ලෙස ගැනීම අවශ්‍ය වේ.

අන්තයන්ගෙන් වැළකී සිටීම

ධර්ම පිළිවෙත් අපගේ පවුල් සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක කරන්නෙමු. අපගේ මව්පියන්, අපගේ දරුවන් හා සේවා ස්ථානයේ පුද්ගලයන් සමගින් කටයුතු කිරීමේදීද එ්වා යොදා ගන්නෙමු. මෙය සිදු කිරීමේදී, අපට විවිධ අන්තයන්ගෙන් වැළකී සිටීමට සිදුවේ. දැනටමත් යම්තාක් දුරට මෙම කරුණ සඳහන් කොට ඇත. අපගේ ගැටලුවලට අන් අයට හෝ අපටම හෝ දොස් පැවරීමේ අන්තයෙන් වැළකී සිටිය යුතු අතර, ගැටලු ඇතිවනුයේ මෙම දෙපිරිසේම දායකත්වයෙනි. සෙස්සන් වෙනස් කරවීමට උත්සාහයක් ගත හැකි නමුදු, අපවම වෙනස් කරගැනීම වඩාත් පහසු වේ.

එසේ නම්, ස්වයං ප්‍රවර්ධනය අප අවධානය යොමුවිය යුතු කරුණයි. එසේ නමුදු, මෙය සිදු කිරීමේදී අන්තවාදී ස්වයං ඇගයුම් සිතිවිලිවල ගැලී සිටීමෙන් වැළකීමට උත්සාහ කළ යුතුය. ස්වයං ඇගයුම් සිතිවිලිවල ගැලී සිටීමේදී අපට දිස්වන්නේ අපවම පමණක් වන අතර අන් කිසිවෙකු පිළිබඳව හෝ අවධානය යොමු නොවේ. මෙමගින් අප විශ්ව කේන්ද්‍රය වන අතර ලොව වැදගත්ම ගැටලුව වන්නේ අපගේ ගැටලුවය යන හැඟීම බලගැන්වේ. අන් කිසිවෙකුගේ ගැටලු එහිදී වැදගත් නොවේ.

අප එක්කෝ සම්පූර්ණයෙන්ම යහපත්ය, නැතහොත් සම්පූර්ණයෙන්ම අයහපත්ය යන සිතිවිල්ල තවත් අන්තයකි. අපගේ දුෂ්කර පාර්ශ්වය හඳුනා ගත යුතුය යන්න සත්‍යයක් වන අතර එ්වා වැඩි වර්ධනය කරගත යුතු පැතිකඩ වේ. එසේ නමුදු, වඩ වඩාත් වර්ධනය කරගනු පිණිස අපගේ ධනාත්මක පැති හා ගුණාංගද හඳුනාගත යුතු වේ. බොහෝ බටහිර ජාතිකයන් අතර පවත්නේ අඩු ස්වයං ඇගයීමකි. අපගේ ගැටලු හා වියවුල් පිළිබඳව පමණ ඉක්මවා අවධානය යොමු කරන්නේ නම්, මෙමගින්ද පහසුවෙන් එම අඩු ස්වං ඇගයීම් තත්ත්වය බලගැන්විය හැක. මෙය කිසිසේත් අප අපේක්ෂා කරන තත්ත්වය නොවේ. 

අපගේ කැළඹිලිකාරී හැඟීම් පිළිබඳ පරීක්ෂාවෙන් සිටින අතරම, මෙය අපගේ යහ ගුණ සිහි තබාගැනීම සමගින් සමබර කළ යුතු වේ. කෲරතම පුද්ගලයන් අතර පවා යම් යහ ගුණ පවතී. නිසැකවම ඔවුනටද යම් දිනෙක බලු පැටවෙකු හෝ පූස් පැටවෙකු සිය උකුලේ තබාගෙන සිටි, ඌ සුරතල් කළ හා ඌ කෙරෙහි යම් ආදරණීය හැඟීමක් ඇතිවූ අත්දැකීමක් ඇත. සියලු දෙනාම පාහේ අවම වශයෙන් එම අත්දැකීමට මුහුණ පා ඇත. එ් අනුව, මෙයාකාරයේ ආදරණීය බවක් හෙවත් උණුසුමක් ලබාදීමේ හැකියාව අප සතු බව හඳුනාගන්නා විටදී, අපගේ ධනාත්මක පාර්ශ්වයද පැහැදිලි වේ. ධර්ම පිළිවෙත් පිරීම යනු හුදෙක් අපගේ නිශේධනාත්මක පැතිකඩ අවම කරගැනීම සඳහා කටයුතු කිරීම පමණක් නොවේ. එය සමබර එකක් විය යුතුය. එනම් අපගේ ධනාත්මක පාර්ශ්වය වැඩිදියුණු කරගැනීම සඳහාද කටයුතු කළ යුතුවේ.

මෙම කාර්යය සිදු කිරීමේදී අපගේ අඩු ලුහුඬුකම් හා අපගේ යහපත් ගුණාංග අතර විමසීමේ සමතුලනයක් පවත්වාගත යුතු වන අතර, තවත් අන්තයන් පෙළක් පවත්වාගෙන යාමෙන් මෙහිදී වැළකිය යුතුවේ. එක් අන්තයක් වනුයේ වරදකාරී හැඟීමයි: “මං හරි මදි. මං පුහුණු විය යුතුයි. පුහුණු නොවෙන නිසා හිටියටත් වඩා පිරිහිලා” වැනි හැඟීමක් මෙහිදී ඇතිවේ. ධර්ම පිළිවෙත් පිරීම සම්බන්ධයෙන් විමසා බැලීමේදී අපගේ විමසුම් මාර්ගයෙන් යුතුය යන වදන මුලිනුපුටා දැමිය යුතුය. මක් නිසාද, මෙය කිසි විටෙක හෝ කළ යුතු වූවක් සම්බන්ධ ගැටලුවක් නොවේ. අප ඉදිරිපිට දැනටමත් පවත්නා ගැටලුවලින් මිදී තවදුරටත් අනාගතයේදී ඇතිවන ගැටලුද වළකාලීමට අවශ්‍ය වන්නේ නම්, වඩාත් සෞඛ්‍ය සම්පන්න ආකල්පය වනුයේ හුදෙක් “මට මගේ ගැටලුවලින් මිදෙන්න අවශ්‍ය නම්, මේ පිළිවෙතින් එ්ක සිද්ධ වෙයි” යනුවෙන් සිතීමයි. පිළිවෙත පුරන්නේද නොමැත්තේද යන්න අපට තෝරාගත හැකි විකල්පයකි. “ඔබ මෙය කළ යුතුයි. නොඑසේ නම් ඔබ අයහපත් අයෙකි”යි කිසිවෙකු විසින් හෝ නොපවසනු ඇත.

මෙහි අනෙක් අන්තයද එසේම වැළකිය යුත්තකි. එනම් “අපි සර්ව සම්පූර්ණයි. හුදෙක් ඔබගේ බුද්ධ ස්වභාවය විමසා බලන්න, සියල්ල සර්ව සම්පූර්ණ වනු ඇති”ය යන අන්තයයි. මෙතුළින් අප වෙනස් විය යුතු නොවන බවට වූ ආකල්පයක් ඇති කරන බැවින් මේ වූකලි ඉතා භයානක අන්තයකි. මෙහිදී අපි දැනටමත් සර්ව සම්පූර්ණ වන බැවින් නැවතී අප තුළ දැනටමත් පවත්නා නිශේධනීය ස්වභාවයන් ඉවත් කළ යුතු නොවේ. මෙකී අන්ත දෙකම එබැවින් මඟ හැරිය යුතු වේ - එම අන්ත දෙක නම් අප අයහපත් අය ලෙස සිතීම හා අප සර්ව සම්පූර්ණ අය ලෙස සිතීමයි. මූලිකව අප විසින් අප සම්බන්ධ වගකීම දැරිය යුතුවේ. එයයි එදිනෙදා ජීවිතය තුළට ධර්මය එ්කාබද්ධ කිරීමේ ප්‍රධාන යතුර. මෙහිදී අප විසින් අපගේ ජීවිතයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් යම් කිසිවක් සිදු කිරීමේ වගකීම ගන්නෙමු.

අනුප්‍රාණය හෙවත් ආභාසය

අපගේම ඇතුළාන්ත ප්‍රගතිය උදෙසා කටයුතු කරන අතරතුර අපට අපගේ ආධ්‍යාත්මික ගුරුවරුන්ගෙන් මෙන්ම අප සමග පිළිවෙත් පුරන්නාවූ සෙසු පුද්ගල ප්‍රජාවන් වෙතින්ද ආභාසය ලද හැකි වේ. කෙසේ වුවද, බොහෝ අයට, සියවස් ගණනාවකට පෙර විසූ ගුරුවරුනට ආකාශයේ සෘද්ධි බලයෙන් ගමන් කළහැකි ආකාරය පිළිබඳ මනහ්කල්පිත කථාන්තර ගුරුවරුන්ගෙන් ලද හැකි ආභාසය පිළිබඳ මූලාශ්‍රයක් නොවේ. මක් නිසාද එවැනි කථා සැබෑ ලෙස ගැනීමේ යම් දුෂ්කරතාවයක් පවත්නා අතර, එමගින් අප සම්පූර්ණ මායා චාරිකාවක් තුළට ඇතුළු කරනු ලබයි. වඩාත් යහපත් වනුයේ අවම වශයෙන් හෝ අපගේ අත්දැකීමට සම්බන්ධ වන්නාවූ සජීවී උදාහරණ ලබාදීමයි.

බුදුවරුන් හෝ සැබෑ ලෙස සුදුසුකම් ලත් ගුරුවරු අප ආකර්ශනය කරගැනීමට හෝ අපට යම් ආභාසයක් ලබාදීමට උත්සාහ නොකරති. මේ සඳහා ලබාදිය හැකි නිදසුන නම් ඔවුන් සූර්යයා හා සමාන වන බවයි. සූර්යයා විසින් පුද්ගලයන් වෙත උණුසුම ලබා දීමට උත්සාහයක් දරනු නොලබයි; එය විසින් වෙනත් පුද්ගලයන්ද උත්සාහයෙන් නොව ස්වභාවිකවම උණුසුම් කරනු ලබයි. ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික ගුරුවරුන් සම්බන්ධයෙන්ද මෙකරුණ සත්‍ය වේ. ඔවුහූ ස්වභාවිකවම සිය ජීවිතය, සිය චරිතය, ඔවුන් දේවල් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය හරහා නිරායාසයෙන් අප වෙත යම් ආභාසයක් ලැබේ. එය මායා ප්‍රයෝගයක් නොවේ. වඩාත් ආභාසය ලබාදෙන සුළු දෙය වන්නේ වඩාත් යථාර්ථවාදී හා මහ පොළවට බද්ධ වූ දෙයයි.

මා හට ඩියුජොම් රිපොන්ෂේ සිහිවේ. ඔහු වසර ගණනාවකට පෙර මිය ගියේය. න්යින්මා පරපුරේ ප්‍රධානියා වු ඔහු මාගේ ගුරුවරුන් අතරින් අයෙකු විය. ඔහු දැඩි ඇදුම රෝගයකින් පෙළිණි. මාද ඇදුම රෝගයෙන් පෙළෙන බැවින් හුස්ම ගැනීමේ අපහසුව කවරාකාර එකක්ද යන්න පිළිබඳව දනිමි. සාමාන්‍ය පරිදි හුස්ම ගැනීම කළ නොහැකි විට ප්‍රමාණවත් වාතය ප්‍රමාණයක් ලබාගනු පිණිස සමස්ත ශක්තිය ඇතුළට යොමුකළ යුතු වන බැවින් එවන් විටෙක ඉගැන්වීම කෙතරම් දුෂ්කර කාර්යයක්ද යන්න මම දනිමි. එවන් තත්ත්වයක ඔබගේ ශක්තිය පිටතට ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වේ. එසේ වුවද, තදබල ලෙස ඇදුම රෝගයෙන් පෙළෙමින් සිටි ඩියුජොම් රිපොන්ෂේ එසේ පැවතියදීම වේදිකාව මතට නැග උගන්වනු මම දැක ඇත්තෙමි. ඇදුම රෝගයෙන් සුළුවෙන් හෝ කැළඹීමට පත් නොවුණු ඔහු විශ්මයජනක ඉගැන්වීම් සිදු කරමින් ඇදහිය නොහැකි ලෙස එම රෝගී තත්ත්වය පාලනය කළේය. මේ වූකලි ආශ්චර්යමත් ආභාසයකි: ඉතාමත් යථාර්ථවාදී වූද මායාමය ප්‍රයෝගයක් නොවූද කාර්යයකි. එය සැබෑ ජීවන තත්ත්වයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමක් වූ අතර, ඉන් ආභාසයක් ලද හැකි විය.

ආධ්‍යාත්මික ගමන් මාර්ගයේ ගමන් කරමින් ප්‍රගතියක් ලබන විටදී, අපට අප තුළින්මද ආභාසයක් ලද හැක. මෙයද වැදගත් ආභාසමය මූලාශ්‍රයකි. අපි අපගේම ප්‍රගතිය තුළින් ආභාසය ලබන්නෙමු. එනමුදු, මෙම කාර්යය සිදු කිරීමේදී ඉතා මටසිලුටු වීමට අපට සිදුවේ. යම් ප්‍රගතියක් ලබන කල්හි අහංකාර හා ආඩම්බර වීමේ ප්‍රවණතාවයක් පවත්නා බැවින් බොහෝ අයට මෙම සාධකය හැඟීම් තුළින් පාලනය කරගත නොහැක. එබැවින්, ප්‍රගතිය යන්නෙන් අදහස් කරන්නේ කවරක්ද යන්න ප්‍රවේශමින් අර්ථ නිරූපණය කළ යුතුය.

මාර්ගමය ප්‍රගතිය

පළමුව අප විසින් අවබෝධ කරගත යුතු කරුණ වන්නේ ප්‍රගතිය යන්න සරල රේඛීය එකක් නොවන බවයි ; එය නොකඩවා ඉහළ පහළ ගමන් කරයි. මෙය සංසාරයේ එක් ප්‍රධාන ගති ලක්ෂණයක් වන බැවින් එතුළ හුදෙක් උසස් හෝ පහත් තලයන්හි සිදුවන පුනර්භවයන් පිළිබඳව පමණක් සාකච්ඡා නොවේ. ඉහළ, පහළ යාම යන්නෙන් එදිනෙදා ජීවිතය තුළ සිදුවන උන්නතාවනතියද අදහස් කෙරේ. මාහට දැන් සතුටක් දැනේ; ඉක්බිති දුකක් දැනේ. අපගේ දැනීම් ඉහළ පහළ ගමන් කරයි. දැන් මට පිළිවෙත් පිරීමට සිත් දෙන නමුත් මොහොතකින් එසේ නොකිරීමටද සිත් දෙයි - එය නිතිපතා ඉහළ පහළ ගමන් කරනා බැවින් ඉන් විශ්මයට පත් නොවන්න. සත්‍ය වශයෙන්ම, සංසාරයෙන් මිදුණු, විමුක්තිලාභී තත්ත්වයේ අර්හත්වයට පත්වන තුරුම එය එ් ආකාරයෙන් නොකඩවා සිදුවනු ඇත. නොඇදහිය හැකි තරම් උසස් ස්ථරයක් වන එම අවස්ථාව දක්වාම සසර ගමන ඉහළ පහළ ගමනක නොකඩවා ගමන් කරනු ඇත. එබැවින්, ඉතා දීර්ඝ කාලයක් පිළිවෙත් පුරමින් සිට හදිසියේම පුද්ගලික ප්‍රේම සම්බන්ධයක් හේතුකොට යම් දුෂ්කරතාවයකට පත් වුවහොත් ඉන් අධෛර්යයට පත් නොවන්න. අපි ක්ෂණිකවම භාවමය වශයෙන් වියවුලට පත් වන්නෙමු - මෙවන් දේ සිදුවේ. මා ඉතා අසාර්ථක පිළිවෙත් පුරන්නෙකු බවක් ඉන් අදහස් නොවේ. අපගේ සාංසාරික තත්ත්වය සලකා බලන කල්හි හුදෙක් එය ස්වභාවික තත්ත්වයකි.

ධර්ම පිළිවෙත් තුළ සාමාන්‍යයෙන් හාස්කම් සිදු නොවේ. එදිනෙදා ජීවිතයට ධර්මය යොදා ගැනීමට අවශ්‍ය වන්නේ නම්, කිසිදින, විශේෂයෙන් අපගේ ප්‍රගතිය සම්බන්ධයෙන්, හාස්කම් අපේක්ෂා නොකරන්න. ප්‍රගතිය යථාර්ථවාදී ලෙස මනිනු ලබන්නේ කෙසේද? පරම පූජනීය දලයි ලාමා වහන්සේට අනුව, ධර්ම පිළිවෙත් පිරීමේදී එය එක් වසරක් හෝ දෙවසරක් ලෙස ගණන් හැදීම් නොකළ යුතුය. , “මා වසර පහකට හෝ දහයකට පෙර සිටි තත්ත්වයට වඩා දැන් සන්සුන් අයෙක්ද? වඩාත් දුෂ්කර තත්ත්වයන්ගෙන් වියවුලට හෝ කම්පනයට පත් නොවී එ්වා සම්බන්ධයෙන් කටයුතු කරන්නට මට හැකිද?” යන්න පිරික්සනු පිණිස වසර පහක් හෝ දහයක් පිළිවෙත් පිරීමෙන් පසු විමසා බලන්න. තත්ත්වය එසේ නම්, යම් ප්‍රගතියක් සිදුවී ඇති අතර ඉන් ආභාසයක් ලද හැක. තවදුරටත් ගැටලු පවතින නමුත් මෙමගින් අපට නොකඩවා කටයුතු කිරීම සඳහා වූ ශක්තියක් ලබාදෙනු ලබයි. දේවල් අයහපත් ලෙස සිදුවන දුෂ්කර අවස්ථාවන්හි අපි එතරම් වියවුලට පත් නොවන්නෙමු. සාපේක්ෂව වැඩි වේගයකින් අප‌ට ප්‍රකෘති තත්ත්වයට ආ හැක.

ආභාසය ලබාදෙන මූලාශ්‍රයක් ලෙස අප පිළිබඳවම කථා කිරීමේදී, ප්‍රධාන කරුණ වනුයේ මෙම ආභාසය මගින් මාර්ගය දිගේ නොකඩවා ගමන් කිරීමට අපට ශක්තිය ලබාදෙන බවයි. මක්නිසාද, අප නිවැරදි දිශානතිය කරා ගමන් කරමින් සිටින්නේය යන්න එ්ත්තු යන බැවිනි. නිවැරදි දිශානතිය කරා ගමන් කරන්නේය යන්න එ්ත්තු යනු ඇත්තේ එම දිශානතිය කරා ගමන් කිරීම යන්නෙන් අර්ථවත් වනුයේ කවරක්ද යන්න පිළිබඳ යථාර්ථවාදී අදහසක් ඇත්තේ නම් පමණි - එනම්, එම දිශානතිය කරා ගමන් කිරීමකදී නොකඩවා ඉහළ පහළ ගමන් කිරීමක් සිදුවන්නේය යන්නයි.

මේවා වූකලි එදිනෙදා ජීවිතයට ධර්ම පිළිවෙත් පිරීම එ්කාබද්ධ කරනුයේ කෙසේද යන්න පිළිබඳ යම් පොදු අදහස් කිහිපයකි. එ්වා ප්‍රයෝජනවත් වන්නට ඇතැයි සිතමි. ස්තුතියි.

Top