සතුට උදාකර ගැනීමේ විධික්‍රමයක් වශයෙන් ගැටලුවලින් මිදීමට අදිටන් කරගන්න

තොරතුරු යුගයේ පවත්නා ආතතිය සම්බන්ධයෙන් කටයුතු කරනු පිණිස, සමාජ මාධ්‍ය, පණිවිඩ ආදියද සහිතව අන්තර් ජාලය පරිහරණය කරන ආකාරයන් විමසා බැලිය යුතුවේ. වඩ වඩාත් ආතතියම ඇති කරමින් තමාම පරාජය කරවන්නාවූ පුරුදු හඳුනා ගත් විටදී, අපගේ අසතුටේ මූලය අපගේම සිත තුළ පවත්නක් බව හඳුනා ගත යුතුවේ. ආතතියට පත් නොවී සිටීමෙ අදිටන සහිතව හා ස්වයං විනය, සමාධිය, සතිය හා වෙන්කොට දැකීමේ හැකියාව සහිතව, වඩාත් පැහැදිලි ලෙස හා සන්සුන්ව නවීන ජීවිතයේ අභියෝග සම්බන්ධයෙන් අපට කටයුතු කිරීමට හැකිවනු ඇත.

මහා නගරවල, කුඩා නගරවල හෝ ගම් දනව්වල ජීවත් වුවද, නවීන ලෝකයේ අප සියලු දෙනා ගැටලුවලට මුහුණ දෙන්නෝ වෙමු. බොහෝ අය ඒවා “ආතතිය” යන තනි වචනයට ගොනු කරනු ඇත. තොරතුරු, චිත්‍රපට, රූපවාහිනී මධ්‍යස්ථාන, සංගීතය, සමාජ මාධ්‍ය පෝෂක, ක්ෂණික පණිවිඩ, මාර්ගගත නිර්මාණයන් හා තවත් දේ වශයෙන් බොහෝ දේ ක්ෂණිකවම අප වෙත ලැබෙන විටදී අපට වඩ වඩාත් දේවල් අවශ්‍ය වේ. මතුපිටින් ඒවා අපගේ ජීවිත වැඩිදියුණු කරවන දේ වශයෙන් පෙනී යා හැකි නමුත් විශේෂයෙන් තෝරා ගැනීම් බොහෝ ගණනාවක් පවත්නා විටදී ඒවා මගින් ජීවිතය වඩ වඩාත් සංකීර්ණ හා ආතතිමය තත්ත්වයක් ඇති කරවනු ලබයි. අපට පුවතක් වේවා, විද්‍යුත් තැපැල් පණිවිඩයක් වේවා, ක්ෂණික පණිවිඩයක් වේවා කිසිවක් හෝ මඟ හැර ගැනීමට අවශ්‍ය නැත. එම ක්‍රියාවලියෙන් හැලී යනු ඇතැයි බියකින් අපි පෙළෙන්නෙමු. රූපවාහිනී නාට්‍යයක් වැනි යම් කිසිවක් තෝරා ගත්තද, නැරඹිය යුතුම වන නමුත් අපට මඟ හැරුණු වඩා හොඳ යම් කිසිවක් ඇත්තේය යන සැකයෙන් පිරි සිතින් පසුවන්නෙමු. 

සමාජයට, මිතුරන් කණ්ඩායමකට අයත්ව සිටීමට අපට අවශ්‍ය වේ; අප කෙරෙහි සමාජය තුළින් පිළිගැනීමක් ලැබී ඇත්තේය යන හැඟීම ඇතිවනු පිණිස සමාජ මාධ්‍යයන් වෙත යොමු කරවන දේවලට “කැමතියි” යන්න දක්වන “likes” ලැබෙතැයි අපේක්ෂා කරන්නෙමු. පණිවිඩයක් ලද බව දුරකථනයෙන් පෙන්වන විටදී හෝ තවත් “කැමතියි” පෝස්ටුවක් ලැබී ඇත්තේදැයි පිරික්සනු පිණිස මුහුණු පොත පරීක්ෂා කරන විටදී, අලුතින් යමක් සිදුවී ඇත්තේද යන්න විමසා බලනු පිණිස තවත් එක් වරක් පුවත් පිරික්සීමේදී අපේක්ෂාවෙන් කැළඹිල්ලට පත් වන්නෙමු. අපට කිසිවක් හෝ මඟහැර ගැනීමට අවශ්‍ය නැති නමුත් ඉන් තෘප්තියක් නොලැබෙන බැවින් තව තවත් දේවල් අවශ්‍ය වේ.

අප වටා පවත්නා තත්ත්වය දරා ගැනීමට නොහැකි තරම් බරක් බව දැනෙන අතර අපගේ ජංගම උපකරණ පිරික්සමින් හා මාර්ගයේ ගමන් කරන හෝ වටපිට ගමන් කරන අතරතුර සංගීතයට සවන් දෙමින් ඉන් මිදීමට උත්සාහ කරන්නෙමු. අප වටා පවත්නා දේ සම්බන්ධ යථාර්ථය වසා දමමින් අපගේ පුද්ගලික මවාගත් ලොවට පැන යාමට උත්සාහ කරන්නෙමු. නිරන්තරයෙන් විනෝද වීමේ බලපෑම් සහගත උවමනාවද අපට දැනේ. අනෙක් අතින්, සාමය හා නිහඬතාවයට ඇලුම් කරමින් තවත් අතකින් තොරතුරු, සංගීතය ආදිය නොමැති තත්ත්වයක පවත්නා රික්තකයටද බිය වෙමු. බාහිර ලොව පවත්නා ආතතියෙන් මිදීමට අදිටන් කරගන්නා අපි ඒ අනුව එය අත් හරිමින් අන්තර්ජාලයේ මවාගත් ලොවට පසු බසින්නෙමු. එහි පවා සමාජ මාධ්‍යයන්හි අපගේ “මිතුරන්” යයි පැවසෙන අයගේ සමාගමය හා අනුමැතිය අපේක්ෂා කරන අතර ඒ අනුව කිසි විටෙකුදු ආරක්ෂිත බවක් නොදැනේ. එසේ වුවද, විසඳුම අපගේ ජංගම උපකරණ වෙත පැන යාමද?

මෙකී පුරුදු කරගත් දින චරියාවනට ඇලී එහි මූලාශ්‍රයන් හඳුනා ගන්නා විටදී අත් විඳින අසතුට හඳුනාගත යුතුය. මෙම අසතුටෙහි මූලාශ්‍රයන්ගෙන් මිදීමේ විධික්‍රම දනිමින් ඒවා ක්‍රියාත්මක වන බව දැන සිටීම මත පදනම්ව මෙම අසතුටින් මිදීමේ අදිටන ගොඩනගා ගත යුතුය. එසේ වුවද, කිසිවක් නොමැති තත්ත්වයකට පත් වීමටද අපි අකමැත්තෙමු. අපට සතුටින් සිටීමටද අවශ්‍ය වේ. සතුට යනු හුදෙක් අසතුට නොමැති තත්ත්වය නොවේ; එය වූකලි අසතුටින් මිදීමේ උදාසීන, දේවල් නොදැනෙන ස්වභාවයට අතිරේක වූ දෙයකි.

Top