ආචාර ධාර්මික ස්වයං විනය පිළිබඳ පරිපූර්ණත්වය: ශීල පාරමිතා

විනය යන වදන තුළ ඇතැමුන් හට පාසැලේදී තමා රඳවා තබාගත් අවස්ථාවන් පිළිබඳවද, තවත් ඇතැමුන් හට ආහාර පාලනයන් පිළිබඳවද චිත්ත රූප මැවිය හැක. බුදු දහමේ ස්වයං විනය තුළින්, අපගේ චර්යාවන් හරහා අප මෙන්ම අන්‍යයන් වෙතද ඇති කරන බලපෑම පිළිබඳ දැනුවත් වීමට අවකාශ සලසනු ලබයි. අපවම සීමා කරගනු වෙනුවට, ආචාර ධාර්මික ස්වයං විනය අනුගමනය කිරීම මගින් අප මෙන්ම අප වටා සිටින්නන් වෙතද බොහෝ සෙයින් ප්‍රයෝජනවත් ජීවිත ගත කිරීමට අවශ්‍ය නිදහස ලබාදෙනු ලබයි.

 හැඳින්වීම

බල සම්පන්න ආකල්ප (පාරමිතා) සය අතර දෙවැන්න වනුයේ ආචාර ධාර්මික ස්වයං විනයයි. මේ වූකලි යම් සංගීත භාණ්ඩයක් ඉගෙනීම හෝ ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු වීම සඳහා අවශ්‍ය වන්නාවූ ශික්ෂණය නොව අපගේ ආචාර ධාර්මික චර්යාව හා සම්බන්ධ දෙයකි. එය වෙනත් පුද්ගලයෙකු මත පොලිස් නිලධාරියෙකු මෙන් කරන බලපෑමක්, ඔබගේ බල්ලා පුහුණු කිරීමක් හෝ යුද හමුදාවේ පුද්ගලයන් පාලනය කිරීම වැනි දෙයක්ද නොවේ. අපි අපගේම විනය පිළිබඳව කථා කරන අතර එහි වර්ග තුනක් පවතී.

පාප ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම

ආචාර ධාර්මික ස්වයං විනයේ දෙවන වර්ගය වනුයේ අප ක්‍රියා කරන, කථා කරන හා සිතන ආකාරයට සම්බන්ධ පාප ක්‍රියාවන්ගෙන් වැළකී සිටීමයි. මින් අදහස් කෙරෙනුයේ පොදුවේ පර පණ නැසීම, සොරකම් කිරීම, මුසා බස් පැවසීම වැනි දසවිධ පාප ක්‍රියාවන්ගෙන් වැළකී සිටින බවයි. අපගේ ආධ්‍යාත්මික සංවර්ධනයට බාධක වන්නාවූ චර්යාවන්ගෙන් වැළකී සිටීම සඳහා වූ සිකපද පිළිපදින්නේ නම් මෙම සිකපද පිළිපදින්නේ වේ.

ඇතැම් පාප ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම පිළිබඳ කථා කරන විටදී, එම ක්‍රියා වර්ග දෙකක් වේ. එකක් වනුයේ පරපණ නැසීම හා සොරකම් කිරීම වැනි පහසුවෙන් වටහාගත හැකි ස්වභාවිකවම පාපකාරී චර්යාවයි. ඉන්පසු ස්වභාවිකවම හානිකර නොවන්නාවූ නමුදු ඇතැම් පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ ඇතැම් අවස්ථාවන් සම්බන්ධයෙන් වැළකී සිටීම යහපත් යැයි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද චර්යාවන් වේ. නිදසුනක් ලෙස, භික්ෂු, රාත්‍රී ආහාර ගැනීම භික්ෂුණීන් හට නොකළ යුත්තක් වුවද මෙය සියල්ලන් කෙරෙහි අදාල නොවේ. මෙම නියමය පැනවෙනුයේ භාවනා කිරීම සඳහා යෝග්‍ය නිරවුල් සිතක් රාත්‍රී කාලයේ හා උදෑසන පවත්වාගෙන යාමට අවශ්‍ය නම් රාත්‍රී ආහාරය නොගැනීම වඩා යහපත්ය යන සාධකය මත පදනම්වය. තවත් නිදසුනක් ලෙස භික්ෂු, භික්ෂුණීන් හට හිස බූගා දැමීමට නියම කිරීම දැක්විය හැක. මක් නිසාද, එසේ කොණ්ඩා වැවීම මගින් සිය රූප සෝභාව පිළිබඳ ඇල්මක් ඇතිවන අතර, නිරතුරු සිය රූ සපුව පවත්වාගෙන යාම පිණිස කාලය වැය කිරීමට සිදුවිය හැකි බැවිනි. පැහැදිලිවම මෙම උපදේශයද සියල්ලන් සඳහා අදාල වූවක් නොව, භික්ෂු, භික්ෂුණීන් හට අදාල වූවකි.

පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වීම

දෙවන වර්ගයේ ආචාර ධාර්මික ස්වයං විනය වනුයේ බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය වන ධනාත්මක බලය ගොඩ නගන්නාවූ ධනාත්මක, පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වීමයි. මින් අදහස් කෙරෙනුයේ දේශනාවලට සවන් දෙමින් ධර්මය අධ්‍යයනය කිරීම, මෙනෙහි කිරීම හා ඒ පිළිබඳ භාවනාවන්හි නිරත වීම සිදුකොට වන්දනය, පූජා ආදී වශයෙන් වූ උසස් තන්ත්‍ර පිළිවෙත් සඳහා අවශ්‍ය මූලික කරුණු මෙනෙහි කිරීමයි.

නැවතද ප්‍රකාශ කළ යුත්තේ ආචාර ධාර්මික ස්වයං විනය යනු සැබෑ චර්යාවට වඩා චිත්ත ස්වභාවයක් වන බවයි. ඒ වූකලි අප ධනාත්මක දේවල නිරත වන අතර, පාපකාරී හා නුසුදුසු චර්යාවන්ගෙන් වළකින බවට සහතික වෙමින් අප හැසිරෙන ආකාරය හැඩ ගස්වමින් අපගේ සිත් තුළින් පැන නගින්නාවූ විනයයි. මෙම විනයෙන් තොර වුවහොත් අපි මුළුමනින්ම පාලනයෙන් බැහැර වන අතර පහසුවෙන්ම කැළඹිලිකාරී  භාවයන්ගේ බලපෑමට යටත් වේ.

ආචාර ධාර්මික ස්වයං විනය වෙන්කොට දැකීමේ හා වෙන්කොට දැකීමේ දැනුවත්භාවය මත පදනම් වේ. පාපකාරී ක්‍රියාවන්ගෙන් වළකිනු පිණිස, පාපකාරී ක්‍රියාවන්හි අවාසි සහගත පැතිකඩ පිළිබඳ වෙන් වෙන් වශයෙන් දකිමින් ඒ පිළිබඳ තීරණාත්මක තත්ත්වයක පසු වන්නෙමු. පුණ්‍ය ක්‍රියාවන්හි නිරත වීමෙන් භාවනාවේ, මූලික පිළිවෙත් පූරණයේ ආදී කාර්යයන්හි ප්‍රයෝජන වෙන්කොට දකින්නෙමු. වෙන්කොට දැකීමත් සමගින් ක්‍රියා කළ යුතු ආකාරය නිරායාසයෙන් දැනෙන අතර ඒ පිළිබඳ විශ්වාසයක් ඇතිවේ.

අන්‍යයන් වෙත ප්‍රයෝජන සලසනු පිණිස කටයුතු කිරීම

තෙවන වර්ගයේ ආචාර ධාර්මික ස්වයං විනය වනුයේ සත්‍ය වශයෙන්ම අන් අයට ප්‍රයෝජන සලසමින් උපකාර කිරීමයි. මෙහිදී, අන්‍යයන් වෙත උපකාර කිරීමේ හා එසේ කරන්නට සිත් නොදෙන හෝ නිශ්චිතව යමෙකු කෙරෙහි නුරුස්නා බවක් පවත්නා බැවින් ඔවුනට උපකාර නොකිරීමේ තත්ත්වයෙන් වැළකීමේ ප්‍රයෝජන වෙන්කොට දකින්නෙමු.

අන්‍යයන් හට උපකාර කිරීමේ කරුණට අදාල බොහෝ පැතිකඩයන් පවත්නා නමුත් පොදුවේ “අන්‍යයන් අපගේ ධනාත්මක බලපෑම යටතට ඒකරාශි කිරීමේ විධික්‍රම සතර” ලෙස හැඳින්වෙන කාර්යයෙහි නිරත වීමේ ශික්ෂණය අප සතුවේ. වෙනත් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම්, අන්‍යයන් වෙත තවදුරටත්, වඩාත් ගැඹුරින් කරුණු ඉගැන්විය හැකිවන පරිදි ඔවුන් අප ප්‍රකාශ කරන දේ භාරගන්නා අයුරින් කටයුතු කරන්නෙමු.

මෙම සතර විධිය වනුයේ:

  1. ත්‍යාගශීලී වීම
  2. මිහිරි ලෙස කථා කිරීම
  3. අන්‍යයන් ඔවුන්ගේ ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ දිශාවට යොමු කිරීම
  4. මෙම ඉලක්ක තුළ ස්ථිරව සිටීම

යන ඒවායි.

බලවත් ආකල්ප සය පිළිබඳ දේශනාවන් තුළ උත්සාහ කොට, උපකාර කොට, ප්‍රයෝජන සැලසීම පිණිස සුවිශේෂී උත්සාහයක් දැරිය යුතුවන පුද්ගල වර්ග 11ක් නිශ්චිතව දක්වනු ලබයි. එය හුදෙක් ලැයිස්තුවක් පමණක් නොව, ඔවුන් හමුවන විටදී මඟ හැරීමකින් තොරව සැබෑ ලෙසම උපකාර කිරීම සඳහා වූ ඉතා නිශ්චිත උපදේශයක් වශයෙන් ගත යුතුය. එම පුද්ගල වර්ග 11 පහත පරිදි වේ:

  1. දුක් විඳන්නන්
  2. තමාටම උපකාර කරගන්නා ආකාරය විෂයයෙහි වියවුලට පත්ව සිටින්නන්
  3. අපට උපකාර කළ අය
  4. බියෙන් පිරි පුද්ගලයෝ
  5. මානසික තැවුලෙන් මැඩි අය
  6. දුප්පත් හා අවශ්‍යතාවයන්ගෙන් පිරි අය
  7. අප කෙරෙහි බැඳීමක් ඇති අය
  8. ඔවුන්ගේ පැතුම් ප්‍රකාර අප විසින් උපකාර කළ හැකි අය
  9. සෘජු ජීවිත ගත කරන්නන්
  10. පාපකාරී ජීවිත ගත කරන්නන්
  11. අප සතු යම් සුවිශේෂී හැකියාවක් වේනම් ඒවායින් ප්‍රයෝජනයක් ඇති අය.

අචාර ධාර්මික ස්වයං විනය පිළිබඳ ශාන්තිදේවයන්ගේ දේශනාව

බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම නමැති කෘතියෙහි පරිච්ඡේද දෙකක ශාන්තිදේවයන් විසින් ආචාර ධාර්මික ස්වයං විනය පිළිබඳ සාකච්ඡා කරනු ලබයි. “සැලකිලිමත් වීමේ ආකල්පය” නමැති පළමු පරිච්ඡේදය ආචාර ධාර්මික ස්වයං විනයෙහි පදනම වේ. එහිදී අපි අපගේ චර්යාවෙහි ප්‍රතිඵලය පිළිබඳ සැලකිලිමත් වන අතර කැළඹිලිකාරී භාවයන්ගේ බලපෑමට යටත් නොවීම පිළිබඳවද සැලකිලිමත් වන්නෙමු. වෙනත් පුද්ගලයන් තුළද හැඟීම් පවතින අතර, අප පාප ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඉන් ඔවුනට වේදනා ගෙන දෙන්නේය යන කරුණ බරපතල සේ සලකන්නෙමු. අපගේ හැසිරීම මගින් මතු අප වෙතම ඇති කෙරෙන ප්‍රතිවිපාක පිළිබඳ සැලකිලිමත් වෙමු. මේ සියල්ල තුළින් ආචාර ධාර්මික ස්වයං විනයට අදාල පදනම නිර්මාණය කරනු ලබයි. අපි සැබැවින්ම අන්‍යයන් වෙත වේදනා ගෙනදෙන්නේ නම් හෝ අපගේම අනාගතය පිළිබඳ සැලකිලිමත් නොවන්නේ නම් එවිට ආචාර ධාර්මිකව හැසිරීමේ කිසිදු අවශ්‍යතාවයක් අපට නොදැනෙනු ඇත. 

බොහෝ භාෂාවන්හි මෙම සැලකිලිමත් ආකල්පය යනු පරිවර්තනය කිරීම ඉතා දුෂ්කර වචනයකි. සැලකිලිමත් වන අතරම ඒ හේතුකොටම අප ක්‍රියා කරන ආකාරය පිළිබඳ ප්‍රවේශම් සහගත වීම එයට ඇතුළත් වන නමුත් අපගේ හැසිරීම තුළින් අප හා අන් අය වෙතද ඇති කෙරෙන බලපෑම බරපතල ලෙස සලකා බලමින් ඉන් ඇතිවන ප්‍රතිඵලයද ඉන් ඇඟවේ.

මාතෘකාව සඳහා ශාන්තිදේවයන් වෙන් කරන දෙවන පරිච්ඡේදය තුළ සතිය හා සුපරීක්ෂාව පිළිබඳ සාකච්ඡා කෙරේ. සතිය යනු කැළඹිලිකාරී භාවයනට අවනත නොවී විනය ග්‍රහණය කොට පවත්වාගනු ලබන චිත්ත ස්වභාවයයි. වෛද්‍යවරයා නියම කරන ලද ආහාර මිලදී ගැනීමට යන විටදී බේකරියක් පසුකොට යන අතර අපගේ ප්‍රියතම කේක් වර්ගය එහි දකින නමුත් කෙසේ හෝ ඉවසා එය පසුකර යාමට කටයුතු කරන්නාක් මෙන් විනය කෙරෙහි අප අලවා තබන මානසික මැලියම එයයි. අපි අපගේ ආහාරය අත නොහරින්නෙමු: “මාගේ කෑදරකම හා ලෝභයට යටත්ව එම කේක් ගෙඩිය මිලදී නොගනිමි”. මෙසේ සිදුවනුයේ සතිය හේතුවෙන් වන අතර එය ආචාර ධාර්මික විනය විෂයයෙහි ඉතා වැදගත් වේ. “කමක් නෑ, පුංචි කේක් කෑල්ලක් කෑවට මොකද” ඈ ලෙස අපගේ ආහාර චර්යාවෙන් පිටතට ඇදී යාමට පෙළඹීමක් ඇතිවන විටදී සුපරීක්ෂාව තුළ අපි එය හසුකර ගන්නෙමු. පිටතට පැනීමෙන් වැළකී අපගේ ස්වයං විනයට නැවත ගමන් කරන පරිදි අපගේ සුපරීක්ෂාව මගින් අභ්‍යන්තර අනතුරු ඇඟවුම් සීනුවක් නාද කරවනු ලබයි. මෙම දේවල් පිළිබඳ ප්‍රවේශම් විය යුතුවේ. සතිය හා සුපරීක්ෂාව යනු ආචාර ධාර්මික ස්වයං විනය සඳහා වූ ආධාරක වේ. අපට අපගේ විනය පවත්වා ගනිමින් පසු කාලීනව සමාධිය වඩවා ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි මෙවලම් වේ.

අවසන, සතිය ගොඩනගා පවත්වාගෙන යාම සඳහා උපකාරී වන සාධක තුනක් ශාන්තිදේවයන් විසින් පෙන්වා දෙනු ලබයි:

  • අපගේ ආධ්‍යාත්මික ගුරුවරයන්ගේ සමාගමයෙහි රැඳී සිටීම. එසේ කළ නොහැක්කේ නම්, අපි ඔවුන් ඉදිරිපිට සිටින්නේ යැයි සිතන්න. අපි ඔවුන්ගේ ඉදිරිපිට සිටින්නේ නම්, ඔවුන් කෙරෙහි පවත්නා ගෞරවය හේතුකොට මෝහයෙන් හා පාපකාරී ලෙස කටයුතු නොකරනු ඇත. “මම මගේ ගුරුවරයා ඉදිරිපිට මේ විදිහට හැසිරෙනවද, මේ විදිහට කථා කරනවද?” ලෙස සිතීම යහපත්ය. එසේ නොකරන්නේ නම්, ශාන්තිදේවයන්ගේ උපදෙස වනුයේ “හුදෙක් ලී කොටයක් සේ පවතින්න” යන්නයි. හුදෙක් එය නොකර සිටින්න. එමගින් අපට අපගේ සතිය පවත්වාගෙන යාමට උපකාරයක් ලැබේ. පැහැදිලිවම අපි අපගේ ගුරුවරයා සමගින් රාත්‍රී ආහාරය ගනිමින් සිටින්නේ නම්, අපි අපගේ මුහුණ පුරා කේක් තවරාගෙන තවෙකෙකුට කෑමොර දීම ආදිය සිදු නොකරනු ඇත.
  • අපගේ ගුරුවරයාගේ උපදේශය හා ඔවදන අනුගමනය කරන්න. ඔවුන් ප්‍රකාශ කළ දේ සිහි තබා ගැනීමට උත්සාහ කිරීම තුළින් අපව සතිමත්ව තබනු ලබයි.
  • සතිමත් නොවීමේ ප්‍රතිවිපාකයන් පිළිබඳ බිය වන්න. ඉන් අදහස් වනුයේ අප බියවී ත්‍රස්ත වී ඇති බවක් නොව ස්වයං අභිමානය හා ස්වයං වටිනාකම පිළිබඳ හැඟීම මත පදනම්ව සතිමත් නොවීමේ ප්‍රතිඵල අත් විඳීමට අපට අවශ්‍ය නොවන බවයි. කෝපය, ලෝභය ආදියේ බලපෑමට යටත්ව කටයුතු කිරීමෙන් හුදෙක් පහතට ඇද වැටීමට අපට අවශ්‍ය නොවන්නේය යන ධනාත්මක ආකල්පය සහිතව අපි අප පිළිබඳවම ප්‍රමාණවත් පරිදි සිතන්නෙමු.

ඉහත කරුණු හා සමාන්තරවම, අපගේ ආධ්‍යාත්මික ගුරුවරුන් කෙරෙහි බිය මුසු ගෞරවයක්ද ගොඩනගාගත යුතුවේ. “බිය මුසු ගෞරවය” යන්න තරමක් අවබෝධ කරගැනීමට දුෂ්කර වදනකි. ඉන් අදහස් වනුයේ කිසිසේත් අපගේ ආධ්‍යාත්මික ගුරුවරුන් අපට බැණ වදිනු ඇතැයි සිතමින් ඔවුන් කෙරෙහි බියවීමක් නොවේ. බිය මුසු ගෞරවය යන්නෙන් ඇඟවෙනුයේ අපගේ සෘණාත්මක චර්යාවන් හේතුකොට ඔවුන්ගේ නාමය කැළැල් වනු ඇතැයි යන බියක් එමගින් ඇතිවන තරමට අපි අපගේ ආධ්‍යාත්මික ගුරුවරුන්ට හා බුදු දහමට ගරු කරන බවයි. අප නිසා අන් අය “මේ ගුරුවරයගෙ සිසුන් හැසිරෙන්නේ මෙහෙමනෙ” හෝ “ඔයා බෞද්ධයෙක් කියල නේද කියන්නෙ? ඒ වුණත් ඔයා බීමතින් රණඩු කරමින් නිතරම කෝපයෙන් සිටින කෙනෙක්” වැනි සිතිවිලි ඇතිකර ගැනීම හේතුවෙන් තත්ත්වය කෙතරම් අප්‍රසන්න වනු ඇත්ද යන කරුණ තුළ අපි බිය වන්නෙමු. බිය මුසු ගෞරවය හා ගරු කිරීමේ හැඟීමක් සහිතව අපි අපගේ සතිය පවත්වා ගනිමින් ආචාර ධාර්මික විනයට අනුකූලව කටයුතු කරමු.

සාරාංශය

අපගේ ජීවිතවල ප්‍රගතියක් ලබාගැනීමෙහි ලා විනය යනු ආශ්චර්යමත් ලෙස වැදගත් වූ මූලිකාංගයක්ය යන කරුණ අප සියලු දෙනා අත්දැක ඇත. හෝඩිය ඉගෙනීම වේවා, විභාග සඳහා අධ්‍යයන කටයුතු කිරීම වේවා, සිරුරේ බර අඩුකර ගැනීම සඳහා වූ ව්‍යායාම වේවා විනයකින් තොරව කිසිදු ප්‍රගතියක් ලැබීම දුෂ්කර කාර්යයක් වේ.

මාර්ගය තුළ යම් ප්‍රගතියක් ලැබීම උදෙසා අපගේ හැසිරීමේ ශික්ෂණයක් අවශ්‍ය වන බෞද්ධ පිළිවෙත් පූරණය සම්බන්ධවද එම කරුණ අදාල වේ. අපි අප පිළිබඳව හා අන්‍යයන් පිළිබඳවද සැලකිලිමත් වන්නේ නම්, ආචාර ධාර්මික ස්වයං විනය වූකලි දුරස්ථ අදහසක් නොව ස්වභාවිකවම සාමාන්‍ය දැනුමට අදාල කරුණකි. පුණ්‍ය චර්යාවන් ප්‍රවේශමෙන් වගා දිගා කරගනිමින් හා අන්‍යයන් වෙත හානි නොකිරීම සඳහා හැකි පමණ උත්සාහ කිරීමෙන් වඩාත් ප්‍රීතිමත් වර්තමානයක් හා වඩාත් ප්‍රීතිමත් අනාගතයක් සඳහා වූ පදනම සහ හේතු සාධක නිර්මාණය කරන්නෙමු.

Top