බුදු දහමේ කාන්තාවෝ: භික්ෂුණී ශාසනය නැවත පිහිටුවීම

පුරාණ කාලයේ ඇතැම් විට ස්ත්‍රී/පුරුෂ සමාජභාවයට අදාළ වෙනස්කම් එතරම් වැදගත් නොවන්නට ඇත. කෙසේ වුවද, ශිෂ්ටාචාරය සංවර්ධනය වීමත් සමගින් සමාජයන් එ්වාහි සතුරන්ගෙන් ආරක්ෂා කරගනු වස් ශක්තිය හා බලය යන කරුණුවලට පැවරී තිබූ තීරණාත්මක කාර්ය භාරය  වඩ වඩාත් වර්ධනය වන්නට විය. අවසන, ඉහළ ශාරීරික ශක්තිය හේතුකොට පුරුෂයන් විසින් ආධිපත්‍යය පතුරුවන ලදී. පසු කාලීනව, අධ්‍යාපනය හා බුද්ධිය විසින් වඩාත් වැදගත් කාර්ය භාරයක් ඉටු කරන ලද අතර, මේ ආශ්‍රිතව ස්ත්‍රී-පුරුෂ විවිධත්වයක් නොපැවතිණි. කෙසේ වුවද වර්තමානයේ ගැටුම් නිරාකරණය හා සෙසු ගැටලුවලට අදාළව වඩාත් තීරණාත්මක කාර්යභාරය ඉටු කරනු ලබන්නේ ආදරය හා සෙනෙහස විසිනි. අධ්‍යාපනය හා බුද්ධිය පාලනය කිරීමට හා එ්වා හානිකර අරමුණු උදෙසා භාවිත කිරීමෙන් වැළකීමට මෙම ගුණාංග දෙක අවශ්‍ය වේ. මෙලෙසින්, ඇතැම් විට ජීව විද්‍යාත්මක සාධක කරණකොට ආදරය හා සෙනෙහස කාන්තාවන් විසින් පුරුෂයනට වඩා පහසුවෙන් ගොඩනගාගන්නා බැවින් කාන්තාවන් විසින් මේවන විට වඩාත් කේන්ද්‍රීය කාර්යභාරයක් භාරගත යුතුව පවතී. දරුවන් සිය කුස තුළ දරා සිටීම හා සාමාන්‍යයෙන් අලුත උපන් ළදරුවන්ගේද මූලික භාරකරුවන් වීම හේතුකොට මෙය එසේ ඉස්මතු වේ.

පුරුෂයන් ශාරීරිකව වඩාත් දබරකාරී චර්යාවන් සඳහා සන්නද්ධව සිටිනා බවක් පෙනීයන බැවින් සම්ප්‍රදායිකව යුද කටයුතු සිදුකරන ලද්දේ මූලික වශයෙන්ම පුරුෂ පාර්ශ්වය විසිනි. අනෙක් අතින් කාන්තාවෝ අනෙකාගේ අපහසුතා හා වේදනාවන් කෙරෙහි වඩාත් සැලකිලිමත් හා සංවේදී නැඹුරුවක් සහිත වූවෝ වෙති. කලහකාරිත්වය හා කාරුණිකත්වය විෂයයෙහි කාන්තාවන් හා පුරුෂයන් තුළ සමාන විභවයන් පවත්නා නමුදු එම ගුණයන් දෙකින් වඩාත් පහසුවෙන් ප්‍රදර්ශනය වනුයේ කවරක්ද යන්න විෂයයෙහි ඔවුන් අතර වෙනස්කමක් මතුවේ. මේ අනුව, ලෝක නායකයන්ගෙන් බහුතරයක් කාන්තාවන් වී නම්, ඇතැම් කාන්තාවන් අමාරුකාරියන් විය හැකි නමුදු ගෝලීය ගැටලු හා සම්බන්ධයෙන් කථා කරන විටදී ඇතැම් විට පවත්නා යුද අවදානම් අවම වී වැඩි අන්තර් සහයෝගිත්වයක් ලෝකය තුළ පැවතිය හැක. ස්ත්‍රීවාදීන් කෙරෙහි මාගේද පිළිගැනීමක් පවත්නා නමුදු ඔවුන් විසින් හුදෙක් හඬ නැගීම් පමණක් සිදුකිරීම ප්‍රමාණවත් නොවේ. ඔවුන් විසින් සමාජයට ධනාත්මක දායකත්වයක් ලබාදෙනු පිණිස යම් ප්‍රයත්නයක නිරත විය යුතුය. 

ඇතැම් අවස්ථාවන්හි ආගම තුළ පුරුෂ පාර්ශ්වයේ වැදගත්කම අවධාරණය කෙරී ඇත. කෙසේ වුවද බුදු දහම තුළ භික්ෂු, භික්ෂුණී ශික්ෂාපද වශයෙන් එන ඉහළම ශික්ෂාපද සමාන වන අතර, එ්වාහි සමාන හිමිකම් ප්‍රදානය කෙරේ. සමාජ චාරිත්‍ර විධි හේතුකොට ඇතැම් චාරිත්‍රමය ක්ෂේත්‍රයන් තුළ භික්ෂූන් මුල් තැන ගත්තද සැබෑ තත්ත්වය මෙයයි.  බුදුන් වහන්සේ විසින් සංඝයා වහන්සේ දෙපිරිසටම මූලික අයිතිවාසිකම් ලබාදෙන ලදී. භික්ෂුණී පැවිද්ද පුනර්ජීවනය කළ යුත්තේද, නැත්ද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමෙහි පලක් නොමැත; ප්‍රශ්නය වනුයේ විනය සන්දර්භය තුළ එකරුණ නිසි පරිදි සිදු කරනුයේ කෙසේද යන්න පමණි.

ශාන්තරක්ෂිතයන් විසින් තිබ්බතය තුළ මූලසර්වස්තිවාද භික්ෂු පැවිද්ද හඳුන්වා දෙන ලදී. කෙසේ වුවද, උන් වහන්සේගේ පාර්ශ්වයේ සියලු භාරතීයයන් පුරුෂයන් වූ අතර, භික්ෂුණි පැවිද්ද සඳහා සංඝයා වහන්සේ දෙනමක් අවශ්‍යවන බැවින්, උන් වහන්සේට භික්ෂුණී ශාසනය පිහිටුවීමට නොහැකි විය. පසු කාලීනව, ඇතැම් තිබ්බත ලාමාවරුන් විසින් සිය මව්වරුන් භික්ෂුණීන් ලෙස පැවිදි කරවන ලද නමුදු විනය විග්‍රහයට අනුව මේවා නිර්ව්‍යාජ ප්‍රවෘජ්‍යාවන් ලෙස නොසැලකිණි. බොහෝ භික්ෂුණී ආරාමයන්හි අධ්‍යාපන මට්ටම භික්ෂු ආරාමයන්හි අධ්‍යාපන මට්ටම දක්වාම උසස් කළ යුතුය යන හැඟීමක් 1959 පටන් මා තුළ පැවතිණි. එනමුදු භික්ෂුණී පැවිද්ද ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් සලකා බලන කල, මා හට තනිව කටයුතු කළ නොහැක. මෙම ප්‍රශ්නය විනයට අනුව තීරණය කළ යුත්තකි.

දැන් අපට තවදුරටත් භික්ෂුණී පැවිද්ද පවත්නා චීන, කොරියානු හා වියට්නාම් සම්ප්‍රදායන් වැනි සෙසු බෞද්ධ සම්ප්‍රදායන් සමගින් මෙම ප්‍රශ්නය සාකච්ඡා කිරීමේ අවස්ථාවක් උදාවී ඇත. ධර්මගුප්තක සම්ප්‍රදායට අනුව මේවන විටද තිබ්බත කාන්තාවන් විසි හතර දෙනෙකු පමණ එ්වාහි  භික්ෂුණී පැවිද්ද ලබා ඇත. ඔවුන් මේවන විට භික්ෂුණීන් වහන්සේලාය යන කරුණ කිසිවෙකු වෙතින් හෝ ප්‍රතික්ෂේප වී නොමැත.

පසුගිය වසර තිහක කාල පරිච්ඡේදය පුරා අප විසින් මූලසර්වස්තිවාද හා ධර්මගුප්තක විනය කෘතීන් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර ඇත. සංස්කෘත පදනම්ගත මෙම සම්ප්‍රදායන් දෙක තුළම මෙන්ම පාලි සම්ප්‍රදායන් තුළද විනය හමුවන බැවින් මෙකරුණ සාකච්ඡා කොට සිය අත්දැකීම් බෙදාහදා ගනු පිණිස විනය සම්ප්‍රදා තුනේම ජ්‍යෙෂ්ඨ සංඝයා වහන්සේ එ්කරාශි වීම ප්‍රයෝජනවත් වේ. දැනටමත් භික්ෂුණී පැවිද්ද ශ්‍රී ලංකාව තුළ ප්‍රති-ස්ථාපනය වී ඇති අතර, තායිලන්තයේද එය එසේම සිදු කිරීමේ අභිලාෂයක් පවතී. අපට ශාන්තරක්ෂිතයන්ගේ දෝෂයට යම් දිනෙක පිළියම් යෙදීමට හැකිවනු පිණිස වැඩිදුර පර්යේෂණ සිදු කිරීම ප්‍රයෝජනවත් වනු ඇත. කෙසේ වුවද, තනි පුද්ගලයෙකු වශයෙන් මා හට මෙම කරුණ පිළිබඳ තීරණයක් ගැනීමේ බලයක් නොමැත. එය විනය කාර්ය පරිපාටි හා අනුගත නොවනු ඇත. මා හට බලය පවත්නේ පර්යේෂණ ආරම්භ කිරීමට පමණි.

ධර්මගුප්තක භික්ෂුණී පැවිද්ද ලැබූ තිබ්බතීයයන් හා බටහිර ජාතීන්ද ධර්මගුප්තක භික්ෂූන් වශයෙන් පිළිගෙන හඳුනා ගන්නෙමු. ගැටලුව පවත්නේ මෙහි නොවේ. ගැටලුව පවත්නේ මූලසර්වස්තිවාද විනය කෘතීන් ප්‍රකාර භික්ෂුණීන් පැවිදි කිරීමේ මඟ සොයා ගැනීමයි. එකරුණ පිළිබඳ මේ මොහොතේ විමසා බලනු පිණිස ජීවමාන බුදුවරයෙකු සිටිය යුතුවේ. මා බුදුවරයෙකු වී නම්, මා හට තීරණය කළ හැකිව තිබිණි; එනමුදු තත්ත්වය එය නොවේ. මම බුදුවරයෙකු නොවෙමි. ඇතැම් කරුණු කාරණා පිළිබඳව ආඥාදායකයෙකු ලෙස කටයුතු කළ හැකි නමුදු මා හට විනය සම්බන්ධ කරුණුවලදී එසේ කළ නොහැක. උපෝසථ හෙවත් මාස දෙකකට වරක් සිදුකරන ඇවැත් දෙසීම, වස්සෝපනයික හෙවත් ග්‍රීෂ්ම සෘතුවල වස් වැසීමේ කටයුතු ස්ථාපනය,  වස් පවාරණය හෙවත් ග්‍රීෂ්ම සෘතුවල වස් වැසීමේ කාර්යය අවසන් කිරීම නමින් එන සංඝ චාරිත්‍ර තුන ඉටු කරනු පිණිස ධර්මගුප්තක සම්ප්‍රදාය තුළ පැවිදි වූ තිබ්බතීය භික්ෂුණීන් කණ්ඩායම් වශයෙන් රැස්විය යුතු බවට පමණක් මා හට පැනවිය හැක. එනමුදු පැවිදි කිරීමේ උත්සවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සම්බන්ධයෙන් ගත්කල, මෙය වෙනම කරුණකි. මෙය එසේම සිදු වේවාය යන පැතුම මා හට තබාගත හැකි නමුත්, එ් සඳහා ජ්‍යෙෂ්ඨ භික්ෂූන්ගේ සම්මුතියක් අවශ්‍ය වේ. ඔවුන් අතරින් ඇතැමෙකු විසින් දැඩි විරෝධය පළකර ඇත. එ්කමතික එකඟතාවයක් නොපැවතීම පවත්නා ගැටලුවයි. කෙසේ වුවද, මෙම සංඝ චාරිත්‍ර තුන සම්බන්ධයෙන් ධර්මගුප්තක සංස්කරණයන් ලෙස එන මෙම කෘතීන් කඩිනමින් තිබ්බත බසට පරිවර්තනය කරවිය හැක. කිසිවෙකුට හෝ එයට විරුද්ධ විය නොහැක.

සෙසු පැතිකඩ අප විසින් වැඩිදුර සාකච්ඡා කළ යුතුව පවතී. සෙසු බෞද්ධ සම්ප්‍රදායන්හි සංඝයා වහන්සේ වෙතින් ලැබෙන සහයෝගය වැදගත් වන අතර එබැවින් මෙම රැස්වීම එම ක්‍රියාවලියේ ප්‍රයෝජනවත් අදියරක් වේ. ඊළඟ පියවරක් වශයෙන්, ජාත්‍යන්තර සංඝ ජ්‍යෙෂ්ඨයන්ගේ මෙම කණ්ඩායමට ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කරමි. මූලසර්වස්තිවාද භික්ෂුණී පැවිද්ද ප්‍රතිස්ථාපනයට විරුද්ධ වන්නාවූ එම පටු අදහස් සහිත තිබ්බතීය ජ්‍යෙෂ්ඨයන් සමග ඔවුන් විසින් මෙකරුණ සාකච්ඡා කරත්වා.

බුදුන් වහන්සේ අද දින මෙහි වැඩ සිටියේ නම් උන් වහන්සේ විසින් නිසැක වශයෙන්ම සිය අවසරය ලබාදෙනු ඇත. එනමුදු මා හට බුදුන් වහන්සේ ලෙස කටයුතු කළ නොහැක. අටවන සියවසේ සිටම භික්ෂු සංඝයා තිබ්බතයේ වැඩ සිටි නමුදු සංඝ චාරිත්‍ර ත්‍රය ඉටු කරන්නාවූ භික්ෂුණීන් අප අතර කිසිදින සිට නොමැති බැවින් මෙය සිදුවනු ඇත. එනමුදු පැවිද්ද පිළිබඳ තීරණ ගැනීමට මෙය වේලාසන වැඩිය.

මෙම භික්ෂුණී සංඝ චාරිත්‍ර මෙම වසර තුළ ආරම්භ කිරීම දුෂ්කර විය හැකි නමුත් ඊළඟ වසර වනවිට අපට එය ආරම්භ කළ හැකිවිය යුතුය. භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය මේවන විටද චීන බසින් තිබ්බත බසට පරිවර්තනය වී ඇත. එය පිටු තිහ හතලිහකින් සමන්විත කෘතියකි. තිබ්බත ධර්මගුප්තක භික්ෂුණීන් හට එය කට පාඩමින් ඉගෙනීමට සිදුවේ. එනමුදු ත්‍රිවිධ සංඝ චාරිත්‍ර සඳහා වූ සැබෑ චාරිත්‍ර කෘතීන් පරිවර්තනය කළ යුතුව පවතී.

තිබ්බත භික්ෂුණීන්ද මූලසර්වස්තිවාද භික්ෂුණීන් සෙයින් පැවිද්ද ලබාගැනීමට අපේක්ෂා කළ හැකි නමුදු ධර්මගුප්තක භික්ෂුණී පැවිද්ද මූලසර්වස්තිවාද පැවිද්දක් ලෙස පිළිගත නොහැක. මේ දෙක එකිනෙක අතර හුවමාරු විය හැකිව පැවතියේ නම්, තිබ්බතයේ මහාසාංඝික භික්ෂු පැවිද්ද සිදු නොකරන ලෙස අතීෂයන්ගෙන් ඉල්ලා සිටීමට හේතුවක් නොමැත. (ක්‍රි.ව. එකොළොස්වන සියවස මුල් භාගයේදී යැංකොබ් ඕ රජු විසින් ඉන්දියානු ගුරු අතීෂයන් වෙත තිබ්බතයට ආරාධනා කරන ලද අවස්ථාවේදී, රජුගේ සීයා වූ යේෂේ ඕ විසින් එම ආරාධනය හා ඉන් අනතුරුව නැගෙනහිර ඉන්දියානු ගුරු ධර්මපාලයන් විසින් එහි කළ සංචාරයෙන් අනතුරුව සිය රාජධානිය තුළ මූලසර්වස්තිවාද භික්ෂු පැවිද්ද ප්‍රතිස්ථාපනය කිරීම සඳහා එ්වන විටද අනුග්‍රහය දක්වා තිබිණි. එමගින් තිබ්බතය තුළට විනය පෙළපත් දෙකක් හඳුන්වා දීමේ අවකාශ පැවති බැවින් මහාසාංඝික භික්ෂු පැවිද්ද නොපිරිනමන ලෙස අතීෂයන්ගෙන් ඉල්ලා සිටින ලදී.)

තවද, ධර්මගුප්තක පැවිද්දක් යනු මූලසර්වස්තිවාද පැවිද්දක් වී නම්, එවිට ථේරවාද පැවිද්දද මූලසර්වස්තිවාද පැවිද්දක් විය හැකිවන අතර මෙය න්‍යාය විරෝධී තත්ත්වයක් වේ. මූලසර්වස්තිවාද භික්ෂුණී පැවිද්ද මුළුමනින්ම මූලසර්වස්තිවාද විනයට අනුව ප්‍රති ස්ථාපනය කළ යුතුව පවතී.

එසේනම්, මෙම ශීත සෘතුවේදී ඉන්දියාවේ බුද්ධගයාවේ, සාරානාත් හෝ දිල්ලියේදී මේ හා සමාන සම්මන්ත්‍රණයක් පවත්වමු. මෙම හැම්බර්ග් සම්මන්ත්‍රණයට සහභාගි වූ ජාත්‍යන්තර සංඝ සමාජයේ වැඩිහිටියනට අමතරව, ඇතැම් විට බොන්පෝස්ද ඇතුළුව සියලුම මුල් පෙළේ තිබ්බතීය සංඝ නායකයන් හා සියලුම තිබ්බතීය සම්ප්‍රදායන්හි ප්‍රධාන ආරාමවල ආරාමාධිපතිවරුන් වෙතද ආරාධනා කරන්නෙමු. බොන්පෝස්වල මේ දක්වාද භික්ෂුණීන් සිටිති. සමස්තය සියයක් පමණ වන පරිදි ජ්‍යෙෂ්ඨ, අතිශයින් ගෞවාදරයට පාත්‍රවූ උගත් භික්ෂූන් වහන්සේ වෙත ආරාධනා කරන්නෙමු. ඉන් අනතුරුව භික්ෂුණී පැවිද්ද ප්‍රති ස්ථාපනයට පක්ෂව සිය සාධාරණ තර්කයන් පුද්ගලිකවම ඔවුන් ඉදිරියේ ප්‍රකාශ කරන ලෙස ජාත්‍යන්තර සංඝ සභාවන්හි වැඩිහිටි භික්ෂූන් වෙත ආරාධනා කරමි. මෙය අතිශය ප්‍රයෝජනවත් දෙයක් වනු ඇත. තිබ්බතීයයන් වන අපි එවන් සමුළුවක් සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදී එය සංවිධානය කිරීමට වඩාත් සුදුසු වන්නේ කවුරුන්ද යන්න තීරණය කරමු.

පසුගිය විසිහය වසර තුළ, අභිධර්මයේ පාලි හා සංස්කෘත සංස්කරණයන් අතර බොහෝ වෙනස්කම් ගොඩනැගී ඇත. නාගාර්ජුනයන් විසින් ඇතැම් කරුණු විමසා පැහැදිලි කරගෙන ඇත; සම්ප්‍රදායන් දෙක අතර පවත්නා සෙසු ප්‍රකට වෙනස්කම්, විමසා බැලීමේ පදනම මත පැහැදිලි කරගත හැක. එම අදහස පෙරදැරිව නිදසුනක් ලෙස මහාමේරු පර්වතය, මහ පොළව පැතලි එකක් වීම හා හිරු හා සඳු බොහෝ දුරට එක හා සමාන විශාලත්වයකින් යුක්ත වීම හා මහ පොළවෙන් සමාන දුරකින් පිහිටීම ඈ කරුණුවලට අදාළ බුදුරජාණන් වහන්සේගේ වචන විමසා බැලීමේ නිදහස උපයෝගී කරගත හැක. මේවා මුළුමනින්ම පිළිගත නොහැකි කරුණු වේ. ලාසාහි මාගේ උපදේශකවරුන් පවා මාගේ දුරේක්ෂය මගින් සඳ මත කඳුවල සෙවණැලි දුටු අතර, අභිධර්මයෙහි ප්‍රකාශවන පරිදි සඳුගෙන් ආලෝකය පරාවර්තනය නොවන්නේය යන කරුණ හා එකඟ වීමට සිදුවිය. එබැවින්, නාගාර්ජුනයන්ගේ විමසා බැලීම උදෙසා සංඝ සාකච්ඡාවක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් නොමැත. සූත්‍ර ගැටලු සම්බන්ධයෙන්ද මෙකරුණම සත්‍ය වේ. එනමුදු විනය සම්බන්ධයෙන් සලකා බලන කල එකරුණ මුළුමනින්ම වෙනස් වේ.

විනය කෘතීන්හි සියලු පරිවර්තනයන් සර්වතෝභද්‍රයන් වහන්සේ වෙත කෙරෙන ආමන්ත්‍රණයකින් ආරම්භ වේ. කළ යුතු ක්‍රියා කවරේද හා අත්හළ යුතුවන කාර්යයන් කවරේද යන්න සර්වඥ වූ බුදුවරයෙකු පමණක් දන්නා බැවින් බුදුන් වහන්සේම මෙම පාඨ සහතික කරන ලද්දේය යන්නක් මින් අදහස් කෙරේ. අනෙක් අතින් අභිධර්ම පාඨයන් තුළ ආමන්ත්‍රණය මංජුශ්‍රී අමතා සිදු කෙරේ. තවද, බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව, ධර්ම සංගායනාවක් පවත්වන ලද අතර එමගින් විනය පිටකයේ ඇතැම් වෙනස්කම් සිදු කරන ලදී. මෙය එසේ සිදු කිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් අවසර ලබාදෙන ලද අතර, එය සෙසු කරුණුවලටද සාධාරණීකරණය කළ හැක. නිදසුනක් ලෙස, සිය ශික්ෂාපද වෙන් වෙන් වශයෙන් පවත්නා බෝධිසත්වයාන හා තන්‍ත්‍රයානයද තිබ්බතීයයන් වන අපි පුහුණු වෙමු. එ්වාහි හා විනයෙහි පවත්නා ඇතැම් කරුණු හා සිකපද එකිනෙක පරස්පර වේ. එවන් කරුණුවලදී, උසස් මට්ටමේ සිකපද පහළ මට්ටමේ සිකපදයනට වඩා ප්‍රමුඛතාවය ගත යුතුය.

විසි එක්වන සියවසේදී යුද්ධය නමැති සංකල්පය යල්පිනූ එකක් බවට පත්ව ඇත. එ් වෙනුවට, ආරවුල් නිරාකරණය උදෙසා සංවාදයෙහි නිරත විය යුතුවන අතර, එ් උදෙසා බුද්ධිය යන කරුණ පමණක් ප්‍රමාණවත් නොවේ. අපතුළ හෘදයාංගම බවක් හා සෙස්සන්ගේ සුභසාධනය උදෙසා වූ දැඩි ඇල්මක්ද පැවතිය යුතුවේ. අවංක සංවාදයකදී කරුණාව යන්න වඩාත් වැදගත් වේ. ජීව විද්‍යාත්මක සාධකය හේතුකොට කාන්තාවන් තුළ පුරුෂයනට වඩා අනෙකාගේ දුක පිළිබඳ ඉහළ සංවේදිතාවයක් ඇත. නිදසුනක් ලෙස, එතරම් කාන්තාවන් සංඛ්‍යාවක් සත්ත්ව ඝාතකයන් හෝ මස් කපන්නන් වශයෙන් කටයුතු නොකිරීම පෙන්වා දිය හැක. එබැවින්, ජාත්‍යන්තර සාකච්ඡාවන් සඳහා කාන්තාවන් බොහෝ සෙයින් අවශ්‍යව ඇති අතර, ඔවුන් විසින් වඩා විශාල කාර්ය භාරයක් ඉටුකළ යුතුව පවතී.

බුදුන් වහන්සේගේ ශ්‍රාවක සමාජය භික්ෂු, භික්ෂුණී, උපාසක හා උපාසිකා යන සිව්වනක් පිරිසගෙන් සමන්විත වේ. පැහැදිලිවම ස්ත්‍රීන් හා පුරුෂයන් විසින් සමාන කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. එනමුදු වර්තමානයේ තිබ්බතීයයන් අතර මෙම සිව්වනක් පිරිස අසම්පූර්ණව පවතී. වටිනා මනුෂ්‍යාත්මභාවයක ගුණාංග අට හා දහය අතර එකක් වනුයේ භූගෝලීයව හෝ ආධ්‍යාත්මිකව අර්ථ නිරූපණය වන පරිදි මධ්‍යම පළාතක උපත ලැබීමයි. තිබ්බතය වූකලි භූගෝලීයව අර්ථ නිරූපිත මධ්‍යම භූමියක් නොවේ. ආධ්‍යාත්මිකව අර්ථ නිරූපිත භූමියක් සම්බන්ධයෙන් ගත්කල, එය සිව්වනක් ශ්‍රාවක පිරිසෙන් සම්පූර්ණ වූ භූමියක් විය යුතුය. පැහැදිලිවම භික්ෂුණීන්ගෙන් තොරව එය අසම්පූර්ණ වේ. බොහෝ තිබ්බතීයයන් විසින් ප්‍රකාශ කරනු ලබන පරිදි, භික්ෂූන් සිටී නම් ඔවුන් එම සිව්වනක් පිරිසේ වැදගත්ම පිරිසද වන බැවින් එය මධ්‍යම භූමියක් වේ. එනමුදු එතුළ හුදෙක් මධ්‍යම භූමියක සමාන බව හා වටිනා මනුෂ්‍ය පුනර්භවයක සමාන බව පමණක් අර්ථ නිරූපණය කෙරේ. තිබ්බතයේ මින් පෙර විසූ ගුරුවරුන් මෙකරුණ කෙරෙහි අවධානය යොමු කළ යුතුව තිබිණි.

සංඝ කණ්ඩායමක අදහස් විමසීමකින් තොරව, මා හට තිබ්බතීය භික්ෂුණීන් අතර අධ්‍යාපනය වැඩිදියුණු කිරී‌මේ කාර්යය ආරම්භ කළ හැක. මවිසින් මෙය සිදුකර ඇති අතර මේවන විටද බොහෝ භික්ෂුණීන් විසින් ඉහළ බහුශෘතභාවයක් අත්පත් කරගෙන ඇත. මන්ගෝඩ් ආරාමයන්හි ගෙෂේමා විභාගයක් සඳහා අවශ්‍ය සූදානම්කාරිත්ව කටයුතු සිදුකළ යුතු බවට නිවේදනය කළෙමි. ඇතැම් ජ්‍යෙෂ්ඨ භික්ෂූන් මෙයට විරෝධය පළකළ නමුදු බුදුන් වහන්සේ විසින් ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශ්වයටම සමාන අයිතිවාසිකම් ලබා දුන්නේ නම් ගේෂේ පුරුෂයන් හා ගේෂේ ස්ත්‍රීන් බවට පත්වීම සම්බන්ධ සමාන අයිතිවාසිකම් ලැබිය යුතු නොවන්නේ මන්ද? මෙම ජ්‍යෙෂ්ඨ භික්ෂූන් හුදෙක්ම මෙයාකාරයේ සිතිවිලිවලට පුරුදු වූවන් නොවන්නේය යන්න මෙහි පවත්නා ගැටලුව යයි සිතමි. 

නවසිය හැට ගණන්වල මුල් භාගයේදී මවිසන් භික්ෂූන් පමණක් නොව භික්ෂුණීන් වහන්සේද කැඳවා දෙමාසිකව පැවැත්වෙන සුව කිරීමේ උත්සවයට ඔවුන්හටද එක්විය හැකි බැව් පැවසීමි. එම කාල වකවානුව තුළ භික්ෂුණීන් නොසිටි බැවින් භික්ෂුන්ගේ සුව කිරීමේ උත්සවයට සාමාන්‍යයෙන් සාමානේරිකාවනට සහභාගි වීමට අවසර ලබා නොදුන්නද, මාගේ ගුරුවරුන් විසින් එ් සඳහා සිය අනුමැතිය ලබාදෙන ලදී. එ් අනුව එය එසේ සිදු කිරීමේ කාර්යය ආරම්භ කළෙමු. භික්ෂූන් හා භික්ෂුණීන් එක්ව සුව කිරීමේ මෙහෙයන් සිදු කිරීමක් කිසිදා සිදුවී නොමැති බැවින් දකුණු ඉන්දියාවේ ආරාමයන් වෙතින් සෝපහාසාත්මක විරෝධතාවයන් කිහිපයක් ඉස්මතු විය. එනමුදු එකරුණ හේතුවෙන් කිසිදු භික්ෂුවක් සිවුරු හැර නොගියේය. නවසිය හැත්තෑ ගණන්වල සිට චීන සම්ප්‍රදායෙන් ඇතැම් තිබ්බතීයයන් භික්ෂුණී පැවිද්ද ලබාදෙන තිබිණි. මාගේ තායිවාන සංචාරයට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ එහි භික්ෂුණී පෙළපත සියැසින් දැකගනිමින් තත්ත්වය පරීක්ෂාවට ලක් කිරීමයි. මවිසින් භික්ෂුණී ශික්ෂාපද පිළිබඳ පර්යේෂණ කටයුතු උදෙසා ලොසෑං සෙරිං පත්කරන ලද අතර, ඔහු විසින් එම කාර්යය සිදුකොට මේවන විට වසර විස්සක් ගතවී ඇත. අප විසින් උපරිම උත්සාහයන් දරන ලදී. ජාත්‍යන්තර සංඝ රැස්වීමක් සංවිධානය කරන ලෙස පැවිදිකර්ම සිදුකරන ප්‍රධාන චීන භික්ෂූන්ගෙන් ඉල්ලා සිටි නමුදු ඔවුනට මෙය සිදුකළ නොහැකි විය. මහජන චීන ජනරජයෙන් ඉස්මතුවිය හැකි දුෂ්කරතාවයන් හා සංකීර්ණතාවයන්ද හේතුකොට මාහට එවැනි රැස්වීමක් කැඳවිය නොහැකි විය. වෙනත් සංවිධායනයක් විසින් එවන් රැස්වීමක් කැඳවන්නේ නම් වඩාත් යහපත්ය යන හැඟීම ඇතිවූ බැවින් එසේ සිදුකරන ලෙස යැම්පා චෝඩ්‍රන් වෙතින් ඉල්ලා සිටියෙමි. තනි භික්ෂුවකට කළ හැකි සියල්ල සිදුකර ඇත. මේවන විට අපට තිබ්බතීය වැඩිහිටි භික්ෂූන් වෙතින් වඩාත් පුළුල් භික්ෂු සම්මුතියක් අවශ්‍යව ඇත.

නවක භික්ෂු හා නවක භික්ෂුණී පැවිදි කිරීම්වලදී, පූජනීයත්වයට බඳුන්වන නිසි කරුණු කවරේද යන්න දැන සිටිය යුතු බවක් පැවසේ. ශික්ෂා පදයට අනුව භික්ෂුණීන් උසස් බවක් ප්‍රකාශවන නමුදු ඔවුහූ නවක භික්ෂූන් වෙතින් ගෞරවාදරයට, පූජාවනට ලක් නොවේ. විශේෂයෙන් බෝධිසත්ව හා තන්ත්‍ර සිකපද සිහි තබාගනිමින්, කාන්තාවනට අපහාස නොකළ යුතු බවට පැනවී ඇති තන්ත්‍ර සිකපද සිහි තබාගනිමින් මෙකරුණ වෙනත් වචනවලින් ප්‍රකාශ කළ යුතුවිය හැක. එම දෘෂ්ටි කෝණයට අනුව, මෙම විනය කාරණය පවත්වාගෙන යාම අපහසු කරුණක් වේ. එබැවින්, සිකපද කට්ටල තුන පවත්වාගෙන යාමේදී, ඇතැම් සුළු කරුණුද සංශෝධනය කළ යුතුවේ. එ්වා පිළිගැනීමට පෙර මූලසර්වස්තිවාද භික්ෂුණී සිකපද අධ්‍යයනය සම්බන්ධයෙන් සලකා බලන කල, ධර්මගුප්තක පෙළපත තුළ භික්ෂුණීත්වයට පත්ව ඇති භික්ෂුණීන් විසින් ධර්මගුප්තක ක්‍රමයට සිය සිරිත් විරිත් සිදුකළ යුතු වුවද එ්වා කියවා අධ්‍යයනය කළ හැක. කෙසේ වුවද, භික්ෂුණීන් නොවන පිරිස් විසින් මෙම සිකපද අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතී.

මෙම සියලු සංශෝධනයන් සිදු කිරීමේදී හා විශේෂයෙන් මූලසර්වස්තිවාද භික්ෂුණී පැවිද්ද ප්‍රති-ස්ථාපනය සම්බන්ධයෙන් සලකා බලන කල, ඇතැම් තිබ්බත සංඝයා වහන්සේ විසින් පමණක් මෙය සිදු නොකිරීම යන කරුණ අතිශයින් වැදගත් වේ. සංඝ සමාජයේ භේදයක් ඇතිවීමේ හැකියාව වළකාලිය යුතුවේ. සමස්තයක් ලෙස තිබ්බතීය සංඝ සමාජය තුළ පුළුල් සම්මුතියක් පැවතිය යුතුවන අතර, එබැවින් එ් උදෙසා පියවරක් ඉදිරියට තබන්නෙමු. ඔබ සියලු දෙනාගේ උත්සාහයනට ස්තුතිවන්ත වෙමි.

Top