හුදෙක් එ්හි භික්ඛුභාවයෙන්ම හෙවත් ‘භික්ෂුව මෙහි එන්න’ යන ප්‍රකාශය තුළින්ම පමණක් බුදුන්වහන්සේ විසින් පෞද්ගලිකවම පළමු භික්ෂුන් කිහිප දෙනා වහන්සේ පැවිදි දිවියට ඇතුළත් කරන ලදී. මෙයාකාරයෙන් ප්‍රමාණවත් භික්ෂු පිරිසක් පැවිදි දිවියට ඇතුළත් කළ පසු, උන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේම සිදුකරගත යුතුවන උපසම්පදාව ඇති කරවන ලදී.
බොහෝ සම්ප්‍රදායික විශ්ලේෂණයනට අනුව, උන් වහන්සේගේ සුළුමව් මහා ප්‍රජාපතී ගෝතමිය (පාලි: මහාපජාපති ගෝතමී) විසින් ඇයට භික්ෂුණී ප්‍රවෘජ්‍යාව ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම මුළදී බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලදී. එසේ වුවද, කාන්තා අනුගාමිකයන් පන්සිය දෙනෙකුද සමගින් මහා ප්‍රජාපතී ගෝතමිය හිස මුඩුකොට, කසාවත් හැඳ, අනගාරික (සංස්: ප්‍රවෘජිත; පාලි: පබ්බජ්ජා) කාන්තාවන් ලෙස උන් වහන්සේ අනුව ගමන් ගන්නට විය. දෙවන හා තෙවන වතාවටද ඇය විසින් පැවිද්ද ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වූ විටදී ඇය වෙනුවෙන් බුදුන් වහන්සේගේ අනුගාමික ආනන්දයන් වහන්සේගේ මැදිහත්වීම සිදුවිය.
මෙම සිව්වන ඉල්ලීමද සමගින්, ඇය හා අනාගත භික්ෂුණීන් විසින් අෂ්ට ගරු ධර්ම (සංස්: ගුරුධර්ම; පාලි: ගුරුධම්ම) පිළිපැදිය යුතු බවට වූ කොන්දේසිය මත බුදුන් වහන්සේ විසින් සිය එකඟතාවය පළ කරන ලදී. භික්ෂු හෝ භික්ෂුණී සිකපද ආරක්ෂා කරන ලද කාල සීමාව කෙතරම් දිගු වන්නේද යන කරුණ නොසලකා භික්ෂුණීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය නිරතුරු භික්ෂුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට වඩා පහළ මට්ටමක පැවතිය යුතුය යන්න මෙතුළ අන්තර්ගත එක් ගරු ධර්මයකි. සිය සංඝ ප්‍රජාවට හා අවසන එ් හරහා සිය ධර්මයටද සමාජයෙන් එල්ල විය හැකි අගෞරවයන් වළකාලනු පිණිස එකල භාරතීය සංස්කෘතික වටිනාකම් හා අනුගත වෙමින් බුදුන් වහන්සේ විසින් මෙවන් සීමාකරණයන් පනවන ලදී. භික්ෂූණීන් ආරක්ෂා කරමින් උන් වහන්සේලා වෙත ගිහි සමාජයෙන් නිසි ගෞරවය ලැබෙන බවට වගබලාගැනීමද මෙම ගරු ධර්ම පැනවීමෙන් බුදුරජුන් විසින් අපේක්ෂා කරන ලද එක් ප්‍රතිඵලයක් විය. පුරාණ භාරතීය කාන්තාව ආරම්භයේදී සිය පියාගේ ආරක්ෂාව යටතේද, ඉන්පසු ස්වාමි පුරුෂයාගේ ආරක්ෂාව යටතේද, අවසන සිය පුතුගේ ආරක්ෂාව යටතේද ජීවත්විය යුතු විය. අවිවාහක කාන්තාවන් වෛශ්‍යාවන් වශයෙන් සලකන ලද අතර, පිරිමි ඥාතිවරයෙකුගේ ආරක්ෂාව යටතේ කල්ගත නොකිරීම යන සාධකය හේතුකොටම භික්ෂුණීන් වහන්සේලා වෙසඟණන් වශයෙන් හඳුන්වන ලද අවස්ථා ගණනාවක් විනය පිටකයෙහි දක්නට ලැබේ. භික්ෂුණී සංඝයා භික්ෂු සංඝයා සමගින් සම්බන්ධ කරවීම තුළ ඔවුන්ගේ අවිවාහක බව සමාජයේ ගෞරවාදරයට පත්වන තත්ත්වයකට ඔසවා තැබිණි.
ඇතැම් සම්ප්‍රදායනට අනුව අෂ්ට ගරුධර්ම පිළිගැනීම මෙම පළමු ප්‍රවෘජ්‍යාව තුළට ඇතුළත් විය. වෙනත් සම්ප්‍රදායනට අනුව, බුදුන් වහන්සේ විසින් මහාප්‍රජාපතී ගෝතමිය හා ඇයගේ අනුගාමිකාවන් පන්සියයක් දෙනා පළමු වරට පැවිදි දිවියට ඇතුළත් කිරීමේ කර්තව්‍ය ආනන්දයන් වහන්සේගේ නායකත්වය යටතේ කටයුතු කළ භික්ෂූන් වහන්සේලා දස නමකට පවරන ලදී. එ් කෙසේ වුවද, භික්ෂුණීන් වහන්සේලා ලෙස පැවිදි දිවියට ඇතුළත් කිරීමේ මුල් කාලීන ප්‍රමිතිගත ක්‍රමවේදය වූයේ එය භික්ෂූන් දස දෙනෙකු විසින් කරවිය යුත්තක් වීමයි. ප්‍රවෘජ්‍යාව ලබාදීමේ මෙම ස්වරූපය ‘එ්ක භික්ෂු සංඝ ප්‍රවෘජ්‍යාව’ ලෙස හැඳින්වේ. එම පැවිද්ද ලබාදීමේ ක්‍රියාවලිය තුළ අපේක්ෂිකාවන් හට පූර්ණ වශයෙන් සිකපද ආරක්ෂා කිරීමට බාධාකාරී විය හැකිව පවත්නා අන්තරායිකධර්ම (පාලි: අන්තරායිකධර්ම; සංස්: අන්තරායිකධම්ම) පිළිබඳ ප්‍රශ්න ලැයිස්තුවක් ඉදිරිපත් කිරීම අන්තර්ගත වේ. භික්ෂු පැවිද්දට අදාළව පොදුවේ විමසනු ලබන ප්‍රශ්නවලට අමතරව, ඇයගේ ස්ත්‍රීත්වයට අදාළව ඉදිරිපත් කෙරෙන වැඩිදුර ප්‍රශ්න ගණනාවක් මෙතුළ අන්තර්ගත වේ.
එවන් පුද්ගලික ප්‍රශ්නවලට භික්ෂුන් වෙත පිළිතුරු ලබාදීමේදී අතිශය අපහසුතාවට පත්වූ අවස්ථාවන් පිළිබඳ භික්ෂුණී අපේක්ෂිකාවන් විසින් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේදී, බුදුන් වහන්සේ විසින් ‘ද්විත්ව සංඝ ප්‍රවෘජ්‍යාව’ පනවන ලදී. මෙහිදී පළමුව භික්ෂුණියන් විසින් අදාළ අපේක්ෂිකාවට පැවිදි දිවියට පත්වීම සඳහා පවත්නා යෝග්‍යතාවය පිළිබඳ ප්‍රශ්න විමසනු ලබයි. ඉන්පසු එදිනම භික්ෂු - භික්ෂුණී මිශ්‍රිත රැස්වීමක් කැඳවනු ලබයි. එහිදී භික්ෂුන් විසින් පැවිද්ද ලබාදෙන අතර, භික්ෂුණීන් එහි සාක්ෂිකාරියන් වශයෙන් කටයුතු කරනු ලබයි.
මුළදී, භික්ෂු සමාජයේ සිඛපද අතර ‘ස්වභාවිකවම පිළිගත නොහැකි කටයුතුවලින්’ පමණක් වැළකී සිටීම යන කරුණ ඇතුළත් විය - එනම්, ගිහි වේවා, පැවිදි වේවා සියලු දෙනා වෙත හානිකර වන්නාවූ ශාරීරික හා වාචසික ක්‍රියාවන් වේ. කෙසේ වුවද, පැවිදි වූවන් සම්බන්ධයෙන් ගත්කල, බ්‍රහ්මචරියාව මෙතුළ අන්තර්ගත විය. කල් ගතවීමත් සමග, ස්වාභාවිකවම හානිකර නොවුවද බෞද්ධ සංඝ සමාජය හා බුදුන්ගේ දහමටද සමාජයෙන් එල්ලවිය හැකි අගෞරවයන් වළකාලනු පිණිස පැවිද්දන් වෙත පමණක් තහනම් කරන ලද කායික හා වාචසික ක්‍රියාවන් සම්බන්ධයෙන් බුදුන් වහන්සේ විසින් වඩ වඩාත් වැඩියෙන් සිකපද පනවන්නට විය. එවන් සිකපද පැනවීමේ හා ප්‍රකාශයට පත් කිරීමේ බලය පැවතියේ බුදුරජාණන් වහන්සේට පමණි. එ් සෑම අතිරේක සිකපදයක්ම භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ අනිසි හැසිරීමකට අදාළ නිශ්චිත සිදුවීමකින් අනතුරුව පනවන ලද බැවින් භික්ෂුණීන් වහන්සේලා වෙත භික්ෂුන් වහන්සේට වඩා වැඩි සිකපද ගණනාවක් පැනවිනි. භික්ෂුණීන්ට අදාළ සිකපද තුළ භික්ෂූන් සමගින් කටයුතු කිරීමේදී ඔවුන් විසින් දක්වන නොනිසි හැසිරීම රටාවන් පදනම් කරගනිමින් පනවන ලද සිකපද අන්තර්ගත වුවද, භික්ෂූන්ගේ සිකපද තුළ එපරිදි අනෙක් පසට චර්යාමය සිකපද නොපැනවිණි.