අපගේ සමස්ත ජීවිතය සම්බන්ධ දෘෂ්ටි කෝණය තුළ අප විසින් සිදු කරන ලද යම් වරදක් හෝ අත් වැරැද්දක් විමසා බලන විටදී, එය පමණ ඉක්මවා පුම්බවා ලීමෙන් වළකින්නෙමු. වරදකාරී හැඟීමෙන් නොව, සමාව ලබාදීමෙන් එය නැවත සිදු නොකිරීමට අදිටන් කරගන්නෙමු.
Meditation dispelling guilt

පැහැදිලි කිරීම

සමාව ලබාදීම යනු යම් වරදක්, දෝෂයක් හෝ අත් වැරදීමක් සම්බන්ධයෙන් කෝපයට පත් නොවෙමින් කිසිදු අරෝවක් සිත තබා නොගැනීමයි. මෙය වූකලි අන් අය විසින් සිදුකර ඇති හානිකර දේවල් හා අත්වැරදීම්වලට ප්‍රතිචාරී වශයෙන් පමණක් නොව අපගේම සෘණාත්මක ක්‍රියාවන් හා අත්වැරදීම් සම්බන්ධයෙන්ද අප විසින් වගා කරගත යුතුවන ධනාත්මක චිත්ත ස්වභාවයකි. මෙසේ සිදුකරනු පිණිස, අප විසින් අප සිදුකළ කවර හෝ නිශ්චිත ක්‍රියාවකින් හෝ අත් වැරදීමකින් අදාළ පුද්ගලයා වෙන්කොට හඳුනාගත යුතුය. අප විසින් අප පිළිබඳවම සිතා බලන විටදී, අපගේ සමස්ත දිවිය ප්‍රකාර අදාළ සිතිවිල්ල ඇතිකරගත යුතුය. අප විසින් පුනරුත්පත්තිය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් පිළිගන්නේ නම්, එම සිතිවිලි අපගේ මතු භවයන් සම්බන්ධවද ඇතිකරගත යුතුය. අප විසින් මෙම වඩා විශාල සන්දර්භය තුළ අප පිළිබඳවම සලකා බලනු පිණිස අපගේ සිත් විවර කරගන්නා විටදී, අප විසින් සිදුකර ඇති කවර හෝ පාපකාරී ක්‍රියාවක් හෝ අත් වැරදීමක් හුදෙක් එක් සිදුවීමක් පමණක් වන බව අවබෝධ කරගන්නෙමු. අප විසින් අපගේ ජීවිතය සම්බන්ධ අන් බොහෝ දේද සිදුකර ඇති අතර, අපි බුදුවරුන් නොවෙමු නම්, අනිවාර්යයෙන්ම අප අතින් වැරදි සිදුවේ. සිදුකරන ලද එක් අත් වැරදීමක් හෝ වරදක් සමගින් අනන්‍ය වී එය අපගේ සැබෑ අනන්‍යතාවය ලෙස ග්‍රහණය කොටගෙන සිටින්නෙමු නම්, එහි ප්‍රතිඵලය වනුයේ අපට වරදකාරී හැඟීමක් ඇතිවීමයි. එසේ ග්‍රහණය කොටගෙන, එයටම ඇලී සිටින්නට සිටින්නට, දැනෙන වරදකාරී හැඟීමද වඩා දිගු බවක් දැනෙන්නට වන අතර ඇතිවන හැඟීම වඩාත් අයහපත් එකක් බවට පත්වේ.

අප වෙතම සමාව ලබාදීම යන්නෙන් සිදුවූ දෙය ගණනකට නොගනිමින් අප විසින් සිදුකරන ලද දෙය අමතක කිරීමක් අදහස් නොවේ. අපි අප සිදුකළ වරද හෝ අප අතින් සිදුවූ අත් වැරැද්ද සම්බන්ධයෙන් වගකීම දරන්නෙමු. එනමුත් වරදකාරී හැඟීමකින් එයට ඇලී නොසිටින අතර අප සම්බන්ධයෙන්ම කෝපයක්ද ඇතිකර නොගන්නෙමු. අපි අපගේ වැරදි හා අත් වැරදීම් පිළිගනිමින් තමා 'අයහපත් පුද්ගලයෙකි' හෝ 'මෝඩයෙකි' ලෙස සිතමින් තමා එම වරද සමගින් අනන්‍ය කරගැනීමේ තත්ත්වය ඉවත ලා එයට එදිරිවාදී බලවේග සතර ක්‍රියාත්මක කරමු:

  • පසුතැවිලි වීම
  • එම වරදකාරී ක්‍රියාව හෝ අත් වැරැද්ද නැවත නැවතද සිදු නොකිරීම සඳහා හැකි උපරිමයෙන් උත්සාහ කිරීමට අදිටන් කරගැනීම
  • අපගේ ජීවිතය තුළට ඇතුළු කරගැනීමට උත්සාහ කරන ධනාත්මක දිශානතිය නැවත අවධාරණය කරගැනීම
  • හැකිනම් වැරදි නිවැරදි කරගනිමින්ද, තවදුරටත් හැකිනම් කණගාටුව ප්‍රකාශ කරමින්ද අප විසින් සිදුකරන ලද වරදට ප්‍රතිවිරුද්ධ කටයුතු සිදු කරමින් එය යම් ධනාත්මක ක්‍රියාවන් තුළින් සමතුලනය කිරීම.

භාවනාව

  • හුස්ම රැල්ල පිළිබඳ අවධානය යොමු කරගෙන සිටිමින් සන්සුන් වන්න.
  • ඔබගේ ක්‍රියාවෙන් හෝ කථාවෙන් යමෙකුට රිදවීම ඈ ලෙස ඔබ විසින් සිදුකරන ලද යම් හානිකර ක්‍රියාවක් සිහිපත් කරගෙන පසු කාලීනව එසේ ඔබ සිදුකළ හෝ ප්‍රකාශ කළ දෙය සම්බන්ධයෙන් කල්පනා කළ ආකාරයද, ඒ පිළිබඳ වරදකාරී හැඟීමක් ඇතිකරගත් ආකාරයද, ඔබ පිළිබඳවම කෝපයට පත්වූ ආකාරයද සිහියට නගාගන්න.
  • ඔබගේ විෂය පථය පුළුල් කොට ඔබ පිළිබඳ‍ව ඔබගේ සමස්ත ජීවිතයටම අනුව සිතමින් මෙය හුදෙක් එක් සිදුවීමක් පමණක් වන අතර, එය නැවතද සිදු වුවද, ඔබගේ ජීවිතයට සම්බන්ධ අන් බොහෝ දේද සිදුවූ බව හා සිදුවෙමින් පවත්නා බවද සිතන්න.
  • ඔබ හුදෙක් මෙම ක්‍රියාව සමගින් පමණක් අනන්‍ය කරගනිමින් එහි ඇලී සිටීම මගින් හුදෙක් ඔබ වරදකරුවෙකුය යන හැඟීමක් ලබාදීම පමණක් සිදුවන බව හඳුනා ගන්න. ඔබ ඔබ පිළිබඳව පමණ ඉක්මවූ සීමිත විෂය පථයකට යටත්ව සිතනු ලබයි.
  • මෙය ඔබ පිළිබඳ සමස්තය හා අනුගත නොවන බව වටහා ගනිමින් එම අනන්‍යකරණය ඉවත ලන්න.
  • ඉන්පසු ඔබගේ සමස්ත දිවියට අදාළ කොටගෙන ඔබ පිළිබඳ නැවත වරක් විමසා බලා ඔබ විසින් සිදුකර ඇති සියලු ධනාත්මක, පුණ්‍යවන්ත කටයුතු පිළිබඳ සිතා ප්‍රීති වන්න.
  • ඔබ විසින් සිදුකරන ලද දෙය හානිකර හා විනාශකාරී වන බව පිළිගන්න. ඔබ තවමත් විමුක්තිය හෙවත් අර්හත්වය සාක්ෂාත් කරගත් අයෙකු නොවන අතර ඇතැම් විට ඔබ විසින් හානිකර දේ සිදු කරනු ලබයි.
  • ඔබ විසින් එය සිදුකරන ලද්දේය යන කරුණ වෙනස් කළ නොහැකි වුවද, එය සිදු කිරීම පිළිබඳ ඔබ පසුතැවේ. ඉන් අදහස් කරන්නේ එය නොකළේ නම් යහපත්ය යන හැඟීමක් ඔබ තුළ පවත්නා බවයි.
  • අදාළ හානිකර ක්‍රියාව නැවත සිදු නොකරන්නට උත්සාහ කරන බවට අදිටන් කරගන්න. ඔබ විසින් ඔබ ක්‍රියා කරන හා කථා කරන ආකාරය සම්බන්ධයෙන් සතිමත්ව සිටීමට උත්සාහ කරනු ඇති අතර යම් විනාශකාරී ක්‍රියාවක් සිදු කිරීමට අදහස් වන විටම හික්මීම ඇතිකර ගනී.
  • ඔබ විසින් ඔබගේ ජීවිතයට යොදා ඇති ධනාත්මක දිශානතිය නැවත අවධාරණය කරන්න - ඔබ විසින් ඔබගේ අඩු ලුහුඬුකම් හා ගැටලු සහගත පැතිකඩයන් මැඩ පැවැත්වීමට හා ඔබගේ සම්පූර්ණ විභවය සාක්ෂාත් කරගැනීමට කටයුතු කරනු ලබයි.
  • අවම වශයෙන් සිතින් ඔබ වේදනා දුන් පුද්ගලයාට හෝ පුද්ගලයන් වෙත කණගාටුව ප්‍රකාශ කර ඔබ විසින් සිදුකරන ලද ක්‍රියාව සමතුලනය කරනු පිණිස යම් ප්‍රිය මනාප දෙයක් සිදුකරන ආකාරය සිතින් මවාගන්න. එම පුද්ගලයා නැවතද හමුවුවහොත්, ඔබ විසින් තමා සිතාගත් දෙය සැබැවින්ම ක්‍රියාවෙහි යොදවන බවට අදිටන් කරගන්න.

ඔබට සිදුවූ අත් වැරැද්දක් සම්බන්ධයෙන්ද මෙම පියවරයන් නැවත සිදු කරන්න:

  • ඇතැම් විට ඔබගේ පරිගණකයේ ඇති යම් වැදගත් ලේඛනයක් අත් වැරදීමකින් මකා දැමීම වැනි ඔබට සිදුවූ අත් වැරැද්දක්  හා ඇතැම් විට ඔබටම සාප කරගනිමින් හා ඔබටම මෝඩයා යැයි පවසා ගනිමින් ඔබ සම්බන්ධයෙන්ම මහත් සෙයින් කෝපයට පත්වූ හා බොහෝ සේ කැළඹුනු අවස්ථාවක් නැවත සිහියට නගාගන්න.
  • ඔබගේ අවකාශය පුළුල් කරමින් ඔබගේ සමස්ත දිවියට අනුව ඔබ පිළිබඳවම සිහි කරගනිමින් මෙය හුදෙක් එක් සිදුවීමක් වන අතර එය නැවත නැවතද සිදු වුවද, ඔබගේ ජීවිතයේ සිදුවන අන් බොහෝ දේද පවත්නා බව සිතන්න. බොහෝ කොටම ඔබ නිවැරදිව කටයුතු කරන්නෙකි.
  • හුදෙක්ම මෙම අත් වැරැද්ද සමගින් පමණක් ඔබ අනන්‍ය කරවමින් එහි ඇලී ගැලී සිටීම මගින් ඔබට භයානක, අමිහිරි හා වියවුල් සහගත හැඟීමක් ඇති කරවීම පමණක් සිදුකරන බව හඳුනා ගන්න. එහිදී ඔබ ඔබ පිළිබඳ‍වම පමණ ඉක්මවූ සීමිත පරාසයක සිට සිතිවිලි ඇතිකර ගනී.
  • මෙය ඔබ සම්බන්ධ සමස්තය හා නොගැලපෙන බව දකිමින් එම අනන්‍යකරණය අත්හරින්න.
  • ඉන්පසු ඔබගේ සමස්ත දිවියට අනුකූලව තවත් වරක් ඔබ පිළිබඳවම විමසා බලා ඔබ විසින් නිවැරදිව හා හොඳින් සිදුකරන ලද සියලු දේ පිළිබඳ සතුටු වන්න.
  • ඔබ විසින් සිදුකරන ලද දෙය අත් වැරැද්දක් වන අතර ඇතැම් විට ඔබද අත් වැරදි සිදුකරන බව පිළිගන්න - එහි කිසිදු විශේෂයක් නොමැත.
  • ඔබ විසින් එය සිදුකරන ලද්දේය යන කරුණ වෙනස් කළ නොහැකි වුවද, එය සිදු කිරීම පිළිබඳ ඔබ පසුතැවේ. ඉන් අදහස් වනුයේ එය නොකළේ නම් යහපත් යැයි ඔබට හැ‍ඟෙන බවයි.
  • එම වරද නැවත නැවතද නොකරන්නට හැකි උපරිම උත්සාහය දැරීමට අදිටන් කරගන්න. නිරතුරු ප්‍රවේශම්කාරී වීමට හැකිවන පරිදි පරිගණකයේ කටයුතු කරන විටදී සතිමත්ව හා විමසිලිමත්ව සිටීමට උත්සාහ කරනු ඇත.
  • ඔබ ඔබගේ ජීවිතයට ඇතුළත් කරවන ධනාත්මක දිශානතිය නැවතද අවධාරණය කරන්න. ඔබ විසින් සිදුකරන දෙයට අවධානය යොමු නොකිරීම හා ඔබගේ පූර්ණ විභවයන් අවබෝධ කර නොගැනීම වැනි ඔබගේ අඩු ලුහුඬුකම් හා අත් වැරදීම් මැඩ පැවැත්වීමට හැකිවනු පිණිස ඔබගේ වර්ධනයක් ඇතිකර ගැනීමට කටයුතු කරයි.
  • සන්සුන් මානසික ස්වභාවයක් සහිතව, ලිපි ගොනුවේ පැවති කරුණු කාරණා සිහියට නගාගනිමින් එය නැවතද යතුරු ලියනය කිරීමට උත්සාහ කරන බවට තීරණය කරන්න. ඉන්පසු එය සැබෑ ලෙසම සිදු කරන්න.

සාරාංහය

අප විසින් සිදුකරන ලද වැරදි ක්‍රියාවනට හා අත් වැරදීම්වලට අපටම සමාව ලබාදීම යන්නෙන් අදහස් වන්නේ අප සමගින්ම කෝප වීමක් ‍හෝ තමා අයහපත් පුද්ගලයෙකුය යන හැඟීමක් ඇතිකර ගනිමින් තමා හටම මෝඩයෙකු යයි සලකා වරදකාරී හැඟීමක් පටවා ගනිමින් සාපකර නොගැනීමයි. මෙය අප සම්බන්ධ සමස්තයට අනුගත නොවන බව වටහා ගනිමින් අපි අප විසින් සිදුකරන ලද වැරැද්ද හෝ අත් වැරැද්ද පිළිබඳව පමණක් සීමා සහිත ආකාරයකින් අනන්‍ය වීමෙන් වළකිමු. අපි අපගේ කටයුතු සම්බන්ධ වගකීම ගෙන ඒ සම්බන්ධයෙන් කටයුතු කරමු. අප විසින් සිදුකරන ලද දෙය වැරදි බව පිළිගනිමින්, අපි කණගාටුවට පත්වන අතර, එය නැවත සිදු නොකිරීමට හැකි උත්සාහයන් ගන්නා බවට අපටම පොරොන්දු වෙමින් ජීවිතයේ ගැනීමට අදහස් කරන ධනාත්මක දිශානතිය නැවත අවධාරණය කරගන්නෙමු. එසේ සිදුකොට සමාව අයැදිමින් සිදුකරන ලද වරද සමතුලනය කරනු පිණිස යම් යහපත් කාර්යයක් සිදු කරන්නෙමු. නොඑසේ නම් වරද නිවැරදි කරගන්නෙමු.

Top