"අනිත්‍ය භාවනාව සිදුකරන ආකාරය" පිළිබඳ අනුවාදය

ගුංහැං රින්පෝෂේගේ කාව්‍යාකාරයෙන් ලේඛනගත, අනිත්‍ය භාවනාවෙහි යෙදෙන ආකාරය පිළිබඳ පුහුණුව නමැති කෘතිය විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිට සිත දමනය කරනු පිණිස දේශනා පවත්වන තමාගේ සියලු ගුරුවරුන් වෙත නමස්කාර කිරීමෙන් ආරම්භ වේ:

සීමිත සත්ත්වයන්ගේ බොහෝ වූ අවශ්‍යතාවනට හා චරිත ස්වභාවයනට යෝග්‍ය වන අයුරින් විවිධ ස්වරූපයන්ගෙන් හා විචල්‍යතාවයන්ගෙන් පෙනී සිටින මහා ප්‍රමෝද හා ශූන්‍යතා සන්ධානයට මාගේ නමස්කාරය වේවා.  

අට වැදෑරුම් අස්වැසිලි හා දස වැදෑරුම් පෝෂණයන්ගෙන් සැදි මෙම අගනා මිනිස් සිරුර ලැබෙන්යේ එක් වරක් පමණි. මෙම අවස්ථාව අහිමි වී කල් පවත්නා වටිනාකමක් සහිත කිසිවක් හෝ සාක්ෂාත් කරගැනීමට නොහැකිව ඊළඟ භවය කරා ගමන් කිරීමේ අවදානමක් පවතී. විමුක්ති මාර්ගයට පිවිසීමේ නිසි සමය මෙයයි. සැබැවින්ම දැනටමත් එය ප්‍රමාද වැඩි තරම් වනුයේ මෙහි රැස්ව සිටින අප සියලු දෙනා වයස අවුරුදු විස්සත් තිහත් අතර පරතරයක පසුවන්නන් වන බැවිනි. ධර්ම පිළිවෙත් පිරීමේ යකඩ කොක්කක් මෙන්වූ සිහි කැඳවීමේ හා හස්ති රාජයෙකු පුහුණු කිරීමේ අදියරයනට සමාන කොට ඇති සුපරීක්ෂාකාරිත්වයේද ග්‍රහණයට අප නතුවිය යුතුය. මෙම මාසය තුළ හෝ අවම වශයෙන් මෙම වසර තුළ ලෞකික වූද, සාංසාරික වූද සියලු දේ අවසන් කිරීමට උත්සාහ කිරීම හෝ පළමුව මෙම වසර තුළ ධර්ම පිළිවෙත් පිරීම කල් තබා අන් සියලු දේ කිරීමේ සිතිවිල්ලද, ඔබ මායා දැලට හසු කරවන අවතාරයකි. ගුරුතුමෙකු විසින් වරක් පැවසූ පරිදි ජීවත් වීම සඳහා ප්‍රමාණවත් දේ පැවතීම සම්බන්ධයෙන් ආගමික පුද්ගලයෝ කිසි විටෙක හෝ වද නොවිය යුතුය. ධර්ම පිළිවෙත් පුරනු පිණිස මුදල් හම්බ කළ යුතු බවට ඇතැම්හූ නිදහසට කරුණු පවසන නමුත් හාමත් වී මියයන තරමින් දැඩිසේ ධර්ම පිළිවත් පුරන්නෙකු කිසිදින හෝ මෙලොව සිට නොමැත.

කැපවී පූර්ණ වශයෙන් ධර්ම පිළිවෙත් පිරීමේ සිතිවිල්ලක් උත්පාදනය කරගන්න. මෙම ජීවිතයට අදාළ කටයුතු දිය රැළි මෙනි. පළමුවැන්නෙහි රැළි එන්නාක් මෙන්ම වහා තවත් එකක් එ් පසුපස එ්. ක්‍රියාකාරකම්හි යෙදෙන්නට යෙදෙන්නට වඩ වඩාත් නව ක්‍රියාකාරකම් එ් පසුපස එ්. එය අගක් නොමැති ක්‍රියාවලියකි. අප මත කිසිදු සීමාවක් නොපැනවී ඇති මොහොතක ඔබමොබ ඉලක්කයකින් තොරව ගමන් කරනු වෙනුවට මෙම දේවල් මේ මොහොතේම අත්හැරීමේ අදිටනක් ඇතිකර ගැනීම වඩාත් යහපත් නොවේද? නිදසුනක් ලෙස, හදිසි අවස්ථාවක් පවත්නේ නම්, සියලු දේ හැරදමා එ් පිළිබඳ සැලකිලිමත් වීමේ දැඩි, තීරණාත්මක තීරණයක් ගත යුතුය. මෙය වූකලි නරෝපා විසින් ටිලෝපා බැහැ දැකීමට යාම පිළිබඳ කථා පුවත මෙනි. ඔහු විසින් තීරණාත්මකව නාලන්දාවේ ආරාමාධිපති තනතුර හැර ගියේය. නොඑසේ නම් මූලික පිළිවෙත් සම්බන්ධ වස් සමයක් ගතකරනු පිණිස මංජුශ්‍රී වෙතින් උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව, එසේ කිරීමේ අදිටන පවත්වාගනිමින් දහස් ගණනක් වූ සිය සිසුන් හැරගිය ෂොංඛපා මෙන් වන්න. 

මුළාවට පත් නොවන්න. හෙටදින ධර්ම පිළිවෙත පුරන අවස්ථාවට එළැඹීමට පෙර අද දිනට නියමිතව තිබිය හැකි මරණය පැමිණිය හැක. එබැවින්, ධර්ම පිළිවෙත් පිරීමට අවශ්‍ය නම්, අද සිටම එම කටයුත්ත සිදු කරන්න.

ෂොංඛපා හා පද්මසම්භව වැනි මහා ගුරුවරුන්ගේ සද්ක්‍රියාවන් ලොව සියලු පෙදෙස්හි විසිර, පැතිර පැවතියද, මේ සියලු ගුරුවරු මේවන විට මියගොස් ඇත. ඔවුන්ගේ රූපය දිරාගොස් නාමය පමණක් පවතින අතර, අපට ඔවුන් වටහාගත හැක්කේ ඔවුන්ගේ දේශනා තුළින් පමණි. බුදුන් වහන්සේ පවා මියගිය බවට අප වෙත සිහි කැඳවන්නාවූ කුශිනාරාහි පිහිටි සැතපෙන බුදු පිළිමය මෙන් මේ සියල්ලද එ්වාහි අනිත්‍යය පිළිබඳ දර්ශක පමණි. බෝධිසත්ත්ව චර්යාවෙහි නියැළීම හෙවත් බෝධිසත්ත්වචර්යාවතාර නම් කෘතියෙහි ශාන්තිදේවයන් විසින් විමසනුයේ බුදු, පසේබුදු හා ශ්‍රාවයන් වහන්සේලා යන සියලු දෙනාද මියගියේ නම් අපද මියයනු ඇති බවට කිසිදු සැකයක් පවතීද යන්නයි. මෙම දේශනා ලේඛනගත කරන ලද ගුරුවරුන් මෙන්ම මේවනවිට ජීවතුන් අතර නොමැති අටවන දලයි ලාමා වහන්සේගේ දේශනාවද මෙයයි. මෙම මහා පුරුෂයන්ගේ කය දිරාපත්ව ගොස් නැවතත් ස්වභාවකාය හෙවත් ස්වභාව ධර්මයේ මූල කොටස් බවට විසිර යන විටදීද මෝහාන්ධකාරයෙන් වැසුණු ශ්‍රාවකයන් වෙත අනිත්‍යය දේශනා කරනු පිණිසම මෙය සිදුවන බව සැලකිල්ලට ගත යුතුය.

මෙම මහා පුරුෂයන් මෙන්ම, වසර සියයක් අතුළත අප කිසිවෙකු හෝ ජීවතුන් අතර නොසිටිනු ඇත. සිය ධනය හා ශක්තිය පිළිබඳ ඉමහත් ආඩම්බරයෙන් පසුවන හා තමා සිදුකළ සද් ක්‍රියා සමූහයන් පිළිබඳ වගාඩම්බර තෙපළිය හැකි රජවරුන් හා අමාත්‍යවරුන්ද එවිට ජීවතුන් අතර නොසිටිනු ඇත. හුදෙක් ඔවුන්ගේ නාමයන් නොනැසී පවතිනු ඇත. වර්තමානයේ වාසය කරන බොහෝ ජනප්‍රිය ලෝක නායකයන් සම්බන්ධ සත්‍යයද එයමය: මතු අනාගතයේ ඔවුන් මෙහි නොසිටිනු ඇත. ඔබගේ වයසේ සිටින හා ඔබට සමානම ශාරීරික ශක්තියක්ද සහිත පුද්ගලයෝද මිය යනු ඇත. ඔවුන් වහ වහා මාරයාගේ ග්‍රහණයට හසුවනු ඇත. එ් අනුව ඔබ සදාකල් ජීවත්වනු ඇතැයි යන විශ්වාසයක් ලබාදීමට සමතෙකු වේද? අනිත්‍යය පිළිබඳ ඉගෙන ගැනීමෙන් අනතුරුවද මරණය පිළිබඳ බියක් ඇතිකර නොගැනීම වූකලි අතිශය අමනෝඥ ක්‍රියාවකි. මස් මරන්නා විසින් වෙනත් බැටලුවන් මරා දමන ආකාරය දක්නා විටදී අසරණ, අමනෝඥ බැටලුවන් වැනි සතුන්ද  දැඩි හෘදය ස්පන්දනයකට හසුවී වෙවුලති.

ගේෂේ පොටෝවා සම්බන්ධ මෙයට අදාළ කථාවක් ඇත. ඔහුගේ ගම් වැසියෙකු වරෙක පැමිණ ඔහුගෙන් මෙසේ විමසීය "මාගේ මරණය ළඟාවන විටදී ඔබට මා වෙත පණිවිඩයක් එවිය හැකිද?"  පසු කාලීනව, ඉහළින් පිහිටි ගමක යම් අයෙකු මියගිය අවස්ථාවේදී එම පුද්ගලයා වෙත මෙම සිදුවීම පිළිබඳ පණිවිඩයක් යැව්වද ඔහු විසින් එ් පිළිබඳ කිසිවක් හෝ සිදු නොකරන ලදී. පහළ ගමේද, මැද ගමේද එවැනි සිදුවීම් වූවිටද මෙම පුද්ගලයා විසින් කිසිවක් හෝ සිදු නොකරන ලදී. අවසන ඔහුගේ මරණය සම්බන්ධ සලකුණුද පහළ වූ අතර ගේෂේ පොටෝවා වෙත දිවගිය ඔහු "ඇයි ඔබ මා වෙත පණිවිඩයක් නොඑවුවේ?"යි විමසීය. ගේෂේ පොටෝවාගේ පිළිතුර වූයේ "මම පණිවිඩ එව්වා. එ්ත් ඔබ එය වටහා ගත්තේ නෑ" යන්නයි. ගේෂේ පොටෝවාද තමා ජීවත් වූ මිටියාවත වූ පෙන්පෝහි සිදුවන සියලු මරණ ගණන් කරමින් අනිත්‍ය භාවනාවක නිරත විය.

අනිත්‍යය පිළිබඳ වැටහීමක් ඇතිකර ගැනීම ධර්ම ග්‍රන්ථමය යොමු තුළින්ම ලද යුත්තක් නොවේ. සියලු දෙනා වෙත වේදනා ගෙනදෙන මරණය හුදෙක් දැකීම තුළින්මද ඔබට එය වටහාගත හැක. මරණය සම්බන්ද පැහැදිලි ස්වභාවය දුටුවද තමා කෙරෙහිම එකී අවබෝධය යොදා නොගන්නා පුද්ගලයෝ දෑස් විවරව ඇති අන්ධයන් හෝ වීදුරු ඇස් ඇත්තන් මෙනි. මතුදින අපගේ මිතුරන්, ඥාතීන්, සේවකයන් හා පිරිවර යන සියලු දෙනා මිය යනු ඇත. ඔවුන් සමගින් ජීවත්වන මෙම ජීවිතය යනු සුළඟින් ගසාගෙන විත් එ්කරාශිවූද, වහා නැවත විසිර යනු ඇත්තාවූද ශාක පත්‍ර සමූහයක්‌ මෙනි. මේ මොහොතේ එක්ව වාසය කළද, මතු භවයන්හි නැවත හමුවන විටදී අපි එකිනෙකාගෙන් වෙනස් ස්වරූපවල සිටිනු ඇති අතර, එකිනෙකා හඳුනාගැනීම පවා සිදු නොවනු ඇත. යමෙකු විසින් අනිත්‍ය සිහි කරන්නේය යන කරුණ ඉතා දුර්ලභ කරුණක් වුවද, ස්ථාවරත්වයක් පවත්වාගනු පිණිස අවම වශයෙන් ලෞකික හා ආධ්‍යාත්මික ජීවිතයන් සම්බන්ධ සමබරතාවයක් හෝ පවත්වාගත යුතුය.

සෘතු වෙනස් වීම, කොළ හැලී යාම හා සෙසු ස්වභාවික සංසිද්ධීන් මගින් අනිත්‍යය පිළිබඳ පාඩම් කියාදෙනු ලබයි. "මා වටා පවත්නා සියලු දේ දේශනාවක් සේ දකිමි"යි මිලරේපා විසින් වරෙක ප්‍රකාශ කරන ලදී.

සති පොළක්ද අනිත්‍ය ස්වභාවයට අදාළ තවත් උපමාවක් සේ ගත හැක. මෙම ස්ථානයට විවිධ ගම්වාසීන් එක්රැස්ව පසුව විසිර යති. ඔවුන් කොහේ යන්නේද යන කරුණ අප කිසිවෙකු හෝ නොදන්නා අතර, එයාකාරයේම හමුවක් ඔවුන් අතර නැවත කිසි දින සිදු නොවනු ඇත. අප වටා සිටින මෙම මිතුරු හා ඥාති සමූහයාද සරත් සමයේදී සති පොළක රැස්වන පිරිස් මෙනි. ඔවුන්ද විසිර යනු ඇත.

වසන්තය හා ග්‍රීෂ්මය වැනි සෘතුද සිත් ගන්නා සුළු ආකර්ශනීයත්වයකින් සමන්විත විය හැකි නමුදු එ්වාද සතර මහා භූතයන් සේම අනිත්‍යය හා නිරන්තරයෙන් සිදුවන වෙනස්වීම පිළිබඳ ඉගැන්වීම් වේ. ශාක මුල් සමයේදී හරිත වර්ණයෙන් දිදුලන අතර ඉන්පසු තැඹිලි පැහැයටද, ඉන්පසු මුඩු පැහැයටද හැරේ. ගංගාවන්හි ජලයේ උෂ්ණත්වය ගතහොත් එය සිසිල් වන අතර, සෘතු වෙනස් වීමත් සමගින් එහි හඬද වෙනස් වේ. අලංකාර දිය බුබුලු හඬ නංවමින් දිය රැළි නර්තනයන්ගෙන් අලංකෘත ළගන්නා සුළු නීල හරිත ස්වභාවයක් ගත් ගංගාවෝ අවසන මතුපිටින් මිදී යන අතර එතුළ වූ ධවල පැහැ හිම හා ජලය යමෙකු විසින් මුමුණන හඬක් සේ වූ හඬක් නංවයි. මිනිසුනටද එවැනිම වූ දෙයක් සිදුවේ. තරුණ වියේදී බොහෝ සාදවලට ගොස් නටමින්, ගයමින් හා මධු විත තොළ ගාමින් ප්‍රීති වේ. එනමුත්, වයස්ගත වීමත් සමගින් ඔවුන්ගේ පුරුදු වෙනස් වේ. පෙරදී දැක්වූ නිදසුනේදී මෙන්, ඔවුන්ද මිමිණුම් නද දෙන්නට පටන් ගනියි.

ගිම්හානයේදී අලංකාර ගෙවතුවල නද දෙන මීමැස්සන් විසින් මල් පැණි උරා බොනු ලබයි. මෙය අපගේ තරුණ සමය මෙනි. අපි ලෝකයේ පවත්නා සතුට හා සුවය විඳිමු. එනමුත් සරත් සමයේදී මල් පාත්තිය කාන්තාරයක් සේ දිස්වන අතර, ශීත සෘතුවේදී එම ගෙවත්ත හරහා සුළං හමන විටදී, එතුළින් ශෝකී රාවයක් මතුවේ. මිනිසුන් එහි ගොස් මුඩුව පවත්නා එම වත්ත නැරඹීමට කැමති නොවෙති. ඇතැම් විට සම්පූර්ණ කන්දක්ම මලින් වැසී යන අතර, සීත සෘතුව තුළ නැවතත් මුලුමනින්ම මුඩු බිමක් බවට හැරේ. නිවෙස් සම්බන්ධ තත්ත්වයද එයාකාරය: එ්වාද කල් ගත වීමත් සමගින් වයස්ගත වේ. මෙලෙසින් මේ සියල්ල අනිත්‍ය පිළිබඳ නිදසුන් වේ. කෙසේ වුවද, වඩාත් ක්ෂණිකව අනිත්‍ය දහම උගන්වන ගුරුවරයා වනුයේ තමාගේම ශාරීරික ස්වරූපයයි. වයස්ගත වන්නට වන්නට, තවදුරටත් යෞවනයන් සේ කළ කටයුතු සිදු කිරීමට නොහැකි වේ: ගමන හා කටයුතු මන්දගාමී වන අතර පෙනුම වෙනස් වේ.

අනිත්‍යය යනු සජීවී සතුන්ට පමණක් අදාළ වූ දෙයක් නොව ගොඩනැගිලි, ස්වභාව ධර්මය, වතුපිටි හා කාලය ආදී අජීවී දේටද අදාළ වූවකි. නාගාර්ජුන හා අසංග පාදයන් අධ්‍යයන කටයුතු සිදුකළ නාලන්දාවේ මහා ආරාම, හා බුද්ධගයාව වැනි ස්ථානද කලකට පෙරම අතුරුදන්ව ඇත. ගැන්ඩන්, සෙරා හා තිබ්බතයේ පැවති සෙසු මහා ආරාමික විශ්වවිද්‍යාලනයටද එයම සිදුවී ඇත. අප දැන් සිටින තිබ්බතීය නිර්මාණ හා ලේඛනාරක්ෂක පුස්තකාලද අවසන දිරාපත්ව විනාශ වනු ඇත. මිතුරෙකුට ලිපියක් නමැති සිය කෘතිය තුළ නාගාර්ජුනයන් විසින් ප්‍රකාශ කරන ලද්දේ "සත්හිරු පායා සමස්ත විශ්වයම විනාශ වී ගියහොත් අපගේ සිරුරුද එසේම විනශ වන බවට සැකයක් නොමැත" යන්නයි. මක් නිසාද, අරූප බ්‍රහ්ම තලයේ පළමු මට්ටමේ ලෝක තලය දක්වා වූ සියල්ල එම විනාශය තුළ විනාශයට පත්වන බැවිනි.

කළු සුදු වර්ණැති මීයෙකු පැමිණ වරින් වර පිදුරු මිටියක් බැඳ ඇති ලණුව සපාකයි. මෙම නිදසුනේදී කළු සුදු වර්ණැති මීයන් තුළින් දිවා - රාත්‍රී කාලයන්ද, පිදුරු මිටියෙන් අප‌ගේ ආයු කාලයද, එ් වටා ඇති ලණුවෙන් එහි කාල පරිච්ඡේදයද සංකේතවත් වේ. මෙම ලණුව මුළුමනින්ම කා විනාශ වී ගොස් අප‌ගේ ජීවිත කාලය නියෝජනය කරන පිදුරු මිටිය බිම වැටෙන්නට පෙර, හැකිතාක් පුණ්‍ය ක්‍රියාවන්හි නියැළීමේ අවස්ථාවට ලබාගත යුතුය.

ගතවන සෑම මොහොතක් පාසාම අපි මරු වසඟයට යමින් සිටින්නෙමු. සතෙකු ඝාතකාගාරය වෙත ගෙනයන්නාක් මෙන්, සෑම පියවරක් පාසාම අපි මරණයට සමීප වන්නෙමු. ගන්නා සෑම හුස්මක්ම මරණයට සමීප වීමකි. මෙම උදෑසන අවදි වූ මොහොතේ පටන් කෙතරම් නම් අපි එයට ළංවී සිටින්නෙමුද?  අපි තරුණ වයසේ පසුවන්නන් වන බැවින් නොමියෙන්නෙමුයි සිතීම මෝඩකමකි. මරණයට වයස් භේදයක් නොමැත. සුදු කෙස් ඇති, දුනු සේ නැමුණු සිරුරැති ඉතා වයස්ගත දෙමව්පියන් හට සිය දරුවන්ගේ දේහයන් සොහොන් පිටිය කරා ගෙනයා හැක්කේ නම්, මරණයට වයස් භේදයක් ඇත්තේ යැයි පවසන්නේ කෙසේද? එ් අනුව, වයස්ගත වූ පසු පමණක් නොව, වයස නොතකා ධර්ම පිළිවත් පිරීම සිදුකළ යුතුවේ. ප්‍රයෝජනවත් එකම දෙය වනුයේ ධර්මය පමණි.

විශ්වාස කටයුතු එකම මිතුරා වනුයේ ඔබගේම පිළිවෙතයි. පුද්ගලයෝ විශ්වාස කටයුතු අය නොවේ. අයහපත් තත්ත්වයන් නමැති කුණාටුව මගින් ඔබගේ ධනය නමැති අස්වැන්න විනාශ වූ කල, පෙරදී ඔබ විසින් රැකබලා ගන්නා ලද යැපෙන්නන් සමූහය තුළින් පවා කිසිදු ප්‍රතිචාරයක් ලබාගැනීම දුෂ්කර වනු ඇත. අපි දුගී බවට පත්වන විටදී, සියලු දෙනා අප පහත හෙළා අත්හැර දමනු ඇත. මෙය මූලික මනුෂ්‍ය ස්වභාවයයි. වයස්ගතව, දුප්පතුන් බවට පත්වූ කල, ඔවුන් අප පිළිබඳ සැලකිලිමත් වීමක් පවා සිදු නොවනු ඇත. අප සතු ධනයක් හා ජනප්‍රියත්වයක් පවත්නා විටදී, පුද්ගලයන් විසින් නිරතුරු අපගේ අවධානය දිනා ගැනීමට උත්සාහ කරනු ඇත. ධනය ඇති විටදී ඔබ අසලට පැමිණෙන ඔවුන් ඔබගේ කීර්තිය උදෙසා ඔවුන්ද දායකත්වයක් සැපයූ බවක් මවා පෙන්වනු ඇත. මිනිසුන් ඔබගේ සතුට බෙදා ගැනීමට කැමති වුවද, දුක බෙදාගැනීමට අකමැති වෙති. ඔබ වෙතින් කිසිවක් හෝ ලබාගැනීමට නොහැකි වන විටදී, ඔවුහූ ඔබ නොසලකා හරිති. බුදුන් වහන්සේ මෙයට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කරන ලද අතර, දුගී හා අවශ්‍යතාවන්ගෙන් පෙළෙන්නන් වෙත වැඩි අවධානයක් යොමු කළ සේක.

යම් බලසම්පන්න පුද්ගලයෙකු විසින් ඔබගේ වඩාත් විශ්වාසවන්ත මිතුරා වෙත ඔබ අයහපත් අයෙකු බව පැවසුවහොත්, ඔවුන් සිය සිත් වෙනස් කරගනිමින් චපලත්වය විදහා දක්වනු ඇත. හුදෙක් වචන කිහිපයක් තුළින් පමණක් පසුදින ඔවුනට ඔබ එපාවනු ඇත. මෙමගින් "පෙරදී අඟල් කිහිපයකින් ළඟා විය හැකිව තිබූ දෙයට දැන් යාරයකින් පවා ළඟා විය නොහැකි වේ" යන කියමන සනාථ වේ. මින් අදහස් වනුයේ වචන කිහිපයකින් පවා ඔබට සමීපව සිටි අය දුරස් කළ හැකි බවයි. ධර්මය තුළ ස්ථාවර මිතුරා සොයා ගත යුතුය. මිතුරන් නිරතුරු එකිනෙකා කෙරෙහි සැලකිලිමත් වන අතර, ඔබගේ දුර්වලතා හා අත් වැරදි පෙන්වා දීමට මැලි වෙති. කෙසේ වුවද, සතුරා විසින් ඔබගේ දෝෂ තත්ත්වයන් පෙන්වා දෙන බැවින් ඔහු වඩාත් උපකාරී පුද්ගලයෙකු වේ.

ඇතැම්හූ ධනය රැස් කරමින් ජීවිත කාලයක් පුරා වෙහෙසෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස, ඔවුහූ බොහෝ සෙයින් වෙනස්ව බොහෝ දුක් අනුභව කරති. එය බොහෝ සෙයින් දුකට හේතුවක් වන බැවින්, අපි වස්තූන්වලට ඇලී නොසිටිය යුත්තෝ වෙමු. ධනය තුළ සතුටක් පවත්නා බව පෙනුනද, එවැන්නක් එහි නොපවතී. ධනය කෙරෙහි වූ අපගේ ආකර්ශනය ගින්න කෙරෙහි පළඟැටියා දක්වන ආකර්ශනයට සමාන වූවකි. ඌ ඉන්ම පරාජයට, විනාශයට පත්වනු ඇත. ධනවතුන් සතුටින් ජීවත්වන බවත්, මනාසේ සිටින බවත්, හොඳ නිවසක් ඔවුනට තිබෙන බවත්, මුදල් සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොපවත්නා බවත් පෙනේ. මෙය ආකර්ශනීය තත්ත්වයක් සේ පෙනී ගියද, මෙම තත්ත්වය තුළ ගිලී ගිය විටදී, එතුළ පවත්නා ගැටලු හා අවාසි පෙනෙන්නට පටන් ගනී. නිදසුනක් ලෙස, ඇතැම්හූ ආගමික නැඹුරුවක් සහිත අය වන නමුත් වස්තුව සපයාගත් පසු ආගම පිළිබඳ පවත්නා ඇල්ම ගිලිහී වඩ වඩාත් ධනයම රැස් කිරීමේ අදහස තුළ සිත නාභිගත වේ. ශීලය රැස්කර ගැනීම වෙහෙසක් සේ දකින අපි කිසි විටෙක හෝ ධනය රැස් කිරීම වෙහෙසක් සේ නොදකිමු.

කෙටියෙන් පවසන්නේ නම්, ජීවිතය අස්ථිර වන අතර මරණය අනිවාර්යයෙන්ම ළඟාවන්නක් වන බැවින්, අපි එයට සූදානම් විය යුතු වෙමු. එනමුත්, එය පැමිණි කල ආපසු හරවා යැවිය හැක්කක් නොවේ. පොහොසතුන් හට අල්ලස් දීමෙන්ද, මනා පෙනුමෙන් යුත් අය හට සිය වසඟයට ගැනීමෙන්ද, හැඩි දැඩි අය හට පොර බැදීමෙන්ද එය පාලනය කළ නොහැක. ඇතැම් අවස්ථාවන්හි වීසා කාඩ්පතෙහි හෝ නේවාසික අවසරපත්‍රයක දින දීර්ඝ කරගැනීමට අවශ්‍ය නම් මුදල් ගෙවා එය සිදුකරගත හැකි නමුත් මුදලට අපගේ ජීවිත කාලය දීර්ඝ කරවාගත නොහැක. 

මරු වසඟයට පත්වූ කල, උපතේ සිට අප සමගින් පැවති සිරුරද හැරදා යන්නට සිදුවනු ඇත. උණුසුම් සයනයක අවසන් හුස්ම හෙළුවද, විඥානය නිකුත්ව ගිය කල, මොහොතකුදු ආපසු හැරී අපගේ ඥාතීන්, මිතුරන් හා ධනය දෙස බැලීමේ හැකියාවක් නොමැත. ජීවිතයේ යථාර්ථය වන මෙයට සූදානම් විය යුතු වෙමු. වෙහෙස නොබලා සියලු දුෂ්කරතාවයන් දරා සිටිමින් රැස්කල සියලු දේ අත්හැර දමා යාමට සිදුවේ. අපගේ පුණ්‍ය ක්‍රියාවන්හි හා පාප ක්‍රියාවන්හි ගමන් මල්ල, බර හා වගකීම කර තබාගනිමින් මෙම ජීවිතයෙන් ඔබ්බට යාමට සිදුවනු ඇත. ඇතැම් මහලු දෙමව්පියන් විසින් සිය මුණුපුරු මිණිපිරියන් උදෙසා නිවෙස් තනන නමුත් මියයන විටදී, හුදෙක් දරුවන් මෙම නිවාසයේ සතුට භුක්ති විඳින අතර නිවස ගොඩනගමින්, එ් උදෙසා පණුවන් ආදීන් මරණයට පත් කරමින් සිදුකරන ලද සියලු පාප ක්‍රියාවන්හි බරද රැගෙන යන්නට ඔවුනට සිදුවනු ඇත. මෙලෙසින්, එවන් ක්‍රියාවන් මගින් අප විසින් හුදෙක් පාපකර්ම බර පමණක් රැස්කරගනු ලබයි.

අපගේ ජීවන මගෙහි දුෂ්කර මාර්ගයන් තුළ ගමන් කරන අතරතුර මාර සෙනග විසින් ගමන අතරමග නවතාලන විටදී ධනය රැස් කිරීම උදෙසා දරන ලද උත්සාහයන්හි අප්‍රයෝජනවත් බව අවබෝධ කරගන්නෙමු. එකල බොහෝ සෙයින් පසුතැවෙන්නට සිදු වුවද, ඉන් එතරම් ප්‍රයෝජනයක් සිදු නොවනු ඇත. එක් ආප්තෝපදේශයකින් ප්‍රකාශවන පරිදි: "කල්තබා සිතන්නට හැකිනම් ඔබ ප්‍රඥාවන්තද, පමාවී පසුතැවිලි වන්නේ නම් අමනෝඥයෙකුද වේ." නොදන්නා පෙදෙසක ජීවත්වන අමුත්තෙකු වෙනුවෙන් ඇති සැබෑ මාර්ගෝපදේශය ධර්මයයි; දීර්ඝ ගමනක් සඳහා වූ සම්පාදනයන් පවත්නේද ධර්මය තුළය; සාගරයේ අනෙක් කෙළවර දක්වා අප පදවාගෙන යන හබල්කරුවා ධර්මයයි. අද දින සිට ඔබගේ සිත, කය හා වචනය ධර්මය කෙරෙහි යොදවන්න.

අපගේ පෞද්ගලික සතුට ආරක්ෂා කරගැනීම අපගේ පෞද්ගලික හැකියාව මත රඳා පවත්නක් වන අතර, එය එසේම සිදුකළ යුතුවේ. නොඑසේ නම්, ව්‍යාකූලත්වයට පත්ව සිදුකළ යුත්තේ කවරක්ද යන්න නොදන්නා සමයක් උදාවනු ඇත. මියයන ධර්මානුකූල පුද්ගලයා හා දුසිල්වත් පුද්ගලයා අතර බොහෝ වෙනස්කම් පවතී. පසුකී පුද්ගලයා කිසිදු දැනුවත්භාවයකින් තොරව, වේදනාවෙන් මිය යයි. පෙරකී පුද්ගලයා සාමයෙන් මියයන අතර, එම අවස්ථාව සඳහා කල්තබා සූදානම්ව සිටින අතර දුගී දුප්පතුන්, සිය ඥාතීන් හා අසරණයන් ආදීන් වෙත සිය ධනය බෙදාදී ඇත. ආගමික පුද්ගලයා සේ වනු පිණිස, හැකිතාක් දුරට මෙම දේශනාවන් තුළින් ඉගෙනීමට උත්සාහ කළ යුතුය. සාවද්‍ය අත්හැරීමක් පෙන්වමින් සියලු ආහාරයන්ගෙන්, නින්දෙන් හා ධනයෙන් වැළකී සිටිය යුතු නොවන නමුදු, එ් වෙනුවට ආධ්‍යාත්මිකත්වය හා භෞතික කරුණු අතර සමබරතාවයක් පවත්වා ගනිමින් හැකිතරම් හොඳින් පිළිවෙත් පිරීමට උත්සාහ කළ යුතුය.

ධර්ම පිළිවෙත් පිරීම යනු විශේෂ ඇඳුම් ඇඳ චාරිත්‍ර විධි අනුගමනය කිරීම නොව උණුසුම්, ආදරණීය හා කාරුණික හදවතක් පවත්වා ගැනීමයි. මියගොස්, අපාගතව මාරයා හමුවන තිබ්බතීය කාන්තාවක් පිළිබඳ කථාවක් ඇත. ඇය ඔහුට පවසන්නේ තමා ශාරීරිකව වැරදි කර තිබුණද, මානසිකව එසේ සිදු කරන ලද්දේ සද්භාවයෙන් වන බවයි. එ් හේතුවෙන් ඇය කලින් සිටි ස්වරූපයෙන්ම නැවත ජීවිතය කරා පිටත්කර යවන ලදී. අපගේ ක්‍රියාවන් පිටතින් කෙසේ පෙනුනද, කාරුණික හදවතක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙමගින් පෙන්නුම් කරයි.

එක් ආප්තෝපදේශයකින් ප්‍රකාශ කෙරෙන පරිදි "ධර්මය පිළිබඳ බොහෝ දේ ප්‍රකාශ කරන අය පිළිවෙත් පුරනුයේ අඩුවෙනි." අතීෂයන් විසින් මෙකරුණ නිරතුරු අවධාරණය කරන ලද අතර, පුද්ගලයෙකු මුණ ගැසුණු ඕනෑම අවස්ථාවක ඔහු ඇසූ පැනය වූයේ "ඔබට යහපත් හදවතක් ඇත්තේද?" යන්නයි. ඩ්‍රොම්ටොන්පා හට අතීෂයන්ගේ මියයාම පිළිබඳ පුවත කණ වැකුණු විගස, ඔහු බොහෝ සෙයින් දුක් වූයේ මරණාවස්ථාවේදී තමාට අතීෂයන් සමගින් සිටින්නට නොහැකි වීම පිළිබඳවයි. කෙසේ වුවද, අතීෂයන් විසින් සිය අනුගාමිකයන් වෙත පණිවිඩයක් තබා ගොස් තිබිණි. එහි සඳහන් වූයේ තමා දිවි හැරගිය අවස්ථාවකදී, අනුගාමිකයන් තුළ යහපත් හදවතක් පැවතියේ නම්, එයින් අදහස් කරන්නේ තමා දැකීමම වන බවයි. මේ මොහොතේ අන්‍යයන් වෙත ප්‍රයෝජන සැලසීමට නොහැකි වීම පිළිබඳ මැසිවිලි නැගුවද හුදෙක් අන්‍යයන් වෙත හානි පැමිණවීමෙන් වැළකිය හැක්කේ නම්, එයද අපගේ මට්ටමින් ඉමහත් සෙත් සැලසීමක් වන බවට වූ කඩම්පා දේශනාව පිළිබඳවද එය මනා සිහි කැඳවීමකි. කිසිවෙකු හෝ අසතුටට පත් නොකිරීමට උත්සාහ කරන්න.

තමාගේ හුස්ම ධාරාව අඛන්ඩව පවත්නා අතරතුර ධනාත්මක විභවයන් රැස්කොට ගනිමින් තමාගේ අනාගතය ආරක්ෂා කරගැනීමේ අවස්ථාවක් ඇත. ඔබ එකම අවස්ථාවේදී ඔබගේ හොඳම මිතුරාද, පරම සතුරාද වේ. මතු විඳීමට සිදුවන කවර හෝ සතුටක් වේනම් එය ඔබ මතම රඳා පවත්නකි. ධර්ම පිළිවෙත් පිරීමකින් තොරව මියයන අයෙකු යනු මියයන සුනඛයෙකු මෙනි. එහිදී ඔබ මනුෂ්‍යයෙකු ලෙස ලද උත්පත්තිය හා සුනඛ යෝනිය අතර වෙනසක් නොමැත. ධර්ම පිළිවෙත් නොපුරන සක්විති රජෙකු හා විථියේ මියයන සුනඛයෙකු අතර කිසිදු වෙනසක් නොමැත. සැබැවින්ම, මියගිය කල්හි සුනඛයා අඩුවෙන් පාප කර්ම රැස්කර ඇති සත්ත්වයා බවට පත්විය හැක. එබැවින්, පිළිවෙත් පිරීමේ ආරම්භයේදීද, මධ්‍යයේදීද, අවසානයේදීද අනිත්‍යය මෙනෙහි කිරීම වැදගත් වේ. අතිශයින් ඉහළ අවබෝධයක් හා අත්දැකීම් සහිත ගුරුවරුද අනිත්‍ය භාවනාවෙහි නියැළෙති.

සියලු පා සටහන් අතර විශාලතම පා සටහන අලියා සතුවේ.  සියලු සිතිවිලි අතරින් වඩාත් යහපත් සටහනක් තබන සිතිවිල්ල වනුයේ අනිත්‍යය පිළිබඳ සිතිවිල්ලයි.

සිය මන්ත්‍ර ගුරුවරයාගේ ගුරුවරයා මරා දැමීම දුටු අවස්ථාවේදී මිලරේපා දහම් මගට පිවිසියේය. ගම්පෝපා සිය බිරිඳගේ මරණය සිදුවූ අවස්ථාවේ දහම් මගට පිවිසියේය. මේ හා සමානව, බුදුන් වහන්සේද පළමු මරණය දුටු අවස්ථාවේදී දහම් මගට පිවිස මෙම දුකට විසඳුමක් සෙවීමේ අනුප්‍රාණය ලැබීය. අනිත්‍යය කේන්ද්‍රීය මාවත ලෙසද සඳහන් වේ ( මෙය මධ්‍යමක හෝ මධ්‍යම ප්‍රතිපදාව සමගින් පටලවා නොගත යුතුය). මෙම ජීවිතය කෙරෙහි ඇලී සිටීම වළකා පිළිවෙත් පූරණයෙහි සමස්තය තුළට පුණ්‍ය සිතිවිලි ස්ථාපනය කරවනු ලබන ක්‍රියාව සිදු කරනුයේ මෙම කේන්ද්‍රීය මාවත මගිනි. අනිත්‍යය "කේන්ද්‍රීය මාවත" ලෙස පවත්වාගන්නා මෙම මාර්ගය සම්බන්ධව මෙයට වඩා වැඩි ගැඹුරැති අරුත් දැක්වීම්ද පවතී. එය මධ්‍යමක ක්‍රමයටද විස්තර කළ හැක. අනිත්‍යය යනු මධ්‍යමක දර්ශනය කරා වූ අන්තර් ඥානය ගොඩනැගීමේ පදනම වන අතර එමගින් සාවද්‍ය මමෙකු පිළිබඳ සංකල්පයන් මුළිනුපුටා දමමින් සම්ප්‍රදායික තමාට අදාළ යථාර්ථය තුළ අප ස්ථාපනය කිරීමට උපකාරී වේ.

සිත විසිර යන සිතිවිලිවලින් ඉවත් කොට ධර්මය මත අවධානය යොමු කළ විටදී, පහත දේ සිදුකළ යුතුය. ගැඹුරු එ්වා සේ කීර්තියක් අත්කරගෙන ඇති බොහෝ පිළිවෙත් පූරණ සම්ප්‍රදායන් පවත්නේ නමුදු, ෂොංඛපාගේ මනා සේ ස්ථාපිත සම්ප්‍රදාය තුළින් තෙකල් බුදුවරුන්ගේ දේශනාවන්හි සම්පූර්ණ සාරය අනුගමනය කිරීමට උත්සාහ කිරීම වඩාත් යෝග්‍ය වේ. මේ සඳහා විස්තර කිරීම හා පිළිවෙතද යන දෙකරුණම අන්තර්ගත සූත්‍ර හා තන්ත්‍රයනට අදාළ එ්කාබද්ධ, සංගත ක්‍රමයන් අනුගමනය කළ යුතුවේ. මෙය අනුගමනය කරනු පිණිස, මාර්ගයේ ස්වභාවය, අදියරයන් හා බෙදීම්ද දැන සිටිය යුතු අතර එ්වා නිසි පරිදි අනුගමනය කළ යුතුවේ. නිදසුනක් ලෙස, සූත්‍රයනට පෙර තන්ත්‍ර පිළිවෙත් පිරීම සිදු නොකළ යුතු අතර, අගනා මිනිස් භවය, ආරක්ෂිත දිශානතිය (සරණ), පටිච්ච සමුප්පාදය ආදිය පිළිබඳ දැනුවත්භාවයකින් තොරව බෝධිචිත්ත අධ්‍යයනයක්ද සිදු නොකළ යුතුය.

දිනෙන් දින සම්පූර්ණ, නොවරදින මාර්ගය හා එහි අත්‍යවශ්‍ය ඉගෙනුම් සඳහා වූ සහජාශයන් පැළ කිරීමට උත්සාහ කළ යුතුය. සෑම දිනකම හැකිතාක් යාත්‍රා කිරීමට උත්සාහ කරන වෙළෙන්දන් සෙයින්, හැකිතාක් ධනාත්මක විභවයන් ගොඩනගනු පිණිස දිනෙන් දින හැකි තරම් සංඛ්‍යාවක් ධවල බීජ පැළ කිරීමට උත්සාහ කළ යුතුය. සැබෑ පිළිවෙත් පිරීම තුළ, සාමාන්‍යයෙන් සිහි තබාගනිමින්, මන්දගාමීව ගායනා කරමින් භාවනාවෙහි යෙදෙන හා ජෝචෝ මූලික පිළිවෙතෙහිද දක්නට ලැබෙන යහපත් ගුණාංග සඳහා වූ පදනම වැනි සූත්‍ර හා තන්ත්‍රයනට පොදුවූ මාර්ගයනට අදාළ කෙටි පාඨයක් සම්බන්ධ බැලුම් භාවනාවක යෙදිය හැක. ශ්‍රේණිගත මාර්ගයට අදාළ කෙටි කරුණු දැක්වීම් යනු තවත් එවන් කෘතියක් වන අතර, එතුළ බලසම්පන්න ආකල්ප සය සඳහන් කරනු ලබයි. මෙයාකාර බැලුම් භාවනා සඳහා අපට යොදාගත හැකි තවත් කෘතියක් වනුයේ ගුරු පූජා - ලාමා චෝපා හි ලම් රිම් ශ්‍රේණිගත අදියරයන් වේ. බැලුම් භාවනාව යනු අප විසින් උගත් දේ සමාලෝචනය කොට එ්වා සාමුහිකව අපගේ සිත් තුළ සංවිධානය කිරීමට උපකාරී වන කාර්යක්ෂම විධික්‍රමයකි. සියලු දේහි පිහිටීම නිරීක්ෂණය කරනු පිණිස සිතියමක් සමාලෝචනය කිරීමක් හෝ සමස්ත සැලැස්මට අදාළ කන්දක් මුදුනේ සිට එ් දෙස විමසා බැලීමකට මෙය සමාන වේ.

මේ මොහොතේදී ශ්‍රේණිගත අදියර සම්බන්ධ අත්දැකීමක් ලබාගැනීම දුෂ්කර විය හැකි නමුත්, සෑම දිනකම බැලුම් භාවනාව සිදු කිරීම මගින් අපගේ සිත් තුළ සමස්ත‌ දේශනා රාශිය සඳහාම වූ උපදෙස් පැළ කරවනු ලබයි. ශ්‍රේණිගත අදියර පිළිබඳ භාවනා කරන විටදී, උපදෙස් තුළ ලබාදී ඇති නිවැරදි ක්‍රියා පරිපාටිය අනුගමනය කළ යුතුවේ. පළමුව, බෝධිචිත්ත අභිප්‍රේරණයක් පවත්වා ගනිමින් අවසන කැප කිරීමක් සිදුකළ යුතුය. සැසිය ආරම්භයේදී අපගේ අභිප්‍රේරණයක් පවත්වන විටදී අන් සියලු දෙනා වෙනුවෙන් මෙම භාවනාවෙහි යෙදෙන බව සිතිය යුතුය. මෙය සිදුකළ නොහැක්කේ නම්, අවම වශයෙන් අත්හැරීම හෝ සිදුකළ යුතුය. භාවනාව අවසානයේදී, අප විසින් නිර්මාණය කරගෙන ඇති ධනාත්මක විභවයන් සියලු සීමිත සත්ත්වයන්ගේ සතුට හා බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම උදෙසා කැපකළ යුතුවේ. මෙයාකාරයේ පිළිවෙත් පිරීම්හි නියැළී ඔබගේ අගනා මිනිස් දිවියේ සාරය ලබාගන්නා ලෙස ඔබ උනන්දු කරවමි. "සාරය ලබාගැනීම" යන්න තුළ අර්ථ නිරූපණ මට්ටම් තුනකි: මහා, අන්තර්මධ්‍ය හා සුළු වශයෙනි. මහා අදියර යනු මෙම ජීවිතය තුළම බුද්ධත්වයට පත්වීම වන අතර අන්තර්මධ්‍ය යනු ක්ලේශයන්ගේ සියලු දල ස්වරූපයන් වෙතින් විමුක්තිය උදාකර ගැනීම වන අතරම, සුළු අදියර යනු පහත් තලයන්හි පුනරුත්පත්තිය ලැබීමෙන් නිදහස ලැබීමයි.

කැප කිරීම

මෙයින් ජනිත වූ ධනාත්මක බල සමූහයේ බලයෙන් හා ශක්තියෙන් අපට දුකෙහි මූලයන් වන නිත්‍ය වූ දේ කෙරෙහි වූ ග්‍රහණයද, ලෝභයද, ද්වේශයද විනාශ කර දැමීමට හැකිවේවා. සැබෑ පැවැත්මක් පවත්නේය යනුවෙන් පවත්වාගෙන යන ග්‍රහණය නම්වූ සංසාරයේ මූල හේතුව පවත්වාගෙන යන බලවේගයන් විනාශ කර දැමීමට විශේෂයෙන්ම අපට හැකිවේවා. සියලු දෙනා බුද්ධත්වය නම් වූ මහා සුභ අමරණීයත්වයට පත් වේවා.

ධර්මය පෝෂණය වෙමින් පවත්නා සමයෙක සිදු කරන සිය ගණනක් වූ ආචාර ධාර්මික ක්‍රියාවනට වඩා ධර්මය වියැකී යමින් පවත්නා මේ යුගයේ එක් දිනක් තුළ සිදුකරන ධර්ම පිළිවෙත් පූරණයක් වඩා අගනේය. ධර්ම පිළිවෙත් පිරීම යන්නෙන් අදහස් කරනුයේ යහපත් හදවතක් සහිතව, කාරුණිකව, අන්‍යයන් පිළිබඳ සැලකිලිමත්ව, කාරුණිකව අන්‍යයන් වෙත හානි පැමිණවීමෙන් වැළකී සිටීමයි. මෙයයි ගුරුවරුන්ගේ කාරුණිකත්වයට කෘතගුණ දැක්වීමේ විධිය. හදවත තුළ වෛර ගිනි අවුලුවා ගනිමින් කාරුණිතක්වයක් ආරෝපණය කරගෙන සිටිනු වෙනුවට, නිර්ව්‍යාජව ධර්ම පිළිවෙත් පිරීම වඩාත් අගනේය. මිලරේපා විසින් සඳහන් කළ පරිදි "ඔබගේ පෞද්ගලික සතුට උදෙසා පමණක් කටයුතු නොකරන්න, අන්‍යයන්ගේ සතුට වෙනුවෙන්ද කටයුතු කරන්න. මෙයයි පිය ගුරු වෙත කෘතවේදී වීමේ මාර්ගය."

ධර්මය තුළට ප්‍රවේශ වීම සඳහා ආරම්භකයන් වෙත පවත්නා හොඳම මාර්ගය වනුයේ මුළින්ම දස පාප ක්‍රියාවන් පිළිබඳ ඉගෙන එ්වායින් වැළකී සිටීමයි.ඉන්පසු ක්‍රමිකව සිය පිළිවෙත් ගොඩනගා ගනිමින් භාවනාවට පිවිසිය හැක. ක්ෂණිකව ආරම්භයේ සිටම භාවනා කිරීම මගින් හුදෙක් ඉච්ඡා භංගත්වය, හා ව්‍යාකූලත්වය පමණක් ඇතිකළ හැකි බැවින් පහසුවෙන් භාවනාව කෙරෙහි ද්වේෂයක් ගොඩනැගිය හැක. මෙයයි ධර්ම පිළිවෙත් පිරීම සඳහා පවත්නා වඩාත් හානි විරහිත, වඩාත් දැඩිසේ ස්ථාපිත පදනම. දස පුණ්‍ය ක්‍රියාවන් සම්බන්ධ ආචාර ධර්ම පිළිවෙත් පිරීමේදී, අප විසින් පව්-පින් පිළිබඳ ස්වයං උදාරත්වයක් ගොඩනගා ගනිමින් අපගේ ක්‍රියාවන් අන්‍යයන් වෙත ප්‍රතිබිම්බනය වන ආකාරය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙමින්, සිහිය හා සුපරීක්ෂාකාරිත්වය ගොඩනගාගත යුතුය. හුදෙක් අප සතුටු කරවන ඕනෑම දෙයක් සිදු කිරීමෙන් වැළකී, අප විසින් අඳින, කරන, සිතන හා පවසන දේ අන්‍යයන් වෙත බලපාන්නාවූ ආකාරය පිළිබඳව සිතා බැලිය යුතුය. වැදගත්ම දේ වනුයේ අන්‍යයන් වෙත හානි නොපැමිණවීමයි.

Top