ලම්-රිම් පිළිවෙත් පිරීම සඳහා භාවනා උපදෙස්

අපට බුදුන් වහන්සේගේ දේශනා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ නම් පැහැදිලිවම භාවනාව වැදගත් මාතෘකාවක් වේ. කෙසේ වුවද, භාවනාව යනු විශේෂයෙන්ම බෞද්ධ වූ දෙයක් නොවේ. සියලු ඉන්දියානු සම්ප්‍රදායන් තුළ මෙන්ම ඉන්දියාවෙන් පරිබාහිර බෞද්ධ නොවන පද්ධති තුළද භාවනාව හමුවේ.

"භාවනා" යන වදන සංස්කෘත වදනකි. භාවනා යන්න "වීම" හෝ "යමක් වෙනෙකකට හැරවීම" යන අරුත දෙන "භු" යන ක්‍රියා පදයෙන් පැනවෙන්නකි. එ් අනුව, භාවනා යනු යම් ධනාත්මක චිත්ත ස්වභාවයක් ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳ දේශනාවන් අප වෙතට ලබා ගනිමින් උපමාවට අනුව අප එම තත්ත්වයට "පත්වීම" ඇති කරවන ක්‍රියාවලියයි. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, භාවනා ක්‍රියාවලිය මගින්, අප විසින් අපගේ සිත් විශේෂයෙන්ම ප්‍රයෝජනවත් තත්ත්වයකට පත් කරවන්නෙමු.

භාවනා යන්න සංස්කෘත "භූ" ධාතුව හෙවත් "වීම" අඟවන වචනයෙන් පැන නගින බැවින්, භාවනා යන්නෙන් පරිවර්තනයක් ඇඟවේ. නිදසුනක් ලෙස, ප්‍රේමය පිළිබඳ භාවනාවෙහි නියැළෙන්නේ නම්, අප විසින් සැබැවින්ම අපගේ හදවත් තුළ ප්‍රේමය ඇති පුද්ගලයෙකු බවට අපවම පරිවර්තනය කරනු ලබයි. එම වචනය සංස්කෘත භාෂාවෙන් තිබ්බතීය බසට පරිවර්තනය කෙරෙන විට එය "යම් පුරුද්දක් ගොඩනගා ගැනීම" නමැති අදහස ගෙනදෙන වචනයද සමගින් පරිවර්තනය කෙරිණි. මෙම තිබ්බතීය වචනය "ගොම්" යන්නයි. "ගොම්" යන්නෙන් අදහස් කෙරෙන්නේ අප යම් ධනාත්මක අයෙකු බවට (සෘණාත්මක හෝ උදාසීන අයෙකු බවට නොවේ) පුරුදු මගින් හරවාගෙන එමගින් ධනාත්මක, නිර්මාණාත්මක පුරුද්දක් ගොඩනගා ගැනීමයි.

එ් අනුව තිබ්බතීය වදන සංස්කෘත වචනයට බොහෝ දුරට අරුතින් හෝ ඇඟවීමෙන් සමාන වූවකි. මෙම වදන් දෙකෙහිම ඇඟවුම වනුයේ අප අපගේ අරමුණට සමාන තත්ත්වයකට (නිදසුනක් ලෙස හදවතෙහි ප්‍රේමය දරා සිටින්නෙකු බවට) පරිවර්තනය වීම සඳහා ප්‍රයෝජනවත් පුරුද්දක් ලෙස ප්‍රේමය ගොඩනැගිය යුතු බවයි. මෙම ප්‍රයෝජනවත් පුරුද්ද ගොඩනැගීම පිණිස යොදාගනු ලබන ක්‍රමය වනුයේ භාවනාවයි.

දේශනාවනට සවන් දීම

බුදුන් වහන්සේගේ සමයට පෙර සිට පැවති ප්‍රධාන භාරතීය දාර්ශනික ග්‍රන්ථ උපනිෂද් ග්‍රන්ථ වූ අතර, මෙම ග්‍රන්ථ තුළ එ්වන විටද භාවනාව සම්බන්ධ කරුණු අන්තර්ගත විය. උපනිෂද් ග්‍රන්ථ තුළ, භාවනාව පියවර තුනක ක්‍රියාවලි සන්දර්භයක සාකච්ඡා කෙරේ: ඇහුම්කන් දීම, චින්තනය හා භාවනාව වශයෙනි. මෙම ත්‍රිවිධ පියවර ක්‍රියාවලිය බුදුන් වහන්සේ විසින් හඳුන්වාදෙන ලද්දක් නොවේ: එය උන් වහන්සේගේ කාලය වන විටද පැවතුණකි. එ් අනුව, අපට යම් කිසිවක් ධනාත්මක පුරුද්දක් බවට පත්කර ගැනීමට අවශ්‍ය වන්නේ නම්, පැහැදිලිවම අප විසින් පළමුව එය ශ්‍රවණය කළ යුතුය; ඉනික්බිති එ් පිළිබඳ කල්පනා කිරීමෙන් එය වටහාගත යුතුය; අවසන, එය අපගේ ජීවිත තුළට එ්කාබද්ධ කරගත යුතුය.

අපි ධර්මය පිළිබඳ කිසිවක් හෝ නොදන්නේ නම්, බුදු දහම පිළිබඳ මූලික තොරතුරු ලබාගෙන එම තොරතුරු නිවැරදි බවට සහතික කරගත යුතුය. නිවැරදි මූලික තොරතුරු පමණි නිර්ව්‍යාජ ධර්ම දේශනාවන් පිළිබඳ ඇල්මක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය විශ්වසනීය පදනමක් සකසනු ලබන්නේ. බුදුන් වහන්සේගේ සමයේදී, කෙසේ වුවද, දාර්ශනික දේශනා කිසි ලෙසකිනුදු ලේඛනගතව නොපැවතිණි. එ්වා ලේඛනගත ග්‍රන්ථ බවට සම්පාදනය කිරීම ආරම්භ කෙරුණේ  සියවස් ගණනාවකට පසුවය. මේ හේතුවෙනි පියවර තුනේ ක්‍රියාවලිය දේශනාවනට "සවන්දීම" සම්බන්ධ අවශ්‍යතාවයෙන් ආරම්භය ගනු ලබන්නේ - වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, හඬ නගා දේශනා කරන දේශනාවනට සවන්දීමයි.

වර්තමානයේදී ඔබට ගොඩනගාගත හැකි ඇතැම් පිළිවෙත් වර්ග හෝ චිත්ත ස්වභාවයන් පිළිබඳව පොත්පත් තුළින් කියවීම හෝ අන්තර්ජාලයෙන් දැන ගැනීමද මෙම පළමු පියවර තුළට ඇතුළත් කළ හැක. ගුරුවරයෙකු වෙතින් ධර්මය ශ්‍රවණය කරන විටදී ගරුවරයෙකු සැබැවින්ම අප ඉදිරිපිට සිටීමෙන් ඇති කෙරෙන විශේෂ වටපිටාවක් ඇති බැවින් මෙකරුණ විවාද සම්පන්නය. සජීවී දේශනාවකට සවන් දෙන විටදී, පොතක් කියවීමෙන් ලැබෙන ආභාසයට වැඩි ආභාසයක් ගුරුවරයා වෙතින් ලැබිය හැක. පැහැදිලිවම යමෙකු විසින් කෘතීන් ලියා තැබිය යුතු වුවද, තත්ත්වය මෙයයි. අපගේ එදිනෙදා ජීවිත තුළද මෙකරුණ සත්‍ය බව අපට වැටහේ. නිදසුනක් ලෙස, සජීවී සංගීත සංදර්ශනයකට යන විටදී, හුදෙක් නිවසේ සිට එම සංදර්ශනය සංයුක්ත තැටියක් ධාවනය කිරීමෙන් නැරඹීමට වැඩි බලවත් බවකින් හා ආභාසයක් සහිතව එය භුක්ති විඳිය හැක. එය වූකලි වෙනස්ම වූ අත්දැකීමකි.

දේශනාවනට සවන් දෙන විටදී, වඩාත් ප්‍රයෝජනවත් උපදෙස් අතරින් එකක් වනුයේ "මැටි මල් පෝච්චියක් සේ වූ දෝෂ තුන" ඉවත් කළ යුතු බවයි.

  • පළමුව කිසිවක් හෝ ඇතුළට දැමිය නොහැකි වන පරිදි යටිකුරු අතට හැරවූ මල් බඳුනක් මෙන් වීමේ අත් වැරැද්දෙන් වැළකී සිටිය යුතුය. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, අපගේ සිත් වැසී ඇත්තේ නම්, අපට ශ්‍රවණය කරන දෙය තුළින් කිසිවක් හෝ ඉගෙනීමට නොහැකි වනු ඇත.
  • ඉනික්බිති, පතුලේ සිදුරක් සහිත මල් පෝච්චියක් සේ වීමේ වරදින්ද අත් මිදිය යුතුය. එහිදී, ඇතුළට වත් කරන කවර දෙයක් වුව එම සිදුරෙන් ඉවතට ගලා යනු ඇත. ඉංග්‍රීසි භාෂාවෙන්, එය "දේවල් එක් කනකින් අසා අනෙක් කනින් පිටකිරීම" වැන්නකි.
  • අවසන, අපිරිසිදු මල් බඳුනක් සේ වීමේ වරදින්ද මිදිය යුතුය. කිලිටි මල් බඳුනකට පිරිසිදු ජලය වත් කළහොත්, එම ජලයද අපවිත්‍ර වේ. වෙනත් වචනවලින් ප්‍රකාශ කරන්නේ නම්, පූර්ව සංකල්ප බොහෝ සෙයින් සිත තුළ පොදිගසා ඇති විටදී, ලැබෙන අලුත් අදහස් මෙකී පූර්ව සංකල්ප විසින් දූෂණය කරනු ලබයි. හුදෙක් ධර්මය දේශනා කරන්නා ප්‍රකාශ කරන‌ දේ අසා සිටීමෙන් ඔබ්බට ගොස්, මෙවන් අවස්ථාවන්හි අපගේ අදහස්වලට අදාළ ප්‍රක්ෂේපණයන් සහිත නව අදහස්ද එයට එක් කරනු ලබයි.

මෙම වැරදිවලින් වැළකි සිටීමට උපකාර කරනු පිණිස, යම් දේශනාවකට සවන් දුන් විටදී, සඳහන් කරන ලද අදහස් නිවැරදිව සිහි තබාගත හැකිවනු පිණිස එ්වා ලියා තබාගැනීම හෝ පටිගත කරගැනීම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇත. අප බොහෝ දෙනෙකු හට සර්ව සම්පූර්ණ මතකයන් නොමැති බැවින් මෙකරුණ ඉතා ප්‍රයෝජනවත් වේ. ශ්‍රවණය කළ දේ ලියා තැබීමට කල් ගත වන්නට වන්නට, එම මතකයන් අපගේ පූර්ව සංකල්පනා මගින් වඩ වඩාත් කිලිටි විය හැක. එ්වා ලියාගෙන හෝ පටිගත කරගෙන තබාගත් පසුව පවා, එ්වාට නැවත නැවතද සවන් දිය යුතුය. හුදෙක් දේශනා අපගේ පොත් රාක්කයේ සටහන් ලෙස හෝ පරිගණකයේ හෝ අයි පොඩයේ ලිපි ගොනුවක් ලෙස පමණක් තබා ගැනීම ප්‍රමාණවත් නොවේ.

ධර්ම පිළිවෙත් පිරීමට එළැඹීම සඳහා පහත කරුණු සම්පූර්ණ විය යුතු බව සාක්‍ය ගුරු සොනැම් සෙමෝ විසින් පවසන ලදී:

  • පළමුව අප තුළ ගැටලු ඇති බවත් අපි දුක් විඳින්නන් වන බවත් පිළිගත යුතුය.
  • ඉනික්බිති අපගේ දුක්ඛිත තත්ත්වයෙන් මිදීමේ පැතුමක් පැවතිය යුතුය.
  • අවසන, දුකින් මිදීමේ මගක් ලෙස ධර්මය පිළිබඳ ඇල්මක් පවත්වාගත යුතුය.

මේ සඳහා අලුතින් ඉදිරිපත් වන්නන් විසින් සැබැවින්ම විවෘත මනසකින් පැමිණිය යුතු අතර ඉගෙන ගන්නා දෙය දරා ගැනීමට උත්සාහ කළ යුතුය; එනමුත්, වඩාත් වැදගත් වනුයේ ශ්‍රවණය කරන දෙය ඇගයීමේ අභිලාෂය හා අපේක්ෂාව සහිතව ධර්ම දේශනාවට සවන් දීමයි. අප විසින් ශ්‍රවණය කරනු ලබන දේශනය ක්‍රියාවට නැගුවහොත් අපට පෞද්ගලිකවම අපගේ ගැටලු මැඩ පැවැත්වීමට ඉන් රුකුලක් ලැබිය හැක්කේද, නැත්ද යන්න නිර්ණය කරනු පිණිස එය ඇගයීමට ලක්කළ යුතුය. අපි හුදෙක් පාසැලේ විභාගයකින් සමත් වීම පිණිස හෝ අපගේ විශාරද දැනම අන් අයට පෙන්වනු පිණිස බෞද්ධ දේශනා ඉගෙන ගන්නෝ නොවෙමු. පෞද්ගලිකවම අපගේ ජීවිතවටලට අදාළ හා ප්‍රයෝජනවත් වන දෙයක් එතුළ පවත්නේද හා සොයාගත හැකිද යන්න විමසනු පිණිස ධර්මය ශ්‍රවණය කරමු.

දේශනාවනට සවන් දෙන විටදී, අප හා අදාළ තත්ත්වය පිළිබඳ සලකා බැලිය හැකි විවිධ විධීන් පවතී. "හැඳිනීම් තුන" ලෙස හඳුන්වනු ලබන ක්‍රමය තුළ, අපි අප රෝගීන් ලෙසද, දේශකයා වෛද්‍යවරයා ලෙසද, දේශනා අපගේ විවිධ රෝග හෝ ගැටලු මැඩ පැවැත්වීමට උපකාරීවන ඔසු ලෙසද සලකමු. මෙහිදී රෝගය වනුයේ අපගේ කැළඹිලිකාරී භාවයන් හෙවත් ක්ලේෂයන්ය.

පිළිවෙත තුළ වඩ වඩාත් උසස් තත්ත්වයන් සාක්ෂාත් කරගන්නට ගන්නට, ගුරුවරයා බුදුවරයෙකු ලෙස දැකීම ආදී ලෙස ගුරුවරයා කෙරෙහි පවත්වාගත යුතුවන ආකල්ප සම්බන්ධ වැඩිදුර උපදෙස්ද පවතී; එනමුත් එම උපදෙස් පවත්නේ ආරම්භකයන් වෙත ලබාදීම සඳහා නොවේ.

ශ්‍රවණය කළ දේ පිළිබඳ සිතා බැලීම

දෙවන පියවර වනුයේ ඇසූ දේ පිළිබඳ සිතා බැලීමයි. දේශනාවක් පිළිබඳ සිතා බලනුයේ එය වටහාගනු පිණිසය. දේශනාව තුළ අදහස් කෙරෙන දෙය නිවැරදිව වටහාගත් තැනදී මෙම සිතීමේ ක්‍රියාවලිය අවසන් වේ. දේශනාවක් නිවැරදිව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනු පිණිස එය නිවැරදිව වටහා ගත යුතුවා පමණක් නොව දේශනාව වලංගු එකක් බවත් එමගින් අපගේ යම් ගැටලු මැඩ පැවැත්වීම පිණිස උපකාරයක් ලැබෙනු ඇති බැවින් එය ක්‍රියාවෙහිද යෙදවිය යුතු බවටත් එ්ත්තු යා යුතුය. දේශනාව තුළ සාකච්ඡා කෙරෙන කවර කරුණක් වුව සාක්ෂාත් කරගත හැකි බවටද එත්තු ගත යුතුය. (නිදසුනක් ලෙස, අපට අපගේ කෝපය කිසිදින මැඩ පැවැත්විය හැකි නොවනු ඇතැයි ඈ ලෙස) එය කළ නොහැක්කක් යයි සිතන්නේ නම්, එ් අනුව කෝපය මැඩ පැවැත්වීමේ අදහසින් කරනු ලබන දේශනයක් අනුගමනය කිරීමේ අර්ථයක් නොමැත. එම අදාළ පිළිවෙත තුළ ප්‍රකාශිත අරමුණ සාක්ෂාත් කරගත හැකි වේය යන එ්ත්තු ගැනීම පැවතිය යුතුය.

යම් දේශනයක් පිළිබඳ සිතා බැලීමේදී එ් පිළිබඳ දෘෂ්ටි කෝණ ගණනාවකින් සිතා බලන්නෙමු. නිදසුනක් ලෙස, සියලු දෙනා කෙරෙහි සම ප්‍රේමයක් ගොඩනගා ගැනීමේ භාවනාව පිළිබඳ කතා කරන්නේ නම්, එයාකාරයේ ප්‍රේමයක් ගොඩනගා ගනු පිණිස ගත යුතුවන විවිධ පියවරයන් දැනගත යුතුය. නිදසුනක් ලෙස, සියලු දෙනා කෙරෙහි සම ප්‍රේමය රඳා පවත්නේ කවරක් මතද? එය සියලු දෙනා සමානයන් සේ දැකීම, සියලු දෙනා අප කෙරෙහි කාරුණිකව සිට ඇත්තේය යන කරුණ දැකීම ආදිය මත රඳා  පවතී. එබැවින්, විශ්වමය ප්‍රේමය අපගේ සිත් තුළ ගොඩනගාගනු පිණිස, ප්‍රේමය කවරක් මත රඳා පවත්නේද යන කරුණ සහ ප්‍රේමය අප තුළ වැඩෙනු පිණිස කල්තබා ගොඩනගාගත යුතුවන අන්තර්ඥානයන් හා චිත්ත ස්වභාවයන් පිළිබඳවද දැනගත යුතුය.

මෙයට අමතරව, ප්‍රේමය මගින් පිළියම් යොදනු ලබන, එයට එරෙහි සාධක කවරේද යන කරුණද දැනගත යුතුය. නිශ්චිතවම, එයට ප්‍රතිවිරුද්ධ සාධක වනුයේ කෝපය හා වෛරයය යන කරුණද එ්ත්තු ගත යුතුය; ප්‍රේමය මගින් සැබැවින්ම එකී සාධක මැඩ පවත්වා එ්වායින් අප මුදවාලිය හැක්කේය යන කරුණ එ්ත්තු ගත යුතුය. ප්‍රේමය මගින් එ්වා ඉවත් කරන ආකාරයද වටහාගත යුතුය.

තවද, ප්‍රේමය ගොඩනගා ගැනීමේ අරමුණ කවරක්ද යන කරුණ සහ ප්‍රේමය ගොඩනගා ගැනීමේ ප්‍රයෝජන දැනගෙන සිටීම අඟවන කරුණක් වූ, එය ගොඩනගාගත් පසු මෙම ප්‍රේමයෙන් කරන කාර්යය කවරක්ද යන කරුණද වටහාගත යුතුය. නිදසුනක් ලෙස, (සියලු සීමිත සත්ත්වයන්ගේ සුවසෙත පිණිස අපගේ පෞද්ගලික මතු බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ ඉලක්කය වූ) බෝධිචිත්ත ඉලක්කයක් ගොඩනගා ගැනීම සම්බන්ධ උපදෙස් ලබා දෙන්නාවූ බොහෝ කෘතීන් විමසා බලන විටදී, එ්වා සාමාන්‍යයෙන් බෝධිචිත්ත ඉලක්කයක් පවත්වාගෙන යාමේ ප්‍රයෝජන විස්තර කිරීමෙන් ආරම්භ වේ. කෘතීන් මෙයාකාරයෙන් ආරම්භය ගැනීමේ අරමුණ වනුයේ එවන් ජීවන අරමුණක් පවත්වාගෙන යාම වූකලි අප විසින් ගොඩනගා ගැනීමට කැමති වන දෙයක්ය යන කරුණ අප වෙත එ්ත්තු ගැන්වීමයි.

අවසන, දේශනාවන්හි තර්කණයද එ්ත්තු ගත යුතුය. එ්වා තාර්කික විය යුතු අතර හේතු යුක්ති සහගත වන අතරම දේශනාවන්හි විවිධ අදියරයන් හා සැබෑ විස්තර විෂයයෙහි යම් අදහසක් හා අරුතක් ලබාදෙන සුළු එ්වා විය යුතුය.

එ් අනුව අප විසින් සිතා බැලිය යුතු බොහෝ කරුණු පවතී. අප විසින් පළමුව ගොඩනගාගත යුතුවන දෙය, එමගින් මේ ගැටලුකාරී චිත්ත ස්වභාවය හෝ එ් ගැටලුකාරී චිත්ත ස්වභාවය තුළින් අප මුදවනු ඇත්තේ කවරාකාරවද, අප ප්‍රවේශම් විය යුතු එදිරිවාදී සාධක කවරේද ඈ කරුණු වටහා ගැනීමකින් තොරව භාවනා පිළිවෙත් පිරීමකට මුළ පිරීම ප්‍රඥාගෝචර නොවනු ඇත. මේ සඳහා වූ උපහැරණය වනුයේ: "ශ්‍රවණය යනු ආහාර මුව තුළට දැමීම වැන්නක් වන අතර, එ් පිළිබඳ සිතා බැලීම ආහාර විකීම වැන්නකි" යන්නයි. විකීමෙන් තොරව ආහාර ගිලින්නට උත්සාහ කළහොත්, හුස්ම හිරවී මිය යනු ඇත. එමෙන්ම,දේශනාවන් පිළිබඳ සිතා බැලීමකින් තොරව භාවනා කරන්නට උත්සාහ කළහොත්, දුෂ්කරතාවයන් ඉස්මතු වනු ඇත.

මෙම චින්තන ක්‍රියාවලිය නිවැරදි ලෙසම සාර්ථක කරගන්නේ කෙසේද? සිතීමේ අදියර මවිසින් සඳහන් කරන ලද විවිධ කරුණු පිළිබඳ සිතීමේ නිදහස් චින්තන විධිය හෝ වඩාත් විධිමත් ක්‍රියාවලියක් හෝ විය හැක.

විධිමත් චින්තන ක්‍රියාවලිය

විධිමත් චින්තන ක්‍රියාවලිය යන්නෙන් අදහස් කෙරෙනුයේ හේතු දැකීමේ මාර්ගයක් අනුගමනය කිරීමයි. යම් චිත්ත ස්වභාවයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වන විටදී, එ් සඳහා සූදානම් විය යුතුය. අදියරයන් හෝ පියවරයන් අනුගමනය කිරීමෙන් එම චිත්ත ස්වභාවය සඳහා සූදානම් විය යුතු අතර නිරතුරු එම පියවරයන් තුළ හේතු දැකීමේ මාර්ගයන් අන්තර්ගත වේ. නිදසුනක් ලෙස, දේශනාව තුළ (හේතු ප්‍රත්‍ය මගින් බලපෑමට ලක්වන දෙය මොහොතින් මොහොත වෙනස් වී අවසන් වන්නේය ලෙස) අනිත්‍ය දහම තේරුම් ගැනීමක් දක්වා ගොඩ නැගෙන හේතු දැක්වීමේ මාර්ගයක් ඇතුළත් විය හැක; නොඑසේ නම්, එතුළට (පැවතිය නොහැකි ආකාරයන්ගෙන් පැවතීමේ හැකියාවක් කිසිදු වස්තුවකට නොමැති බවට වූ) ශූන්‍යතාවය වටහා ගැනීමක් දක්වා ගොඩනැගෙන හේතු දැක්වීමේ මාර්ගයක් ඇතුළත් විය හැක. හේතු දැක්වීමේ මාර්ගයෙහි අන්තර්ගත තර්කණ මාර්ගයෙහි සිතා බලා කටයුතු කිරීමෙන්, අනිත්‍යය හා ශූන්‍යතාවය වලංගු කරුණු වනවා පමණක් නොව සත්‍යද වන බව එ්ත්තු ගන්නෙමු. එපමණක් නොව, හේතු දැක්වීමේ මාර්ගයේ වූ තර්කණ මඟ ගමන් කිරීම මගින් අනිත්‍යය හා ශූන්‍යතාවය පිළිබඳ නිවැරදි හා තීරණාත්මක වැටහීමක් ජනනය කරගත හැක. එ්ත්තු ගැනීම යනු චින්තන ක්‍රියාවලියේ කොටසක්ය යන කරුණද සිහි තබාගන්න.

අවශ්‍යයෙන්ම හේතු දැක්වීමේ මාර්ගයෙහි නොව, අදියරයන් හරහා යම් චිත්ත ස්වභාවයක්ද අපට ගොඩනගාගත හැක. නිදසුනක් ලෙස, අපට බෝධිචිත්ත අරමුණක් ගොඩනගා ගැනීමට අවශ්‍ය වන්නේ නම්, සමචිත්තතාව ගොඩනගා ගනිමින් මව් සෙනෙහසෙහි පවත්නා කාරුණිකත්වය සිහි කරමින්, එ් සඳහා කෘතවේදිත්වය ගොඩනගා ගැනීම ඈ වශයෙන් ඉන්පසු සියලු දෙනා යම් පෙර භවයකදී අපගේ මව්වරුන් සේ සිට ඇති බවට වටහා ගැනීම වැනි අදියරයන් අනුගමනය කළ හැක. මෙම පියවරයන් අනුගමනය කිරීම තුළ බෝධිචිත්ත ඉලක්කයක් ගොඩනගා ගැනීමේ අරමුණ කරා යා හැකිය යන කරුණ එ්ත්තු ගනු පිණිස මෙම අදියරයන් හරහා ක්‍රියාවලිය සක්‍රිය කරමු. මෙය තවදුරටත් චින්තන ක්‍රියාවලියේ කොටසක් පමණි.

අප විසින් වගා කරගැනීමට උත්සාහ කරන චිත්ත ස්වභාවය සැබැවින්ම කවරක්ද යන කරුණද මෙම චින්තන ක්‍රියාවලිය තුළ වටහාගත යුතුය. ඇතැම් භාවනාවන් සිතින් මවාගත් බුද්ධ රූපයක් වැනි යම්කිසි වස්තුවක් මත අරමුණ පවත්වාගැනීම සඳහා අපට උපකාර කිරීම සඳහා සකස්වී ඇත. සිතින් මවාගත් බුද්ධ රූපයක් පිළිබඳ භාවනා කිරීමේදී මෙය වූකලි අවධානය යොමු කිරීමේ භාවනා වර්ගය වන අතර එහි අරමුණ වනුයේ අප ඉදිරිපිට ඇස් මට්ටමින් මවාගනු ලබන ආලෝකයෙන් නිර්මිත, කුඩා, ත්‍රිමාණ ජීවමාන බුදුරුවක් ලෙස වූ නිශ්චිත අරමුණක් කෙරෙහි අවධානය යොමු කිරීමයි.

අනෙක් අතින්, නිදසුනක් ලෙස ප්‍රේමය වැනි නිශ්චිත චිත්ත ස්වභාවයක් ගොඩනගා ගැනීම සඳහා අපේක්ෂිත විවිධ භාවනාවන්ද පවතී. ප්‍රේමය යනු අවධානය යොමු කරන අරමුණක් නොවේ; එය චිත්ත ස්වභාවයක් හා ගොඩනගනු ලබන මානසික ආකල්ප වර්ගයකි. එ් අනුව, අප කටයුතු කරන භාවනා වර්ගය කවරක්ද යන්න දැන සිටිය යුතුය: අප විසින් නිශ්චිත අරමුණක් මත අවධානය යොමු කරන්නේද, නැතහොත් යම් නිශ්චිත චිත්ත ස්වභාවයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරන්නේද? අප විසින් සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරනු ලබන්නේ කවරක්ද? 

මෙම අවස්ථා දෙකේදීම, කරුණු දෙකක් පිළිබඳ දැන සිටිය යුතු බව ෂොංඛපා දැඩිසේ අවධාරණය කරයි:

  • පළමුව අපගේ සිත් තුළ පෙනී සිටිය යුතුවන අරමුණ කවරක්ද යන කරුණ කෙරෙහි පැහැදිලිතාවයක් පැවතිය යුතුය. සිතින් මවාගත් බුදුවරයෙකුගේ රුවක් හෝ ප්‍රේමය පිළිබඳ භාවනාව සම්බන්ධව කථා කරන්නේ වුවද, අපගේ භාවනාව තුළ දිස්වන අරමුණ කවරක්ද?
  • දෙවනුව, එම අරමුණ සිත විසින් ග්‍රහණය කරගන්නා ආකාරය, එය හඳුනාගන්නා ආකාරය දැනගත යුතුය.

මෙම දෙකරුණ පිළිබඳව සපුරා පැහැදිලිතාවයක් නොපවත්නේ නම්, ගොඩනගා ගැනීමට අදහස් කරන චිත්ත ස්වභාවය උත්පාදනය කරගන්නේ කෙසේද?

නිදසුනක් ලෙස, කරුණාව ගනිමු: කරුණාව ඉලක්ක කරන්නේ කවරක්ද? එහි දිස්වන අරමුණ කවරක්ද? කරුණා භාවනාවේ යෙදීමේදී අපගේ සිත් තුළ දිස්වන අරමුණ වනුයේ සජීවී සතුන්, දුක් විඳිනා විවිධ සීමිත සත්ත්වයන් වේ. අපගේ සිත් එ් මත අවධානය යොමුකර ඔවුන්ගේ දුක හා එම දුකට හේතුව ලෙස එ්වාහි යම් පැතිකඩක් පිළිබඳ වෙන්කොට දකිනු ලබයි. සිත එම අරමුණු ග්‍රහණය කරගන්නේ කෙසේද? මෙම සත්ත්වයන් ඔවුන්ගේ දුකින් හා එහි හේතුවලින් වෙන් කිරීමේ තදබල පැතුම හා මෙය පෞද්ගලිකවම සාක්ෂාත් කිරීමේ අපේක්ෂාව සහිතව මෙම අරමුණු ග්‍රහණය කරනු ලබයි. මෙයාකාරයෙන්, ඇසූ හෝ කියවූ තොරතුරු පිළිබඳ සිතා බැලීමෙන් ජනනය කරගත යුතුවන චිත්ත ස්වභාවය ඉතා පැහැදිලිව නිශ්චය කොට වටහාගත හැකිවේ.

බෝධිචිත්ත භාවනාවේ යෙදීමට සැලසුම් කරන්නේ නම්, එවන් භාවනාවකදී අපගේ සිත විසින් සිදුකරන දෙය කවරක්ද යන කරුණ පිළිබඳ සිතා එ් පිළිබඳ ඉතා පැහැදිලි අදහසක් තබාගත යුතුය. බොහෝ අය බෝධිචිත්තය කරුණාව හා පටලවා ගනිති; කෙසේ වුවද, බෝධිචිත්තය හා කරුණාව එකම නොවේ. බෝධිචිත්තය යනු එහි පදනම වශයෙන් කරුණාව තබාගන්නාවූ චිත්ත ස්වභාවයකි; එනමුත් බෝධිචිත්තය අන් අය සියලු දුකින් හා එයට හේතුවලින් මුදවා ගැනීමට වූ උවමනාවට වඩා බොහෝ දුර ගමන් කරන්නකි. එය සියලු සීමිත සත්ත්වයන් බුද්ධත්වයට පත්කිරිමට හා එම කාර්යය සිදු කිරීමේ වගකීම භාර ගැනීමට උවමනා වීමේ තත්ත්වයට වඩා ඔබ්බට යන්නකි. එනමුත් මෙම යහපත් ප්‍රාර්ථනාවන් හා හැඟීම් යනු බෝධිචිත්තය රඳා පවත්නා හා වර්ධනය වන ධනාත්මක භාවයන් වේ. පළමුව ප්‍රේමය හා කරුණාව යන පදනම පවත්වාගත යුතු වේ.

අපගේ කුෂන් මෙට්ට මත හිඳිමින් බෝධිචිත්තය පිළිබඳව භාවනා කිරීමේදී අපගේ අරමුණ පවත්වන්නේ කවරක් මතද? මේවන විට සිදුවී නොමැති නමුත් බුද්ධ ස්වභාවයට අදාළ සාධක හා අදාළ බුද්ධත්වය සාක්ෂාත් කරගනු පිණිස අප විසින් සිදුකළ යුතුවන සියලු ආකාර දුෂ්කර ක්‍රියාවන්ද පදනම් කොටගෙන සිදුවිය හැකි අපගේම බුද්ධත්වය මත අවධානය යොමු කරන්නෙමු. අපගේ බුද්ධ ස්වභාවයට අයත් සාධක යනු අපගේ සිතේ පිරිසිදු ස්වභාවය ඈ ලෙස බුද්ධත්වයට පත්වීමේ හැකියාව අප වෙත ලබාදෙන අප සියලු දෙනා තුළ පවත්වනා මූලික ගුණ හා ලක්ෂණයන් වේ. අපි ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය මත අවධානය යොමු නොකරමු. අපි පොදුවේ දුරස්ථව බුද්ධත්වය නමැති සංකල්පය මත අවධානය යොමු කිරීමක්ද නොකරමු. අපගේම පෞද්ගලික බුද්ධත්වය, මේ දක්වා සිදුවී නොමැති බුද්ධත්වය මත අවධානය යොමු කරන්නෙමු.

මේ දක්වාද අපට සිදුවී නොමැති බුද්ධත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ කෙසේද? එය එතරම් පහසු එකක් නොවේ. සියල්ලටම පළමු, එමගින් අදහස් වන්නේ කවරක්ද, එය කවරාකාර සංසිද්ධියක්ද - මේ දක්වා සිදු නොවූ සංසිද්ධියක් හෝ දෙයක්ද යන්න වටහාගත යුතුය. නිදසුනක් ලෙස, දැනටමත් සිදුවී නොමැති සංසිද්ධිය බීජයක් ලෙස පෙති විහිදා වැඩීමට සූදානම්ව පවත්නේද හෝ මේ දක්වාද සිදුවී නොමැති එය බීජ මට්ටමේ හෝ නොපැවතී පසුව පීදෙන්නක්ද යන කරුණ සලකා බැලිය යුතුය.

පැහැදිලි ලෙසම, මේ දක්වාද අප තුළ සිදු නොවූ බුද්ධත්වය මත අවධානය යොමු කරගෙන සිටීමේදී අප විසින් අවධානය යොමු කරගෙන සිටින දෙය සම්බන්ධයෙන් පැහැදිලි වැටහීමක් ලැබීම සඳහා ශූන්‍යතාවය පිළිබඳ වැටහීමක් අවශ්‍යය. අප තුළ මේ දක්වාද සිදු නොවූ බුද්ධත්වය දිවගොස් අවසානයේදී හමුවන ජවන තරගයක අවසන් රේඛාව සේ යම් තැනක පවතින්නක් නොවේ. එය පීදීම සඳහා සූදානම්ව අපගේ සිත් තුළ හෝ අපගේ බුද්ධ ස්වභාවයන් තුළ තැන්පත්ව ඇති දෙයක්ද නොවේ. එය එසේ සොයාගත හැකි අරමුණක් නොවේ. අනෙක් අතින්, අපි කිසිසේත් නොපවතින දෙයක් මත අවධානය යොමු කරන්නෝද නොවෙමු; අපි කිසිවක් නොමැති තත්ත්වයක් මත අවධානය යොමු කරන්නෝද නොවෙමු. එ් වෙනුවට අපගේ බුද්ධ ස්වභාව සාධකයන් පදනම් කොටගෙන අපගේ චිත්ත සන්තතීන් මතට වලංගු ලෙස ආරෝපණය කළ හැකි දෙයක් ලෙස අපගේ දැනටමත් සිදු නොවූ බුද්ධත්වය වටහාගත යුතුය. සුදුසු පදනමක් මතින් යමක් වලංගු ලෙස ආරෝපණය කළ හැකි වීම යන්නෙන් අදහස් කරන්නේ කවරක්ද යන කරුණද දැනගත යුතුය.

මේ දක්වාද සිදු නොවූ එම බුද්ධත්වය මත අවධානය යොමු කරනු පිණිස, කෙසේ වුවද, අපගේ සිත් තුළ දිස්වන යම් ආකාර බුද්ධත්වය පිළිබඳ චිත්ත නියෝජනයක් මගින් එ් මත අවධානය යොමු කළ යුතුවේ. නිදසුනක් ලෙස, "බුද්ධත්වය" නමැති වචනයේ ශබ්දය කෙරෙහි හෝ අප ඉදිරිපිට වැඩ වාසය කරන බුදුවරයෙකුගේ රුවක් හෝ සිතින් මවාගත යුතුය. තන්ත්‍රයන්හි, අපට අපම බුද්ධ රූපයක් ලෙස මවාගත හැක. මේ එක් එක් නිදසුන තුළින්, අපගේ සිත් තුළ දිස්වන මානසික ශබ්දය හෝ මානසික රූපය මේ දක්වාද සාක්ෂාත් කර නොගත් බුද්ධත්වයේ නියෝජනයක් ලෙස සැලකිය යුතුවේ.

ඊළඟට, දිස්වන මෙකී මානසික අරමුණ මත අපගේ සිත්හි අවධානය යොමු කරන්නේ කෙසේද? අපගේ සිත් තුළ මැවෙන මානසික අරමුණ මගින් නියෝජනය කෙරෙන, මේ දක්වා සිදු නොවුණු බුදධත්වය කෙරෙහි අපේක්ෂාවන් දෙකක් සහිතව අවධානය යොමු කරමු. පළමු අපේක්ෂාව වනුයේ:" මම බුද්ධත්වය සාක්ෂාත් කරගන්නෙමි" යන්නයි. මෙහිදී අප විසින් සිතාබලා වටහාගත යුතුවන අන් බොහෝ දේවල් මත බුද්ධත්වය සාක්ෂාත් කරගැනීමේ අපේක්ෂාව රඳා පවතී. බුද්ධත්වය සාක්ෂාත් කරගනු පිණිස කළ යුතුවන දෙය කවරක්ද යන්න යථාර්ථවාදීව දත යුතුය. අපගේ ආකල්පය හුදෙක්ම "මං මේ තත්ත්වය සාක්ෂාත් කරගන්නවා" යන්නක් පමණක් නොවිය යුතුය. එය සාක්ෂාත් කරගන්නා ආකාරය දත යුතු අතරම එය සාක්ෂාත් කරගත හැකි බවට එ්ත්තු ගත යුතුය. බුද්ධත්වය සාක්ෂාත් කරගැනීම සඳහා වලංගු අපේක්ෂාවක් පැවතිය යුතුය; නොඑසේ නම්, එය සාක්ෂාත් කරගැනීම හුදෙක් මිහිරි සිහිනයක් පමණක් වනු ඇත. සැබැවින්ම, බුද්ධත්වය යනු කවරක්ද යන කරුණද නිවැරදිව වටහාගත යුතුවන අතර එයද වටහා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. සිතීම නමැති මෙකී ක්‍රියාවලියේ දෙවන පියවර මගින් මෙකී සියලු වැටහීම් ලබාගන්නෙමු.

මෙම මානසික නියෝජනය මත අවධානය යොමු කරගෙන සිටීමේදී පවත්නා දෙවන අපේක්ෂාව වනුයේ එම බුද්ධත්වයත් සමගින් අන්‍යයන් වෙත හැකිතාක් හොඳින් ප්‍රයෝජන සලසන්නේය යන්නයි. එක් අතකින් බුද්ධත්වයට පත්වීම යන්නෙන් සර්ව බලධාරී දෙවි කෙනෙකු බවට පත්වීමක් අදහස් නොවේ. සැබැවින්ම සියලු දෙනාගේ සුවසෙත පිණිස කටයුතු කිරීමට හැකිවීම යන්න ආදරය හා කරුණාව නමැති බෝධි චිත්තය රඳා පවත්නා අත්තිවාරම සකස් කිරීම සඳහා කල්තබා පියවර ගැනීම මත රඳා පවතී. අන් අය සියලු දුකින් මිදේවාය හා පූර්ණ සතුට ඔවුන් වෙත උදා වේවාය යන පැතුම අප තුළ පවත්නා බැවින් අන් අය බුද්ධත්වයට පත් කිරීමේ වගකීම ගන්නෙමු.

මෙම චින්තන පියවර වූකලි සැබැවින්ම දිගු පියවරක් වන අතර එ් සඳහා බොහෝ කටයුතු සිදුකළ යුතුවේ. එනමුත්, මෙම පියවර අවසානයේදී, අප විසින් සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරනු ලබන චිත්ත ස්වභාවය කවරේද යන කරුණ හා එම චිත්ත ස්වභාවය දක්වා වර්ධනය වන ආකාරය නිවැරදිව හා නිශ්චිතවම වටහාගෙන දැන ගන්නෙමු. එම චිත්ත ස්වභාවය උත්පාදනය කරගැනීමේ හැකියාව අප තුළ පවත්නා බවත් එය උත්පාදනය කරගැනීම අතිශයින්ම ප්‍රයෝජනවත් වන බවත් පූර්ණ වශයෙන් හා වලංගු ලෙස එ්ත්තු ගන්නෙමු.

මෙම චින්තන ක්‍රියාවලිය භාවනාවක් සේ පෙනී යා හැකි නමුත්, එය සම්ප්‍රදායික අර්ථ නිරූපණයට අනුව භාවනාවක් නොවේ. මෙම සන්දර්භය තුළ යෙදෙන වදන් ඉතාමත් නිවැරදිව භාවිත නොකරන බටහිර ජාතීන් විසින් මෙම චින්තන ක්‍රියාවලියද "භාවනාව" ලෙස හැඳින්විය හැකි නමුත්, එය නිවැරදි නොවේ. සිතීම හා භාවනාව අතර පවත්නා වෙනස පැහැදිලිව වටහාගත යුතුවේ.

මෙම චින්තන ක්‍රියාවලිය ඉතා වටිනා කටයුත්තක් වේ; දේශනාවන් පිළිබඳ සිතීම ඕනෑම අවස්ථාවක සිදු කළ හැකි දෙයකි. සැබැවින්ම, එය වූකලි එදිනෙදා ජීවිතයේ සෙසු කටයුතුවල නියැලී සිටින අතරතුරද කළ හැකි ඉතා ප්‍රයෝජනවත් දෙයකි. නිදසුනක් ලෙස, වාහන තදබදයකට හසුවී සිටින විටදී, මෙම අවස්ථාවට ආදරය වැනි යම් විශේෂිත චිත්ත ස්වභාවයක් වලංගු වන ආකාරය පිළිබඳ සිතා බැලිය හැක. එය කෙසේ වලංගු වනු ඇත්ද? එහි ප්‍රයෝජන කවරාකාර වේද? ඈ වශයෙනි. මේවා වූකලි අපගේ දිනය තුළ අපට සිතා බැලිය හැකි කරුණු වේ.

භාවනාව

දැන් අපි අපගේ පියවර තුනේ ක්‍රියාවලියේ තුන්වන අදියරට පිවිසෙමු: එය භාවනාවයි. භාවනාව යනු විකන ලද ආහාරය දිරවීමට සමාන දෙයකි. භාවනාවේ අරමුණ වනුයේ යම් චිත්ත ස්වභාවයක් පුරුද්දක් බවට පත්කරගනිමින්, එම චිත්ත ස්වභාවය පිළිබඳව සිතා බලා එය වටහාගත් පසු හා එය අපට උත්පාදනය කරගත හැකි බවට එ්ත්තු ගත් පසු, එම චිත්ත ස්වභාවය බවට සැබැවින්ම පත්වීමයි.

භාවනාව මූලික වශයෙන්ම දෙවැදෑරුම් ක්‍රියාවලියකි. එහි එක් පියවරක් වනුයේ මා "විපරම්කාරී භාවනාව" ලෙස පරිවර්තනය කරන දෙයයි. එය සාමාන්‍යයෙන් "විශ්ලේෂණාත්මක භාවනාව" ලෙස පරිවර්තනය කෙරේ. එනමුත් එය "විශ්ලේෂණාත්මක" ලෙස හැඳින්වීම තුළ චින්තන පියවර හා පැටලීමක් ඇතිවිය හැක. එබැවින්, "විපරම්කාරී" යන වදන එම යෙදුමට අදාළ වඩාත් නිරවද්‍ය පරිවර්තනයක් යයි සිතමි. මෙම සන්දර්භය තුළ, "විපරම් කිරීම" යන්නෙන් අදහස් කරනුයේ යම් කිසිවක් ඉතා ප්‍රවේශමෙන් සලකා බලා එය යම් ආකාරයකින් තේරුම් ගැනීමයි. භාවනාවේ දෙවන පැතිකඩ වනුයේ ස්ථාපන හෙවත් බැඳ තැබීමේ භාවනාව වන අතර එහිදි සැබැවින්ම චිත්ත ස්වභාවය මත අවධානය බැඳ තබමින් එ් මත අවධානය යොමු කරගෙන සිටින්නෙමු. මෙම දෙවන අදියර "ස්ථායිකරණ භාවනාව" ලෙස හැඳින්විය හැක.

පළමු පියවර වන විපරම්කාරී භාවනාව සාක්ෂාත් කරගන්නේ කෙසේද? චින්තන ක්‍රියාවලිය තුළ අපි හේතු දැක්වීමේ මාර්ගයක ගමන් කිරීම හෝ යම් චිත්ත ස්වභාවයක් ගොඩනැගීම සඳහා වූ අදියරයන් හා පියවර අනුගමනය කළෙමු. ගොඩනගාගත යුතුවන චිත්ත ස්වභාවය කවරක්ද හා එය ගොඩනගාගත හැකි ආකාරය පිළිබඳ වැටහීමක් ලැබීමේ අරමුණින් එය සිදු කළෙමු. දැන්, විපරම්කාරී භාවනාවේදී, යම් නිශ්චිත චිත්ත ස්වභාවයක් උත්පාදනය කිරීමේ හේතු සාධක මාර්ගයේ හෝ පියවරයන් තුළ ගමන් කරන්නෙමු. දැන් සැබැවින්ම එම චිත්ත ස්වභාවය උත්පාදනය කරමින් එය නව්‍ය ස්වරූපයෙන් අප තුළ පවත්වාගනු පිණිස මෙම ක්‍රියාවලිය තුළ ගමන් කරන්නෙමු. නිදසුනක් ලෙස, සියලු දෙනා කෙරෙහි වූ කරුණාව උත්පාදනය කරනු පිණිස මෙම හේතු දැක්වීම් මාර්ගය අනුගමනය කරමු: "සියලු දෙනා මාගේ මව වශයෙන් සිට ඇත, සියලු දෙනා මා හට කාරුණිකව සිට ඇත ........" ඈ වශයෙනි. එ් අනුව, අපි සැබැවින්ම අපේක්ෂිත චිත්ත ස්වභාවය කරා අපවම මෙහෙයවමින් එය දැනෙන තත්ත්වයකට පත් වෙමු.

පියවරින් පියවර වූ මෙකී ක්‍රියාවලිය තුළ ඉදිරියට ගොස් අපගේ මනස පුරුදු කරගත යුතු ස්වභාවයට පිවිසි කල්හි, සැබැවින්ම අවධානය යොමු කරන අරමුණ එයාකාරයෙන් සක්‍රීය ලෙස දකින්නෙමු. නිදසුනක් ලෙස, කරුණා භාවනාවෙහි නියැළෙන්නේ නම්, සියලු සීමිත සත්ත්වයන් මත අවධානය යොමු කරන අතර, විශේෂයෙන්, ඔවුන්ගේ ගැටලු හා දුක් ලෙස අප ඔවුන් වෙන්කොට දකින මෙම විස්තරය තුළට අවධානය යොමු කරන්නෙමු. ඔවුන් දුක් විඳින බව දකින අතර එම දුකින් ඔවුන් මිදේවාය යන පැතුමද, එයින් නිදහස් වීම සඳහා ඔවුනට උපකාර කිරීමේ අපේක්ෂාවද අප තුළ පවතී. අපි සැබැවින්ම අපගේ සිත් තුළින් සජීවී සත්ත්වයන් දකින අතර මෙයාකාරයෙන් ඔවුන් දෙස අපගේ සිතින් දකින්නෙමු; නොඑසේ නම්, එය අප සැබෑ ලෙසම පුද්ගලයන් දකින සැබෑ ජීවිතයට සම්බන්ධ විය හැක. කරුණාව යන්න අන්‍යයන් හා ඔවුන්ගේ දුක මත අවධානය යොමු වූවක් වන අතර, ඔවුන් ඉන් මිදේවාය යන පැතුම සහිත එකකි.

අපි යම් කාල වේලාවක් සක්‍රීය ක්‍රියාවලියක් තුළ එම අවබෝධය හෙවත් විනිවිද දැකීම තුළ නැවතී සිටිමු. එහි ප්‍රතිඵලයක් ලෙස, ස්ථායිකරණ භාවනාව යනු මූලික වශයෙන්ම හුදෙක් අප විසින් අවබෝධ කරන ලද දෙය ගිලී යාමට ඉඩ දෙමින් මෙම මාතෘකාව හෝ චිත්ත ස්වභාවය මත පූර්ණ චිත්ත එ්කාග්‍රතාවය රඳා පවත්වා ගැනීමක් වේ. පැහැදිලිවම, අවබෝධ භාවනා අදියරෙහි කටයුතු කරන විටදීද චිත්ත එ්කාග්‍රතාවය පවත්වාගත යුතුවේ. එනමුත් මෙම ස්ථායිකරණ අදියරේදී, අදාළ හැඟීම ගැඹුරින් අපගේ හදවත තුළට ගිලී යාමට ඉඩ හරිමු. අපට තදබල කරුණාවක් දැනේ.

අවබෝධය හෙවත් විනිවිද දැකීම හා ස්ථායිකරණය යන මෙකී අදියර දෙක ඉදිරියට හා පසුපසට එකිනෙක මාරු කරමින් අවසන එ්වා සම්බන්ධ කිරීමට අපට හැකියාව ලැබේ. භාවනාවේ අවබෝධ හා ස්ථායිකරණ අදියරයන් එකිනෙක සම්බන්ධ කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වේ. එ්වා සම්බන්ධ කරන අදියරයන් පිළිබඳ සාකච්ඡා කිරීම ඉතා සංකීර්ණ වූවකි. එහි යම් විස්තර ප්‍රමාණයක් දැනගැනීමට අවශ්‍ය නම් මාගේ වෙබ් අඩවිය තුළ එ් පිළිබඳ වැඩිදුර කරුණු කියවා බැලිය හැක.

තවද, අප ඉතා ඉහළ මට්ටමකට පත්වන විටදී, "වෙහෙස මහන්සි වී සිදුකරන භාවනාව" සිදු කිරීමට අවශ්‍ය නොවේ. වෙහෙස මහන්සි වි සිදු කරන භාවනාව යන්නට අවබෝධ භාවනාව තුළ අදියරයන් හරහා ඉදිරියට යමින් යම් චිත්ත ස්වභාවයක් දක්වා ගොඩනැගීමක් අන්තර්ගත වේ. උසස් මට්ටමේදී, අපට වෙහෙස මහන්සි නොවන අවබෝධ හෙවත් විනිවිද දැකීමේ භාවනාව සිදුකළ හැකිවේ. පියවරින් පියවර හෝ හේතු දැක්වීම් පෙළක් මගින් එය ගොඩනැගීමකින් තොරව ක්ෂණිකව අපේක්ෂිත චිත්ත ස්වභාවය උත්පාදනය කිරීමට අපට හැකිවේ. කෙසේ වුවද, අපගේ විනිවිද දැකීමේ භාවනාව වෙහෙස මහන්සි වී සිදුකළ අවස්ථාවේදී මෙන් අපගේ අරමුණ විනිවිද දැකීමටද තවදුරටත් එම චිත්ත ස්වභාවය යොදා ගන්නෙමු.

භාවනා වර්ග

අපට නිරතුරු භාවනා වර්ග දෙකක් පිළිබඳව අසන්නට ලැබේ. එ් සඳහා යෙදෙන සංස්කෘත වචන වනුයේ "ශමථ" හා "විපස්සනා" වන අතර, තිබ්බතීය වචන වනුයේ "ශිනේ" හා "ඉහාග්ටොං" ය. මෙම යෙදුම් දෙක තුළින් සැබැවින්ම හඳුන්වනු ලබන්නේ භාවනා ක්‍රියාවලිය මගින් අප විසින් සාක්ෂාත් කරගැනීමට ඉලක්ක කරන්නාවූ චිත්ත ස්වභාවයන් දෙකකි. ශමථ යනු තැන්පත් හා සන්සුන් චිත්ත ස්වභාවයකි. එය සන්සුන් යන්නෙන් හඳුන්වනු ලබන්නේ එම තත්ත්වය තුළ, සියලු ආකාර මානසික උදාසීන බව හා ඉබාගාතේ යන ස්වරූපය හෝ මනස කැළඹීමේ තත්ත්වය (හෙවත් වෙනයම් ආකර්ශනීය අරමුණක් කරා ඉගිල යන සිත) සන්සුන්ව ඇති බැවිනි. ශමථය තුළ තැන්පත් බව යන්නෙන් එහි අවධානය දැඩිසේ යම් අරමුණක් මත පිහිටුවා පැවතීමද අදහස් කෙරේ. එ් අනුව අවධාරණය කෙරෙනුයේ ස්ථායිකරන භාවනාවයි.

හුස්ම, සිතින් මවාගත් බුදුවරයෙකු ඈ දේ ඇතුළත්ව විවිධාකාර බොහෝ දේ මත අවධානය යොමු කරවීම මගින් මෙකී තැන්පත් හා සන්සුන් චිත්ත ස්වභාවය ගොඩනගා ගත හැක. එම කාර්යය සිදු කිරීම සඳහා යොදාගනු ලබන අරමුණු බොහෝ සංඛ්‍යාවක් වේ.

ශමථ භාවනාව තුළද උපදෙස්වලට ඇහුම්කන් දී ඉන්පසු භාවනා අදියරයන් පිළිබඳ සිතීම අවශ්‍ය වේ. නිදසුනක් ලෙස, බුද්ධ රූපයක් සිතින් මවාගන්නේ නම්, එම චිත්ත රූප මැවීම පියවරින් පියවර ගොඩනගා ගන්නා ආකාරය පිළිබඳ උපදෙස් අසාගැනීමට සිදුවේ. පළමුව, දෙවනුව ඈ වශයෙන් කළ යුතු දේ පිළිබඳ ඉන්පසු සිතිය හැක.

"විපස්සනා" යන්නෙන් අදහස් කෙරෙන්නේ සුවිශේෂ වශයෙන්ම කරුණු හඳුනා ගන්නා චිත්ත ස්වභාවයකි. එය වූකලි දේවල් ඉතා සුවිශේෂී ලෙස හඳුනාගත හැකි චිත්ත ස්වභාවයකි. එ් අනුව විපස්සනා භාවනාව තුළ විනිවිද දැකීමේ භාවනාව අවධාරණය කෙරේ. විපස්සනා තත්ත්වයක් සාක්ෂාත් කරගැනීම පිළිබඳ  කථාකරන විටදී, එය අනිත්‍යය හෝ ශූන්‍යතාවය විනිවිද දක්නා සුවිශේෂී ලෙස කරුණු හඳුනාගන්නා චිත්ත ස්වභාවයක් ලෙස සාක්ෂාත් කරගත හැකි නමුදු, එය එම දෙකරුණ අතරින් එකක් නොවේ. ඉහළම තන්ත්‍ර පන්තිය වන අනුත්තරයෝග තන්ත්‍රයෙහි මෙකී සුවිශේෂී කරුණු හඳුනාගැනීමක් සහිත චිත්ත ස්වභාවය හෙවත් විපස්සනාව වර්ධනය කරගැනීමේ එක් ක්‍රමයක් වනුයේ නාසාග්‍රය මත පවත්නා කුඩා තිතක් හෝ බිඳුවක් සිතින් මවාගැනීමයි. එලෙස එක් බිඳුවක් සිතින් මවාගෙන සිටින අතර, ඊළඟ පෙළෙහි බිඳු දෙකක්ද, ඉන්පසු සතරක්ද, අටක්ද, දහසයක්ද, තිස් දෙකක්ද ඈ වශයෙන් සිතින් මවාගනු ලබයි. එ් සියල්ල පරිපූර්ණ සේ පෙළගස්වා තැබිය යුතු අතර ඉන්පසු එම මැවීම අදියරෙන් අදියර විසුරුවා හළ යුතුය. මෙයාකාරයේ මවාගැනීමක් සිදු කිරීමේදී ඔබ අතිශයින් තියුණු, සුවිශේෂී වශයෙන් කරුණු හඳුනා ගන්නා චිත්ත ස්වභාවයක් ගොඩනගා ගනු ලබයි. ඔබට මෙම චිත්ත ස්වභාවය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය කරගැනීමට අවශ්‍ය වන්නේ නම්, එ් එක් එක් බිඳුවක් තුළ ඔබ පිළිවෙත් පුරණ දේව පද්ධතියේ සමස්ත මණ්ඩලය මවාගනු ලබන සෙසු පිළිවෙත්ද පවත්නා අතර එහි සියලු දෙවිවරුන් ඔවුන්ගේ සම්පූර්ණ විස්තර සහිතව පෙනී සිටී. මෙම තත්ත්වය සාක්ෂාත් කරගත හොත්, ඔබට සැබෑ ලෙසම සුවිශේෂී හැඳිනීමක් හෙවත් කරුණු වැටහීමක් සහිත සිතක් ඇත.

ශමථ හා විපස්සනා නමැති මෙම භාවනා වර්ග දෙක සියලු බෞද්ධ සම්ප්‍රදායන් තුළ මෙන්ම බොහෝ ඉන්දියානු අබෞද්ධ සම්ප්‍රදායන් තුළද පවතී. ථේරවාද බෞද්ධ සම්ප්‍රදායන් තුළ, එ්වා "ශමථ" හා "විපස්සනා" නමැති පාලි වචනවලින් හැඳින්වේ. මෙම වචන දෙක සෙන් බුදු දහම තුළද හමුවේ.  නිදසුනක් ලෙස, සෙන් බුදු දහමේ කොරියානු ආකෘතිය වන සන් බුදු දහම තුළ "කොවාන්" යන්න හමුවේ. "එය කවරක්ද?". "එය කවරක්ද" යන කරුණ පිළිබඳ අවධානය යොමු කරන විටදී, ඉස්මතු කෙරෙන අදහස වනුයේ එයට පිළිතුරක් ඇති බව නොවේ. නිදසුනක් ලෙස, "මෙය මේසයයි; මෙය පුටුවයි" ආදී වශයෙනි. එ් වෙනුවට, "ගැඹුරු සැකය" පවත්නා මට්ටම තුළ සිත ගොඩනගන්නෙමු. එහිදී "එය කවරක්ද?" යන්නට අදාළ යථාර්ථය නිරන්තරයෙන් ප්‍රශ්න කරනු ලැබේ. එවිට අපගේ චිත්ත ස්වභාවය සුවිශේෂී ලෙස අවබෝධාත්මක එකක් බවට පත්වේ.

බොහෝ තිබ්බතීය ගුරුවරුන් සෙන් සම්ප්‍රදාය අධ්‍යයනය කොට නොමැති බව පෙන්වන හාස්‍ය රසය මුසු කථාවක් ඇත. ඔවුහූ එය නොදනිති. සෙන් ගුරුවරයෙකු හා කාලු රින්පෝෂේ අතර ප්‍රසිද්ධ හමුවක් පැවැත්විණි. සෙන් ගුරුවරයා විසින් දොඩම් ගෙඩියක් ඔසවා "එය කවරක්දැයි" කාලු රින්පෝෂේගෙන් විමසීය. සිය භාෂා පරිවර්තකයා දෙස බැලූ කාලු රින්පෝෂේ විමසූයේ "මොනවද මේ ගුරුතුමා අහන්නෙ, එ් අයගෙ රටේ දොඩම් නැද්ද?" යන්නයි.

එ් අනුව අපට සමථ හා විපස්සනා භාවනා දෙවර්ගයක් ඇත. විවිධ අවධාන මට්ටම් භාවිතයෙන් අදියර නවයක් හරහා සංවර්ධනය කෙරෙන සමථය වූකලි පරිපූර්ණ එ්කාග්‍රතාවය පමණක් නොවේ. සමථය තුළ පරිපූර්ණ එ්කාග්‍රතාවයට අමතරව, "ප්‍රීතිමත් චිත්ත ස්වභාවයක්" ද පවතී. යම් "යෝග්‍යතා හැඟීමක්" යන්න මේ සඳහා යෙදෙන තාක්ෂණික වදන වේ. සර්ව සම්පූර්ණ එ්කාග්‍රතාවයට අමතරව, එහි යෝග්‍යතා හැඟීමක්ද පවත්නා අතර එය වූකලි ප්‍රමෝදයට පත් ශාරීරික හා මානසික ස්වභාවයකි. "යෝග්‍යතා හැඟීම" යන්න පරිපූර්ණ පුහුණුවක් ලද මලල ක්‍රීඩකයෙකුගේ තත්ත්වයට සමාන වේ.

මාගේ ගුරුවරයා වන ෂෙන්ෂැබ් සර්කොං රින්පෝෂේ විසින් විස්තර කරන ලද පරිදි, ශමථ චිත්ත ස්වභාවය පවත්වාගෙන යාම වූකලි ජම්බෝ ජෙට් යානයක් සතුවීම වැන්නකි: එය බිම තැබුවහොත් එහි පවතිනු ඇත, එය ගුවනේ පියාසර කරවූවහොත් පියාසර කරනු ඇත. ඔබට ඕනෑම දෙයක් කෙරෙහි ඕනෑම කාල වේලාවක් සිත එකඟ කොට තබාගත හැකිය යන හැඟීමක් පවතී. සිරුර වෙහෙසට පත් නොවනු ඇත; සිත වෙහෙසට පත් නොවනු ඇත; ඔබට මුළුමනින්ම යෝග්‍ය හැඟීමක් ඇතිවේ; එය ප්‍රමෝදමත් ස්වභාවයකි. ශමථ යනු ඉතා ප්‍රමෝදමත්, සැහැල්ලු, ප්‍රීතිමත් චිත්ත ස්වභාවයකි. එනමුත් චිත්‍රපටයක මෙන් සින්දු කියමින්, නටමින් විථියක් දිගේ ප්‍රීතිමත්ව දිව යාම වැනි ප්‍රීතියක් නොවේ එය. ශමථය තුළ මනා පුහුණුවක් ලද මලල ක්‍රීඩකයෙකුගේ මෙන් සිත අතිශයින්ම මුවහත්ව ඇත.

විපස්සනා චිත්ත ස්වභාවයක් යනු ශමථ චිත්ත ස්වභාවයට අමතරව ඇතිවන දෙයක්ය යන්න පැහැදිලි කිරීම වැදගත් වේ. ශමථයේ එන පරිපූර්ණ චිත්ත එ්කාග්‍රතාවය හා යෝග්‍යතා හැඟීමට අමතරව, විපස්සනාවේදී එ් මතට තවත් යෝග්‍යතා හැඟීමක් එක් කරනු ලබයි. මෙය වූකලි සිත ඕනෑම දෙයක් වටහා ගැනීමට හා අවබෝධ කරගැනීමට යෝග්‍යය යන හැඟීමකි.

"ක්ෂණික බැලුම් භාවනාව" ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන තවත් භාවනා වර්ගයක්ද වේ. අප විසින් යම් නිශ්චිත භාවනා පිළිවෙතක් සම්බන්ධයෙන් කටයුතු කරන විටදී, වරින් වර සම්පූර්ණ බෞද්ධ මාර්ගය සමාලෝචනය කිරීමට සිදුවේ. මෙහි අරමුණ වනුයේ අප විසින් එක් මාතෘකාවක් අධි අවධාරණය කරමින් වෙනත් මාතෘකාවක් මඟහැර යාම හෝ නොසලකා හැරීම නොකරන පරිදි අපගේ නිශ්චිත භාවනා මාතෘකාව සමස්ත පින්තූරයට ගැලපෙන බවට අපටම සිහි කැඳවා ගැනීමයි. එ් අනුව ක්ෂණික බැලුම් භාවනාව යන්නෙන් අදහස් කෙරෙනුයේ සමස්ත මාර්ගය සමාලෝචනය කිරීමයි; එය වූකලි සමාලෝචන වර්ගයකි.

පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ වෛද්‍ය ටෙන්සින් චෝඩ්‍රැක් සමගින් මොස්කව් නගරයට මෙයට වසර ගණනාවකට පෙර පැමිණියෙමි. චර්නොබිල් විකිරණ වින්දිතයන් සඳහා උපකාර කිරීමට තිබ්බතීය වෛද්‍ය ශාස්ත්‍රය යොදාගැනීම සඳහා වූ ව්‍යාපෘතියක අපි කටයුතු කරමින් සිටියෙමු. අපි ඉතා ප්‍රිය හෝටල්වල නැවතුණු අතර විධිමත් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් විසින් කැටුව යන ලදී. නිරතුරු අප සුප්‍රසිද්ධ රුසියානු සත් පාඨමාලා භෝජන සංග්‍රහයන් වෙත කැඳවාගෙන යන ලදී.  තිබ්බතය හැරගොස් ඉන්දියාවට පැමිණීමට හැකියාව ලැබෙන්නට පෙර වෛද්‍ය ටෙන්සින් චෝඩ්‍රැක් චීන රැඳවුම් කඳවුරක වාසය කර තිබිණි. එ් අනුව, අදියර සතේ භෝජන සංග්‍රහයෙහි පළමු අදියරට අදාළ ආහාර ලබාදෙන විටම,  කල්තබා කෙතරම් අවවාද කර තිබුණද, ඔහු පළමු අදියරේදීම හැකිතාක් ආහාර ගන්නට විය. එය ඊළඟ සතිය දක්වා ඔහුට ලැබෙන එකම ආහාරය වන්නාක් මෙනි. එ් අනුව ඔහු කෙතරම් බඩකට පිරී සිටින්නේද යත්, ඉදිරියට එන අදියර හයේදීම කිසිදු ආහාරයක් ගැනීමට ඔහුට නොහැකි වේ. මෙය ක්ෂණික බැලුම් භාවනාව සම්බන්ධයෙන්ද අප විසින් කිරීමෙන් වැළකිය යුතු දෙයක් සම්බන්ධ උපහැරණයකි. එක් මාතෘකාවක් පිළිබඳවම "පමණ ඉක්මවා ගැනීම" මගින් පමණ ඉක්මවා භාවනා කිරීම සිදු නොවන පරිදි සමස්ත අදියර සතෙහිම එන මුළු ආහාර වට්ටෝරුවම සමාලෝචනය කොට සිතේ තබාගත යුතුය. එය පළමු අදියරේදීම පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් ආහාරයේ සෙසු අදියරයන් මඟ හැරීම මෙනි.

මෙහිදී, යම් චිත්ත ස්වභාවයක් දක්වා වර්ධනයක් ඇති කෙරෙන භාවනා වර්ගයක් විස්තර කළ නමුදු, එය බුදු දහම තුළ යෙදෙන එකම භාවනා වර්ගය නොවේ. නිදසුනක් ලෙස චිත්ත ස්වභාවය සම්බන්ධ ඇතැම් කාග්යු භාවනාවන්හි හෝ ඇතැම් සෙන් පිළිවෙත් තුළ වෙනස් ප්‍රවේශයක් දක්නට ලැබේ. චිත්ත ස්වභාවයක් දක්වා කරුණු ගොඩනැගීම වෙනුවට, ප්‍රේමය හෝ සිතේ පැහැදිලිබව වැනි අපගේ සිත තුළ පවත්නා ඇතැම් සහජ ගුණාංග පවත්නා බව සොයා ගනිමින් එ්වා වෙත ප්‍රවේශයන් ලබාගනු පිණිස යම් චිත්ත ස්වභාවයක් දක්වා සිත නිහඬ කරවන්නෙමු. එනමුත්, මෙයාකාරයේ භාවනාවන්හි නියැළෙන විටදී පවා පළමුව උපදෙස් ශ්‍රවණය කොට එ්වා වටහාගන්නා තෙක් එ්වා පිළිබඳ සිතා බැලීම සිදුකළ යුතුවේ. අපගේ සිත නිහඬ කරවන චිත්ත ස්වභාවය කවරක්ද යන්නද, සාක්ෂාත් කරගැනීමට උත්සාහ කරන දෙය කවරක්ද යන්නද, පළමුව කළ යුතුදේද, දෙවනුව කළ යුතු දේද ඈ වශයෙන් වූ කරුණු දැන සිටිය යුතුය. "නිහඬ කිරීමේ "භාවනා වර්ගයට අදාළ ව්‍යුහයද "ගොඩනැගීමේ" භාවනා වර්ගයට අදාළ ව්‍යුහයම වේ.

භාවනාවට වඩාත් යෝග්‍ය පරිසරය

භාවනා සැසියක් පිහිටුවන ආකාරය, භාවනා අවකාශය සකසන ආකාරය, බිම අතුගෑම හා කාමරය පිරිසිදු කිරීම පිළිබඳ සවිස්තරාත්මක උපදෙස්ද, නමස්කාර කිරීම, පූජාවන් කිරීම ආදිය පිළිබඳව උපදෙස්ද ඇත. මේ සියල්ල භාවනාවට යෝග්‍ය පරිසරයක් පවත්වාගනු පිණිස ඉතා වැදගත් වේ. විශේෂයෙන් නිසි ආසනයක් හා නිහඬ, පිරිසිදු පරිසරයක් ලෙස භාවනාවට සුදුසු පරිසරයක් හා යෝග්‍ය හේතු සාධක පැවතීම වැදගත් වුවද, අප වටා සංකීර්ණ සිද්ධි දාමයක් එසේ ගොනු කරගැනීම අවශ්‍ය නොවේ. සියලු නිසි සවිකුරු, සුවඳ කූරු, පරිසරය තුළ නව යුගයට අයත් සංගීත නාදයන් ඈ මෙකී නොකී සියලු දේ වෙනුවෙන් බොහෝ මුදල් වැය කළ යුතු නොවේ. සැබැවින්ම මිලරේපා හට මේ සියල්ල නොතිබි නමුත් ඔහු සිය භාවනා පිළිවෙතෙහි මනා සාර්ථකත්වයක් ලැබූවෙකි. අපගේ භාවනා අවකාශය හැකිතාක් ප්‍රියජනක එකක් කිරීමට උත්සාහ කළද, එය හුදෙක් මතුපිට පෙනුම පිණිස පමණක් සිදුකරන සංකීර්ණ වෙහෙසකාරී කාර්යයක් නොවිය යුතුය.

තවද, අපට ඕනෑම ස්ථානයක සිට භාවනා කාර්යය සිදුකළ හැකිවිය යුතුය. දිගු දුම්රිය ගමනක නිරත වන්නේ නම්, "මට මගේ වතුර භාජන නෑ, හඳුන්කූරු පත්තු කරන්න බෑ, වන්දනා කරන්න බෑ, එ්ක නිසා කෝච්චියෙ නම් භාවනා කරන්න බෑ" ආදිය නොපැවසිය යුතුය. භාවනාව පිළිබඳ යම් විශ්වාසයක් ගොඩනගාගත් පසුව දුම්රියක වේවා, පෝළිමක සිටගෙන සිටින අතරතුර වේවා, ඕනෑම තැනකදී භාවනා කළ හැක. අපගේ එදිනෙදා ජීවිතයන්හිදී පවා, විධිමත් භාවනා සැසි අතරතුරදී, සෙස්සනට ආදරයෙන් හා කරුණාවෙන් සැළකීමේ කාර්යය සිහි තබැගැනීමේ උත්සාහයක නිරතවිය හැක - එයයි භාවනාව යනු.

භාවනා කිරීමේ එකම අරමුණ දේශනා එ්කාබද්ධ කරමින් එ්වා අපට අපගේ එදිනෙදා ජීවිතයේ භාවිතයට ගත හැකි අයුරින් අපගේම කොටසක් බවට පත් කිරීමය යන කරුණ සිහි තබාගන්න. එනමුත්, භාවනාව මුළුමනින්ම අපගේ එදිනෙදා ජීවිතයෙන් වෙන්වූවක් වන කල, එය හුදෙක් විනෝදාංශයක් පමණි. විශේෂයෙන් අපගේ භාවනාව තුළ විසිතුරු තන්ත්‍රමය චිත්ත රූප මැවීම් ඇතුළත් වන විටදී, එය පහසුවෙන්ම ඩිස්නිලන්තයට හා අපගේ එදිනෙදා ජීවිතයට කිසිසේත් සම්බන්ධ නොවන මනෝ ලෝකයකට ගමන් කිරීමක් මෙන් විය හැක. එම මාර්ගයේ ගමන් කළහොත්, අපි මානසික අස්ථාවරත්වයකට පත්වන අතර, අපගේ එදිනෙදා දිවියට භාවනාවෙන් ඇතිකරන ප්‍රතිඵලය ඉතා සුළු එකක් වේ. භාවනා කිරීමේ එකම අරමුණම එය ජීවිතයට සම්බන්ධ කිරීමය යන කරුණ සිහි තබාගන්න.

කොතැනක සිටියද භාවනා කරන විටදී පළමුව අභිප්‍රාය පිහිටුවා, එය තහවුරු කොට චිත්ත එ්කාග්‍රතාවයක් සහිතව භාවනා කිරීමේ අපේක්ෂාවක් පවත්වාගත යුතුය. සිත විසිර යන්නේ නම්, එය නැවත කැඳවිය යුතුය. නිදිමත දැනෙන්නේ නම්, අවදි විය යුතුය. අවසානයේදී, ධනාත්මක බලයේ කැපවීම අප තුළ පවතී. භාවනා කිරීම තුළින් උත්පාදිත ධනාත්මක බලය කැප නොකරන්නේ නම්, භාවනා ප්‍රයත්නයන් මගින් හුදෙක් සාංසාරික තත්ත්වයන් වැඩදියුණු කිරීම පමණක් සිදුවේ. ධනාත්මක ශක්තිය කැපකළ යුත්තේ බුද්ධත්වය සාක්ෂාත් කිරීම, සියලු දෙනා වෙත සෙත සැලසීම උදෙසාය.

පුද්ගලික භාවනාව හා කණ්ඩායම් භාවනාව

ඇතැම්හූ පෞද්ගලිකව භාවනාවෙහි නිරත වෙති. සැබැවින්ම, තිබ්බතීයයෝ බොහෝ කොටම පෞද්ගලිකව භාවනාවන්හි නිරත වෙති. ආරාමයන්හි භික්ෂු, භික්ෂුණීන් විසින් යැදුම් ගායනා කොට චාරිත්‍රමය පාඨයන්ද කණ්ඩායමක් ලෙස එක්ව ගායනා කරන නමුත් ඔවුහූ කණ්ඩායම් භාවනාවන්හි නිරත නොවෙති. කෙසේ වුවද, බටහිර රටවල වසන අපි කණ්ඩායම් භාවනා චාරිත්‍රය ගොඩනගාගෙන ඇත. බොහෝ අය හට, කණ්ඩායම් භාවනාවේ ඇති මහත්ම ඵලය වනුයේ විනයයි. බොහෝ පුද්ගලයන් සම්බන්ධයෙන් කණ්ඩායම් භාවනාවෙහි පවත්නා මහත්ම ප්‍රතිලාභය වනුයේ විනයයි. තනිවම සිටින්නේ නම්, හුදෙක් හිඳ භාවනාවෙහි නියැළීමේ විනය නොපවතී. භාවනා සැසිය අවසාන කිරීමට අපේක්ෂා කළ කාලයට බොහෝ වේලාසන ඉන් නැගී සිටී; එනමුත් අප වටා අන් අය සිටී නම්, අප තුළ වැඩි විනයක් පවතී. අන් අය ඉදිරිපිට දැඟලීමට අකමැති බැවින් අවයව එහා මෙහා කිරීම් ආදියෙන්ද තොරව භාවනාවෙහි නිරත වන්නෙමු.

අන් අය හේතුකොට ඇතිවන අවධානය විසිර යාම හේතුවෙන් ඇතැම්හූ කණ්ඩායම් භාවනාව මුළුමනින්ම අප්‍රසන්න දෙයක් ලෙස සලකති. විශේෂයෙන් යමෙකු හට කැස්සක් ඇති වුවහොත් හෝ දඟලන්නට වුවහොත්, එය තමාගේ භාවනාවට බරපතල ලෙස බලපාන්නක් ලෙස සලකන ඔවුහූ එ් අනුව පුද්ගලිකව, තනිවම සිදුකරන භාවනාව වඩාත් ප්‍රිය කරති. විශේෂයෙන්ම කණ්ඩායම එක්ව යම් කිසිවක් හඬ නගා ගායනා කරන්නට වුවහොත්, ඇතැම් පුද්ගලයෝ සාමාන්‍ය වේගයට වඩා ඉතා අඩු වේගයකින් හා මන්දගාමීව ගායනය සිදු කරන අවස්ථාවන්හි අප තුළ ඉමහත් කෝපයක් හා කාර්යය එපා වීමක් ඇතිවේ. මෙහි අනෙක් පසටද කරුණු සිදුවිය හැක. එ් අනුව, කාර්යය පමණ ඉක්මවා වේගයෙන් සිදුවන විටද අපට කෝපයක් ඇතිවේ.

අප විසින් පෞද්ගලිකවම අපට වඩාත් යෝග්‍ය වන්නේ තනි භාවනාවද, කණ්ඩායම් භාවනාවද යන කරුණ විනිශ්චය කරගත යුතුය. තවත් එක් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් දෙදෙනෙකු පමණක් සිටින කුඩා කණ්ඩායම් භාවනාවන්වලට සහභාගි වීමේදී සිත් ගන්නා සුළු ලක්ෂණයක් මාගේ අවධානයට ලක්ව ඇත. අන්‍යයන් සමගින් ඉතා සමගි සම්පන්න බවක් දැනෙන පරිදි ඔවුන් සමගින් විශේෂ සමීප බැඳීමක් හා සම්බන්ධතාවයක් ඇති විටදී භාවනාව ඉතා සාර්ථක විය හැක. එහිදී ඔබ එකිනෙකාගේ ශක්තිය විසින් අනෙකා බලගන්වන්නාක් මෙනි. ඔවුන් සමග භාවනා කිරීමේ තත්ත්වය මගින් වැඩි ශක්තියක්ද වැඩි නිරවුල් බවක්ද ලබාදෙනු ලබයි. එනමුත්, කුඩා කණ්ඩායමක් තුළ භාවනා කරන පුද්ගලයන්ගේ ශක්තීන් එකිනෙකා සමගින් ගැටෙන විටදී ඇතිවන ප්‍රතිඵලය මෙයට ප්‍රතිවිරුද්ධ වේ: එමගින් කෝපය ඇති කරවන අතර ඔබගේ සිත වඩාත් අඳුරට පත් කරවයි. එ් අනුව, අන් අය සමගින් භාවනා කරන්නට යන්නේ නම්, ඔබ භාවනා කරන්නේ කවුරුන් සමගින්ද යන කරුණ පිරික්සා බැලිය යුතුවේ.

නොපසුබස්නා උත්සාහයේ වැදගත්කම

අවසන් උපදෙස වඩාත්ම වැදගත් උපදෙස් අතරින් එකක් වේ. එනම් සංසාරයේ ස්වභාවය නිරන්තරයෙන් ඉහළ පහල යාම වන බැවින් ස්වභාවයෙන්ම අපගේ භාවනාවද ඉහළ පහළ ගමන් කරයි. කිසි විටෙකුදු සෑම දිනකම භාවනාව වඩ වඩාත් යහපත් අතට වර්ධනය වන සරල රේඛීය ක්‍රියාවලියක් නොවනු ඇත. ඇතැම් දිනවල අපගේ භාවනාව හොඳින් සිදුවන අතර, වෙනත් දිනවල එතරම් හොඳින් එය සිදු නොවේ. ඇතැම් දිනවල අපට භාවනා කරන්නට අවශ්‍යවන අතර, තවත් දිනවල කිසිසේත් භාවනා කළ යුතු බවක් නොදැනේ. එය සංසාරයේ ස්වභාවය වන බැවින් මෙම තත්ත්වය මුළුමනින්ම සාමාන්‍ය හා ස්වභාවික දෙයක් වේ. මෙහිදී ලබාදෙනු ලබන අදහස වනුයේ, ඔබට කවර තත්ත්වයක් දැනුනද, හුදෙක්ම නොපසුබස්නා උත්සාහයෙන් කටයුත්ත දිගටම කරගෙන යන්න. "මට භාවනා කරන්න බෑ වගේ "යන සිතිවිල්ලක් ඇති වුවහොත්, කම් නැත. දිගටම භාවනා කරන්න. එහි අඛන්ඩතාවය පවත්වා ගන්න. හුදෙක් විනාඩි දෙක තුනක කාලයකට වුව එම කාර්යය දිනපතා සිදු කරන්න. මාර්ගයේ අපගේ ස්ථාවරත්වය ගෙන එනු පිණිස එම අඛන්ඩතාවය ඉතා වැදගත් වේ.

තවද, විශේෂයෙන් ආරම්භයේදී භාවනා සැසි පමණ ඉක්මවා දිගු එ්වා බවටද පත් නොකරන්න. නොඑසේ නම්, "අනේ කොයි වෙලාවෙද මේක ඉවර වෙන්නෙ?"යි සිතමින් සිටිනු ඇත. ඉන්පසු ඔබට භාවනාවට ආපසු යාමට සිත් නොදෙනු ඇත. තවදුරටත් භාවනාව කරගෙන යාමේ කැමැත්තක් ඇති අවස්ථාවක එය අවසන් කළහොත්, නැවත භාවනාවට යාම සඳහා ඉතාමත් සතුටින් ඉදිරිපත් වනු ඇත. එය යමෙකු සමගින් එක්ව සිට, ඔහු සමගින් තදුරටත් කල් ගත කිරීමට කැමැත්තෙන් සිටින විටදී ඔහුගෙන් සමු ගන්නා තත්ත්වයක් මෙනි. එවන් අවස්ථාවන්හි ඉතා ඉක්මනින් නැවත ඔහු දැකීමේ කැමැත්තෙන් පසුවේ.

අවසානයේදී, ඔබ භාවනා කරන කාල වේලාව ක්‍රමිකව වැඩි කරගැනීම වැදගත් වේ. නම්‍යශීලී වන්න - නම්‍යශීලී වීම ඉතා වැදගත්ය. මා පැවසූ පරිදි, දිනකට හෝ භාවනාව මඟහැර නොගන්න. සෑම දිනකම භාවනා කරන්නේ නම්, ස්ථාවරත්වය, විශ්වසනීයත්වය හා විශ්වාසයක් වර්ධනය වේ. එනමුත් නම්‍යශීලී වන්න: ඇතැම් දිනවල ඔබට අවශ්‍ය භාවනාවේ මුළු සැසියම සිදු කළ හැකි වේ; තවත් අවස්ථාවන්හි කල් වේලා ප්‍රමාණවත් නොවන විට, කාර්යය කෙටි කරන්න. එනමුත්, සෑම දිනකම මෙම විෂය සම්බන්ධ යම් කාර්යයක නිරත වන්න. හුදෙක් උන්මාදියෙකු බවට පත් නොවන්න; පමණ ඉක්මවා වෙහෙස වී ඉදිරියට යාමේ උත්සාහයක නිරත නොවන්න; මාගේ ප්‍රියතම සෙන් ප්‍රකාශයට අනුව "මරණය ඕනෑම අවස්ථාවක සිදුවිය හැක. ඉහිල් වන්න".

Top