අවිහිංසාව හා ආධ්‍යාත්මික වටිනාකම්

අදදින නූතන ලෝකය තුළ අවිහිංසාව හා ආධ්‍යාත්මික වටිනාකම් පිළිබඳ කථා කරන ලෙස මාගෙන් ඉල්ලීමක් කරනු ලැබ ඇත. අන්‍යයන් වෙත උපකාර කිරීමේ ඔබගේ සේවයේ කොටසක් ලෙස සැබැවින්ම අවිහිංසාත්මකව එවන් උපකාර කිරීම ඔබගේ පාර්ශ්වයෙන් ඉතා වැදගත් වන බැවින් මා දන්නා තරමට වෛද්‍ය වෘත්තියට හා ගුරු වෘත්තියට පිවිසීමට සූදානම්ව සිටින ඔබ වැනි සිසුන් හට මෙම මාතෘතා විශේෂයෙන්ම අදාළ වේ. ඔබ තුළමද යම්කිසි ආධ්‍යාත්මික වටිනාකම් තබාගැනීම ඔබගේ කාර්යය වඩාත් අර්ථාන්විත එකක් බවට පත් කිරීමට උපකාරී වනු ඇත. හුදෙක් මුදල් හරි හම්බ කිරීමටම නොව ඔබගේ සේවයට අදාළව ලැබී ඇති අවස්ථාව අගය කරමින් ආර්ථවත් ලෙස ජනතාවට උපකාර කිරීම පිණිස යොදා ගැනීමට එමගින් උපකාරයක් ලැබෙනු ඇත.

සියලු ආගම්වල මෙන් බුදු දහම තුළද අවිහිංසාව සම්බන්ධයෙන් බොහෝ කරුණු අන්තර්ගත වන අතර විවිධ පද්ධතීන් තුළ අවිහිංසාව යන්නෙන් කවරක් අර්ථවත් වන්නේද යන කරුණ විවිධ අයුරින් අර්ථ නිරූපණය කළ හැක. අපි නිරතුරුවම හිංසාව යන්න යම් ආකාරයේ ක්‍රියාවක් හා සම්බන්ධව සිතිවිලිගත කරන්නක් වන අතර, අවිහිංසාව යනු එයාකාරයේ චර්යාවන්ගෙන් වැළකීමයි. එනමුත් බුදු දහම විසින් එහිදී සම්බන්ධවන අපගේ චිත්ත ස්වභාවයට අනුව එම කරුණ වෙත ප්‍රවේශයක් ගනු ලබයි. මක් නිසාද, අප විසින් යම් ආකාර හිංසනකාරී චර්යාවක නියැළුණද, නොවුවද එ් සියල්ල හිංසනකාරී චිත්ත ස්වභාවයක් තුළින් පැන නගින බැවිනි. එ් අනුව සෙසු අය වෙත හානි පැමිණවීමේ හිංසනකාරී සිතිවිලි සිත තුළ දරා සිටිමින් හුදෙක් ඔහුට රිදවීමෙන් වැළකීම පමණක් ප්‍රමාණවත් නොවේ. එ් අනුව, හිංසනකාරී චිත්ත ස්වභාවය යනු කවරක්ද යන්න වටහා ගනිමින් එය මැඩ පැවැත්වීමේ ක්‍රම ඉගෙනීම වැදගත් වේ.

තෙයාකාර හිංසනයන් හා අවිහිංසාවන්

හිංසනය හෙවත් හිංසාකාරී චිත්ත ස්වභාවය යන්න විවිධ වර්ගයේ බෞද්ධ දේශනා තුනකට බෙදන්නෙමු. මෙහිලා “කෲරත්වය” යනුද හිංසනකාරිත්වය යන වදන පරිවර්තනය කිරීමේ තවත් විධියක් වේ. ඇතැම් විට යමෙකු විසින් තමාටම හෝ අන්‍යයන් වෙත හානි පැමිණවීමෙන් වළකාලනු පිණිස බල කිරීම් ක්‍රමද යොදාගැනීමට අපට සිදුවන බැවින් හිංසනය පිළිබඳ කථා කිරීමේදී හුදෙක් බලහත්කාරී හා බලවත් ලෙස කටයුතු කිරීමේ තත්ත්වයම අදහස් නොකෙරේ. ඔබගේ දරුවා නිරතුරු පාරට දිව යන්නේ නම් හා පහසුවෙන්ම මෝටර් රථයක හැප්පී මියයා හැකි තත්ත්වයක් පවත්නේ නම් හුදෙක් “අනේ රත්තරනේ, පාරට දුවන් නැතුව ඉන්නකො”යි නොපවසමු. එහිදී දරුවා බලහත්කාරී ලෙස ග්‍රහණය කොටගත යුතුවේ. එ් අනුව හිංසනය යන්නෙන් අදහස් කරන්නේ එවැනි තත්ත්වයන් නොවේ. හිංසනය යනු හානි සිදු කිරීමේ උවමනාව වන අතර, එසේ හානි සිදු කිරීම විවිධාකාරයෙන් සිදුකළ හැක. අපට තව තවත් හානි සිදුකිරීමේ විධීන් පිළිබඳ සිතිය හැකි වුවද, බුදු දහම තුළ සඳහන් මේවා වර්ග තුනක් පවතී.

අන්‍යයන් කෙරෙහි වූ අවිහිංසාව

පළමු වර්ගයේ හිංසනය යනු අන්‍යයන් කෙරෙහි හිංසනකාරී සිතිවිලි ඇතිකර ගැනීමයි. එය අප විසින් අන්‍යයන් වෙත අලාභ හෝ හානි සිදු කිරීම සඳහා සිතිවිලි ඇතිකර ගන්නාවූ කෲර නිර්දය තත්ත්වයක් ලෙස අර්ථ නිරූපණය කෙරේ. කරුණාව යනු අන් අය දුකින් හා ගැටලුවලින්ද එවාට හේතුවූ කරුණුවලින්ද මිදේවාය යන පැතුම හෙවත් කැමැත්තයි. මෙහිදී අන් අය දුකින් නිදහස් විය යුතු බවට වූ කැමැත්ත වෙනුවට, අපට ඔවුන් , අප විසින් ඇතිකරන ලද දුක් හේතුකොට හෝ අන් අය විසින් ඇතිකරන ලද දුක් හා ගැහැට හේතුකොට හෝ හුදෙක් ස්වභාවිකවම සිදුවන ගැහැට හේතුවෙන් හෝ, දුක් විඳිනු දැකීමට අවශ්‍ය වේ; ගැටලුවලින් පීඩනයට පත්වනු දැකීමට අවශ්‍ය වේ. එම චිත්ත ස්වභාවය මැඩ පැවැත්වීමට අප වෙත උපකාරයක් වනු පිණිස, සියලු දෙනා සතුටින් සිටීමට කැමතිවන අතර, කිසිවෙකු හෝ අසතුටින් සිටීමට අකමැති වන්නේය යන අදහසින් සියලු දෙනා සමාන වන්නේ කෙසේද යන කරුණ පිළිබඳ සිතිය යුතුවේ.

එ් අනුව යමෙකු විසින් අපට යම් වරදක් සිදුකරන විටදී හෝ නිදසුනක් ලෙස ඔබ විසින් යම් පන්තියක උගන්වමින් සිටින අතර සිසුවෙකු විසින් අන් අය වෙත හානි පමුණුවන අතර, අන් අයගේ කටයුතු අවුල් කරන ස්වභාවයෙන් කටයුුත කරන විටදී (සාමාන්‍යයෙන් කෝපය, නොඉවසීම හා අසහනකාරී චිත්ත ස්වභාවයක් හා බැඳි ප්‍රතිචාරයක් ලෙස) එවන් අවස්ථාවක එම පුද්ගලයා වෙත දඬුවම් පැමිණවීම සඳහා සිතිවිලි ඇතිකර ගැනීමකින් තොරව මෙම දරුවා යම් ආකාරයේ රෝගී තත්ත්වයකින් පෙළෙන්නෙකු ලෙස සිතීම වඩාත් ප්‍රයෝජනවත් වේ. දරුවා හට සතුටින් සිටීමට අවශ්‍යවන නමුදු සතුටු වන ආකාරය පිළිබඳ සැබෑ වූ පැහැදිලි හෝ නිවැරදි අදහසක් නොමැති අතර හුදෙක් මෙමගින් තමා වඩාත් සතුටට පත්වනු ඇතැයි සිතමින් ඉතා කඩාකප්පල්කාරී ආකාරයකින් හා ව්‍යාකූල චිත්ත ස්වභාවයකින්, කටයුතු කරයි. එ් අනුව, දරුවා කෙරෙහි එම දෘෂ්ටි කෝණය පවත්වා ගනිමින් අපි දරුවා අයහපත් අයෙකු ලෙස නොසිතන අතර දරුවාට දඬුවම් කිරීමට සිදුවේ; අපි ඒ වෙනුවට දයාව හෙවත් මෙම දරුවා ඔහුගේ චිත්ත ව්‍යාකූලත්වයෙන් මිදී, ඔහු පන්ති කාමරය තුළ එතරම් කඩාකප්පල්කාරී හා දඟ වැඩ කරන්නෙකු බවට පත් කරන සුළු ගැටලුවලින්ද මිදේවාය යන පැතුම හෙවත් කරුණාව ගොඩනගා ගන්නෙමු.

මෙහිදී අප විසින් කිසිවක් හෝ සිදු නොකර උදාසීනව බලා සිටින බවක් ඉන් අදහස් නොවේ. අවිහිංසාව යන්නෙන් අදහස්‍ කෙරෙනුයේ උදාසීනව කිසිවක් හෝ නොකර සිටීම නොව කෝප වීමකින් තොරව, මෙම කලහකාරී දරුවා වෙත හානියක් වේවාය යන පැතුමක් ඇතිකර නොගැනීමයි. ඒ අනුව, පැහැදිලිවම ඔබගේ පාසැල් පද්ධතිය තුළ පිළිගත හැකි ක්‍රම කවරක් පැවතියද එම දරුවා කලහකාරී ලෙස හැසිරීමෙන් වැළකීම සඳහා අප විසින් පැහැදිලිවම යම් කිසිවක් කළ යුතුව පවතී. එනමුදු ඒ පසුපස පවත්නා අභිප්‍රාය, ඒ පසුපස පවත්නා චිත්ත ස්වභාවය දරුවා අයහපත් අයෙකු වන බැවින් ඔහුට දඬුවම් කළ යුතුය යන අදහසට වඩා බොහෝ සෙයින් වෙනස් වූ එකක් වේ.

"අභිප්‍රාය" හෙවත් "පෙළඹීම" යන මෙම වදන වටහා ගැනීම බොහෝ සෙයින් වැදගත් වේ. එහි පැතිකඩ දෙකක් පවතී. ඉන් එකක් වනුයේ අපගේ ඉලක්කය හෝ අපේක්ෂාව වන අතර අනෙක වනුයේ එම ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා අප යොමු කරවන භාවයයි. ඉලක්කය වනුයේ දරුවාට උපකාර කිරීමයි. එබැවිනි, නිදසුනක් ලෙස, අප ගුරුවරයෙකු වන්නේ. ඔබ වෛද්‍ය වෘත්තියට යන්නේ නම් සිදුවන්නේද එයයි: අපගේ ඉලක්කය වනුයේ රෝගියා හට උපකාර කිරීමයි. එම ඉලක්කය සාක්ෂාත් කරගැනීම කරා අප යොමු කරවන චිත්ත ස්වභාවය කවරක්ද? එය මුදල් ඉපයීම හෝ අනෙකා ලවා අප වෙත ස්තුතිය ප්‍රකාශ කරවා ගනිමින් ඔහුගේ කෘතවේදිත්වය ලබාගැනීම නම් එය සැබැවින්ම ඉතා ආත්මාර්ථකාමී පෙළඹුමක් නොවේද? එය ආත්ම කේන්ද්‍රීය වූවකි. අපගේ සිතිවිලිවල අවධානය බොහෝ විටම අප කෙරෙහිම යොමුවී ඇති බැවින්, අපි සැබැවින්ම අනෙකාට යහපතක් වන දෙය කෙරෙහි අපගේ මුළු අවධානය යොමු නොකරමු. වෛද්‍යවරයෙකු විසින් යම් පුද්ගලයෙකුට සැබැවින්ම ශල්‍ය කර්මයක් අවශ්‍ය නොවන තැනක ඔහුට ශල්‍ය කර්මයක් සිදුකළයුතු බවට නිර්දේශ කරන්නාක් මෙනි. එවන් තත්ත්වයකදී ඔවුන් ශල්‍ය කර්ම නිර්දේශ කරනු‍යේ හුදෙක් එම ශල්‍ය කර්ම සිදු කිරීම මගින් වඩ වඩාත් මුදල් ඉපයිය හැකි බැවිනි. අනෙකා වෙත උපකාර කිරී‍මේ මෙකී අරමුණ සාක්ෂාත් කරගනු පිණිස අප විසින් සලිත විය යුතුවන්නේ කරුණාව තුළිනි - එනම් අනෙකා, ඔහුගේ සුභ සාධනය, ඔවුන් සඳහා වඩාත් යෝග්‍ය වනු ඇත්තේ කවරක්ද යන කරුණු පිළිබඳ සිතා බැලීමෙනි.

ඇතැම් අවස්ථාවන්හි වෛද්‍ය වෘත්තිය තුළ යමෙකු වෙත උපකාර කරනු පිණිස බොහෝ වේදනාකාරී සත්කාරයක්ද යොදාගැනීමට අපට සිදුවිය හැක: එන්නත්, ශල්‍ය කර්ම ඈ වශයෙනි. (ශල්‍ය කර්මයකින් සුවය ලැබීමද වේදනාකාරී එකකි.) එනමුත් මෙහිදී අපේක්ෂාව වනුයේ අදාළ පුද්ගලයා වෙත වේදනාවක් ගෙනදීම නොවන බැවින් එය ඉතා හිංසනකාරී ක්‍රමයක් නොවේ. අපේක්ෂාව වනුයේ ඔවුනට ඔවුන්ගේ දුකින්, ඔවුන්ගේ ගැටලුවලින්, රෝගී තත්ත්වයෙන් සුවය ලැබීමට උපකාර කිිරීමයි.

දඟකාර පාසැල් දරුවෙකු හික්මවීමේදීද එයම සිදුවේ: එහිදීද අභිප්‍රාය වනුයේ දරුවාට රිදවීම නොවේ. දරුවාද සතුටින් සිටීමට කැමති හා අසතුටින් සිටීමට අකමැති අප මෙන්ම වූ මනුෂ්‍යයෙකු වන බැවින් ඔහුට උපකාර කිරීමට අපට අවශ්‍ය වන අතර, ඇතැම් විට ඔහුට ජීවිතයේ වඩාත් සතුටින් සිටීමට හැකිවන ආකාරයක්ද මවිසින් ඉගැන්විය හැක. මතු අනාගතයේ මෙම දරුවා විසින් තෝරාගනු ඇති වෘත්තිය කවරක් වුවද, ප්‍රයෝජනවත් දෙය වනුයේ අදාළ පුද්ගලයා තුළ යම් විනයක් පවත්නේ නම්, එම පුද්ගලයා අන්‍යයන් සමගින් සහයෝගයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ දැනුවත්ව සිටීමයි. මේවා වූකලි මතු අනාගතයේ ඕනෑම අයෙකු හට ප්‍රයෝජනවත් හා උපකාරී විය හැකි දේවල් වේ.

විනය යන්නෙන් ස්වයං පාලනය අදහස් වේ. දරුවාට දඟ කිරීමට අවශ්‍ය වන විටදී, දරුවා විසින් ස්වයං පාලනයක් ඇතිකර ගත යුතු බව ඔහුට උගන්වන්න. ඒ අනුව, දරුවා පෞද්ගලිකවම හික්මවීමේදී, අදහස හෙවත් ඉලක්කය වනුයේ ඔවුන් විසින්ම විනය ගොඩනගා ගැනීමයි. දරුවා හික්මවීමේදි අප තුළ එම චිත්ත ස්වභාවය පවත්නේ නම්, එතුළින් බොහෝ සෙයින් දරුවා වෙත සන්නිවේදනය කිරීමක් සිදුවේ. එය මවක හෝ ප‍ියෙකු විසින් දරුවෙකු හික්මවීම මෙනි; දරුවා කෙරෙහි මවක/පියෙකු විසින් වෛරී හැඟීම් ඇතිකර ගන්නේද?

ඒ අනුව, අදාළ රෝගියා හට, දරුවා හට වඩාත් සතුටින් හා යහපත් දිවියක් ගැටලුවලින් තොරව ගතකිරීමට උපකාර කිරීමේ උවමනාව හෙවත් ආදරණීය, කාරුණික ආකල්පයක් ඇතුළතින් පවත්වාගෙන යාම වූකලි වෛද්‍ය වෘත්තිය හෝ ගුරු වෘත්තිය වැනි අනුන් වෙත උපකාර කිරීමේ වෘත්තීන් තෝරා ගන්නේ නම් ඉගෙනීම හා පුහුණු කිරීම වැදගත් වන දෙයකි. පිටතින් සැබෑ ලෙසම වෘත්තීය අයෙකු වන්න. එයින් අදහස් වනුයේ දැඩි අයෙකු වන අතරම ඇතැම් විට ඉතාමත් දැඩි අයෙකු වීමයි. එවිට අපට අවිහිංසාව පිළිබ‍‍ඳ මෙකී පළමු අර්ථයට අනුව අපගේ වෘත්තීය කටයුතුවල නියැලිය හැක.

ඒ අනුව, අන්‍යයන් වෙත හානි සිදු කිරී‍මට උපයෝගි කරගන්නා කරුණා විරහිතභාවයක් වෙනුවට, අප තුළ කරුණාවක්, ඔවුන් හානිවලින් මිදේවාය හා දුකින් මිදේවාය යන පැතුමක් පවතී. යමෙකු වෙත උපකාර කිරීමේ වඩාත් යහපත් විධික්‍රම කවරේද යන්න දැනගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. සෑම දරුවෙකුම, සෑම රෝගියෙකුම පුද්ගලයෙකු වේ. එයින් අදහස් කෙරෙන්නේ එක් පුද්ගලයෙකු සම්බන්ධයෙන් සාර්ථක වන ක්‍රමයක් තවත් අයෙකු සම්බන්ධයෙන් සාර්ථක නොවිය හැකි බවයි. ඒ අනුව වෛද්‍යවරයෙකු ලෙස සෑම රෝගියෙකුගේමද, ගුරුවරයෙකු ලෙස සෑම සිසුවෙකුගේමද පෞද්ගලිකත්වයට ගරු කිරීමද ඉතා වැදගත් වේ. සෑම දිනකම පරීක්ෂා කළයුතු බොහෝ රෝගීන් සිටින තත්ත්වයක හා පන්ති කාමරය සිසුන්ගෙන් පිරී ඇති තත්ත්වයක එවැන්නක් සිදු කිරීම එතරම් පහසු කටයුත්තක් නොවිය හැක. සෑම පුද්ගලයෙකුම පෞද්ගලිකවම දැන හඳුනාගෙන සිටීම සිදුකළ නොහැක්කක් වුවද, නැවතද වැදගත්වන කරුණ වනුයේ ඔබගේ චිත්ත ස්වභාවය හෙවත් ඔවුන් පිළිබඳ දැනීමේ කැමැත්තක් පැවතීමයි. ඔවුන් පිළිබඳ ඇල්මක් පවත්වාගෙන යාම ඔවුනට ගරු කිරීම මත රඳා පවතී. තවද, ඔවුනගේ හා අපගේද වයස් සීමාවට අනුව අපගේ සමීප මිතුරෙකු හෝ ඥාතියෙකු - ඔබගේ දරුවා, මව හෝ පියා, සහෝදරයා හෝ සහෝදරිය ඈ වශයෙන්- වෙත දක්වන ආකාරයේ කැමැත්තක් හා ගෞරවයක් සහිතව ඔවුන් දෙස බැලීමට උත්සාහ කරන්න.

මෙම පුද්ගලයාද මනුෂ්‍යයෙකු වන අතර මා මෙන්ම හැඟීම් ඇත්තෙකුය යන කරුණ සිහි තබාගැනීම ඉතාමත් ප්‍රයෝජනවත් වන මාර්ගෝපදේශයක් වන්නේය යන්න මාගේ අදහසයි. මා හට සතුටින් සිටීමට අවශ්‍ය වන්නාක් මෙන් ඔවුන්ටද සතුටින් සිටීමට අවශ්‍ය වන අතරම මා හට අන්‍යයන්ගේ කැමැත්ත දිනා ගැනීමට අවශ්‍ය වන්නාක් මෙන් ඔවුනටද එය දිනා ගැනීමට අවශ්‍ය වේ. මා තුළ ඔවුන් කෙරෙහි කෲර අදහස් ඇත්තේ නම් හා කෲර ලෙස කටයුතු කරන්‍නේ නම්, හා ඔවුන් කෙරෙහි උනන්දුවක් නොදක්වන ආකාරයෙන් කටයුුත කරන්නේ නම්, මා කෙරෙහි අනෙකෙකු විසින් ඒ ලෙසින් කටයුතු කළේ නම් මා හට දැනෙන ආකාරයටම ඔවුන්ගේ සිත් වේදනාවට පත්වනු ඇත. ඒ අනුව අන්‍යයන් වෙත ගරු කිරීමේ චිත්ත ස්වභාවය ‍පුද්ගලයෙකු ලෙස ඉතාමත් වැදගත් එකක් වේ.

අප කෙරෙහිම වූ අවිහිංසාව

දෙවන වර්ගයේ අවිහිංසාව අප විසින් මදකට පෙර පැහැදිලි කළ සංකල්පය සමගින් මදක් සම්බන්ධ වේ. මක් නිසාද, මෙහිදී අප විසින් සාකච්ඡා කරනුයේ අප කෙරෙහිම යොමුවූ අවිහිංසාව පිළිබඳව වීමයි (පළමු වර්ගය අන් අය කෙරෙහි යොමුවී ඇත). මෙහිදී ස්වයං විනාශකාරී නොවන ආකාරය පිළිබඳව කථා කරන්නෙමු. අප ස්වයං විනාශකාරී වන විටදී, ඉන් අදහස් වනුයේ අප කෙරෙහිම හානි හෝ අලාභ සිදු කිරීමට අදහස් කරන ස්වයං-ප්‍රේම විරහිත ස්වභාවයකි. මෙය සිතා මතා හෝ නොදැනුවත්වම අප කෙරෙහි හානි පැමිණවීමක් විය හැක. නිදසුනක් ලෙස, "මම අයහපත් අයෙක්මි", "මම ගන්න දෙයක් නැති අයෙක්මි", "මං එච්චර දක්ෂයෙක් නෙවෙයි" වැනි සිතිවිලි ගත හැක.

විශේෂයෙන් ඔබ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන සමයක ඔබගේ මව හෝ පියා මිය ගියහොත් එවන් මරණයන් අනිවාර්යයෙන් සිදුවන තත්ත්වයක "අයියෝ මං කොච්චර දුර්වල වෛද්‍යවරයෙක්ද. ගන්න දෙයක් නෑ" ලෙස සිතමින් ඔවුන් ජීවත් කරවීමට නොහැකි වීම පිළිබඳ‍ව වරදකාරී හැඟීමක් ඇතිකර ගනිමින් සාමාන්‍යයෙන් මනෝ විද්‍යාත්මකව හෝ භාවාත්මක ලෙස තමාටම යම් ආකාරයකින් ද‍ඬුවම් පමුණුවා ගැනීම සිදු කරයි. වෛද්‍යවරයෙකු හෝ ගුරුවරයෙකු බවට පත්වන්නට සූදානම් අයෙකු විසින් මෙවැනි දේ සඳහා සූදානම්ව සිටිය යුතුය. අපි බුදුවරුන් නොවෙමු. බුදුන් වහන්සේට පවා සියලු දෙනා හට උපකාර කිරීමට න‍ොහැකි වූ අතර, අපට කිසිසේත් සියලු දෙනා හට උපකාර කළ නොහැක. ඒ අනුව ස්වභාවිකවම ඇතැම් විට අපි අසමත් වෙමු. අපට රෝගියෙකු සුවපත් කිරීමට නොහැකි වීම හෝ දරුවෙකුට ඉගැන්වීමට නොහැකි වීම සිදුවිය හැක. එය වූකලි හුදෙක් යථාර්ථයේ ස්වභාවයයි. යමෙකු වෙත උපකාරී වනු පිණිස එම උපකාර ලබන්නා තමාගේ පාර්ශ්වයෙන් උපකාර ලැබීමට සූදානම්ව සිටිය යුතුය. යම් රෝගී තත්ත්වයන් අපට සුවකළ නොහැකි අතර කළ හැකි වුවද ඇතැම් විට අපට අත් වැරදීම් සිදුවේ; අපි මනුෂ්‍යයෝ වෙමු. ඇතැම් සිසුන් හට බරපතල භාවමය, සමාජ ආදී ගැටලු (පවුලේ ප්‍රශ්න ආදියද) පවත්නා අතර ඔවුනට සැබෑ ලෙසම උපකාර කිරීම අපගේ හැකියාවෙන් ඔබ්බට විහිදෙන්නක් විය හැක.

ඒ අනුව අප විසින් ස්වයං විනාශකාරී විය හැකි ක්‍රමයන් පිළිබඳ ප්‍රවේශම් විය යුතුය; වෙනත් වචනවලින් පවසන්නේ නම්, අප කෙරෙහිම හිංසනකාරී ලෙස කටයුතු කිරීමයි. නිදසුනක් ලෙස ස්වයං විනාශකාරී වීමේ විධීන් වනුයේ සර්ව සම්පූර්ණත්වයට පත්වීම සිදු නොකළ හැකි තත්ත්වයක "මම සර්ව සම්පූර්ණ විය යුතුය" ලෙස සිතමින් තමා තුළටම දැඩි පීඩනයක් එල්ල කිරීමයි. සැබැවින්ම අප විසින් අපගේ කාර්යයන් තුළ හැකිතාක් දුරට යහපත් අය වීමට උත්සාහ කරන නමුත් කිසිවෙකු හෝ සර්ව සම්පූර්ණ නොවේ. එබැවින් යමෙකු යම් කාර්යයක් විෂයයෙහි අසාර්ථක වුවහොත්, පසුතැවීමකට පත්වනු නොඅනුමානය. මතු අනාගතයේදී එම කාර්යය වඩා යහපත් ලෙස සිදු කිරීමට අවශ්‍ය වන නමුත්, ඒ හේතුවෙන් දැඩි මානසික අවපීඩනයක් ඇතිකර නොගැනීම සඳහා බොහෝ සෙයින් උත්සාහ කළ යුතුය. මක් නිසාද, අවපීඩනයට ලක්වීම මගින් සිදුවනුයේ හුදෙක් අපගේ කටයුතුවලට හානි සිදුවීම හා කටයුතුවල අපගේ ඵලදායකත්වයට හානි සිදුවීම පමණක් වන බැවිනි.

මෙහිදී "මානසික අවපීඩනයට ලක්වීමෙන් හා බොහෝ සිත් රිදීම් ඇතිවීමෙන් වැළකී සිටින්නේ කෙසේද?" යනුවෙන් ඔබ විමසිය හැක. ඔබගේ සිසුවෙකු සිටින අතර, ඔහු හොඳින් අධ්‍යාපන කටයුතු සිදු කරන නමුත් යම් හේතුවක් මත එම සිසුවා පාසැල හැර යයි. ස්වභාවිකවම එය දුක් සහිත තත්ත්වයක් නමුදු, වැදගත් දෙය වනුයේ ඉන් මානසික අවපීඩනයක් ඇතිකර නොගැනීමයි. ඒ අනුව, ඉන්පසු මතුවන පැනය වනුයේ: මානසික අවපීඩනයකට ලක්වීමෙන් වැළකී සිටින්නේ කෙසේද යන්නයි. මෙහිදී නැවතද අන්‍යයන් සමගින් කටයුතු කිරීම යනුවෙන් පෙරදී සඳහන් කළ දෙය වෙත පැමිණේ. සැබැවින්ම අන් අයට උපකාර කරමින් ඔවුන් වෙත හානි නොපැමිණවීම පිණිස අවශ්‍ය වැදගත්ම දෙයක් වනුයේ ඔවුන් කෙරෙහි ගෞරවයක් පවත්වා ගැනීම වන අතර, ඒ හා සමානවම අප කෙරෙහිද ගෞරවයක් අප තුළ පැවතිය යුතුය. "මා තුළ හැකියාවන් ඇත; නොඑසේ නම් මා හට ගුරුවරයෙකු හෝ වෛද්‍යවරයෙකු වීමේ හැකියාවක් නොපවතී" යන කරුණ නිරතුරු නැවත නැවතත් අවධාරණය කරගත යුතුය. "මවිසින් සිදුකරන මෙම කාර්යය සිදු කිරීම තුළ මාගේ අපේක්ෂාව යහපත්ය" යන අභිප්‍රාය නැවත තහවුරු කරමු. එනමුත් මනුෂ්‍යයෙකු ලෙස මා සර්ව සම්පූර්ණ අයෙකු නොවන අතර මා හට හැකි උපරිමයෙන් කටයුතු කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මා හටම ගරු කරගනිමි. එම ආකල්පය කිසි විටෙකුදු මානසික අවපාතකයකට නොවැටීමට අපට උපකාරී වේ.

මවිසින් සිදු කරන අවංක ස්වයං පරීක්ෂාවකදී මා හැකි උපරිමයෙන් උත්සාහ කොට නොමැති බව වැටහුනහොත් කවරක් සිදුවේද? මවිසින් වඩාත් යහපත් ලෙස කටයුතු කරන්නට තිබිණී. එවන් තත්ත්වයක, සහතික ලෙසම පසුතැවිල්ලක් ඇතිවන අතර, "මතු අනාගතයේදී වඩාත් දැඩි උත්සාහයක නිරත වන්නෙමි" යන කරුණ නැවත අවධාරණය කරගැනීම වැදගත්ය. එනමුත් අපට හැකි පමණ උත්සාහ කිරීමට නොහැකි වීමේ මෙම දෝෂය වැළැක්වීමට හෝ වැළැක්වීම සඳහා උත්සාහ කිරීමට මේ සඳහා වූ හේතු සාධක විමසා බැලිය යුතුවේ. එය මා පමණ ඉක්මවා වෙහෙසට පත්ව සිටි බැවින් සිදුවූවා විය හැක. ඒ වෙනුවෙන් නැවතද අප විසින් ස්වයං විනාශකාරී වනු වෙනුවට අපටම කාරුණික විය යුතුය. විවේකය සම්බන්ධයෙන් මාගේ අවශ්‍යතාවයන්, මාගේ සීමාවන් කවරේද යන්න දැන සිටිය යුතු අතර, නැවතද ඒවාට ගරු කළ යුතුය. ඒ පිළිබඳ අයහපත් හැඟීමක් ඇතිකර නොගන්න. සෑම අයෙකු තුළම සීමා සහිතකම් පවතී. සැබැවින්ම හදිසි අවස්ථාවකදී අපට නිරතුරු වඩා වැඩියෙන් කටයුතු කළ හැකි නමුත් සෑම අවස්ථාවක්ම හදිසි අවස්ථාවක් නොවේ.  "මා හට විවේකයක් අවශ්‍යයි" යනුවෙන් පැවසිය හැකි අවස්ථාවන්ද ඇති අතර, එසේ පවසා හැකිනම් විවේකයක් ගැනීමට උත්සාහ කරන්න. ඇතැම් විට එවැන්නක් සිදුකළ  නොහැකි විය හැක. එනමුත්, හැකිනම් වරදකාරී හැඟීමකින් තොරව විවේකය ලබා ගන්න.

පවුලක් නඩත්තු කරමින් සිටින අතරම වෘත්තීය ජීවිතයද සමබර කිරීමට උත්සාහ කිරීම සෑම විටෙකම එතරම් පහසු දෙයක් නොවේ. අපගේ දරුවන් හට මහා අවශ්‍යතා ඇත. එනමුත් මෙය මා කටයුතුවලින් පීඩනයට පත් නොවන පරිදි, පමණ ඉක්මවා වෙහෙසට පත් නොවන පරිදි හා මා කරන රැකියාව අසාර්ථක නොවන පරිදි අපගේ වැඩ සටහන ආදිය සකසාගත හැකිවන ආකාරය සම්බන්ධයෙන් වූ ප්‍රමුඛතාවයක් විය යුතුය. එය අපවම මානසිකව බිඳ වැටෙන ඉමක් දක්වා වි‍හිදෙන තෙක් නොකඩවා සිදුවීමට ඉඩ නොහළ යුතුය. අපගේ අවශ්‍යතා නොසලකා හැරීම අපටම හිංසාකාරී වීමක් වන බැවිනි. ඒ අනුව, අප කෙරෙහිම අවිහිංසාවාදී වීම ඉතාමත් වැදගත් වේ.

අන්‍යයන්ගේ විපතේදී සතුටු නොවීම

තෙවන වර්ගයේ අවිහිංසාව යනු අන්‍යයන්ගේ විපතේදී සතුටු නොවීමයි. වෙනත් වචනවලින් පවසන්නේ නම්, එය කෲර දෙයක් සේ සැලකේ. කෲර චිත්ත ස්වභාවයක් හා බැඳි හිංසනය පිළිබඳව සිතන්නේ නම්, අන්‍යයන්ගේ දුෂ්කරතාවයන් දැක සතුටුවීම කෲර චිත්ත ස්වභාවයකි; වෙනත් වචනවලින් පවසන්නේ නම්, යමෙකුගේ අසාර්ථකත්වය දැක සතුටු වීමයි. "මෙය මවිසින් සිදුකරන දෙයක් නොවේ" යැයි අපට සිතිය හැක. එනමුත් දේශපාලනය හා සම්බන්ධ නිදසුන පිළිබඳ සිතා බලන්නේ නම්, අපේක්ෂකයන් දෙදෙනෙකු සිටින අවස්ථාවක අප අකමැති අපේක්ෂකයා මැතිවරණයෙන් පරාජයට පත්වී හෝ ධුරයෙන් පහ කිරීම හේතුකොට ධුරය අහිමි කරගන්නා තැනෙකදී අපි ඒ පිළිබඳ බොහෝ සතුටු වෙමු. අපි ඔවුන් අත් විඳින අවාසනාවන්ත තත්ත්වය දැක සතුටු නොවන්නෙමුද? එමෙන්ම මෙයාකාරයේ අවස්ථාවකදී, අපගේ අදහසට අනුව වඩාත්ම යහපත් පුද්ගලයා හට එම ධුරය ලැබී ඇති බැවින් සතුටුවිය හැකි නමුදු, ඔහුගේ සතුට තුළ ප්‍රමෝදයට පත්වන්නේ නමුදු, අනෙකාගේ පරාජය දැක සතුටු වීමේ හේතුවක් නොමැත්තේ ඔවුනටද නිසැක වශයෙන්ම පවුලක් ඇති අතර, ඔවුන්ගෙන් යැපෙන්නන්ද සිටින අතර ඔවුන් විසින්ද මෙම අසතුට මනුෂ්‍යයන් වශයෙන් අත් විඳින බැවිනි. එබැවින්, ඔහු තවදුරටත් එම ධුරයේ නොසිටීම පිළිබඳ සතුටුවන නමුදු ඔහුටද ජීවිතයේ සතුට අත් වේවායි පතන්නෙමි. ඔවුනට අයහපතක් වේවායි නොපතන්නෙමි.

ඒ අනුව මෙම තෙයාකාරයේ අවිහිංසාව කෲර සිතිවිලි වර්ග තුනකට එරෙහිව ක්‍රියාත්මකවන බව පෙනේ:

  • අකාරුණිකත්වය – අන්‍යයන් වෙත අයහපත හා දුක ඇතිවේවාය යන පැතුම
  • ස්වයං ආදරයක් නොමැති වීම – දැනුවත්ව හෝ නොදැනුවත්ව අප වෙතම හානි සිදුකර ගැනීමේ උවමනාව
  • අන්‍යයන්ගේ අවාසනාවන් දැක සතුටුවීම - වෙනයම් අයෙකු අපොහොසත් වන විටදී හෝ යම් භයානක දෙයක් ඔවුනට සිදුවන විටදී සතුටු වීම.

මවිසින් ප්‍රකාශ කළ පරිදි අප විසින් සිදුකරන ක්‍රියා වර්ග මගින් ඒවා හිංසනකාරී වීමකින් තොරවම බලවත් ඒවා බවට පත් කරයි. එක් බෞද්ධ සූත්‍රයක මේ පිළිබඳ සම්භාවනීය නිදසුනක් පවතී. ගං ඉවුරක හිඳ සිටින භාවනානුයෝගීන් දෙදෙනෙකි. එක් මිනිසෙකු දැඩි ජල පහරක් සහිත එම ගඟට එන අතර ඔහුට එයට පැන අනෙක් පසට පිහිනා යන්නට අවශ්‍ය විය. මෙය වූකලි කිසිවෙකුට හෝ හරහා පිහිනා යාමට නොහැකි ආකාරයේ ගඟකි: එවන් උත්සාහයක් ගන්නා ඕනෑම අයෙකු අනිවාර්යයෙන් එහි ගිලී යනු ඇත. එක් භාවනානුයෝගියෙකු හුදෙක්ම සිය මුහුණේ ඉතා සාමකාමී පෙනුමක් සහිතව හිඳ සිටි අතර කිසිවක් හෝ සිදු නොකරමින් එම පුද්ගලයා හට නිසැක වශයෙන්ම ග‍‍ඟෙහි ගිලී මියයන්නට ඉඩහැර සිටින්නට විය. අනෙක් භාවනානුයෝගියා නැගී සිටි අතර, ගඟට නොයන ලෙස අදාළ පුද්ගලයා හට ඒත්තු ගැන්වීමට අපොහොසත් වූ බැවින් ඔහු එම ගමනින් වළක්වනු පිණිස ඔහුට සිහි විසඥවන ලෙස පහරක් ගැසීය. බුදුන් වහන්සේ මේ සියල්ල දුටු සේක. උන් වහන්සේ ප්‍රකාශ කළේ කිසිවක් හෝ නොකර නිශ්චලව භාවනා කරමින් සිටි භාවනානුයෝගියා හිංසන ක්‍රියාවකට වගකිව යුත්තා බවයි. තමා වෙතම වේදනා ගෙනදෙන පරිදි වූ කටයුත්තක් සිදු කිරීමෙන් පුද්ගලයා වළක්වාලනු පිණිස ඔහුට පහර දුන් පුද්ගලයා විසිනි සැබෑ අවිහිංසාවාදී ක්‍රියාව සිදුකරන ලද්දේ. ඒ මන්ද? එහි පදනම්ගත පෙළඹීම හෙවත් චිත්ත ස්වභාවය හේතුවෙනි. එනම් මෙම පුද්ගලයා දුක් විඳීමෙන් හා අනිවාර්යයෙන් ගිලී මියයාමෙන් වැළැක්වීමට අවශ්‍ය උපකාර කිරීමේ අවශ්‍යතාවයයි.

ආධ්‍යාත්මික වටිනාකම්

මේ සියල්ල නවීන ලෝකයේ ආධ්‍යාත්මික වටිනාකම් නම් වූ මෙම උදෑසන අප සාකච්ඡා කළ මාතෘකාවේ දෙවැනි කොටසට සම්බන්ධ වේ. "ආධ්‍යාත්මික" නමැති මෙම වචනය සැබැවින්ම අර්ථ නිරූපණය කිරීමට දුෂ්කර වචනයක් වන අතර, එහි ඉංග්‍රීසි හා රුසියානු භාෂාවන්හි වෙනස් වූ අර්ථයක් ගැබ්වේ.එනමුත් බෞද්ධ සන්දර්භයක් තුළ එය අර්ථ නිරූපණය කර ඇති ආකාරය හෝ එයට සමානාර්ථ පදය කවරක් වනු ඇත්තේද යන්න විමසා බලමු. බුදු දහම තුළ අපි ධර්මය පිළිබඳ‍ කථා කරමු. "ධර්මය" යනු වැළකුම් ක්‍රියා මාර්ගයකි. එය වූකලි දුක හා ගැටලු වළකාලීම සඳහා අප විසින් සිදුකරන දෙයකි. මෙය වූකලි ඔබ මෝටර් රියක් හෝ මෝටර් සයිකලයක් ධාවනය කරවන අතර, එය යමක හැප්පීමෙන් වළක්වනු පිණිස, පසෙකට වාහනය කැපීම වැනි ක්ෂණික අවස්ථාවන් හෙවත් වහා සිදුවන තත්ත්වයන්ට අදාළව කල්පනා කිරීමට පමණක් සම්බන්ධ වන දෙයක් නොවේ. එය ධර්මය නොවේ.

ඒ අනුව අපි ක්ෂණිකව එදිනෙදා අප විසින් සිදුකරන දේවල් පිළිබඳව පමණක් කථා න‍ොකරන්නෙමු. එය ආධ්‍යාත්මික දෙයක් යැයි අපි නොපවසමු. එය වූකලි අනාගතයේ යම් කිසිවක් වළක්වාලීමට අවශ්‍ය වීමට අදාළව සිතන ආකාරයකි. බුදු දහමද ඇතුළත් බොහෝ ආගම්හි මෙය වූකලි අනාගත භවයන්ට අදාළව සිතිවිලි ඇතිකර ගැනීම වන අතර අනෙකුත් ඇතැම් ආගම්වලදී එය මතු දිවිය පිළිබ‍ඳ‍ව  සිතීමකි. ඉන් අදහස් කෙරෙන්නේ මෙම ජීවිත කාලය තුළ පමණක් සිදුවන භෞතික සාර්ථකත්වය අපගේ ප්‍රධාන සැලකිල්ලට ලක්වන කරුණ නොවීමයි. මක් නිසාද, මරණය සිදුවන අවස්ථාවේදී ඉතිරි වනුයේ අප විසින් සිදුකරන ලද දේ පමණක් වන අතර මතු භවයන්හි අපට ගෙවීමට ඇති ඉමහත් කාලය හා සන්සන්දනාත්මකව මෙම ජීවිතය ඉතා කෙටි කලක් වීමද හේතුවෙනි.

අප විසින් මතු භවයන් හෝ මතු ජීවිත පිළිබඳව විශ්වාස කරන්නේ නම් මෙය ඉතා යහපත් දෙයකි. එනමුත් අප අතරින් බොහෝ දෙනෙකු එවැන්නක් විශ්වාස නොකළ හැක. ඒ අනුව අපට තවමත් ආධ්‍යාත්මික පුද්ගලයන් විය හැකිද? මෙම ජීවිත කාලය තුළ , පෞද්ගලිකවම මා වෙනුවෙන්ද ඇතැම් විට මාගේ පවුල සම්න්ධයෙන්ද ඈ වශයෙන්, අපගේ භෞතික සුභ සාධනය සම්බන්ධයෙන් පමණක් නොසිතා වඩාත් දිගු කාල පරාසයක් සම්බන්ධයෙන් සිතා බලන්නේ නම්, නිදසුනක් ලෙස, මතු පරම්පරාවන් පිළිබඳව සිතා බලන්නේ නම්, අපට එය අනිවාර්යයෙන් සිදුකළ හැක්කක්ය යන්න මාගේ අදහසයි. වෙනත් වචනවලින් පවසන්නේ නම්, කුඩා ප්‍රමාණයෙන් වුවද හැකි තරමින් කවරාකාරයේ හෝ දායකත්වයක් ලබා දෙමින් ලෝකය වඩාත් යහපත් ස්ථානයක් බවට පත් කිරීමට උත්සාහ කරන්න. නැවතද, බුදුන් වහන්සේ විසින් යොදාගන්නා ලද නිදසුනක් දක්වන්නේ නම්, මහා හාල් මල්ලක් එතුළ වූ සෑම හාල් ඇටයකම දායකත්වය හේතුවෙන් පිරී යයි. ඒ අනුව අප අතරින් ඇතැමෙකුට එම හාල් මල්ලට හාල් මිටකින්ද, තවත් අයෙකුට හාල් ඇටයකින් බැගින්ද දායකවිය හැකි නමුත් එම දෙවර්ගයේම පුද්ගලයෝ දායකත්වය ලබා දෙන්නෝ වෙති. එයයි වැදගත් කරුණ. බලවත් සේ දායකත්වයක් ලබාදිය නොහැකි බවක් හැ‍ඟෙන අවස්ථාවන්හිදී වුව, අපට අවම වශයෙන් උත්සාහ කළ හැක. 

ඒ අනුව, ගුරුවරයෙකු හෝ වෛද්‍ය කර්මයෙහි නියැළෙන්නෙකු බවට පත්වීම සඳහා අවශ්‍ය පුහුණුව ලැබීම තුළ මෙය වූකලි මෙම ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කිරීම සඳහා යම් දායකත්වයක් ලබාදීම සඳහා සිතා බැලීමට ලද සුවිශාල අවස්ථාවකි. ගුරුවරුන් වශයෙන්, ඔබ විසින් අනාගතයට පියමැන තමාගේම දායකත්වයන් ලබාදෙන පුද්ගලයන් පුහුණු කරනු ලබයි. වෛද්‍යවරුන් වශයෙන්, ඔබ අනාගතයට සිය දායකත්වය ලබාදීමේ කටයුතු නොකඩවා සිදුකළ හැකි රෝගී පුද්ගලයන් සුවපත් කිරීමට උපකාර කරයි. ඒ අනුව එය ඔවුන් අසතුටට නොව සතුටට පත් කිරීම සඳහා වූ අවශ්‍යතාවය සමගින් මනා සේ බැ‍‍ඳේ. ඒ අනුව ඔවුන් කෙරෙහි කිසිදු හිංසනකාරී හෝ කෲර සිතිවිලි නොපවත්වාගැනීම හා ඔවුනට ගරු කිරීමද අන්තර්ගත වේ. අපි "අපටද අනාගතය වෙනුවෙන් යම් දායකත්වයක් ලබාදිය හැකිය" යන සිතිවිල්ල සහිතව අපටම ගරු කරගන්නා අතර "ඔවුනටද දායකත්වයක් ලබාදිය හැක" යන සිතිවිල්ල සහිතව අපගේ රෝගීන්, අපගේ සිසුන් වෙත ගරු කරන්නෙමු. දායකත්වයක් යනුවෙන් අදහස් කරන්නේ කවරක්ද? ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කිරීම යන්නෙන් අදහස් කරන්නේ කවරක්ද? ඉන් මූලිකව අදහස් කරන්නේ ජනතාවට වඩාත් සතුටුදායක ජීවිත ගතකිරීම උදෙසා යම් ආකාර විධික්‍රම ප්‍රවර්ධනයයි. වඩාත් සතුටුදායක ජීවිත ගතකිරීම යන්නෙන් ‍ජීවිතයේ භෞතික පාර්ශ්වයද වැදගත් වුව එය පමණක් අදහස් නොවන අතර චිත්ත සාමය පවත්වා ගැනීමද, ජීවිතයේ ඉස්මතුවන ඕනෑම තත්ත්වයකදී තාක්ෂණික හැකියාවන් පමණක් නොව භාවමය කුසලතාවයන්ද භාවිත කිරීමට හැකිවීමද අදහස් කෙරේ.

ඒ අනුව ආධ්‍යාත්මික වටිනාකම් ලෙස මා සලකන දේ මේවාය. වෙනත් වචනවලින් පවසන්නේ නම්, අප විසින් අපගේ ජීවිතයේ හා අපගේ ජීවිතවලට සම්බන්ධව සිදුකරන කාර්යයනට අනුව වැදගත් සේ සලකන්නේ කවරක්ද? කෙටියෙන් පවසන්නේ නම්, විශේෂයෙන් ඔබ වැනි තරුණයන් හට අභිප්‍රාය හෝ පෙළඹීම පිළිබඳව ඉතා තදබල ලෙස සිතීම ඉතා වැදගත් බව සිතමි. මා විසින් මා අධ්‍යයනය කරන දේ අධ්‍යයනය කරන්නේ මන්ද? මා හට ජීවිතයේ සාක්ෂාත් කරගැනීමට අවශ්‍ය කවරක්ද? අනාගතයේ මාගේ පවුල වෙනුවෙන් සාක්ෂාත් කරගැනීමට මා හට අවශ්‍ය කවරක්ද? අවසන අනාගතය - අනාගත පරපුර - උදෙසා දායාද කිරීමට මා හට අවශ්‍ය මොනවාද? මා හට එසේ කිරීමට අවශ්‍ය වන්නේ මන්ද? මේ සඳහා බොහෝ සෙයින් සිත තුළ අභ්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමට සිදුවිය හැකි නමුත් එය කිරීමට තරම් වටිනා දෙයකි. මෙම ප්‍රශ්නවලට අපගේ පිළිතුරු එතරම් සතුටුදායක නොවන බව අපට වැ‍ටහී යා හැක. "මා විසින් මාගේ අභිප්‍රාය නිවැරදි කිරීමට උත්සාහ කළ යුතුද, නැත්ද?" යන්න තීරණය කිරීම සඳහා අප විසින් භාවිත කළ යුතුවන නිර්ණායකය වනුයේ මවිසින් සිදුකරන දෙය මගින් මා වෙත හා අන්‍යයන් වෙතද සතුට ගෙන එනු ඇත්තේද? නැතහොත් එමගින් හුදෙක් ගැටලු පමණක් ඇති කරනු ඇත්තේද යන කරුණ සලකා බැලීමය යන්න මාගේ අදහසයි. මෙකරුණ තක්සේරු කිරීමේදී, දිගු කාලීන ඵලයන් කෙටි කාලීන, ක්ෂණික ඵලයනට වඩා බොහෝ සෙයින් වැදගත් වේ. එනමුත්, අප විසින් ජීවිතය තුළ සිදුකරන දෙය සම්බන්ධ පැහැදිලි අදහසක් පවත්වාගෙන යන්නේ නම්, හා අප විසින් ජීවිතයේ යහපත් දිශානතියක් කරා ගමන් කරමින් සිටින්නේය යන කරුණ වටහා ගන්නේ නම්, මෙමගින් අපට යහ පැවැත්ම හා තෘප්තිය පිළිබඳ අසිරිමත් හැඟීමක් ලබාදෙනු ලබයි.

මා කල්පනා කරන ආකාරයට ඇතැම් විට මිනිසුන් මානසික අවපීඩනයට ලක් කරන එක් සාධකයක් වනුයේ ඔවුන්ගේ ජීවිතවල අර්ථයක් නොමැත්තේය, දිශාගත වීමක් නොමැත්තේය යන වැටහීමක් ඔවුනට ඇතිවීමයි. අපි යම් වෘත්තියක නියැළුණද අපගේ හදවතින් එම කාර්යය සිදු නොකරන්නෙමු. ලෝකයේ පවත්නා ප්‍රශ්න, මාගේ රටේ පවත්නා ප්‍රශ්න, මාගේ දිස්ත්‍රික්කයේ ප්‍රශ්න, මාගේ පවුලේ, මාගේ ප්‍රශ්න යන සියල්ල ඉතා අමිහිරි හා පමණ ඉක්මවූ ප්‍රශ්නාවලියක් වන බව අපට හැ‍ඟෙයි. ඒ අනුව එවන් චිත්ත ස්වභාවයක් සහිතව ජීවිතයක් ගත කිරීමේ ඇති ඵලය කවරක්ද? එය සැබැවින්ම දුක්ඛිත තත්ත්වයකි. එය වූකලි එතරම් සතුටුදායක ජීවිතයක් නොවේ. මෙම කණගාටුදායක හැඟීම මැඩ පැවැත්වීමට උත්සාහ කරනු පිණිස නැවතද අප කෙරෙහිම වූ ගෞරවයක් පැවතිය යුතුවේ. "බාහිර තත්ත්වයන් නොසලකා, මාහට මාගේ තත්ත්වය වැඩිදියුණු කරගනිමින් වඩා යහපත් මනුෂ්‍යයෙකු බවට පත්වීමේ හැකියාව පවතී" යන කරුණ නැවත අවධාරණය කළ යුතුවේ. මා වඩාත් සතුටින් ජීවත්වන පුද්ගලයෙකු බවට පත්කිරීම සඳහා පමණක් නොව එයද සහිතව මාගේ සමස්ත චිත්ත ස්වභාවය මා වටා සිටින සියලු දෙනා කෙරෙහිද බලපාන්නේය යන කරුණ මත මෙය ඉතා වැදගත් වේ. ඒ අනුව, වෛද්‍ය කර්මය තුළින් හෝ දේශනාමය ස්වරූපයෙන් හෝ අන්‍යයන් වෙත උපකාර කිරීම සඳහා කටයුතු කිරීම යනු අර්ථාන්විත දෙයකි. අනාගතය කවරක් විය හැක්කේද යන්න අපි නොදන්නා නමුදු ජනතාව මනා සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන්නේ නම්, ඔවුන් අධ්‍යාපනයක් ලබා ඇත්නම්, කටයුතු වඩාත් යහපත් අතට හැරෙනු ඇතැයි යන අපේක්ෂාවක් එහි පවතී. ඇතැම් විට එය සිතාගැනීමට දුෂ්කර දෙයක් විය හැක. එනමුත් අනාගතයේ වැඩි දුෂ්කරතා පැවතියද, ඒවා සම්බන්ධයෙන් වඩා යහපත් ලෙස කටයුතු කිරීමට අපට ජනතාව වෙත උපකාර කළ හැක.

‍මේවා නවීන ලෝකයේ අවිහිංසාව හා ආධ්‍යාත්මික වටිනාකම් පිළිබඳ මාගේ සිතිවිලිය.

ප්‍රශ්න

අපගේ නව ලොව තුළ, බෞද්ධ වටිනාකම් අතර කරුණාව යන්න පවත්නා බව අපට සැබැවින්ම වැටහේ. එනමුත් සැබෑ ජීිවතයේදී තත්ත්වය සැබැවින්ම දුෂ්කර වන අතර ඇතැම් විට දරුවන් දෙමාපියන් නොමැතිව වැඩෙන අතර ඉන්පසු බොහෝ සෙයින් දඩබ්බර වෙති. අප සම්බන්ධයෙන් ගත්කල, අපි ගුරුවරුන් නම්, වඩා දුර්වල පුද්ගලයන් ආරක්ෂා කිරීමට හා වඩා දුර්වල පුද්ගලයන්ට හානි නොකරමින් ඔවුනට රළු සේ නොසැලකිය යුතු බවට ඉගෙන ගත යුතුය ආදී වශයෙන් කරුණාවේ අවශ්‍යතාවය ඔවුන් වෙත ඔප්පුකර පෙන්වීම කෙසේ හෝ ඉතා දුෂ්කර කාර්යයක් වේ. ඒ අනුව, ගුරුවරුන් වශයෙන් අපි මෙම පණිවිඩය සිසුන් වෙත, විශේෂයෙන් තරමක් හිංසාකාරී සහ ඉතා දුෂ්කර ආර්ථික හා සමාජමය තත්ත්වයන් තුළ හැදී වැඩුණු සිසුන් වෙත ගෙන යනුයේ කෙසේද?

එවන් කලබලකාරී සිසුන් වෙත උපකාරී විය හැකි එක් ක්‍රමයක් වනුයේ ඔවුනට වඩ වඩාත් ත්‍යාගශීලී වීමට අවකාශ සැලසීමය යන්න මාගේ අදහසයි. වෙනත් වචනවලින් පවසන්නේ නම්, යම් කිසිවෙකු හට වෙනත් දරුවන් වෙත යම් කිසිවක් ලබාදීමේ අවස්ථාව ලබාදුනහොත් (වෙනත් වචනවලින් පවසන්නේ නම්, තම ප්‍රශ්න පත්‍රය හෝ වෙනත් පැවරුමක් හෝ ලබාදීම හෝ යම්කිසි ත්‍යාගශීලී දෙයක් සිදුකිරීම මගින්) ඔවුන් සිදු කරනුයේ අනෙකාට උපකාර කිරීමේ ක්‍රියාවකි. එමගින් එම දරුවා හට ආත්ම වටිනාකම පිළිබඳ හැඟීමක් ඇතිවේ. වෙනත් වචනවලින් පවසන්නේ නම්, දරුවෙකු ඉතා දුෂ්කර වටපිටාවකින් පැමිණ ඔහුට තමා අන්‍යයන්ගේ ආදරය නොලබන්නෙකුය යන හැඟිමක් ඇති වුවහොත්, එවිට ඔවුහූ මෙම ප්‍රතික්ෂේපිත හැඟීම ඉතා රළු චර්යාවන් තුළින් ක්‍රියාවට නංවා පෙන්වති. "මා හට යහපත් පරිසරයක් නොපවත්නා බැවින් පොදුවේ ජීවිතයේ යහපත් අයෙකු නොවන බවට මා සැලකෙන්නේ නම්, මම කෙතරම් දරුණු හා අයහපත් අයෙක්දැයි ලොවටම පෙන්වමි" යන හැඟීමක් එහි පවතී. ඒ අනුව, වෙනත් වචනවලින් පවසන්නේ නම්, ඔවුහූ සමාජ විරෝධීන්ව, සමාජයේ කොටසක් නොවෙමින් හා අපරාධයනට සම්බන්ධ වෙමින් ඈ ලෙස සිය ක්‍රියාවන්හි නියැළෙති. මෙය බොහෝ සෙයින් සාමාන්‍ය තත්ත්වයකි. එනමුත් ඔවුන් යහපත් පුද්ගලයන්ය යන්න පෙන්වීම සඳහා අවස්ථාවක් ලබා දුනහොත්, ඔවුනටද අන්‍යයන් වෙත ලබාදිය හැකි යම් කිසිවක් පවත්නා බව පෙන්වීමට අවස්ථාව ලබා දුනහොත්, එය එතරම් සාර්ථක දීමක් නොවුවද, එතරම් කාර්යක්ෂම වීමක් නොවුවද, තමාටද හුදෙක් සෘණාත්මක දේවල් පමණක් නොව අන්‍යයන් හට ලබාදිය හැකි යම් ධනාත්මක දේද පවත්නේය යන හැඟීමක් එමගින් ඔවුන් වෙත ලබාදෙනු ලබයි.

බෞද්ධ දෘෂ්ටි කෝණයකින් විමසා බලන කල, මෙය වූකලි දානය මගින් යම් ධනාත්මක බලයක් හෝ කුසලතාවයක් ගොඩනගා ගැනීමකි. එනමුත් මෙයට බෞද්ධ විග්‍රහයක් ලබාදීම අවශ්‍ය නොවේ. මනෝ විද්‍යාත්මක අදහසකින් මා විස්තර කළ දෙය ඇතැම් විට ප්‍රයෝජනවත් විය හැකි යයි සිතමි. එනමුත් ඔවුන් හට ඉටු කිරීම සඳහා යම් ධනාත්මක හා නිර්මාණාත්මක දෙයක් ලබා දීමේදී මෙය දඬුවමක් ලෙස සිදු කරන්නක්ය යන අදහස ඔවුන්ට ලබා නොදීමද ඉතා වැදගත්ය.

අපගේ ජීවිතයේදී අපි නිරතුරු යමෙකු ශික්ෂණය කිරීමේ කටයුතු සිදු කරන්නෙමු. එනමුත් යමෙකු නැවතද ශික්ෂණය කිරීමට උත්සාහ කරන ප්‍රති-ශික්ෂණ ක්‍රියාවලියක්ද පවතී.  මෙම ක්‍රියාවලියේදී, දඬුවමක් ලෙස වේවා, යම් ආකාරයේ කාර්යයක් ලෙස වේවා, සමාජ සත්කාරයක් ලෙස වේවා හික්මවනු ලබන පුද්ගලයා සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනුයේ කවරක්ද? මෙම පුද්ගලයා සඳහා යම් ආකාරයේ සදාචාර අධ්‍යාපනයක්ද? දරුවන් නොවන වියේදී හික්මවීමට අවශ්‍යවන පුද්ගලයන් හෙවත් බන්ධනාගාරගතව සිටින අපරාධකරුවන් යයි සිතමු.

සෑම අයෙකුම පුද්ගලයෙකු වන බැවින් මෙය නැවතද පොදුවේ පිළිතුරු ලබාදීමට අපහසු පැනයකි. මම බන්ධනාගාරයන්හි ඉගැන්වීම් කටයුතුවල පුද්ගලිකව නියැලී සිට නොමැති නමුත් මාගේ බොහෝ බෞද්ධ සහෝදරයන් එසේ කර ඇත. ඔවුනට හමුවන එක් දෙයක් වනුයේ බොහෝ දෙනා නොවුවද බන්ධනාගාරගත බොහෝ අය සම්බන්ධයෙන් ගත්කල ඒ සඳහා බොහෝ කාලයක් ගත වනුයේ ඔවුන් විසින් සිය ජීවිත කාලයන් තුළ සිදුකරන ලද දෙය හා ජීවිත කාලයන් තුළ ඔවුනට අවශ්‍යව තිබූ දෙය ලෙස ඔවුන්ගේ ජීවිත අධ්‍යයනයට බොහෝ කාලයක් ගතවන බැවිනි. සිය කෝපය පාලනය කරගැනීමේ ක්‍රම, සිය හිංසනකාරී ආවේගයන් පාලනය කරගැනීමේ ක්‍රම ඉගෙනීමේ කැමැත්තෙන් පසුවන සිරකරුවන් ගණනාවක් සිටින අතර ඒ අනුව සිය හුස්ම පිළිබඳ අවධානය යොමු කරවීමෙන් ඈ ලෙස සිත සන්සුන් කරගැනීමේ ඉතා මූලික බෞද්ධ භාවනාවන් ලබාගැනීම සඳහා බො‍හෝ සෙයින් සූදානම්ව සිටිති. ඒ අනුව, එවන් පුද්ගලයෝ සැබැවින්ම මෙයාකාරයේ උපකාර ලබාගැනීමට කැමැත්තක් දක්වති. සියලු දෙනා උපකාර ලබාගැනීමේ සූදානමින් නොසිටින අතර ඔවුන් එසේ නොවන්නේ නම්, අපට කළ හැකි දේ ඉතා සීමිතය. ඔවුන් තුළ සිය ජීවිත වෙනස් කරගැනීමේ හෝ ගොඩනගා ගැනීමේ කිසිදු අපේක්ෂාවක් හෝ කැමැත්තක් නොමැති අවස්ථාවන්හි හුදෙක් ඔවුනට ශාරීරිකව දඬුවම් කිරීම මගින් සිදුවනුයේ ඔවුන් තුළ වඩ වඩාත් විරෝධාකල්පයන් හා කෝපයන් ඇති කිරීම පමණකි.

ඇතැම් විට මෙහිදී මුළුමනින්ම යොදාගත නොහැකි විය හැකි නමුදු මනෝ විද්‍යාව තුළ යෙදෙන යම් පුහුණු වර්ග පවත්නා අතර ඒවා මගින් ඔබට යම් අදහසක් ලබාදිය හැක: සාමාන්‍යයෙන් මුළුමනින්ම සහයෝගය නොදක්වන හා බොහෝ සෙයින් රළු ස්වභාව ඇති නව යෞවනයෙකු  සිටී. ඔවුන් යම් පිරිසක් සමගින් ගමනක නිරතවන අතර එහි කණ්ඩායම් නායකයෙකුද බූරුවෙකුද සිටී. බූරුවා යනු ඉතා හිතුවක්කාර සතෙකු වන අතර ඌ ලවා ඔබට අවශ්‍ය දේ කරගැනීම ඉතා දුෂ්කරය. ඔවුන් මෙම බූරුවාට නිසි පරිදි ප්‍රතිචාර දක්වන අතර, ඌ පාලනය කරගැනීමට ඔවුන්ට සිදුවේ. ඒ අනුව ඔවුන්ට ඔවුන්ගේ කෝපය හා නොඉවසීම ආදිය මැඩ පවත්වාගෙන කෙසේ හෝ මෙම බූරුවා සමගින් කටයුතු කිරීමට සිදුවේ. ඒ අනුව නැවතද මෙමගින් අදහස් කෙරෙන්නේ යම් නිර්මාණාත්මක කටයුත්තක් සිදු කිරීමේ යම් වගකීමක් ඔවුන් වෙත පැවරිය යුතු බවයි. එනම් මෙම බූරුවා සමගින් නිසි පරිදි කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව ඇතැම් විට දරුවෙකු හට සතෙකු බලා ගැනීමේ වගකීම පැවරීම යෝග්‍ය වේ. එම සතා ඔවුන් විවේචනය නොකරයි; මිනිස්සු විවේචනය කරති. ඔබ විසින් කෙතරම් හික්මවන්නට උත්සාහ කළද සුනඛයාට ඔබ ප්‍රිය වේ. ඒ අනුව ඔවුනට තවත් සත්ත්වයෙකු සමගින් කටයුතු කිරීමට අවකාශ සැලසීම මගින් එම පුද්ගලයා කීකරු කිරීමේ හැකියාවක් ඇත. එනමුත් ඇතැම් විට බොහෝ සෙයින් හිංසනකාරී පුද්ගලයන් සිටින අතර ඔවුන් හට සුනඛයෙකු ලබාදුනහොත් එම සතාටද හිංසා පීඩා සිදුකළ හැකි බැවින් එවන් තත්ත්වයන් පිළිබඳ‍වද බොහෝ සෙයින් ප්‍රවේශම් විය යුතුය.

මනෝ වෛද්‍යවරයෙකු වන මාගේ මිතුරෙකුද සිටින අතර, ඇය මූලික වශයෙන් හිංසනකාරී නව යෞවනයන් සම්බන්ධයෙන් කටයුතු කරන අතර සාමාන්‍යයෙන් එම නව යෞවනයන් ගේදොර නොමැති, වීදි‍යේ ජීවත්වන හා ඒ හා බැඳි සියලු දුෂ්කරතාවන්ගෙන්ද පෙළෙන අය වේ. ඇය විසින් භාවිතයට ගන්නා ලද හා මා වෙත පවසන ලද එක් මාර්ගෝපදේශයක් වූයේ අප විසින් දැනටමත් සාකච්ඡා කරන ලද පරිදි බොහෝ සෙයින් හිංසනකාරී අය විය හැකි මෙම දරුවනට මනුෂ්‍යයෙකු ලෙස සලකා නිසි ඇල්ම හා ගෞරවය ලබාදීමයි. සැබැවින්ම ඔවුනට කන් දී ඔවුන්ගේ ප්‍රශ්න ඉගෙනීමට කාලයක් ගන්න. එනමුත් ඔබ විසින් සැබැවින්ම මඟහැරගත යුතුවන දෙයක් වනු‍යේ ඔබ ඔවුනට ඇහුම්කන් දෙන්නේ නම්, "දැන් ඔයාගේ වෙලාව ඉවරයි. දැන් යන්න" යනුවෙන් පැවසීමයි. එවැන්නක් කිසි විටෙක හෝ නොපැවසිය යුතුය. එය ප්‍රතික්ෂේප කිරීමක් වන බැවින් ඔවුහූ සාමාන්‍යයෙන් එයට ඉතා හිංසනකාරී ප්‍රතිචාරයක් දක්වති.

ඒ අනුව ඉන් උගත යුතුවන පාඩම නම්: හික්මීමක් නොමැති සිසුවෙකු සම්බන්ධයෙන් කටයුතු කිරීමට යන්නේ නම්, එම සිසුවා වෙනුවෙන් ඔබගේ කාලය යොදවන්න. ඔබ එම දරුවාට ඇහුම්කන් දීමට සූදානම් වන්න. ඔවුන්ගේ ගැටලු කවරේද යන්න වටහා ගැනීමට උත්සාහ කළ යුතුවේ. (ඔබට ඒ සඳහා විසඳුමක් හමු නොවුවද, ඔබ කාරුණිකව සවන් දුන්නේය යන කරුණම ප්‍රයෝජනවත් දෙයක් වේ). එනමුත්, ඒ සඳහා යොදන කාලය සීමා නොකරන්න. මෙම දරුවා හට මනුෂ්‍යයෙකු ලෙස හිමිවිය යුතු ගෞරවය ලබා දෙන්න.

එනමුත් ඔවුන් හික්මවීම සඳහා කළ යුත්තේ කවරක්ද යන්න පැවසීමට ඉතා දුෂ්කර වූවකි. ඔබගේ සමාජයේ පිළිගත හැකි කවරක්ද, පිළිගත නොහැකි කවරක්ද යන්න මම නොදනිමි. එනමුත්, විශේෂයෙන් කෝපයෙන් ලබාදෙන දඬුවමින් කිසිදු පලක් නොවනු ඇත.

පුද්ගලයන් සමගින් පවත්වන එදිනෙදා සම්බන්ධතාවයන්හිදී කෝපයට පත් වීමෙන් වළකින්නේ කෙසේද?

අපට අප්‍රසන්න සේ දැනෙන, කෝප ගන්වන සුළු සේ දැනෙන යම් අවස්ථාවක් විග්‍රහ කොට බලන්නේ නම්, එය බොහෝ වූ විවිධ හේතු හා ප්‍රත්‍යද සාධකද ගණනාවක් හේතුකොට ඉස්මතුවන බව පෙනේ. එම හේතු සමාජ තත්ත්වයන්, ආර්ථික තත්ත්වයන්, අප ගනුදෙනු කරන පුද්ගලයන්ගේ නිවසේ සිදුවන දෙය, ඔවුන්ගේ පසුබිම ආදියයි. අපි ඒ සම්බන්ධයෙන් කෝපයට හා ගැහැටට පත්වන විටදී, අපගේ සිත්වල සිදුවන දෙය වනුයේ එම සිදුවීම හෝ අපට කෝප ගන්වන සුළු සේ පෙනෙන දෙය ගනිමින් එය මහා භයානක රාක්ෂයෙකු බවට පත් කිරීමයි. එය රඳා පවත්නා සියලු හේතු ප්‍රත්‍ය අපට නොපෙනෙන අතර සැබැවින්ම පවත්නා සෘණාත්මක ගුණයන්ට වැඩි අවගුණයන් ප්‍රමාණයක් අපි එයට ප්‍රක්ෂේපණය කරමු. අපට එය එසේ වීමට අවශ්‍ය නොවන බැවින්, කෝපය යනු එය ඉතා ප්‍රබල ලෙස භාවමය වශයෙන් ප්‍රතික්ෂේප කිරීමකි.

මෙහිදී ඒ පිළිබඳ සිතා බලා ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඒ පසුපස පවත්නා යාන්ත්‍රණය වනු‍යේ "මෙම දුක, මෙම දුෂ්කරතාවය එම ස්ථානයෙන් ඉවත්ව යත්වා" යන්නයි. එය කරුණාවයි. ඒ අනුව කෝපය හා ගැහැටට එරෙහි එදිරිවාදියා වනුයේ නිරන්තරයෙන්ම ආදරයයි. ආදරය යනු අනෙකා සතුටින් සිටීවා සහ සතුටට අදාළ හේතු ඔහු වෙනුවෙන් පහළ වේවාය යන පැතුමයි. මෙකී සියලු ප්‍රත්‍යයන් හා ඔවුන් අසතුටින් සිටීම හේතුවෙන් ඔවුහූ අප්‍රසන්න හැසිරීම් රටාවක් නිරූපණය කරති. ඔවුන්ද, ගැහැට පමුණුවන, අප්‍රසන්න ආකාරයෙන් කටයුතු කිරීම නවතාලන ආකාරයට සතුටින් සිටීම මාගේ අවශ්‍යතාවයයි. ඔවුන් සතුටින් සිටීමට අවශ්‍ය තත්ත්වයට පත් කරනු පිණිස, ඔවුන් අසතුටට පත් කරවන හා පාලනය කළ නොහැකි ආකාරයෙන් කටයුතු කිරීමට සලස්වන තත්ත්වයන් සියල්ල කවරේද යන්න උගත යුතු අතර ඉන්පසු මා හට වෙනස් කළ හැක්කේ කවර දේවල්ද යන්න විමසිය යුතුය.

ඒවා අප විසින් භාවිත කරන ඇතැම් ක්‍රමයන් වේ. එය වූකලි මූලික වශයෙන් විග්‍රහ කිරීමයි; මේ හා ඒ හේතුවෙන් මෙය ඉස්මතු වේ වශයෙනි. මෙම හේතු මගින් ඇතිකරන ලද මෙයාකාරයෙන් ඔවුන් කටයුතු කිරීම නැවැත්වීමට මා හට අවශ්‍යවන අතර ඒ අනුව මා හට ඔවුන්ගේ චර්යාවට බලපෑම් ඇති කරවන දෙය වෙනස් කිරීම සඳහා කළ හැක්කේ කවරක්ද?

ගුරුවරුන් ලෙස, විවිධ සංස්කෘතික, සමාජමය, ආගමික පසුබිම්වලින් එන ළමුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට යන්නෙමු. මෙකී විවිධාකාර ළමුන් හික්මවා ඔවුන් හට අධ්‍යාපනය ලබාදෙනු පිණිස ඔවුන් සියලු දෙනා සම්බන්ධ ඉවසීමක් පවත්වාගෙන යාම පමණක් ප්‍රමණවත්ද?

මාගේ සිතිවිල්ලට අනුව ළමුන් පිළිබඳ ඇල්මක් පවත්වාගෙන යාම වඩාත්ම වැදගත් සාධකයන් අතර එකක් වේ. ඉන් අදහස් වන්නේ මෙම ළමුන්ගේ ආගමික පසුබිම්, සමාජමය පසුබිම් ආදිය සම්බන්ධයෙන් දැනුවත්භාවයක් ලබාගැනීමයි. ඔබ විසින් අධ්‍යාපනය ලබාදීමට උත්සාහ කරන පුද්ගලයන් පිළිබඳ වැටහීම වැඩි වන්නට වන්නට, ඔවුනට සැබැවින්ම අවශ්‍ය කවරක්ද යන්න වඩ වඩාත් ඔබට වැටහෙනු ඇත. අධ්‍යාපනයේ වැදගත් කරුණ වනුයේ ඔවුන් ලවා විභාග සමත් කරවීම පමණක් නොව ඔවුනට වඩා යහපත් පුද්ගලයන් බවට පත්වීම සඳහා උපකාර කිරීමයි. ඒ අනුව ඒවා පිළිබඳ ඉගෙන ගන්න. ඔවුන් ලවා ඔවුන් පිළිබඳව හෝ ඔවුන්ගේ පවුල පිළිබඳව හෝ ඔවුන්ගේ පසුබිම පිළිබඳව වැනි කුඩා වාක්‍ය රචනා ලියවිය හැක. ඔවුන් පිළිබඳවම යම් දෙයක් ඔවුන් ලවා කියවාගන්න. එවිට ඔවුන් පිළිබඳ යම් තරමක වැඩි අවබෝධයක් ලැබිය හැකිවේ.

ප්‍රතික්ෂේප කරනු ලැබීමට පවත්නා බිය හේතුකොට සිය අදහස හෝ තමා පිළිබඳවම යම් කිසිවක් පැවසිය යුතුවන අවස්ථාවන්හි මදක් පැකිලෙන පුද්ගලයන් මා හට නිරතුරු හමුවේ. මාගේ ප්‍රශ්නය වනුයේ මෙම පුද්ගලයන් හට ඔවුන්ගේ සංවෘත මානසිකත්වය හා බිය මැඩ පැවැත්වීමට උපකාර කරන්නේ කෙසේද යන්නයි.

සිය සම වයස් කණ්ඩායම්වල අනුමැතිය සම්බන්ධයෙන් බොහෝ සෙයින්ම සැලකිලිමත් වන නව යෞවන වියේ පසුවන්නන් සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම ප්‍රබල ගැටලුවක්ය යන්න මාගේ අදහසයි. ඔවුන්ගේ ලජ්ජාශීලිත්වය මැඩ පවත්වන්නේ කෙසේද? බෞද්ධ ආරාමික අධ්‍යාපනය තුළ ‍යොදාගනු ලබන එක් ක්‍රමයක් වනුයේ පාඩමකින් අනතුරුව, සියලු සිසුන් හට දෙදෙනා බැගින් වූ යුගලයනට බෙදී මොහොතකට පෙර පවසන ලද දෙය සම්බන්ධයෙන් සාකච්ඡා කොට එය ඔවුන් විසින් වටහා ගත්තේද යන්න විමසා බැලීමයි. ඒ අනුව ඔවුහු සමස්ත පන්තිය සමගින්ම කථා කිරීමක් සිදු නොවන අතර, එම පන්තියේ ඇතැම් සිසුන් එතරම් කාරුණික නොවන අතර ඔවුනට සිනහසෙන සුළු අය විය හැක. එනමුත් දෙදෙනා බැගින් යුගලගත වූ පසු ඔබට යම් කිසිවක් පැවසීමට සිදුවේ. සෑම කණ්ඩායමකම සිටින සිසුන් විසින් අන් කිසිවක් නොව සැබෑ ලෙසම අදාළ මාතෘකාව පිළිබඳව කථා කරන්නේය යන්න තහවුරු කරගනු පිණිස ගුරුවරයා හට එක් එක් කණ්ඩායම වටා රවුමක් ගොස් විනාඩියක් හෝ දෙකක් ඔවුනට සවන් දිය හැක. එනමුත් මෙය වූකලි ‍ඉතා යහපත් ඉගැන්වීම් විලාසයක් වනුයේ එමගින් සිසුවෙකු හට හුදෙක් උදාසීනව සිටිමින් ඇහුම්කන් දීමේ හෝ කිසිවකට සවන් නොදෙමින් කිසිදු කරුණක් උකහා නොගැනී‍මේ අවකාශය සැලසෙන බැවිනි. ඔවුන් විසින් යම් කිසිවක් ප්‍රකාශ කළ යුතුය: තමා විසින් සැබෑ සාකච්ඡාවක නිරත වූ බවත්, සැබැවින්ම අවධානය යොමු කරවමින් ඇහුම්කන් දුන් බවත් පෙන්වීමට සිදුවේ. ඔවුනට ලජ්ජාශීලී වීමේ අවකාශයක් නොමැත. එනමුත් සෑම විටෙකම එකම සාකච්ඡා සහකරුවෙකු ඔවුන් විසින් තෝරා නොගන්නා බවටද සහතික විය යුතුය; එයද වෙනස් විය යුතුය. එය ආරාමික අධ්‍යාපන ක්‍රමය තුළ යෙදාගනු ලබන එක් ක්‍රමයකි. එය ඇතැම් විට ප්‍රයෝජනවත් විය හැක.

Top