බුදු දහමේ හා ඉස්ලාම් දහමේ ප්‍රේමය පිළිබඳ පිළිවෙත: සැසඳුමකි

සියලු ආගම් තුළ පොදු අරමුණක් පවතී                                   

සියලු ආගම් තුළ ප්‍රේමය, ඉවසීම, සමාව ලබාදීම, ආත්ම කේන්ද්‍රීයත්වය හා ආත්මාර්ථය මැඩපැවැත්වීම යන පොදු පණිවිඩය බෙදා හදාගනු ලබයි. මෙය වූකලි සියලු ආගම් තුළ පොදුවේ දේශනා කරනු ලබන දෙයක් වන අතර, අන්තර්-ආගමික සංවාදයේ පදනමද වේ. මෙම ගුණාංගයන් ඉගැන්වීම සඳහා ඒ පසුපස පවත්නා දර්ශනයන් හා විධික්‍රම විවිධාකාර විය හැකි නමුදු අරමුණ එකම වේ. සියලු ලෝක ආගම් තුළ ජීවන තත්ත්වය වැඩිදියුණු කරගනිමින් පුද්ගලයන් හා සමාජය වෙත සතුට ගෙන ඒම ඉලක්ක කරනු ලබයි. මෙකරුණ පොදු පදනම වශයෙන් ගෙන, දාර්ශනික වෙනස්කම් පවත්නේය යන කරුණ පිළිගන්නා තැනදී ඉස්මතුවන පැනය වනුයේ වර්තමාන ලෝකය තුළ බොහෝ සෙයින්ම අවශ්‍යවන දෙයක් වූ ආගමික සමගිය ගොඩනගා ගන්නේ හා දිරිමත් කරනුයේ කෙසේද යන්නයි.

බෞද්ධ හා ඉස්ලාම් ලෝකයන් පිළිබඳව විමසා බලන විටදී, ඒවා ඉන්දියාව, මධ්‍යම හා ගිණිකොනදිග ආසියාව වැනි ලෝකයේ බොහෝ වූ විවිධ ‍ප්‍රදේශයන්හි ඓතිහාසිකව මෙන්ම වර්තමානයේද එකිනෙක සම්බන්ධ වී එකිනෙක මුහුවූ අතර, මේවන විට බොහෝ මුස්ලිම් ආගමනිකයෝ යුරෝපයට හා උතුරු ඇමරිකාවට පැමිණෙමින් සිටිති. අපි මෙකී සමාජ හා සංස්කෘතීන් සමගින් වඩාත් සමීප සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් සිටින්නෙමු. ඔවුහූ යුදෙව් හා ක්‍රිස්තියානි පසුබිම්වලින් එන ජනතාව සමගින් පමණක් නොව බෞද්ධයන් සමගින්ද සම්බන්ධතා පවත්වමින් සිටිති. මෙහි සිටින අප අතරින් ඇතැමෙකුට බෞද්ධ පසුබිමක් පැවතිය හැකි අතර මෙම ආගම් දෙක සැස‍‍ඳෙන ආකාරය දැනගැනීම සිත් ගන්නා සුළු කරුණක් විය හැක.

මෙය වූකලි අන්තර්-ආගමික සමගිය විෂයයෙහි පරම පූජනීය දලයි ලාමා වහන්සේ බොහෝ සෙයින් සැලකිලිමත්වන කරුණකි. මෙම සමගියේ පදනම අධ්‍යාපනය වන බව එතුමා විසින් නිරතුරු අවධාරණය කරයි. වෙනත් ආගම් පිළිබඳ ජනතාව වෙත තොරතුරු නොලැබෙන විට හා නිරතුරු සාවද්‍ය තොරතුරු ලැබෙන විටදී, අවිශ්වාසය පිළිබඳ බිය පැන නගී. ජනතාව විසින් නිරතුරු දලයි ලාමා වහන්සේ "‍මැරවර පුද්ගලයන්" හෙවත් "පීඩා ගෙනදෙන්නන්" ලෙස හඳුන්වන ඉතා කුඩා කණ්ඩායමක් හා අනන්‍යව සමස්ත ආගමක්ම හඳුනා ගැනීමට පෙළඹේ. මෙවන් පුද්ගලයන් සියලු සමාජයන්හි හා ආගම්හි ඇතුළත් වේ.

මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි; එබැවින්, ආගමික සමගියේ පදනම වනුයේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය මත පදනම්ව, එකිනෙකාගේ දර්ශනයන් හා අප සියලු දෙනා තුළ පොදුවේ පවත්නා මෙකී ධනාත්මක ගුණාංගයන් වගාකර ගැනීමේ විධි වටහා ගන්නේ නම් ගෞරවයක් පවත්වාගත හැක. ඒවා වනුයේ ප්‍රේමය, කරුණාව, සමාව දීම ආදී විශ්ව ගුණයන්ය. මේ අරමුණ සඳහා මෙම ආගම් දෙක හා ඉස්ලාම් දහමින් අරඹී, ඒවා තුළින් ප්‍රේමය පිළිබඳව ප්‍රකාශ වන්නේ කවරක්ද යන්න විමසා බලමු. 

Top