ඉස්ලාම් දහමේ හා බුදු දහමේ පවත්නා ඇතැම් පොදු ලක්ෂණ

දර්ශනසූරී ස්නෙෂානා අක්පිනාර් හා දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින් අතර සංවාදයකි

බොහෝ බටහිර ජාතීහූ ඉස්ලාම් දහම පිළිබඳ නොදැනුවත්භාවයකින්ද, බියකින්ද පෙළෙති. යම් අනවබෝධයන් ඉවත් කොට ඉස්ලාමය හා බුදු දහම අතර පවත්නා අනුනාදයන් ගවේෂණය කරනු පිණිස විමසුම් සිත් සංවිධානය විසින් දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින් හා දර්ශනසූරී ස්නෙෂානා අක්පිනාර් අතර සංවාදයක් පවත්වන ලදී.

දර්ශනසූරී ඇලෙක්සැන්ඩර් බර්සින් ඉන්දියාවේ ධර්මශාලාහි වසර 29ක් ජීවත්වූ අතර එහිදී ඔහු වරින්වර පරම පූජනීය දලයි ලාමා වහන්සේගේ කථා පරිවර්තකවරයෙකු වශයෙන් කටයුතු කළේය. ඔහු මේවන විට ජර්මනියේ බර්ලින් නුවර ජීවත් වෙමින් තිබ්බතීය බෞද්ධ භාවනාව හා දර්ශනය උගන්වයි. සිය අනේකවිධ ලෝක දේශනා චාරිකාවන් තුළ ඔහු විසින් බෞද්ධයන් හා මුස්ලිමුන් අතර ඓතිහාසික අන්තර් සම්බන්ධතාවය ගවේෂණය කොට ඇත. මොංගෝලියානු අධිරාජ්‍යයට පෙර බෞද්ධ හා ඉස්ලාම් සංස්කෘතීන් අතර පැවති ඓතිහාසික සම්බන්ධතාවය (The Historical Interaction between the Buddhist and Islamic Cultures before the Mongol Empire) නමින් මාර්ගගතව ලේඛනගත කරන ලද ඉතිහාස කෘතියේදී ඔහු විසින් තුර්කිය, ජෝර්දානය හා ඊජිප්තුව යන රටවල විශ්වවිද්‍යාලයන් අමතා ඇති අතර උස්බෙකිස්තානයේ, කිර්ගිස්තානයේ හා කසකස්තානයේ උගතුන් සමගින් සංවාදයන්හි නිරත වී ඇත.

දර්ශනසූරී අක්පිනාර්ගේ පුහුණු ක්ෂේත්‍රය බුදු දහම වන නමුත් ඇයගේ අධ්‍යයන කටයුතු ඉස්ලාම් දහම සම්බන්ධව වේ. ඇය මුළින් පෙරදී යුගෝස්ලාවියාව ලෙස පැවති ක්‍රොඑ්ෂියා ජනරජයෙන් පැමිණෙන්නියක් වන අතර සුප්‍රකට බෞද්ධ උගතෙකු වූ ඇයගේ පියා සිය වයෝවෘද්ධ අවධියේදී ශ්‍රී ලංකාවට ගොස් භික්ෂුවක බවට පත්විය. දර්ශනසූරී අක්පිනාර් සතියේ දින සංඛ්‍යාවෙන් අඩක් උතුරු කැලිෆෝනියාවේ චීන බෞද්ධ ආරාමයක් වන දස දහසක් බුදුන්ගේ නගරයෙහි බෞද්ධයන් හට බටහිර රටවල් සම්බන්ධයෙන් උගන්වමින්ද අනෙක් අඩ ඉස්ලාම්, සන්සන්දනාත්මක ආගම් සම්බන්ධ පාඨමාලාවන් ලබාදෙමින් හා ක්‍රිස්තියානින් හට නැගෙනහිර රටවල් සම්බන්ධයෙන් උගන්වමින්ද ගත කරයි.

ආචාර්ය බර්සින් මහතාණනි, ඔබ විසින් බොහෝ විටම බුදු දහම ඉස්ලාම් ලොවට ඉදිරිපත් කිරීමේ කාර්යය ඉටු කර ඇත. එය සිදුකරන විටදී ඔබ විසින් අවධාරණය කරන්නේ කවරක්ද? එයට ලැබෙන ප්‍රතිචාරය කෙසේද?

දර්ශනසූරී බර්සින් (ඇ.බ.): මාගේ ප්‍රවේශය වූයේ මුස්ලිම් ශ්‍රාවකයන් වෙතින් ඉගෙනීමයි. මූලික වශයෙන් මුස්ලිමුන් බෞද්ධ සංස්කෘතීන් තුළට කාවැදී සියල්ල විනාශ කළ බවට දක්වන ප්‍රමිතිගත ඉතිහාසයන් තුළ ඉස්ලාම් දහම බොහෝ සෙයින්ම සාවද්‍ය අර්ථ නිරුපණයකට ලක් කොට ඇති බව මාහට හැඟෙන බව ඔවුනට පැහැදිලි කළෙමි. සැබැවින්ම බුදු දහම හා ඉස්ලාමය අතර ඉතා ධනාත්මක සහ සම්බන්ධතාවයක් පැවතිණි. හානිකර පැතිකඩයන් විමසා බලන විටදී, එ්වා ආගමික කරුණුවලට වඩා ආර්ථික හා දේශපාලනික කරුණු හේතුකොට මූලික වශයෙන් සිදුවූ බව පෙනේ. එබැවින් මෙම ඓතිහාසික සහ සම්බන්ධතාවය පිළිබඳ පැහැදිලි කිරීම් ඉල්ලා සිටියෙමි.

ස්වභාවික ආකාරයකින් සලකා බලන කල, මෙමගින් ඉනික්බිති මුස්ලිම් ශ්‍රාවකයන් බුදු දහම පිළිබඳ විමසීම් සිදු කිරීම දක්වා යොමු කරවන ලදී. ඉස්ලාම් ලොව තුළ මවිසින් සංචාරය කරන ලද විවිධ දේවාගමික ආයතනයන් තුළ, ඉස්ලාම් උගතුන් දෙවියන් වහන්සේ සම්බන්ධ සමස්ත සාකච්ඡාව පිළිබඳ බොහෝ සෙයින් උනන්දුමත් වී ඇත. ඉස්ලාම් රටක් වන ඉන්දුනීසියාව තුළදී මා ලද අත්දැකීම් තුළින් උගත් දෙයක් වනුයේ "බුදු දහම තුළ දෙවියන් වහන්සේ ඇදහීමක් නොමැත" යන ප්‍රකාශය ඉස්ලාම් ශ්‍රාවකයන් හට කිසිසේත් පැවසිය හැකි දෙයක් නොවන බවයි. එමගින් ක්ෂණයකින් දෙපිරිස අතර දොර වැසී යනු ඇත. ඉන්දුනීසියාවේදී, හින්දු දහම, ඉස්ලාම් දහම, ප්‍රොතෙස්තන්ත්‍ර දහම, කතෝලික දහම හා බුදු දහම දෙවියන් වහන්සේ ඇදහීම හේතුකොට ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගැනීමට ලක්ව ඇති ආගම් පහයි. ඉන්දුනීසියානු බෞද්ධයන් විසින් අධිබුද්ධ විෂයානුබද්ධව කථා කිරීම මගින් බුදු දහමේ දෙවියන් පිළිබඳ විශ්වාසය පළ කොට ඇත. මෙය වූකලි වසර දහසකට මදක් වැඩි කාලයකට පෙර ඉන්දුනීසියාවට ව්‍යාප්ත වූ කාලචක්‍ර දේශනාවන්ගෙන් උත්පාදිත දෙයකි. අධිබුද්ධ යන්නෙහි වාච්‍යාර්ථය වනුයේ පළමු හෝ මූලාවස්ථික බුදුන් වහන්සේ යන්නයි. ඉන්දුනීසියානු බෞද්ධයන් තුළද අධිබුද්ධ සංකල්පය පිළිබඳ පූර්ණ අවබෝධයක් නොවීය. එනමුත් එය විස්තර කිරීමකින් තොරවම ඔවුන් විසින් ප්‍රකාශ කරන ලද්දේ "මෙන්න අපිට දෙවියන් වහන්සේට සමාන කෙනෙක් හමුවෙලා" යන්නයි. ස්වභාවිකවම, මා ඉන්දුනීසියාවට පැමිණි විටදී, අධිබුද්ධ යන්නෙහි සැබෑ අරුත කවරේදැයි ඔවුහූ මා වෙතින් විමසූහ. එවිට මා ඔවුනට පැහැදිලි කළේ ඔබට එ් පිළිබඳ පැහැදිලි ආලෝක චිත්තය තුලින් කථා කළ හැකි බවයි. සෑම පුද්ගලයෙකු තුළම මෙය වූකලි අපට දිස්වන, දර්ශනය වන දේ මවන්නා හෙවත් අප තේරුම් ගන්නා දේ මවන්නා වෙයි; මෙම අදහසින් ගත්කල එය මැවුම්කරුවෙකු මෙනි.

අධිබුද්ධ පිළිබඳ මෙකී පොදු අර්ථ නිරූපණය භාවිතයෙන්, සෙසු රටවල ඉස්ලාම් උගතුන් සමගින් සංවාදයට එළැඹීමට මා හට හැකිවිය. ඉස්ලාම් දහමෙහි අල්ලාහ් දෙවියන් වහන්සේ පුද්ගල නිරූපණයකට ලක්කොට නොමැති බැවින් ඉස්ලාම් උගත්තු මෙම විෂයය සම්බන්ධයෙන් ඉතා විවෘත අය වූය. එමෙන්ම, එක් එක් පුද්ගලයා තුළ හමුවන මැවුම්කාරී දෙවි කෙනෙකු වැනි දෙයක් සේ වටහාගත හැකි, එක් එක් සිත තුළ පවත්නා මෙම නිර්මාණාත්මක බලය හෙවත් මැවුම්කාරී බලවේගයද පුද්ගල නිරූපණයකට ලක්කොට නොමැත. තිබ්බත බුදු දහමෙහි න්යිංමා, කාග්යු හා සාක්‍ය ගුරුකුලයන්හි ඉදිරිපත් කෙරෙන පරිදි, අධිබුද්ධ යන්න වචන ඉක්මවූ, සංකල්පාතික්‍රන්ත වූ, සිතින් මවාගත නොහැකි වූ දෙයකි. ඉස්ලාම් උගතුනට මෙකරුණ පහසුවෙන් වටහාගත හැක. තවද, මෙම දේශනාවනට නෛසර්ගික වූ ප්‍රේමය හා කරුණාව යන මූලික මූලධර්ම හේතුකොට ඉස්ලාම් උගතුන් බුදු දහම පිළිබඳ තවදුරටත් දැනගැනීමට බොහෝ සෙයින් විවෘත විය.

ඓතිහාසිකව, ඇෆ්ඝනිස්ථානය, මධ්‍යම ආසියාව හා ඉන්දියානු උප-මහාද්වීපය වැනි ප්‍රදේශයන්හි බෞද්ධයන් ක්‍රිස්තායානින් හා යුදෙව්වන් හැඳින්වීම සඳහා කුරානයේ යෙදෙන යෙදුම වන "පොතේ ජනතාව" යන යෙදුමෙන් මුස්ලිම් පාලකයන් විසින් හඳුනා නොගන්නා ලදී. කෙසේ වුවද, බෞද්ධයනටද "පොතේ ජනතාවට" ලැබෙන තත්ත්වය හා හිමිකම් එලෙසම ලැබිණි. මින් අදහස් වන්නේ ඔවුන් හට විශේෂ ඡන්ද බද්දක් ගෙවන තාක් සිය ආගම පවත්වාගෙන යා හැකි බවයි. එ් අනුව, මුස්ලිම් උගතුන් සමගින් මා පවත්වන ලද සංවාදයන් තුළ, "පොතේ ජනතාව" යන්නෙන් කවරක් අදහස් වන්නේද යන්න එක්ව ගවේෂණය කළෙමු. ගිනියාහි සිට පැමිණී බටහිර අප්‍රිකානු සුෆි නායකයෙකු මා හට පැවසූයේ "පොතේ ජනතාව" යන්නෙන් යම් ආකාරයකින් ලෝකය මැවූ හෝ පවත්වාගෙන යන්නාවූ යම් උසස් තලයේ දුරස්ථ ආචාර ධාර්මික හා පව් පින් පිළිබඳ මූලධර්ම විශ්වාස කරන පුද්ගලයන් අදහස් වන බවයි. එමගින් අවශ්‍යයෙන්ම මෝසස්ගේ පොත් පහ (ටොරා) පිළිගන්නා ජනතාවම අදහස් නොවේ. තවද, මාගේ පසු කාලීන විමර්ශනයන්හිදී, මාගේ සිත්ගත් කරුණ වූයේ වර්තමාන උස්බෙකිස්ථානයේ හා උතුරු ඇෆ්ඝනිස්ථානයේ බෞද්ධ ග්‍රන්ථ ලියවී තිබි පෞරාණික භාෂාවන් වූ පැරණි ටර්ක් හා සොජ්ඩියන් තුළ ධර්මය යන වදන ග්‍රීක භාෂාවෙන් ගත් නොම් නම් වූ මුල් කාලීනව "නීතිය" යන අදහස දුන් වදනින් පරිවර්තනය වී ඇති බවයි. පසු කාලීනව එකී නොම් නමැති වදන සොග්ඩියන් භාෂාවෙන් බෞද්ධ කෘති පරිවර්තනය කෙරුණු සෙසු මධ්‍ය ආසියාතික භාෂාවන් වන උයිගුර් (තුර්කි භාෂාව) හා මොන්ගෝලියන් වැනි භාෂාවන් තුළටද ලබාගන්නා ලදී. වර්තමාන මොංගෝලියානු භාෂාව තුළ, "නොම්"  යනු "ධර්මය" යන අරුත දෙන වදන පමණක් නොව, ධර්මය ලිඛිත ස්වරූපයෙන් පවත්නා පොත්පත් අඟවන "පොත්" යන අති‌රේක අරුතද දක්වයි.

එනමුත්, පොදුවේ මුස්ලිමුන්, ක්‍රිස්තියානින් හා යුදෙව්වන්ට ඇති මෝසස්ගේ පොත් පහ වැනි පොතක් පවා බෞද්ධයන් සඳහා නොපවත්නේ නොවේද?

ඇ.බ.: නැහැ, එනමුත් "පොත" යන කරුණ මගින් පෙන්වන්නේ ආගමික සංවාදය හා සමගිය සඳහා වන පදනමක් ලෙස ආචාර ධාර්මික නීති පැවතීමේ වැදගත්කමයි.

දර්ශනසූරී අක්පිනාර් (ස්.අ.): මා සිතන්නේද  එයාකාරයටමයි. තුර්කිවරුන් මුස්ලිම් ජාතිකයන් බවට පත්වීමට පෙර බොහෝ තුර්කි සංස්කෘතීන්හි පියා වූයේ චින්ගිස් ඛාන් (ගෙන්ගිස් ඛාන්) බව මා හට මතකයි. ඔහු විසින් ඔවුන්ව යටත් කොට "නීතිය" යන අරුත දෙන යස ලෙස හැඳින්වෙන මූලධර්ම මගින් ඔවුන්ව පාලනය කළා. සැබැවින්ම මෙය වඩාත් ලෞකික දහමක්. එනමුත් යස යන්නෙහි සංකල්පය ධර්ම යන්නෙහි සංකල්පයට බොහෝ සෙයින් සමානයි. එය වූකලි ලෝකය කරකවන්නාවු සදාතනික නීතියක්.

ඇ.බ.: මා සිතන ආකාරයට මෙහිදී ගතයුතු කරුණ වනුයේ ආගම් දෙකේ අනුගාමිකයන් සංවාදයකට විවෘත කරවන සුළු පොදු යෙදුම් හා වදන් සමූහයක් ඔබ විසින් සොයාගත යුතුයි.

ස්.අ.: ඔව්. ෂරියා පිළිබඳ ඉස්ලාම් ඉගැන්වීම් යම් ආකාරයකට ඉතාමත් බෞද්ධ ස්වරූපයක් ගත හැකියි. ෂරියා යන අරාබි වදන වූකලි ලෝකයේ ගමන පහසුවෙන් සිදුවනු පිණිස ජනතාව යටත් විය යුතුවන නීතියයි. මේවා වූකලි ජනතාවට සමගියෙන් ජීවත් වීමට අවකාශ සලසන්නාවූ පරාමිතීන් වේ. ෂරියා නීතියට අනුව, ඔබගේ සහජාශාවන්, ඔබගේ සැක සංකාවන්, ඔබගේ සහජ ඥානය සමගින් කටයුතු කරන ආකාරය ඔබ දැන සිටිය යුතුයි. එ් අනුව ෂරියා යනු සිකපද සමූහයක් නොව සත්‍යය කරා එළැඹෙනු පිණිස යොදාගනු ලබන විධික්‍රම සමූහයකි; එය භාවනාවක් මෙනි.

ටරිකා හෙවත් 'මාර්ගය' යන්න නිරන්තරයෙන්ම ෂරියාවෙහි මධ්‍යය ලෙස විස්තර කෙරේ. ෂරියාව යම් ගෝලයක් ලෙස සලකන්නේ නම්, ටරිකා යනු ඔබ සෙසු ගෝල සමගින් සම්බන්ධ කරවන්නාවූ එම ගෝලයේ කේන්ද්‍රයයි. එය වූකලි අප නොදන්නාවූ ශූන්‍යය වන දෙවියන් වහන්සේ කරා වූ සෘජු මාර්ගයකි.

එ් අනුව බෞද්ධ සංකල්පයනට ඉතා සමාන සංකල්ප ඉස්ලාමය තුළ පවතී. ආරම්භයේදීම පැවසිය යුත්තේ එ් අතරින් බොහෝමයක් මධ්‍ය ආසියාවෙන් පැමිණී සංකල්ප බවයි. එබැවින් බොහෝ දුරටම එ්වා තුළ ඓතිහාසික මට්ටමකින් පවා බුදු දහම හා සම්බන්ධයක් පැවතිය හැකියි. ඉස්ලාම් දහම, බුදු දහම හා ක්‍රිස්තියානි දහම අතර වැඩිදුර සම්බන්ධතාවයන් පිළිබඳ අවධානය යොමු කිරීමද සිත් ගන්නා සුළු විෂයයකි.ඉස්ලාම්හි මහා දේවවාදියා වන අල්-ගසාලිගේ දේවවාදය මගිනි ඇදහිල්ල හා හේතු යුක්ති න්‍යාය යන සංකල්ප වටා සිය දේවවාදය ලිවීමට තෝමස් ඇක්වයිනාස් පොළඹවන ලද්දේ. මේවා ඉතා පුළුල් ලෙස බෞද්ධයන් හා අ-බෞද්ධයන්ද අතර මධ්‍ය ආසියාව තුළ සාකච්ඡාවට ලක් කෙරී ඇත.

ඇ.බ.: "නිවැරදි උත්සාහය "යන අරුත දෙන ජිහාඩ් වැනි සංකල්ප තුළද බෞද්ධ දේශනා අනුනාද කරනු ලබයි.

ස්.අ.: ඔබගේ සිතිවිල්ල ජිහාඩයක් විය හැකියි. ඔබ කරන සියලු දේ ජිහාඩයක් විය හැකියි.

ඇ.බ.: ජිහාඩ් යන යෙදුම, වදන තුළ එන යුධමය, සන්නද්ධමය ස්වභාවය බොහෝ බෞද්ධ යෙදුම් තුළද හමුවේ. මෙය අරුමයක් නොවේ. බුදුන් වහන්සේද ක්ෂත්‍රිය, පාලක කුලයකින් පැවතෙන්නෙකි. නිවැරදි උත්සාහය, වීර්යය යෙදවීම තුළ බුදුන් වහන්සේද කෙලෙස් මරු පැරදවූ, කෙලෙස් සටනින් ජයගත් ජගග්‍රාහකයෙකු ලෙස විස්තර කෙරේ. එ් අනුව යුද්ධය සිදුවන්නේ කවර ස්ථානයකද? එය සිත තුළ, මනස තුළ සිදුවේ; එය වූකලි, මෝහයට, ලෝභයට, ඇල්මට, කෝපයට හා වෛරයට එරෙහි සටනකි.

මධ්‍ය ආසියාවේ හා ඉන්දියාවේ සුෆි ව්‍යාපාරය හා බුදු දහම අතර ඉදිරියට හා පසුපසට වූ බොහෝ බලපෑම්ද සිදුවිය. සුෆි දහමේද මන්ත්‍ර ජප කිරීමට සමාන පිළිවෙත් හමුවේ. සුෆිවරුන් දෙවියන්ගේ නම් ජප කරන්නාක් මෙන් බෞද්ධයෝද මංජුශ්‍රීගේ නම් වර්ණනා කරති. මෙයට අමතරව, පැදකුණු කිරීම හා වන්දනා ගමන්ද ඇතුළත්ව මුස්ලිම්වරුන්ට මෙන්ම බෞද්ධයන්ටද වටහාගත හැකි පිළිවෙත් පවතී. මෙම ආගම් දෙකේම ත්‍යාගශීලිත්වය හා සියලු දෙනා සමානයන්ය යන කරුණු  ඉමහත් සේ අවධාරණය කරනු ලබයි. එක් එක් තනි තනි අංග ලක්ෂණය ගෙන එම බලපෑම කවර අතකින් පැමිණියේද හෝ එ්වා එකිනෙකින් ස්වාධීනව වර්ධනය වූයේද යන්න පැවසීම දුෂ්කරය.

ස්.අ.: සියවස් ගණනාවක් පුරා, ඉන්දියාව හා පර්සියන් ගල්ෆ් කළාපය අතර බොහෝ සෘජු සම්බන්ධතා පැවත ඇත. මුල් කාලයේදී බුස්රා යනු සරුසාර වරායක් වූ අතර පර්සියන් ගල්ෆ් කළාපයේ ජනතාව දැඩිසේ ගිලන් වූ ඕනෑම අවස්ථාවක මෝසම් සුළං මගින් වහා යා හැකි බොම්බාය කරා ඔවුන් යාත්‍රා කළා. ඉතා මුල් කාලයේ සිටම, දේවවාදී කරුණු සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වී තිබුණා.

ඇ.බ.:  සැබැවින්ම බැග්ඩෑඩයද නව අභසිද් රාජ පෙළපතේ අග නගරය ලෙස ඉදි කරන ලද්දේ ඉන්දියානු ගෘහ නිර්මාණ ශිල්පීන් විසිනුයි. නවවන සියවසේ දෙවන අර්ධය තුළ බැග්ඩෑඩයේ දැනුම් සම්භාරයක් පැවතුණා: අරාබි භාෂාව හෙවත් එහි ප්‍රාදේශීය භාෂාවෙන් විවිධ කෘති පරිවර්තනය කරනු පිණිස බෞද්ධ හා හින්දු භාෂා පරිවර්තකවරුන් එහි පැමිණියා. එ් අනුව එහි බොහෝ බුද්ධිමය සම්බන්ධතා පැවතුණා. බොහෝ සෙයින්ම අදහස් හුවමාරු වූ ක්ෂේත්‍රයක් වූයේ තාරකා විද්‍යාව, ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හා වෛද්‍ය ශාස්ත්‍රයද ඇතුළත් විද්‍යා විෂයයයි.

ස්.අ.: දර්ශනයත් එසේමයි. මා පවසන පරිදි බටහිර ජාතීන්ගේ පැවති දෝෂයක් වූයේ මුස්ලිම් සන්දර්භය තුළ දර්ශනය සාකච්ඡාවට බඳුන්වන ඕනෑම අවස්ථාවක, එය නිරතුරු ග්‍රීසියට සම්බන්ධ කිරීමයි. එනමුත් මේ බොහොමයක් දාර්ශනික සංකල්ප සැබැවින්ම පැමිණියේ ග්‍රීසියෙන් නොව ඉන්දියාවෙන් හෝ නැගෙනහිර රටවලිනුයි.

ඇ.බ.: සෙසු ආගමික නායකයන්ද සමගින් මුස්ලිම් ආධ්‍යාත්මික නායකයන්ගේ මෙකී සංවාදය විශේෂයෙන් පරම පූජනීය දලයි ලාමා වහන්සේ වැනි පුද්ගලයන් මගින් අඛන්ඩව සිදුවනවා. අදාළ ආගම් දෙක පිළිබඳ සාකච්ඡා කරනු පිණිස බටහිර අප්‍රිකානු කළු සුෆි නායකයෙකු නමැති ඉතාමත් නිශ්චිත ආගමික ක්ෂේත්‍රයක නායකයෙකු තමා වෙනුවෙන් සොයාගන්නා ලෙස පරම පූජනීය දලයි ලාමා වහන්සේ විසින් මා වෙත වරක් උපදෙස් දුන්නා. නොසිතූ ආකාරයට, නොසිතූ මොහොතක එවන් නායකයෙකු අපට හමුවුණා. එ් මා පෙරදීද සඳහන් කළ, රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමක සිටි පොදු ජර්මානු මිතුරෙකු මගින් මා හමුවූ, බටහිර අප්‍රිකාවේ ජිනියාහි පාරම්පරිකව පැවත එන සුෆි නායක ආචාර්ය ටිරිමිෂියෝ දියාලෝ. මම දලයි ලාමා වහන්සේ සමගින් හමුවකට එතුමාව ධර්මශාලාව වෙත කැටුව ගියා. ඔවුන් සාකච්ඡා කිරීමට වඩාත් කැමති වූ මාතෘකාව වූයේ කරුණාවයි. සුෆි දහමේ බටහිර අප්‍රිකනු ආකෘතිය තුළ, ප්‍රධාන මූලධර්මය වනුයේ ප්‍රේමය හා කරුණාවයි. දලයි ලාමා වහන්සේ සමගින් වූ මේ හමුවේ අත්දැකීම් මෙම සුෆි නායකයා වෙත කෙතරම් බලපෑවේද යත් ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රියාවේ ග්‍රෑස්හි දලයි ලාමා විසින් පවත්වන ලද කාලචක්‍ර මූලාරම්භ අවස්ථාවකටද පැමිණියා.

ස්.අ.: කරුණාවන්ත හා දයානුකම්පිත දෙවියන් වහන්සේ කැඳවීමකිනුයි කුරාණයේ සෑම පරිච්ඡේදයක්ම ආරම්භ වන්නේ. මහම්මද්තුමාගේ දිනයන්හි මෝසෙස්ගේ පොත් පහට අයත් කථාවන් සියලු දෙනා දැනසිටි බැවින් මෝසෙස්ගේ පොත් පහ සම්බන්ධ අර්ථ නිරූපණයක් ලෙස මූලිකව කුරාණය සලකමි. එනමුත් මහම්මද්තුමා  සෙමිටිවරුන්ගේ පෞරාණික සම්ප්‍රදාය තුළට එන්නත් කරන ලද්දේ දේව නීතිය තුළ වූ කරුණා සංකල්පයයි. "ඇසට ඇසක්" නමැති සම්ප්‍රදායික කියමන ඉදිරියට ගෙන යමින් එතුමා පෙන්වා දුන්නේ දෙවියන් වහන්සේ කාරුණික වන බැවින් ඔබට ඔබ තුළවූ කාරුණිකත්වය සොයාගත හැක්කේ නම් එය ඉතා යහපත් දෙයක් බවයි. එනමුත් එය කළ නොහැක්කේ නම්, අවම වශයෙන් එක් ඇසක් විනා එයට වැඩි දෙයක් නොගන්න. එ් අනුව, කුරාණය පුරා පව් පලදීම පිළිබඳ නියාමයේ බරපතලභාවය අඩු කිරීමක් සිදු කරනු ලබයි.

මහා ගැටලුව ආමන්ත්‍රණය කරන්නාවු, ඉස්ලාමයට අයත් පියකරු කථාවක් ඇත: මුස්ලිමුන් සටන් කරන්නේ මන්ද? ආරම්භයේදී, දෙවියන් වහන්සේගේ ආභාසය ලද අන් සියලු අනාගත වක්තෘවරුන් මෙන්ම මහම්මද්තුමාද අවිහිංසාවාදියෙකු විය. එනමුත්, එතුමාගේ ප්‍රජාව මිය යමින් සිටි අතර ඔවුනට පහර වදිමින් පැවතිණි. අවසන, තවදුරටත් සිය අනුගාමිකයන් පාලනයෙහි තබා ගැනීමට නොහැකි බව ඔහුට වැටහිණි. එ් අවස්ථාවේදීය මහම්මද්තුමා විසින් එතුමාගේ ප්‍රකට කියමන ප්‍රකාශ කරන ලද්දේ:

මා හට මෙය නවතාලීම‌ට නොහැකි බව පෙනේ. එබැවින් සටන් කළ යුතුම නම් සටන් කරන්න.  එනමුත්, මින් ඉදිරියට ඔබගේ ක්‍රියාවන්හි බර ඔබ මතම පැටවෙනු ඇති බව අමතක නොකරන්න. ඔබ ඔබගේ කටයුතුවල බරෙහි වගකීම නොදරන්නේ නම්, ඔබගේ ආගම පිරිසිදු එකක් නොවනු ඇත.

එම ඉගැන්වීමෙහි කර්ම න්‍යාය පවත්නේ එතුළය.

කාඩ්ර් නමැති වදනේ අදහස වනුයේ බලයයි. සාමාන්‍යයෙන්, බටහිර රටවල, කාඩ්ර් යන්න දෛවය ලෙසද සලකනු ලැබේ. කෙසේ වුවද, දෛවය යන වදන කර්මය ලෙසද ගත හැක. මහම්මද්තුමා මෙකරුණ ඉදිරියට ගෙනගිය ආකාරය බලන්න.

ඔබ ඔබගේ සතුරාගේ ගෙලට ඔබගේ කඩුපත තබා සිරකරගෙන සිටින අවස්ථාවේදී, ඔහු අනුකම්පාව අයැද සිටින විටදී, ඔබට ඔබ තුළ යම් කාරුණික හැඟීම් ප්‍රකාශනයක් සිදුවන බව දැනේ නම්, කළ හැකි හොඳම දෙය වනුයේ එ් අවස්ථාවේදීම ඔහුට සමාව දී ඔබගේ සතුරා මිතුරෙකු බවට හරවා ගැනීමයි. එම පුද්ගලයා වෙනුවෙන් කිසිදු කාරුණික හැඟීමක් ඔබතුළ පවත්නා බවක් නොදැනේ නම්, එවිට ඉදිරියට ගොස් ඔහු මරා දමන්න. එනමුත්, ඔබ දෙවියන් වහන්සේට වගකිව යුතුවන බැවින් එම කරුණාව ඔබතුළ සොයා ගන්නට උත්සාහ කරන්න.

සැබැවින්ම මුල්කාලීන බොහෝ මුස්ලිම් ජාතිකයෝ යුද පිටිය තුළ ආගමට හරවාගනු ලැබිණි. එනමුත් මෙහි අදහස වනුයේ බේරාගනු ලබන පුද්ගලයා නොව, අභය දානය ලබාදෙන පුද්ගලයා වඩාත් යහපත් පුද්ගලයා වන බවයි.

එ් අනුව, වර්තමාන ඉස්ලාම් ජිහාඩය තුළ මෙකී කාරණය ගැළපෙනුයේ කවර ස්ථානයකදීද?

ස්.අ.: එය ගැලපෙන බවක් නොපෙනේ. වර්තමානයේ සම්ප්‍රදායික පෙළපත්වලින් බිඳී ආ ඉස්ලාමයේ ඉතා යුදමය සංස්කරණයන් කිහිපයක් පවත්නා බව පෙනේ. නව-මුස්ලිම්වාදීන් විසින් නිරතුරු පවසන්නේ කුරාණය ශුද්ධවූ ග්‍රන්ථය හෙවත් ඉස්ලාම් දහමේ මූල පදනම වන නමුත් එය ඉගෙනීමේ අවශ්‍යතාවයක් නොපවත්නා බවයි. ඔවුනට අනුව, පළමු හා දෙවන පරිච්ඡේද ඉගෙන ඉන්පසු ඉතිරිය අමතක කර දැමීම ප්‍රමාණවත්ය. එය සිදු කිරීමට පටන්ගත් විටදී, ඔබගේ විශ්වාසය පළුදු වේ.

ඇ.බ.: යුදකාමී, උන්මාදී හා මූලධර්මවාදී ලෙස කටයුතු කරනුයේ මුස්ලිම් ජාතිකයන්ගෙන් ඉතා සුළුතරයක්ය යන්න අවධාරණය කිරීම වැදගත්ය. බුදු දහමද ඇතුළත් සෑම ආගමකම මූලධර්මවාදී උන්මාදිතයන් ඇත.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් ඇති කරවන හෝ එ්වා සාධාරණීකරණය කරන ඉස්ලාම් ඉගැන්වීම් පවතීද?

ස්.අ.: ක්‍රිස්තියානි ලෝකය තුළ මෙන්ම ඉස්ලාම් දහම තුළද ආගම වෙනුවෙන් දිවි පුදන්නෝ සිටිති. මරාගෙන මැරෙන බෝම්බකරුවෝ තමා ආගම උදෙසා දිවි පුදන්නන් බව ප්‍රකාශ කරති. එනමුත් ඔවුන් විසින් සිය දිවි හානි කරගනිති. පළමු නියමය වනුයේ "ඔබ විසින් ප්‍රාණ ඝාතය සිදු නොකළ යුතුය" යන්නයි. මෙය විශේෂයෙන්ම තමා කෙරෙහිද අදාළ වේ. මෙම පුද්ගලයෝ ආගම උදෙසා දිවි පුදන්නෝ නොවෙති; ඔවුහු හුදෙක් "මරාගෙන මැරෙන්නෝ" වෙති.

දෙවියන් වහන්සේට හෝ සියලු දේ තුළින් නිරූපණය කෙරෙන දෙවියන් වහන්සේ වෙත දක්වන පූර්ණ ප්‍රේමය හා කැපවීම අවධාරණය කරන රූමි හා හෆිස් වැනි සුෆි කවීන් මගින් මූලිකව බටහිර රටවල වසන බෞද්ධයන් ඉස්ලාම් දහම පිළිබඳ දැනගනී. ජනතාව එම කවීන්ට හා එයාකාරයේ ප්‍රවේශයනටද ආදරය කරන අතර, නිහඬ භාවනාව හා අභ්‍යන්තර විමර්ශනය ලෙස එන බටහිර ජාතික බෞද්ධයන් විසින් පවත්වාගෙන යන බහුතර බුදු දහම් ආකෘතීන් තුළ ඔවුන් විසින් කථා කරනු ලබන ප්‍රමුදිත ආදරයට එතරම් ඉහළ වටිනාකමක් ලබා දෙන බවක් නොපෙනේ.

ස්.අ.: ප්‍රමෝදිත නොවන බොහෝ මුස්ලිමුන්ද සිටිති. එම කාව්‍ය බො‌හෝ බලවත් වන අතර බොහෝ විට එහි මුල් හින්දු ආගම තුළ හෝ සෙසු ඉන්දීය භක්ති සම්ප්‍රදායන් තුළ පැවතිය හැක. ඉතා සිත් ගන්නා සුළු ආකාරයකින් ඉස්ලාම් දහම හා බුදු දහම අතර හිදැස පුරවන්නාවූ මධ්‍ය ආසියාවේ තවත් සම්ප්‍රදායක් ඇත. එය චීන ජාතිකයන් විසින් "දෙකවි ගැලපුම" ලෙස හඳුන්වන දෙයයි. එය තුර්කි භාෂාවෙන් කොෂ්මා හෙවත් " මනස තුළින් දිවෙන දෙය" ලෙස හැඳින්වේ. එය වූකලි ඉවතට අදෙන සිතිවිල්ලක් අල්ලා ගන්නා සිතිවිල්ලයි. එය වූකලි ඔබ විසින් අත් හැරිය යුතුව පැවතියද, ඔබ විසින් අල්ලා ගනු ලබන සිතිවිල්ලකි. එහිදී කවි දෙපදයක් ලියන ඔබ කිසිදු අරුතක් නොදක්වන දෙයක් පැවසෙන පරිදි තවත් පදයක් අවසානයට එක් කරමින් අරුත ආපසු හරවනු ලබයි. එය සාරාර්ථයට අනුව කෝවාන් වේ. විශේෂයෙන් මධ්‍ය ආසියාවේ මෙන් බො‌හෝ සුෆිවරුන් විසින් සිදු කළාක් මෙන් ඕමාර් ඛයියාම් වැනි ප්‍රසිද්ධ කවීහූ ඉන් ආභාසය ලත්හ. සුෆිවරයෙකු වශයෙන් චිර ප්‍රසිද්ධ යූනුස් එම්රේ නම් තුර්කියේ ප්‍රසිද්ධ ජන කවියා හොඳ උදාහරණයකි. ඔහුගේ බොහෝ කවි පොදු භාවනා ආකෘතියක් වන සුසානයක මිනී වළක් මෙනෙහි කරමින් ආරම්භ වේ.

සුෆි දහම තුළ නිහඬ භාවනාවක් පවතීද?

ස්.අ.: ඔව්, එය දහමට අනුව තීරණය වේ. ඇතැම් දහම් තුළ කෑමොර දීම, හඬ නගා කථා කිරීම, හොලර් හා නර්තනයද පවතී. 

ඇ.බ.: අනෙක් අතින්, සුෆි සම්ප්‍රදායන් බොහොමයක් තුළ හමුවන භක්තිමය පැතිකඩ බොහෝ මහායාන බෞද්ධ මධ්‍යස්ථාන තුළ පිළිවෙත් පුරන බටහිර ජාතීන් අතරද හමුවිය හැක. බොහෝ බෞද්ධ පිළිවෙත් පුරන්නෝ ජප කිරීම හා ගායනා කිරීම සඳහා එක්රැස් වීමට ප්‍රිය කරති. ඇතැම්හූ "වජ්‍ර-නර්තනයන්හි" නියැළෙති.

සෙසු ආගම්වල දෙවියන් වහන්සේ පිළිබඳ සංකල්ප හා බුදු දහමේ එ් ආශ්‍රිත දේශනාවනට සාපේක්ෂව තවදුරටත් අල්ලාහ් දෙවියන් වහන්සේ පිළිබඳ ඔබට යමක් කථාකළ හැකිද?

ඇ.බ.: බුදු දහම තුළ අල්ලාහ් දෙවියන් වහන්සේට හෝ පොදුවේ දෙවියන් වහන්සේට සම්බන්ධ කළ හැකි ඇතැම් පැතිකඩ පවතින නමුත් එ් සියල්ල එකම යෙදුමක් යටතේ නොතබයි. කෙසේ වුවත් බුදු දහම තුළ ලෝකෝත්තර ද්විත්වවාදී ස්වරූපයකින් යම් මූලධර්මයක් හෝ යථාර්ථය අප හෝ අපගේ විශ්වයෙන් පිටස්තරව ප්‍රකාශයට පත් නොකරයි. බුදු දහම තුළ සියල්ල එ්කාබද්ධ කරන්නාවූ ඉහළම මූලධර්මය වනුයේ "ශූන්‍යතාවය"යි.

කිසිවක් හෝ සිදුවිය නොහැකි, මනෝරාජික ආකාරයන්ගෙන්, අන් සියල්ලන්ගෙන් සත්‍ය ලෙසම ස්වාධීනව නොපවත්නා අතර සියලු සත්ත්වයන් හා දේවල් එකිනෙක මත රඳා පවතිමින් ඉස්මතුවන්නේය යන කරුණට ශූන්‍යතාවය යන සංකල්පය සම්බන්ධ වේ. ඔබ ශූන්‍යතාවයට අනුව කථා කරන්නේ නම්, ඇතැම් තිබ්බතීය සම්ප්‍රදායන් තුළ එය වචන හා සංකල්පයන්ගෙන් ඔබ්බෙහි වූවක් සේ සාකච්ඡා කෙරෙන්නේ වුවද, එය අපගෙන් හෝ අපගේ ලෝකයෙන් වෙන්වූවක් නොවේ. සියලු සත්ත්වයන් හා පරිසරය එකිනෙකා මත රඳා පවත්නා බැවින්, අන් සියල්ලන් කෙරෙහි සැලකිල්ලක් හා කරුණාවක් පවත්වාගත යුතුය. කරුණාව නමැති ගුණය සියලු දෙනා තුළ සහජ ලක්ෂණයක් විනා වෙන්වූ හෝ ඔවුන්ගෙන් ඔබ්බෙහි පවත්නා කරුණක් නොවේ.

ස්.අ.: අල්ලාහ් යනු කිසිවක් නොපවත්නා ස්වභාවය බව මම පවසමි.  (සව්දි කොඩියේ ලියා ඇති) "ලා ඉලාහා ඉලා අල්-ලාහ්" යන මූලික මන්ත්‍රය ජප කිරීමේදී, එක් වරෙකට එක් "ලාහ්" කොටසක් පමණක් හෙවත් එක් පද කොටසක් පමණක් දක්වා ජප කිරීම අවම වන පරිදි "අල්ලාහ් හැර අන් කිසිදු දෙවි කෙනෙකු නොමැත" යන්න නැවත නැවතද පුනරුච්චාරණය කරන ලෙස සැබෑ ආරාධනාවක් එතුළ පවතී.

 “ලාහ්” යන්නෙන් "නැත" යන්නක් අදහස් වේ. එ් අනුව එය වූකලි ප්‍රතික්ෂේපයකි. එබැවින් අල්ලාහ් යනු මහා "නැත" යන්නෙකි. අල්ලාහ් යනු ඔබට සිතාගත නොහැකි දෙයකි. මක් නිසාද, එය සියල්ල ඉක්මවූවක් වන බැවිනි. එබැවින් ශූන්‍යතාවය දක්වනු ලබන්නේ ලාහ් යන වදනේ අවසන ඇති මහා ආහ් යන කොටස තුළය. "ලා ඉලාහා ඉල්ලා අල්-ලාහ්" යන්න පුනරුච්චාරණය කරන විටදී, ඔබ විසින් සිතින් සිතාගත හැකි සියල්ලෙහි ස්ථරයන් එකිනෙක ගලවා දමනු ලබයි. "ආහ්" හා හුආ (ඔහු) යන දෙවියන් වහන්සේගේ ශුද්ධ හුස්ම රැල්ල පමණක් ඉතිරිවන තෙක් එය පුනරුච්චාරණය කරමින් පද කොටස් ගලවා දමනු ලබයි.

ඇ.බ.: ශූන්‍යතාවය යන්නෙන් ප්‍රතික්ෂේපයක් හෝ මුළිනුපුටා දැමීමක්ද අදහස් කෙරේ - මෙහිදී, එමගින් අදහස් කෙරෙන්නේ සියලු දේ පවත්නා ආකාරය පිළිබඳ සියලු මනඃකල්පිතයන් අවලංගු කිරීමකි. එය ඉන්දියානු භාෂාවන්හි සෑම සංස්කෘත ව්‍යඤ්ජනාක්ෂරයක් තුළම නෛසර්ගිකව පවත්නා අලිඛිත "අ" ස්වරය විසින්ද නියෝජනය කෙරේ. "අ" යන්න සංස්කෘත භාෂාවෙන් නැත යන අර්ථය දෙන උපසර්ගයකි. තවද, තන්ත්‍ර තුළ, සියල්ල පෙනී සිටීමේ හා එකිනෙක බැඳී පැවතීමේ පදනම වන හුදු පැහැදිලි ආලෝක මනස පමණක් ඔබ තුළ ඉතිරිවන පරිදි හම් යන පදයේ කොටස් එකිනෙක තුළට විසිර යන දර්ශනය මගින් නියෝජනය කරන ව්‍යාකූලත්වය හා මානසික ක්‍රියාකාරිත්වයේ වඩා දළ පැතිකඩයන් විසිර යාමේ ස්වභාවයක්ද පවතී. එබැවින්, ශූන්‍යතාවය යනු සියල්ලෙහි පැවැත්ම පවත්නා අ-පැහැදිලි ගැඹුරු ස්වභාවය වුවද, කිසිදු ලෝකෝත්තර දෙයක් නොවුවද, මෙකී මහා ලෝක ආගම් දෙක අතර සංවාදයකට හා වටහා ගැනීමට අවකාශ සලසන්නාවූ ඉස්ලාම් දේශනාවන් සමගින් මෙහි බොහෝ වූ සමානතාවයන් පවතී.

Top