බුදු දහමේ වර්ග

03:36
බුදුරජාණන් වහන්සේගේ දේශනා විවිධ ආසියානු රටවල් හා සංස්කෘතීන් වෙත ව්‍යාප්ත වෙද්දී, සිය දේශීය ඇදහිලි හා අනුගත වු එම අංග එම රටවල ජනයා පිළිගත්හ. මෙලෙසින්, එ් එක එකකට අනන්‍ය වූ ප්‍රවේශයන් හා විලාසයන් සහිතව බුදු දහමේ බොහෝ ආකෘතීන් ගොඩ නැගුණු නමුදු එ් සියල්ල තුළ වඩාත් අත්‍යවශ්‍ය දේශනා අංග පවත්වා ගන්නා ලදී. මෙසේ සිදු කරන ලද්දේ සෑම අනුගාමිකයෙකුගේම මානසික මට්ටමට ගැලපෙන අයුරින් සිය පණිවිඩය හැඩගස්වන ලෙස අනුදැන වදාළ බුදුන් වහන්සේගේ දේශනා ශෛලිය හා අනුගතවය.

වර්තමානයේ පවත්නා ප්‍රධාන ක්‍රමයන්ගේ නියෝජනයන් වශයෙන් බුදු දහමේ ථේරවාද, චීන හා තිබ්බතීය ආකෘතීන්හි ඇතැම් සුවිශේෂී ලක්ෂණ කිහිපයක් මෙහිලා සලකා බලමු.

ථේරවාද ක්‍රමය

ගිනිකොණදිග ආසියාවේ ක්‍රියාත්මක ථේරවාද සම්ප්‍රදාය තුළ සතිපට්ඨාන භාවනා පිළිවෙත් අවධාරණය කරනු ලබයි. හිඳි ඉරියව්වෙන් සිටින විටදී, ගමන් කරන විටදී හා ඉතාමත් මන්දගාමීව ගමන් කරන අතර ශරීරයේ සංවේදනාවන් පිළිබඳව මෙන්ම හුස්ම ගැනීම පිළිබඳවද අවධානය යොමු කරමින් මෙම කටයුත්ත සිදු කරනු ලැබේ. සෑම මොහොතකම සිදුවන ඉස්මතුවීම හෙවත් උත්පාදය හා ඇද වැටීම හෙවත් භංගය පිළිබඳව සිහිය පිහිටුවමින් මෙහිදී අත්දැකීමෙන් අස්ථිරත්වය අවබෝධ කරගත හැක. තමාගේ සියලු අත්දැකීම් විග්‍රහ කරනු පිණිස මෙම අවබෝධය යොදාගන්නා විටදී, එහි ස්ථිර, නොවෙනස් හා අන් සියල්ලන්ගෙන් හා සියල්ලෙන් ස්වාධීනව පවත්නා ආත්මයක් නොපවත්නා බව අවබෝධ වේ. සියල්ල මොහොතින් මොහොත සිදුවන වෙනස්කම් වේ. මේ අයුරින් ඔහු ආත්ම කේන්ද්‍රීය සිතිවිල්ල හා එතුළින් ඉස්මතුවන දුක්ඛ ස්වභාවය වෙතින්ද විමුක්තිය ගෙන දෙන්නාවූ යථාර්ථාවබෝධය පිළිබඳ අවබෝධයක් ලබයි.

ථේරවාදය තුළ මෙත්තා, කරුණා, මුදිතා  හා උපේක්ෂා භාවනා ක්‍රමයන්ද දේශනා කෙරෙන නමුත් තායිලන්තයෙන් ඇරඹී, සමාජමය හා පාරිසරික උපකාරක සේවා විෂයයෙහි නියුක්ත බෞද්ධයන් සඳහා “කාර්ය නියුක්ත බුදු දහම” ලෙස හැඳින්වෙන ව්‍යාපාරය ආරම්භ වූයේ පසුගිය දශකය තුළදීය.

ථේරවාද භික්ෂූහූ බෞද්ධ ධර්ම ග්‍රන්ථ හැදෑරීම හා සජ්ජායනය සිදු කරන අතර ගිහියන් සඳහා චාරිත්‍රගත උත්සව පවත්වති. භික්ෂූහූ දෛනිකව නිහඬ පිණ්ඩපාත චාරිකාවෙහි යෙදෙන අතර, උන් වහන්සේ වෙත ආහාර පිළිගන්වමින් ගෘහස්ථ වැසියෝ දානමය පින්කම් සිදු කරති.

නැගෙනහිර ආසියානු මහායාන ක්‍රමය

චීනයෙන් ප්‍රභවය ලැබූ නැගෙනහිර ආසියානු මහායාන සම්ප්‍රදායන් තුළ ප්‍රධාන අංග දෙකකි: ශුද්ධාවාස අංගය හා ජපානයේ සෙන් නමින් හැඳින්වෙන අංගය වශයෙනි.

  • පවත්නා සියලු දේ බුද්ධත්වයට පත්වීම සඳහා උපකාරී ලෙස පවත්නා පාරාදීසයක් වන සුඛ ශුද්ධාවාසය කරා ගමන් කරන්නාවූ විධික්‍රමයක් වශයෙන් අනන්තාලෝක බුදුන් වූ අමිතාභ බුදුන්ගේ නාමය ජප කිරීම ශුද්ධාවාස සම්ප්‍රදාය තුළ අවධාරණය කෙරේ.
  • කරුණා භරිත හා ප්‍රඥාවෙන් පිරි මනසේ ශුද්ධ ස්වභාවය ඉස්මතුවන ලෙස සියලු සංකල්පීය සිතිවිලිවලින් සිත නිහඬ කරවන්නාවූ දැඩි භාවනා ක්‍රමයක් සෙන් සම්ප්‍රදාය තුළ අවධාරණය කෙරේ.

මෙම සම්ප්‍රදා දෙකෙහිම භික්ෂු, භික්ෂුණියෝ ධර්ම ග්‍රන්ථ පාඨ සජ්ජායනා කිරීම සිදු කරන අතර, කොන්ෆියුසියානු සංස්කෘතිය හා අනුගතව, විශේෂයෙන් ගිහි සමාජයේ මියගිය ඥාතීන් උදෙසා උත්සව පවත්වති. 

තිබ්බතීය මහායාන ක්‍රමය

මධ්‍ය ආසියාව පුරා හමුවන මහායාන බුදු දහමේ තිබ්බතීය ආකෘතිය තුළ, නාලන්දා වැනි මහා භික්ෂු විශ්වවිද්‍යාලයන්හි සම්ප්‍රදායන් විශේෂ කොටගෙන, ඉන්දියානු බුදු දහමේ පූර්ණ ඓතිහාසික වර්ධනය ආරක්ෂා කරනු ලබයි. මෙලෙසින්, අදාළ මාතෘකා සම්බන්ධයෙන් තියුණු භාවනා හා බැඳී සිදුකරනු ලබන තර්ක හා විවාද මාධ්‍යය හරහා සිතේ, හැඟීම්වල හා යථාර්ථයේ ස්වභාවය විශේෂ කොටගත් කරුණු අධ්‍යයනය කිරීම එමගින් අවධාරණය කෙරේ.

තිබ්බතය තුළ මෙම ප්‍රවේශය කාල්පනික බලය භාවිත කරමින් බුදු බවට පත්වීම සඳහා ශරීරයේ සියුම් ශක්තීන් මෙහෙයවනු ලබන භාරතීය තන්ත්‍ර පිළිවෙත් සහිත බෞද්ධ සම්ප්‍රදාය සමගින් සම්බන්ධ වේ. ශූන්‍යත්වය (හිස්බව) හා කරුණාව පිළිබඳ භාවනා කරමින්, එම සන්දර්භය තුළ, තමා යම් නිශ්චිත බෞද්ධ ස්වරූපයක් ගෙන ඇති බවට සිතා ගනිමින් මෙම කර්තව්‍යය සිදු කරනු ලබයි. එවන් ආකෘතීන් ඇතැම් විට “භාවනා දේවතාවන්” ලෙස හැඳින්වුණද, ඔවුහූ අර්ථයෙන් හෝ ක්‍රියාකාරිත්වයෙන් හෝ දෙවියන් වහන්සේට සම සංකල්ප නොවන අතරම, බුදු දහම කිසිදු ආකාරයක බහු දේවවාදී ආගමක්ද නොවේ. සෑම බුද්ධ ආකෘතියක්ම ප්‍රඥාව හෝ කරුණාව වැනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ එක් පැතිකඩක් ගෙනහැර පායි. තමා එවන් ආකෘතියකින් දකිමින් එ් හා ආශ්‍රිත ශුද්ධ හා පුජනීය වදන් (මන්ත්‍ර) සජ්ජායනය යමෙකුට සිය මෝහ නිශ්‍රිත නිශේධනීය ස්වයං ප්‍රතිරූපය මැඩ පවත්වා පෙරකී චරිතයෙන් නියෝජනය කෙරෙන ගුණාංග වැඩි වර්ධනය කරගැනීමට උපකාරී වේ. එවන් පිළිවෙත් ඉතා උසස් එ්වා වන අතර පූර්ණ වශයෙන් සුදුසුකම් ලත් උපදේශකවරයෙකුගේ සමීප අධීක්ෂණය යටතේ සිදුකළ යුතු වේ.

යකුන්ගේ ස්වරූපයෙන් චිත්‍රණය කෙරෙන නිශේධනාත්මක බලවේග හා මැදිහත්කාරිත්වයන් මැඩ පැවැත්වීම සඳහා නිරතුරු ගොඩ නංවන ලද පිරිත් හා චාරිත්‍ර විධි බොහෝ ගණනාවක්ද තිබ්බතීය බුදු දහම තුළ පවතී. එවන් පිළිවෙත් ඉටු කරන අතරතුරදී, දුෂ්කරතා මැඩ පැවැත්වීමේ ශක්තිය හා විශ්වාසය ලබාගැනීම උදෙසා වූ භාවනාමය උපකාරකයක් වශයෙන් අතිශයින් බලවත් ස්වරූපයක් ඔබ වෙත සිතින් ආරෝපණය කරගනී. චිත්‍රණය කිරීම්ද සහිතව ප්‍රේමය හා කරුණාව වගා දිගා කරගැනීම සඳහා වූ භාවනාමය ශිල්ප ක්‍රම සම්බන්ධ ඉතා ඉහළ අවධාරණයක්ද එහි පවතී.

සාරාංශය

ථේරවාදයේ සතිපට්ඨාන පිළිවෙත් හෝ චීනයේ අමිතාභ බුදුන්ගේ නාමය ජප කිරීම හෝ තිබ්බතයේ විවාද හා මවාගැනීමේ පිළිවෙත් පිළිබඳ සලකා බැලුවද, බුදු දහමේ සියලු ආකෘති එකම සන්දර්භයක එකට ගැලපෙන බව පෙනේ. තමාගේ යහපත පිණිස පමණක් නොව, හැකිතාක් දුරට අන්‍යයන් වෙතද යහපත සැලසීමේ හැකියාව ලබාගනු පිණිස සිය හැකියාවන් සාක්ෂාත් කරගනිමින් දුක අතික්‍රමණය කිරීමේ ඵලදායී විධික්‍රම එ් එක එකක් මගින් ලබාදෙනු ලබයි.

Top