බුදු දහම හා ඉස්ලාම් දහම: විවිධ වූ විධික්‍රම, පොදු වූ අරමුණ

ආසියා‌වේ ප්‍රදේශ ගණනාවක බෞද්ධ හා ඉස්ලාම් ලෝකයන් එකිනෙක සම්බන්ධ වේ. ඔවුන් සාමුහිකව, එක්ව ජීවත් විය යුතු වුවද, ඇතැම් විට ඔවුන්ගේ අන්තර් සම්බන්ධතාවය එතරම් සාමකාමී එකක් නොවේ. එසේ වුවද, පාරිසරික පරිහානිය, දූෂණය හා ගෝලීය උණුසුම් වීම වැනි පොදු ගැටලුවලට මෙම කණ්ඩායම් දෙකම පොදුවේ මුහුණ දේ. බුද්ධිමත් හා කාරුණික ආකාරයකින් මෙම ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනතාව යොමු කරනු පිණිස බුදු දහම හා ඉස්ලාම් දහම තුළ විවිධ ක්‍රමෝපායන් යොදාගනු ලබයි. එකිනෙකාගේ විධික්‍රම සම්බන්ධ දැනුම වැඩි වන්නට වන්නට, වඩ වඩාත් වැටහීමක් හා අන්‍යෝන්‍ය ගෞරවයක් ඇතිවේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නවීන ජීවිතයට අදාළ මෙම අභියෝගයනට මුහුණ දීම සඳහා එකිනෙකා සමගින් සාමකාමී සහයෝගයක් ඇතිකර ගැනීමට මෙම කණ්ඩායම් දෙකට වැඩි වැඩියෙන් හැකියාව ලැබෙනු ඇත.

ගෝලීය ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම උදෙසා බුදු දහම හා ඉස්ලාම් දහම විසින් යොදාගනු ලබන විධික්‍රම ඔවුන්ගේ ඇදහිලි ක්‍රම තුළින් ඉස්මතු වේ. මෙම ක්‍රම වටහාගනු පිණිස, එ් එකිනෙකක පවත්නා මූලික උපකල්පනයන් වටහාගත යුතුවේ.

හේතු-ඵල දහමේ මූලාරම්භය

ඉස්ලාම් දහම

ඉස්ලාම් දහම වූකලි දේවවාදී ආගමකි. එයට අනුව විශ්වයේ පවත්නා දේ සම්බන්ධ අනුපිළිවෙල, හා හේතු ඵල න්‍යායන්ද ඇතුළත්වූ විශ්වය දෙවියන් වහන්සේගේ නිර්මාණයකි.

බුදු දහම

බුදු දහම දේවවාදී නොවන ආගමකි. ඉන් අදහස් වනුයේ දෙවියන් වහන්සේ නොපවත්නේය යන්නක් අඟවන අදේවවාදී යන අරුත නොවේ. එතුළ හුදෙක් නිර්මාණවාදය නොපිළිගනු ලබයි. භෞතික තලය තුළ මෙන්ම පෞද්ගලික හා සාමුහික අත්දැකීම් තුළද අන්තර්ගත සියලු දේ ආරම්භයක් හෝ අවසානයක් නොමැති හේතු-ඵල න්‍යායකට අනුව සිදුවේ. හේතු ඵලවාදය කිසිවෙකු විසින් හෝ නිර්මාණය කළ දෙයක් නොවේ. එය වූකලි හුදෙක් දේවල් පවත්නා ස්වභාවයයි.

නිගමනය

මෙම සම්ප්‍රදායන් දෙක තුළම හේතු ඵලවාදය පිළිගනු ලබන බැවින්, ලෝකයේ පවත්නා ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ප්‍රවේශය වනුයේ එ්වාට සම්බන්ධ හේතු සොයා ගනිමින්, මුළිනුපුටා දැමිය නොහැකි නම්, අවම වශයෙන් එ්වා අවම කිරීමය යන කරුණ පිළිබඳ එකඟතාවයක් පවතී.

හේතු-ඵල සම්බන්ධතාවය

ඉස්ලාම් දහම

හේතු සංයෝගයක් විසින් ඵල සංයෝගයක් ඇති කරන්නේය යන කරුණ "දෛවය" ලෙස හැඳින්වේ. හේතු හා ඵල අතර පවත්නා මෙම සම්බන්ධතාය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් වන අතර හේතු මගින් ඵල ඇති කිරීම වූකලි දෙවියන් වහන්සේගේ කැමැත්ත මත සිදුවන්නකි.

බුදු දහම

හේතු සංයෝගයක් හා ඵල සංයෝගයක් අතර පවත්නා සම්බන්ධතාවය හුදෙක් පටිච්ච සමුප්පාදය හේතුකොට ඇතිවේ; එය කිසිවෙකුගේ හෝ නිර්මාණයක් නොවේ. වෙනත් වචනවලින් පවසන්නේ නම්, හේතුවලට හෝ ඵලවලට ස්වාධීන වූද, ස්වයං ස්ථාපිත වූද හේතු හෝ ඵල ලෙස වූ පැවැත්මක් නොමැත. යමක් හේතුවක් විය හැක්කේම එහි ප්‍රතිඵලයක්ද පවතින්නේය යන කරුණ මත පදනම් වෙමිනි.

නිගමනය

හේතුඵලවාදය නිශ්චිත නීතිවලට අනුව සිදුවන අතර කිසිවක් හෝ හේතු රහිතව අහඹු ලෙස සිදු නොවන බවට මෙම ක්‍රම දෙක තුළම එකඟතාවයක් පවතී. විශ්වයේ නියමයක්, අනුපිළිවෙලක් ඇති බැවින් ලෝක ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා නිසි පියවරයන් ගතහොත් ගැටලු නිරාකරණය වනු ඇත්තේය යන කරුණට ක්‍රම දෙකම එකඟ වේ.

නිදහස් කැමැත්ත හා තේරීම

ඉස්ලාම් දහම

බුද්ධියද සහිතව මනුෂ්‍ය වර්ගයා දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලදී. බුද්ධිය යනු තාර්කික චින්තනය හා තර්කණය විශේෂ කොටගත් සිතීමේ හැකියාවයි. බුද්ධියේ එක් අංග ලක්ෂණයක් වනුයේ නිදහස් කැමැත්තයි. එයින් අදහස් වනුයේ අපගේ සාප්පු සවාරිවලදී මිලදී ගන්නා දේ ගෙනයනු පිණිස නැවත පරිහරණය කළ හැකි රෙදි බෑගයක් ගන්නේද, අපහරණය කළ හැකි ප්ලාස්ටික් බෑගයක් මිලදී ගන්නේද ආදී වශයෙන් තේරීම් සිදු කිරීමේ හැකියාව හා බලයයි. ජාතික මට්ටමේදී, හරිතාගාර වායු විමෝචනය අවම කරන්නේද, නැත්තේද යන්න තොරා ගැනීමේ නිදහස් කැමැත්තක් අප සතුවන අතර, එ්වා අවම කළහොත්, සිදු කරන්නේ කවර ප්‍රමාණයකින්ද යන්න තෝරා ගැනීමේ නිදහස් හැකියාවක් අප සතුවේ.

එවන් තෝරාගැනීම්වලට මුහුණ දී සිටින විටදී, අප විසින් සිදු කිරීමට තෝරා ගන්නා කවර දෙයක් මගින් වුව, දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව, එමගින් ඇති කෙරෙන අනිවාර්ය ඵලය ඇති කරනු ඇත. මේ අනුව සලකා බලන කල, ප්‍රතිඵලය දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද හේතුඵලවාදී නියාමයනට අනුගතව කල්තබා තීරණය කරන ලද්දක් වන නමුදු මෙම තේරීමම පූර්වයෙන් තීරණය කරන ලද්දක් නොවේ. මෙයාකාරයෙන් ගත්කල, අපට නිදහස් කැමැත්තට අනුව කටයුතු කිරීමේ හැකියාවක් ඇත.

බුදු දහම

යම් ක්‍රියාවලියක සම්බන්ධ නිශ්චිතතාවයක් පවත්වා ගැනීමේ හැකියාව ලබාදෙන්නාවූ මානසික සාධකය වනුයේ වෙන්කොට සැලකීමේ දැනුවත්භාවයයි. එහිදී අපට තෝරාගත හැකි විකල්ප කෙරෙහි අවධානය යොමු කරමින් එ්වා එක එකක පවත්නා දුර්වලතාවයන් හා ප්‍රබලතාවයන් අතරද, යහගුණ හා වාසි සහ අවාසි හා දෝෂ අතරද පවත්නා වෙනස වෙන්කොට දකිනු ලබයි. මෙසේ වෙන්කොට සැලකීම මත පදනම්ව, අපි අපගේ තේරීම් සම්බන්ධ තීරණයකට එළැඹෙන්නෙමු.

වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන කල මෙම මානසික සාධකය බුද්ධිමත් දැනුවත්භාවය ලෙසද හැඳින්වේ. එතුළ යම් කිසිවක් නිවැරදි හෝ වැරදි, ධනාත්මක හෝ හානිකර, ප්‍රයෝජනවත් හෝ අප්‍රයෝජනවත් ඈ ලෙස වෙන්කොට දක්වනු ලබයි. එය නිවැරදි හෝ වැරදි සහගත විය හැක. නැවත පරිහරණය කළ හැකි රෙදි බෑග්වල අපගේ සාප්පු භාණ්ඩ රැගෙන යාම පරිසරයට ව‌ඩාත් යහපත් වන්නේද, නොඑසේ නම් ඉවත ලිය හැකි ප්ලාස්ටික් බෑග්වල එම භාණ්ඩ ගෙනයාම වඩාත් යහපත් වන්නේද යන්න වෙන්කොට සැලකීම මත පදනම්ව, භාවිත කළ යුත්තේ කවරක්ද යන්න තීරණය කරමු. හරිතාගාර වායු විමෝචනයන් අවම කිරීම සම්බන්ධ තීරණ ගැනීමේදීද තත්ත්වය එයාකාරම වේ. අපගේ තීරණයේ ප්‍රතිඵලය හේතුඵල න්‍යාය තුළින් ඉස්මතුවනු ඇත.

බුදු දහම තුළ කර්මය යන්නෙන් අපගේ චර්යාවේ බලහත්කාරී ස්වභාවය අදහස් කෙරේ. එනම් අපගේ පෙර චර්යා හා අපගේ පෙර තේරීම් රටාවන් නැවත නැවතත් සිදු කරන්නාවූ බලහත්කාරිත්වයයි. එනමුත් යම් කිසිවක් සිදු කළ යුතුයැයි හැඟීමක් ඇතිවන අවස්ථාව හා එය සිදු කිරීමට තෝරා ගැනීම අතර කාල අවකාශයක් පවතී. එනමුත් එහිදී අප විසින් සිදුකරන තේරීම් රටාවන් නැවත නැවතද ක්‍රියාත්මක කිරීමේ ආවේගය ක්‍රියාවට නංවන්නේද, නැත්තේද යන්න අතර තීරණයක් ගැනීම සඳහා වෙන්කොට දැකීමේ දැනුවත්භාවය හෙවත් යෝනිසෝ මනසිකාරය යොදාගත හැක. මේ අනුව, අපට නිදහස් කැමැත්තක් හෙවත් තෝරා ගැනීමක් ඇත. එනමුත් යම් කාර්යයක් ක්‍රියාවට නැංවීමේදී, හේතුඵල න්‍යායන් මූලික වී ඉන්පසු ප්‍රතිඵලය ඇතිවනු ඇත.

නිගමනය

අපගේ හැසිරීම් ස්වභාවය සම්බන්ධ තේරීම් සිදු කිරීමේ නිදහස් කැමැත්ත අප තුළ පවත්නා බවට මෙම ක්‍රම දෙක තුළම එකඟ වේ. දිගු කාලීනව වඩාත්ම ප්‍රයෝජනවත් වනු ඇත්තාවූ ගැටලුවලට විසඳුම් කරා අපව යොමු කරන නිවැරදි තෝරා ගැනීම් සිදු කිරීමේ හැකියාව සෑම අයෙකුම සතුවේ. මක් නිසාද ප්‍රයෝජනවත් කවරක්ද, හානිකර වන්නේ කවරක්ද යන්න අතර තාර්කිකව වෙන්කොට සැලකීම් සිදු කිරීමේ මූලික මනුෂ්‍ය බුද්ධිය සියලු දෙනා සතුවන බැවිනි. මෙමගින් සියලු දෙනා විසින් වඩාත් යහපත් තීරණ ගනු ඇතැයි යන්නක් අදහස් නොවේ. එමගින් හුදෙක් අදහස් කරන්නේ බුද්ධිමත් ලෙස තීරණ ගැනීමේ හැකියාව ලබා දෙන්නාවූ මානසික පහසුකම් සියලු දෙනා තුළ පවත්නා බවයි. අදාළ තේරීම සිදුකර එය ක්‍රියාත්මක කළ පසු, කෙසේ වුවද, එහි තාර්කික ප්‍රතිඵලය ඇතිවනු ඇත.

සිදුකරන ලද තෝරා ගැනීම් සම්බන්ධ වගකීම

ඉස්ලාමය

දරුවෙකු පිළිසිඳගත් ඕනෑම අවස්ථාවක, සිය මවගේ කුසයේ සිටින දරුවාගේ සිරුර තුළට තමාගේ අධ්‍යාත්ම හුස්ම පිඹ ඇතුළත් කරනු සඳහා දෙවියන් වහන්සේ විසින් සුර දූතයෙකු එවනු ලබයි.  බොහෝ මුස්ලිම් ජාතිකයන් විසින් ප්‍රකාශ කරන පරිදි දෙවියන් වහන්සේගේ අධ්‍යාත්මයට ශාරීරික පෙනුමක් ලබාදුන් කල, එය 'ආත්මයක්' ලෙස හඳුන්වනු ලබයි. ආත්මය යනු තෝරා ගැනීම් සිදු කිරීම සඳහා බුද්ධිය යොදාගනු ලබන ඉන්ද්‍රිය වන බැවින් එය සිදුකරනු ලබන තෝරා ගැනීම් සඳහා වගවිය යුතු ඉන්ද්‍රියද වේ.

බුදු දහම

ස්වාධීනව පවත්නා ආත්මයක් පිළිබඳ බුදු දහම තුළ අවධාරණය නොවුවද, පුද්ගලයන් ලෙස අපගේ පැවැත්මක් නොමැති අතර අප විසින් සිදුකරනු ලබන තෝරා ගැනීම් සඳහා අප වගවිය යුතු‌ නොවන බවක්ද එතුළ ප්‍රකාශ නොකෙරේ. හුදෙක් සම්මුතික වශයෙන් අපි "මම තෝරා ගැනීමක් සිදු කළෙමි"යි පවසන අතර මෙය නිවැරදිය. මක් නිසාද වෙනත් අයෙකු විසින් එම තෝරා ගැනීම සිදු නොකළ අතර, කිසිවෙකු විසින් හෝ එවන් තෝරා ගැනීමක් නොකළ තත්ත්වයක්ද නොපවත්නා බැවිනි. කෙසේ වුවද, අප විසින් තෝරා ගැනීමක් සිදු කිරීම වූකලි අපගේ හිස් තුළ සිටින ස්වාධීනව පවත්නා "මමෙකු" විසින් නොවෙනස්ව පවත්නා වට්ටෝරුවක් දෙස බලා සිටිමින් මෙවලමක් සෙයින් වෙන්කොට දැකීමේ දැනුවත්භාවය යොදා ගනිමින් එ් අතරින් එකක් තෝරා ගැනීමක් වැනි දෙයක් නොවේ. ඕනෑම අවස්ථාවක, තීරණ ගන්නා, තෝරා ගැනීම් හා තීරණ වූකලි එකිනෙ මත රඳා පවත්නා දේවල් විනා එකිනෙකින් ස්වාධීනව පවත්නා සංසිද්ධීන් නොවේ. එ්වා එකිනෙකක් මත රඳා පවතිනු පමණක් නොව, එ් කරුණු තුනම අප්‍රමාණ සංඛ්‍යාවක් වූ හේතු ප්‍රත්‍යයන් මතද රඳා පවතී. තෝරා ගැනීම් හා ගනු ලබන තීරණ නොපවත්නේ නම් එසේ ගත් තීරණයන්ද පැවතිය නොහැක.

නිගමනය

අප විසින් පුද්ගලයන් වශයෙන් අපගේ තෝරා ගැනීම් සිදුකරන අතර එ් අනුව අප එසේ සිදුකරන තෝරා ගැනීම්වලට වගකිවයුතු හා වගවිය යුතු බවට මෙම ක්‍රම දෙක තුළම එකඟත්වයක් ඇත. එබැවින්, පරිසරය පරිහානියට පත්වීම  වැනි ලෝක මට්ටමේ ගැටලු සම්බන්ධයෙන් පියවර ගැනීම අප සතු කාර්යයක් වේ.

බුද්ධිය හැරුණු කොට තෝරාගැනීම්වලට බලපාන්නාවූ සෙසු සාධක

ඉස්ලාම් දහම

දෙවියන් වහන්සේ විසින් අති විශිෂ්ටත්වයක් සහිතව මනුෂ්‍ය වර්ගයා නිර්මාණය කරන ලද අතර මනුෂ්‍ය වර්ගයා කෙරෙහි දෙවියන් වහන්සේගේ ප්‍රේමය වනාහි තමන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද සමස්ත අති විශිෂ්ටත්වය කරා වූ සමීපත්ව හැඟීමකි. එයට ප්‍රතිචාරීව දෙවියන් වහන්සේ කෙරෙහි වූ මනුෂ්‍යයාගේ ප්‍රේමය වූකලි තමා තුළ නොපවත්නා නමුත් අවශ්‍යවන සර්ව සම්පූර්ණත්වය සාක්ෂාත් කරගැනීමේ බලවත් ඇල්මකි. අපගේ චරිතය හා දෙවියන් වහන්සේ විසින් සිදුකරන ලද නිර්මාණයන් කෙරෙහි සේවය සැලසීමේ ක්‍රියාවන්  මගින් අපතුළ දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද අති විශිෂ්ටත්වය පෝෂණය කරමින් හා විදහා දක්වමින් සිදුකරන දෙවියන් වහන්සේ වන්දනා කිරීමේ එක් ප්‍රධාන ආකෘතියක් තුළ මෙම බලවත් ඇල්ම ප්‍රකාශයට පත් කෙරේ. එසේ සිදු කිරීම වූකලි අපගේ විශ්වාසය හා දෙවියන් වහන්සේගේ කැමැත්තට අවනත වීම පිළිබඳ ප්‍රකාශනයක් වේ. දෙවියන් වහන්සේ විසින් පනවන ලද හා දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව අනුගමනය කිරීම හෝ කඩ කිරීම මගින් එයට අදාළ ප්‍රතිවිපාක ලබා දෙන්නාවූ නීතිවලට අනුකූලව කටයුතු කිරීම මගින් උන් වහන්සේගේ කැමැත්තට අවනත වන්නෙමු.

දෙවියන් වහන්සේ විසින් මනුෂ්‍ය වර්ගයා හදවතක්ද සහිතව නිමවන ලද අතර, එකී හදවත වූකලි පුණ්‍ය හා පාපකාරීද වූ දෙවර්ගයේම භාවයන් දැනීමේ ඉන්ද්‍රිය වේ. එය දෙවියන් වහන්සේ පිළිබඳ සැකයෙන් පිරී අන්ධ වීම හෝ භක්තිය තුළින් බලවත් වීම හෝ පිරී යාමද සිදුවිය හැක. බුද්ධියේ නිදහස් කැමැත්ත මත පදනම්ව දෙවියන් වහන්සේගේ කැමැත්තට අකීකරු වීම මගින් උත්පාදනය වන පාපකාරී භාවයන්ගෙන් අපගේ හදවත ක්‍රියාත්මක වන්නට වුවහොත් අපගේ ආත්මයද මෙම භාවයනට යටත් වේ. එවිට ආත්මාර්ථකාමීව දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව කටයුතු කිරීම වෙනුවට එයට ප්‍රතිවිරුද්ධව ස්වයං වැදගත්කම, ආත්මාර්ථය හා මෙකී පාපකාරී භාවයන්ගේ බලපෑමට යටත්ව අපි අපගේම ස්ව-කැමැත්තට අනුව කටයුතු කරමු. එ් අනුව, අප විසින් අපගේ බුද්ධියෙන් ගනු ලබන තීරණ ආත්මාර්ථකාමී, පටු දැක්මක් සහිත ස්ව-කැමැත්ත මත පදනම් වූ එ්වා හෝ අපගේ අති විශිෂ්ට චරිතය මගින් දෙවියන් වහන්සේගේ නිර්මාණයන් වෙත සේවය සලසමින් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුගත වීම මත පදනම් වූ එ්වා හෝ විය හැක.

බුදු දහම

ආරම්භයක් රහිත අපගේ චිත්ත සන්තතිය තුළ අනෙකා කෙරෙහි වූ සැලකිල්ල, ආදරය, කරුණාව, ත්‍යාගශීලිත්වය හා ඉවසීම යන ගුණයන් එක් අතකින්ද, අනෙක් අතින් ආත්ම-කේන්ද්‍රීයත්වය, ආත්මාර්ථය, කෑදරකම, ඇල්ම හා අමනෝඥභාවයද වැනි පුණ්‍යවන්ත හා පාපකාරී යන දෙයාකාරයේම භාවයන් පවතී. අප විසින් වෙන්කොට දැකීමේ දැනුවත්භාවය හෙවත් යෝනිසෝ මනසිකාරය මගින් ගනු ලබන තීරණ මෙකී විවිධ භාවයන්ගේ සාපේක්ෂ ශක්තීන් මත රඳා පවතිමින් ඉස්මතු වේ. තවද, ඕනෑම අවස්ථාවක, එ්වාහි සාපේක්ෂ ශක්තීන් අන් අය විසින් සිදුකරනු ලබන හා කරනු ලබන දේ, සමාජ වටිනාකම් හා ආර්ථික පීඩනය මෙන්ම අපගේ සෞඛ්‍ය තත්ත්වය, අධ්‍යාපනය, ආතති මට්ටම, කාර්ය බහුලත්ව මට්ටම ආදී වශයෙන් වූ බොහෝ බාහිර හා අභ්‍යන්තර හේතු සාධක ගණනාවක් මත රඳා පවතී. මෙලෙසින්, අප විසින් ගනු ලබන තීරණ බොහෝ සාධක මත රඳා පවතිමින් ඉස්මතු වේ.

නිගමනය

අපගේ බුද්ධිය පාපකාරී භාවයන්ගේ, ආත්මාර්ථයේ හා ලෝභයේ බලපෑමට යටත්ව පවත්නා විටදී අප විසින් ලෝක ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී අමනෝඥ, අතාර්කික තීරණ ගනු ලබන්නේය යන අදහසට මෙම ක්‍රම දෙකම එකඟ වේ. අනෙක් අතට, සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහි වූ කාරුණික සැලකිලිමත්භාවයේ බලපෑම යටතේ ක්‍රියාත්මකවන විටදී අප විසින් ගනු ලබන තීරණ තාර්කික, බුද්ධිමත් හා දිගු කාලීන ප්‍රයෝජන සලසන්නාවූ එ්වාද වේ.

ලෝක ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වූ පෙළඹීම ලබාගැනීම

ඉස්ලාම් දහම

වඩාත් ශුද්ධ ලෙස ලෝකය හා මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ප්‍රේමය ගොඩනගා ගන්නා විටදී, එකී අපගේ ආදරය හෙවත් ප්‍රේමය හුදෙක් ලෝකය හා මනුෂ්‍ය වර්ගයා කෙරෙහි පමණක් සීමාවූ දෙයක් නොව, අප තුළ අති විශිෂ්ටත්වයක් නිර්මාණය කළ දෙවියන් වහන්සේ කෙරෙහිද වූ ප්‍රේමයකි. එ් අනුව ලෝක පරිසරය කෙරෙහි වූ අපගේ සැලකිල්ල, දෙවියන් වහන්සේගේ නිර්මාණයන් කෙරෙහි සේවය සැලසීම මගින් දෙවියන් වහන්සේ වන්දනය කිරීමේ ක්‍රමයකි.

බුදු දහම

සියලු සත්ත්වයන් කෙරෙහි වූ සැලකිලිමත්භාවය සතුටින් සිටීමට අවශ්‍ය වීම හා ගැටලු හා දුක්වලින් මිදී සිටීමේ අවශ්‍යතාවය විෂයයෙහි සියලු දෙනා සමානයන්ය යන කරුණ වටහා ගැනීම මත පදනම් වේ. තවද, අප සියලු දෙනා එකිනෙකා මතද, අප ජීවත්වන ලෝක පරිසරය මතද අන්තර් රඳා පැවැත්මක් සහිත වූවන් වේ. අප විසින් සිදුකරන දෙය සියලු දෙනාගේ යහපත කෙරෙහි යම් ආකාර බලපෑමක් ඇතිකරන අතර, අන් අය විසින් සිදුකරන දෙය අපගේ යහපත කෙරෙහි බලපායි. එ් අනුව ප්‍රේමය යනු සියලු දෙනා සතුටින් සිටීවා සහ සතුටට හේතුවන කරුණු ඔවුන් වෙනුවෙන් පවතීවාය යන පැතුමයි. ප්‍රේමය සහිත තැනදී, එකී සතුට සියලු දෙනා කෙරෙහි සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නෙමු.

නිගමනය

බුදු දහම හා ඉස්ලාම් දහම යන ආගම් දෙක තුළම ජනතාව වෙත අන් සියලු දෙනාගේ යහපත පිළිබඳ සැලකිලිමත් විය යුතු බවට උගන්වනු ලබයි. එ් ආගම් දෙක තුළම විශ්වමය ප්‍රේමයේ මානව හිතවාදී ක්‍රියාවන් තුළින් එම ප්‍රේමය ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය අවධාරණය කෙරේ.

සාරාංශය

ලෝක ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජනතාව පෙළඹෙන ආකාරය කෙසේ වුවද, වැදගත් කරුණ වනුයේ සියලු දෙනා එක්ව ලෝක යහපත උදෙසා කටයුතු කළ යුතුය යන්නයි. මෙම ප්‍රයත්නයෙහි පවත්නා වැදගත්කම විෂයයෙහි බුදු දහම හා ඉස්ලාම් දහම තුළ පවත්නේ පූර්ණ එකඟතාවයකි.

Top