තිබ්බතයේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය

තිබ්බතීය මුස්ලිම්වරුන් පිළිබඳ සමීක්ෂණය

1959ට පෙර, මධ්‍යම තිබ්බතයේ 3,000කට ආසන්න තිබ්බතීය මුස්ලිම්වරුන් සංඛ්‍යාවක් විසූහ. ඔවුහූ බොහෝ විට 14වන හා 17වන සියවස් අතර කාල පරිච්ඡේදයේදී තිබ්බතයට කාශ්මීරය, ලඩාක්, නේපාලය හා චීනය වෙතින් පැමිණ තිබ්බතීය කාන්තාවන් විවාහ කොටගෙන එහි පදිංචි වූ මුස්ලිම් වෙළෙන්දන්ගෙන් පැවත එන්නන් විය. ඔවුහූ තිබ්බත බස කථාකළ අතර බොහෝ තිබ්බතීය සිරිත් විරිත් අනුගමනය කළහ. ඔවුන් හට ලාෂාහි පල්ලි සතරක්ද, ෂිගාට්සේහි දෙකක්ද, සේටෑංහි එක් පල්ලියක්ද විය. එ්වා තිබ්බතීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනගා තිබිණි. තවද, ඔවුන් හට කුරානය හා උර්දු අධ්‍යාපනය සඳහා ගාසාහි ඉස්ලාම් පාසැල් දෙකක්ද ෂිගාට්සේහි එක් පාසැලක්ද විය. ඉන්දියානු පිටුවහල් සමාජය තුළද, ආගමික ඉවසීම සහිතව තිබ්බතීය බෞද්ධ හා මුස්ලිම් ප්‍රජාවෝ සමගි සම්පන්නව ජීවත් වෙති.

කාශ්මීරයෙන් හා ලඩාක් වෙතින් ඇතිවූ ප්‍රභවයන්

කාශ්මීරය, ලඩාක් හා තිබ්බතය අතර දිගු වෙළඳ ඉතිහාසයක් පවත්නා අතර එම ඉතිහාසය තුළ මෙම ප්‍රදේශයන්ගෙන් පැමිණි වෙළෙන්දෝ බටහිර හා මධ්‍යම තිබ්බතය තුළ පදිංචි වූහ. 14වන සියවසේ අවසන් භාගයේදී සුෆි ගුරුවරුන් විසින් කාශ්මීරය හා ලඩාක් තුළ ඉස්ලාම් දහම හඳුන්වා දීමෙන් අනතුරුව, එම පදිංචිකරුවන් අතරට මුස්ලිම්වරුන්ද ඇතුළත් වූවා විය හැක. කෙසේවුවද තිබ්බතය වෙත කාශ්මීර හා ලඩාක් මුස්ලිම්වරුන්ගේ සපැමිණීම, 17වන සියවස මැද භාගයේ පස්වන දලයි ලාමා වහන්සේගේ සමය තුළ සිදුවිය. ඔවුහූ ප්‍රධාන වශයෙන්ම කාශ්මීරයේ පැතිර ගොස් තිබූ සාගත තත්ත්වය හේතුකොට තිබ්බතයට පැමිණ ලාසාහි පදිංචි වූහ.

පස්වන දලයි ලාමා වහන්සේ විසින් ලබාදුන් විශේෂ වරප්‍රසාද

සියලු ආගමික කොටස් සම්බන්ධයෙන් පවත්වාගෙන ගිය ඉවසීමේ ප්‍රතිපත්තියක කොටසක් ලෙස පස්වන දලයි ලාමා වහන්සේ විසින් මුස්ලිම් සමාජයේ සාමාජිකයන් වෙත විශේෂ වරප්‍රසාද ලබාදෙන ලදී. ඔවුන් හට ඔවුන්ගේ අභ්‍යන්තර කරුණු අධීක්ෂණය කරනු පිණිස පංච පුද්ගල කමිටුවක් පත් කළ හැකිවිය; ෂරියා නීතියට අනුව ස්වාධීනව ඔවුන්ගේ ආරවුල් නිරාකරණය කරගත හැකිවිය; වෙනත් තිබ්බතීය නගරවල සාප්පු විවෘත කොට වෙළඳාම් සිදුකළ හැකිවිය; තවද, බදු අයකිරීම්වලින්ද නිදහස් විය. තවද, ඔවුනට සකදවා නම් බෞද්ධ ශුද්ධ වූ මාසය තුළ මාංශ අනුභව කළ හැකි වූ අතර මොන්ලැම් යාඥා උත්සවයන් අතරතුර නිලධාරී මට්ටමේ වූ භික්ෂූන් වෙත සිය හිස් වැසුම් ඉවත් කොට ගරු කිරීමක් සිදු කළ යුතු නොවීය. තවද පස්වන දලයි ලාමා වහන්සේ විසින් මුස්ලිම් පල්ලියක් හා සොහොන් බිමක් සකසනු පිණිස ලාසාහි ඉඩමක්ද මුස්ලිම් ජනතාව වෙත ලබාදී සියලු ප්‍රධාන රාජ්‍ය උත්සවයනට එහි නායකයන් වෙත ආරාධනා කරන ලදී.

ලඩාක් සමගින් පැවැත්වූ වෙළඳ මෙහෙවර

1684දී අත්සන් කරන ලද තිබ්බත - ලඩාක් සාම ගිවිසුමේ කොටසක් වශයෙන්, තිබ්බතීය රජය විසින් සෑම තෙවසරකටම වරක් ලඩාක් වෙතින් ලාෂා වෙත වෙළඳ දූත කණ්ඩායමකට පැමිණීම සඳහා අවසර ලබාදෙන ලදී.  මෙය තිබ්බතය සෙසු විදේශිකයන් හට වසා දමන ලද අවස්ථාවන්හි පවා නොකඩවා පවත්වාගෙන යන ලදී. මෙම දූත කණ්ඩායම් සමගින් පැමිණි බොහෝ වූ කාශ්මීර හා ලඩාක් මුස්ලිම් වෙළෙන්දෝ එහි එ්වන විටත් සිටි සිය ජන ප්‍රජාවන් සමගින් එක් වෙමින් තිබ්බතයේ නතර වූහ.

නේපාලයේද පදිංචි වූ කාශ්මීර මුස්ලිම්වරු එම රට හා තිබ්බතයේ විසූ කාශ්මීර මුස්ලිම්වරුන් අතර වෙළඳාම් කටයුතු සිදු කළහ. 1769දී ප්‍රිත්වි නාරායන් ෂා විසින් කත්මන්දු මිටියාවත ජය ගැනීමත් සමගින් ඔවුන් නේපාලයෙන් පලවා හරින ලද අවස්ථාවේදී ඔවුන් අතරින් බොහෝ දෙනෙක් තිබ්බතය වෙත සංක්‍රමණය වූහ. 1856 තිබ්බත-නේපාල ගිවිසුමෙන් අනතුරුව ඔවුහූ නේපාලය හා ඉන්දියාව සමගින් පවත්වාගෙන ගිය සිය වෙළඳ කටයුතු නැවත ආරම්භ කළහ.

1841දී, කාශ්මීරයේ ඩොග්රා හමුදාව විසින් තිබ්බතය ආක්‍රමණය කරන ලදී.  ඔවුන්ගේ පරාජයෙන් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද කාශ්මීර හා ලඩාක් මුස්ලිම් සොල්දාදුවන් අතරින් බොහෝ දෙනෙක් තිබ්බතයේ පදිංචි වී ඉස්ලාම් දහම වැළඳ ගත්හ.  ඔවුහූ එම රට තුළට ඇප්‍රිකට් හා ඇපල් වගාව හඳුන්වා දුන්හ.

හුයි මුස්ලිම් පදිංචිකරුවෝ

17වන සියවස තරම් මුල් යුගයේ සිටම, නිංෂියාහි සිට පැමිණි චීන හුයි මුස්ලිම්වරු ඊසානදිග තිබ්බතයේ ඇම්ඩෝහි සිලිං ප්‍රදේශයේ පදිංචි වූහ. ඔවුහූ තිබ්බතීයයන් විවාහ කොටගෙන චීනය හා මධ්‍යම තිබ්බතය අතර වෙළඳ කටයුතු සිදු කළහ. පසුකාලීනව ඔවුන් අතරින් පිරිසක් ලාසාහි පදිංචි වී, තමාටම අනන්‍ය වූ පල්ලියක් හා ආදාහනාගාරයක්ද සහිතව වෙනස් මුස්ලිම් ජන ප්‍රජාවක් ඇතිකර ගත්හ.

චීන මහජන සමූහාණ්ඩුවේ පාලනය යටතේ, තත්ත්වය බොහෝ සෙයින් වෙනස්ව ඇත. තිබ්බතීය මුස්ලිම්වරුන්ද බෞද්ධයන් සෙයින්ම හිංසා පීඩාවනට මුහුණ දී ඇත. ඇම්ඩෝහි බොහෝ නගර සංඛ්‍යාවක මේවන විට චීන හුයි මුස්ලිමුන්ගේ වාසස්ථාන බවට පත්ව ඇති අතර, එහි විසූ ප්‍රාදේශීය තිබ්බතීයයන් උස් කඳුකර ස්ටෙප් තණබිම් කරා ආන්තිකකරණය කොට ඇත. තවද, විශාල සංඛ්‍යාවක හුයි වෙළඳ ප්‍රජාවක් මධ්‍යම තිබ්බතයේ පදිංචි වෙමින් පවතී. එහි වසන තිබ්බතීය මුස්ලිම්වරුන් මෙන් නොව ඔවුන් ප්‍රාදේශීය ජනතාව සමග එ්කාබද්ධ නොවන අතර එ් වෙනුවට සිය චීන භාෂාව හා සිරිත් විරිත් පවත්වාගෙන යති.

Top